Thursday, August 25, 2022

ගමරාලගේ අඬහැරය දෙවන දිගහැරුම - සිස්ටොං අවුල්

සිස්ටොං අවුල්

මල්ලිගේ හැදුනුම්පත නැතිවෙලා හදාගන්න ඕනෑ කීවාම මාත් ගියා කියහන්කෝ. ග්‍රාම නිළධාරී  තුමිය හමුවෙලා උපදෙස් අරගෙන මුලික වැඩටිකත් කොරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා උප්පැන්න පිටපතක් ගන්න. ගියහම කියාපි අදනම් දෙන්න වෙන්නේ නෑ සිස්ටොං එක අවුල් වෙලා තියෙන්නේ කියල අද බදාාදා නේ සිකුරාදා දෙන්නම් කියලා, අපි ඇහුවා අදම ගන්න ක්‍රමයක් නැද්ද කියලා එතකොට කිව්වා ඉපදුනු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ කාර්යාලයට යන්න එතනින් ගන්න පුලුවන් කියල.

ඕං ඉතිං ඊගාවට එතනටත් ගියා වෙලාව හවස 1.30 විතර ඒ වෙනකොට පල්ලෙහා කවුළුවෙන් අද දවසට බාර අරගෙන ඉවරයි කියලා උඩ තට්ටුවට ගිහින් බලන්න කිව්වා එතනටත් ගියා, පෝරමය ගත්තා පිරෙව්වා සල්ලිත් ගෙව්වා උප්පැන්න දෙන්න සිකුරාදාට එන්න කිව්වා. අපි ඇහුවා අද ගන්න බැරිද කියලා විදියක් නෑ සිස්ටොං එක අවුල් කිව්වා. එතකොට පොතෙන් ගන්න බැරිද ඇහුවා එතකොට කිව්වා පොටෝකොපි මැෂිම කැඩිලා කියල. ඉතිං මොනව ⁣කොරන්නද සිස්ටොං අවුල ගැන හිත හිත ගෙදර ආවා.

ඔන්න ඉතිං හැන්දෑවේ ප්‍රවෘත්තියක් ගියා ආණ්ඩුවේ ඉස්පිරිතාලවල අත්‍යාවශ්‍ය බෙහෙත් නෑ ශල්‍යකර්ම කරන්නත් විදියක් නැතෙයි කියලා. ඉතින් මරණාසන්න ලෙඩ්ඩු කොච්චර ඇත්ද, ඒත් එක්කම මට මතක් උනා මීට ටික දොහොකට කලින් ගියපු ප්‍රවෘත්තියක් ඒ කෝප් කමිටුවේදී හෙලිඋන කාරණාව ඒකෙන් කියඋනේ බෙහෙත් ගැන සිස්ටොං එකක් හදන්නයි, පවත්වාගෙන යන්නයි කෝටි ගානක් වියදම් කරල කියලා. එක අතකට ඉතිං ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරුණත් මොකෝ, සිස්ටොං එක හරි තියෙන එක කොච්චර ලොකු දෙයක්ද කියල මට හිතුනා.

දැන් ඉතින් හැමෝම ඉල්ලන්නේ මේ සිස්ටොං  අවුල් කියා සිස්ටොං  වෙනසක්නේ, මෙච්චර කල් කොරාපු සිස්ටොං  ඉගුරු දීලා මිරිස් ගත්තා වාගෙයි. 

ඒක හින්දා ටක්කෙටම හරියන සිස්ටොං  එකක් හොයා ගන්න එක කාගෙ කාගෙත් වගකීම කියලත් මට හිතුනා. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාල 

ගමරාලගේ අඬහැරය දෙවන දිගහැරුම.

2022-08-25 බ්‍රහස්පතින්දා. 

Thursday, August 18, 2022

ගමරාලගේ අඬහැරය පළමු දිගහැරුම.

ගමරාලගේ අඬහැරය

2022 ජූලි මාසේ 20 සෙනසුරාදා ගාල්ලෙ ලොකු හෝටලයක රැස්වීමක් තිබුනා. ආණ්ඩු කොරන හැටි ගැන අලුත් වගත්ති මාලාවක් හදන්න යෝජනා ලබාගැනීම වෙනුවෙන්. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා. මට දැනෙන විදියට යෝජනා දහයකුත් ඉදිරිපත් කොරා ඔිං.. හැබැයි ඉතින් වෙනදා මේවට ආරාධනා ලැබුනේ ගොවි රජවරුන්ට විතරයි. කවුද මේ ගොවි රජවරු ? ආණ්ඩුවෙ ඉඩම් අක්කර ගානක් අල්ලගෙන නැති බැරි මිනිස්සුන්ගෙන් තුට්ටු දෙකට ඉඩම් අරගෙන ඒවාට ඇතිවෙන්න රට පෝර වසවිස ගහල වවන ගමන් තවත් පොහොර කාමරවල ගබඩා කරගෙන රටේ එවුන්ට කාබනික වගාව කරපල්ලා කියමින් බැබලෙන ගොවිරජවරු අනිත් කට්ටිය තමයි අනුන්ගේ හෙන්වලට කුඹුරුවලට පැන පැන කැමරාව ඉස්සරහ කතා විතරක් පවත්වන ගොවි රජවරු. ඒක හන්දා ගොවි බිමේ ඉන්න ගොවියෙක් විදියට ලැබුණු අවස්ථාව ගැන සතුටුයි.

ඉතිං මට හිතුන දේ තමයි ඔය දැනුම් තේරුම් තියෙන අය හදපු ව්‍යවස්ථාව පාවිච්චි කරල මෙච්චර කල් එක එක චරිත පුම්බගත්ත එකයි එයාලගෙ බලය රැක ගත්තු එකයි විතරයි වෙලා තියෙන්නෙ කියලා. ඒ වුනාට කීප සැරයක් ඔය ව්‍යවස්ථාව වෙනස් කර කර අනුමත කරගෙන තියෙනවා. ඒත් රට සෙතක් නෑ. මීට අවුරුදු ගානකට කලිනුත් කිව්වේ සිරි ලංකාව දියුණු වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක්ය කියලා.දැන් ඔය අනුමත කොරගත්ත වගන්ති මාලාව යටතේ පාලනය කොරල තුන්වවනලෝකයෙන් එක මයිලක්වත් ඉස්සරහට ගොහින් නැහැ නොවැ. තව වලපල්ලට තමයි ගොහිං තියෙන්නෙ. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ.

කොහොම උනත් හොරුන්ට රිංගන්න තියෙන කඩතොලු වැහිල යන්න විගණනය, යුත්තිය සහ විනය මූලික වුණ ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොරන්ට පුළුවන් විදියට. රටේ ව්‍යවස්ථාව අනුමත කරගත යුතුයැයි මට සිතුණි. මේ ඔක්කොම කතා මැද මේ විදියට මට දැනෙන දේ ලියලා සයිබරය හරහා ප්‍රසිද්ධ කොරන්නට ඔිනෑ යැයි කියා මට හිතුණේ එදා මේ සභාවේදී ය. එම අවස්ථාවට මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටි නිසා මට උත්තේජනයක් ලැබුනාදැයි නොදනිමි.

කොහොම උනත් ඔන්න මම පටන් ගත්තා. ගමරාලගේ අඬහැරය කියලා නම දැම්මට මම හැබෑ ගමයෙක්. ඒක නිසා රාලල ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නරක කියලා හැමෝම උදව් කරන්න. සයිබර්යායේ පස පෙරළා වපුරන්නට. එහෙනං ආයුබෝවන්ඩ. ගිහිං එන්නං.

ගමරාල 

ගමරාලගේ අඬහැරය පළමු දිගහැරුම.

2022-08-18 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...