යුක්තිය
ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උන්දැ කිවුවා සැකයක් හිතුන ගමන් එකපාරම පස්ස බලන්න එපා බොල අතට යටින් බලපිය කියලා. ඕං ඒ උපදේශෙ විදියටම කිහිල්ලයි වැලමිටයි අස්සෙන් ඔලුව දාල පිටිපස්ස බැලුව නොවැ. බලනකොට පහුගිය අවුරුද්ද නෙවෙයි ඊටත් එහාට පෙනුන නොවැ. ඔක්කොම කිවුවොත් අකුරු ගැට ගහගන්න ඉඩ මදිවෙන හන්දා ටිකක් බලමුකෝ. තෙල් පෝලිං, ගෑස් පෝලිං, විරෝධතා එකක්වත් පේන්න නැතුව ගොහිං කරට දුඹුරුපාට පටියක් දාලා නෙළුම් පොහොට්ටුවක් අතට ගත්තු ළමයෙක් වඩාගෙන කලු කෝට් එකක් දාගත්තු පජාතන්ත්‍රවාදය කියල නම ගහපු උල් සපත්තු දෙකක් දාගත්තු මනුස්සයෙක් වැල් පාලමක් දිගේ ඕං ඇවිදගෙන යනවා. වැල් පාලම දෙපැත්තෙ චිත්‍ර අදින්න තාප්පයක්වත් නැති හන්දා කොල්ලො කෙල්ලො අන්දමන්ද වෙලා බලා ඉන්නව මක්ක කොරන්ඩද කියලා. පෙලක් එඋං පාස්පෝට් පෝලිමට යනවා. පෙළක් එඋං වෙනසක් කොරන්න වලි කනවා.
ඕං ඔය අස්සෙ හැම එකාටම කඩේ ගොහිං හෙම්බත් වෙලා රැවුල කොණ්ඩෙ වවාගෙන පොළොව එක්ක ඔට්ටු වෙවී ගොවිතැන් කොරගෙන යනකොට ආපු පෝර පුරස්නෙයි, ගංවතුර පුරස්නෙයි වගේ එවුවට මිනිස්සු එක්කහු කොරගෙන කෑ ගහපු හන්දා ලී මෝලක් කොරන ගම්සභා මැම්බරයෙක් උගේ ගෙදරින් ටිනර් ගෙනත් මහ රෑ මං එළෝළු ඩිංගිත්තක් විකුණන තට්ටුව ගිනි තියල දානවා. ඊට පස්සෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ උන්ගෙ හිතවතුන්ගෙ ගෙවල්වලට ගහන්න මමයි අපේ කොලුවයි ගියා කියලා පටලවන්න එක එක සෙල්ලම් කොරනවා. කොහොමින් කොහොම හරි ඔය හැම හත්තිලව්වක්ම නිසා ගෙදර එක කරච්චලයයි නොවැ රටෙන් පල කියලා. මාත් ඉතිං පිටුවහල් වෙලා ආවනේ මෙහේට. හැබැයි ඉතිං ඉවසල ඉවසල බැරිම තැන නැගී හිටින හන්දා විගහට ආයෙත් සිරි ලංකාවට පිටුවහල් වෙන්නත් පුළුවන් කියල තමා අත යටින් බැලූ කොට දැක්කෙ.
ඕං බොලේ ඔලුවට උඩින් අහස් යන්තරේක සද්දෙත් ඇහුන හන්දා විගහට අත යටින් ඔලුව අරගෙන උඩ බැලුවහම තරු වැලකින් අහසෙ ලියවිලා තියෙනව නොවැ සියලු ධර්මයන්ට වඩා මනුශ්‍ය ධර්මය උතුම්ය ගිනි දෙන්නා ගිනි ගෙන විනාශ වෙනු ඇත කියලා. ඕං ඒ සැරේ උගුරට වතුර ඩිංගිත්තක් හලාගෙන බැලුවා මේ අවුරුද්ද දිහා. බලනකොට හුඟක් තැන්වල කැලැන්ඩරේ විතරයි නොවැ මාරු වෙලා තියෙන්නෙ. ඇනේ එහෙමමයි. අර ඉස්සර වගේ ඉස් මුදුනට පරාල ඇනේ වැදුනම තමා මතක් වෙන්නෙ ඇනේ මාරු කොරන්න. ඒ අස්සෙ රට ලූණු පලුවක් වගේ තියෙන කොඩියකුයි සිංහ කොඩියකුයි අත් දෙකට අරගෙන කට්ටියක් කෑ ගහනවා පේනවා ආයෙත් නැගිටිනවා නැගිටිනවා කියලා. තව හාදයෙක් කෑගහනවා අලිය හැදුව මහ වැලියේ අලියෙක් ගහගෙන ගියෝ කියලා. ඒ දණ්ඩෙන් ගොහිං පියානෝ ගහල රජාණෝ වෙන්න තව එක්කෙනෙක් දගලනවා. උතුර දකුණ හරියටම මේකෙන් බලපිය කියලා තව කට්ටියක් කියනවා.
වැල් පාලමක් කෙළවරේ සිරි ලංකා සිතියමයි, අයි එම් එෆ් කියල ගහපු ඔටුන්නකුයි අරගෙන සුද්දො වගයක් ඉන්නවා කවුරු හරි එනකං පිළිගන්න. මට තියෙන හදිස්සියට තොම්බ දාලා පාලං ගැට්ටෙන් එබෙන්න ගොහිල්ලා වැට්ට නොවැ පහළට ජබොග් ගාලා. යකඩො ඒ සද්දෙට ඇස් ඇරලා බලනකොට හොඳටම නින්ද ගොහිං එකළොස් වෙනි තට්ටුවෙන් වැටිල නොවැ පහළ පිහිනුම් තටාකෙට. බලනකොට අර සේරෝම හීනෙන් නොවැ දැකල තියනේනෙ. හීනෙන් පෙන්නෙත් යටිහිතේ තියෙන දේවල් කියනව නොවැ. සමහර එවුව ඇත්තටම වෙච්ච දේවල් තමා.
ඕං ඇහැරුන ගමන් ප්‍රවෘතියක් දැක්ක කහවත්තේ අම්ම මැරුව කියල හිර බාරෙට දුව අරගෙන තියෙන්නෙ වැරදීමකින් කියලා නිදොස් කොට නිදහස් කොරලා. ඇත්ත මිනීමරුව අහුවුනා කියලා. එහෙම කොරා කියලා ඒ දුවට සාධාරණයක් වෙනවද? නීතිය දන්න එවුන්ටත් ඇත්තටම මිනීමරුවා ඉන්නෙ කොහේද කියල හොයා ගන්න බැරිනං කවර කතාද? ඉස්සරනං ලිතෙන් බැලුව මරු සිටින දිශාව කොහේද කියලා. දැං ලිතෙන් බැරිනං මාලිමාවෙන් හරි බලන්න බැරියැ මරු සිටින දිශාව. අදට ඇති වගේ. අච්චර ආකර්ශනීය මනුස්සයෙක් වෙච්චි විජේකුමාරතුංග මහත්තයගෙ දෙහිවල තියෙන පිළිමෙටත් ගල් ගහල තිබුන එකේ උන්දැ කියපු සිංදුවක් මතක් උනා. ,දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපං කටු ඉඹුලේ අප එල්ලාපං, කියාගෙන යුක්තිය උදෙසා නැවතත් මුණ ගැහෙන්න බලාපොරොත්තුවෙන් එහෙනං ගොහිං එන්නං කෝ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.
2024-01-04 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment