Thursday, December 7, 2023

විපිරියාස - ගමරාලගේ අඬහැරය හැටනව වන දිගහැරුම.

විපිරියාස

ආයුබෝං කිවුව හැමෝටම. ඕං පහුගිය සතියෙ අග්ගිස්සෙ ඩුබයි රටේ ජාතික දිනය නොවැ. හරියටම කියනවනං දෙසැම්බර් දෙවෙනිදා. ඒ කියන්නෙ මේ වැලි කතරෙ ඉස්සර හිච්චි හිච්චි කෑලිවලට කැඩිල තිබුණ රටවල් සේරෝම එක කොඩියක් යටට එක්කහු කොරලා එකදාස් නවසිය හැත්තැ එකේ දෙසැම්බර් දෙවැනිද තමා එක්සත් අරාබි එමිර් රාජ්‍යය කියල ප්‍රකාශයට පත් කොරලා තියෙන්නෙ. ආං ඒ හංදා එදාට රජයේ නිවාඩු නොවැ. අපි ඒ නිවාඩුවට ගියා නොවැ සාජා පැත්තට සවාරියක්. ආ ඒ විස්තර කියන්න කලින් ඒ කාලෙ ඉදලා ආසම කොරපු විශිෂ්ට කලාකාරයෙක් වෙච්චි සුමින්ද සිරිසේන මහත්තයත් යන්නම ගොහිං නොවැ. ඉතිං නිවී සැනසෙන්න කියල ප්‍රාර්ථනා කොරනව ඕං. 

මෙවුවයිනං ඉතිං බය නැතුව කෝච්චියෙ බස් එකේ ගමනක් බිමනක් යන්න පුළුවන් නොවැ. ඒක හන්දා ඕං කෝච්චියෙ නැගල පිටවුනා සාජා යන්න. මක්කැයි ඉතිං ස්ටේසමට ගියහම විනාඩි දෙකෙන් කෝච්චිය එනව කියලා තිරේක වැටෙනවා. වෙලාවටම බඩු එනවා. ඒකෙ නැගල ඉතිං අනිත් ශීට් එකට කකුල තියාගෙන රටකජු කකා හැමතැනම පොතු වීසි කර කර නං යන්න විදියක් නෑ. කොටිංම කියනවනං  බිම පොල් කෙන්දක්වත් නැහැ නොවැ. ඒ තරමට පිරිසිදුයි. ආ අනික ටිකට් පෝලිංවල ඉන්න දේකුත් නැහැ නොවැ. කාඩ් එකට සල්ලි දාලා තියාගත්තනං කෝච්චියෙයි බස් එකෙයි දෙකේම ගියහැකි නොවැ. කොහොම හරි සාජා ගොහිං යාලු මිත්තරයො තව අලුත් මිත්තරයො හම්බවෙලා සප්පායම් වෙලා පහුවදා රෑ තමා නවාතැනට ආවෙ. ඒ ගමනෙ තව කතා තියෙනවා. එවුව වෙන දවසක කතා කරමුකො. 

දැං බලපල්ලකො හැම එකක්ම රැල්ලට යන කාලයක් නොවැ. අපි මේ ගනුදෙනු කොරන සමාජ මාධ්‍ය කියන එකෙන් ඕන කුණුහරුපයක් කොරන්න ඇහැකි නොවැ. වැඩේය කියන්නෙ රටේ ප්‍රධාන මාධ්‍ය කියන රූප පෙට්ටි මාධ්‍ය නාලිකාත් එවුව ඒ විදියටම උස්සගෙන දුවනව නොවැ. දැං මේ කතාව කියන්නෙ එකෙක්ගෙවත් හැකියාවක් විවේචනය කොරන්න නොවෙයි. පහුගිය දවස්වල වයස අවුරුදු හැත්තෑ ගාණක අම්මණ්ඩි කෙනෙක් කකුලෙ සෙරෙප්පු දෙකක්වත් නැතුව දුවල සිරි ලංකාවට රන් පදක්කමක් ගෙනාවා. තව ඒ වගේම වයසෙ අප්පුච්චෙක් දුවලා දිනුමක් ගෙනාවා. අර දඹුල්ලෙ තෙමි තෙමි කටුමැටි ගෙයක ඉන්න කොලුවෙක් ලෝක බේස් බෝල් කණ්ඩායමට තේරිලා මේ ඩුබායි රටේ තරග කොරලා ලංකාවට ආඩම්බරයක් එක්කහු කොරා. තව ඒ වගේ කොච්චර කොල්ලො කෙල්ලො දුක් විදල රටට දිනුම ගෙනාවද? කෝ ඔය එක නාලිකාවකින්වත් තැනක් දුන්නයි. ආං ඒකට අමුක ඩුමුක අමල් දුමල් කියල දගර නැටුමක් පෙන්නපු කොල්ලෙකුට හෙන තැනක් හැදුව නොවැ. යකඩෝ නැටුම් ඉගෙන ගෙන වෙස් බැදල හැකියාව පෙන්නන්න පුළුවන් කොච්චර එඋං ඉන්නවද ගංගොඩවල්වල. ඒත් වැඩක් නැහැ නොවැ. නොමේරූ මොල ගෙඩි ඉල්ලන්නෙම අර වගේ දඟර නැටුම් නොවැ. 

මේ පිස්සුව කොච්චරද කියනවනං තව එකෙක් උගේ යූ ටියුබරේ පරසිද්ද කොර ගන්න කියලා උගේම දුවට බලපෑම් කොරල නොවැ නිරුවතින් වීඩියෝවකට ඉන්න කියලා. අනෙ අප්පේ මෙහෙමත් අප්පල. හැබැයි ඒ අම්මනං උන්දැට චුත වෙන්නම පාඩමක් උගන්නලා. බැරි වෙලාහරි ඌ ජීවත් උනානං නාලිකාවකින් ඌත් ගෙන්නල විස්තර අහවි දුවගෙ හෙළුව වීඩියෝ කොරපු අත්දැකීම අපටත් කියන්න කියලා. හත්තික්කේ මක්ක කියන්නද මෙවුවට. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි නොදකිං අම්මපා. ඕං ඒ අස්සෙ සිරි ලංකාවෙ දරු උපත් සෑහෙන්න අඩු වෙලාලු නොවැ. ඇයි ඉතිං ඔක්කොම කලමනාකරණය නොවැ. ඒකත් මූල්‍ය අරමුදලින් කියල ඇති භාග වෙලාවට. ආං අධ්‍යාපන ඇමති කියනව ඉස්කෝලවලට ළමයි භාර දෙන ගාණ දාස් ගාණකින් අඩු වෙලාය කියලා. ඒ කියන්නෙ ළමයි හිඟයි. ඒ කියන්නෙ හෙට දවස ගැන හිතාගනිල්ලකො කොහොමද කියලා. 

ඒ අස්සෙ ලෝක දේශගුණික විපර්යාස ගැන සමුළුවක් තිබුන නොවැ ඩුබායිවල. ලංකාවෙ ලොක්කත් ඇවිදින් ගියා. හැබැයි අපේ රටේ කොච්චර විපිරියාස වෙලා තියෙනවද? ආ තව එකක් සිරි ලංකාවෙ එක පැත්තකින්ම මුහුදට සම්පූරණම හෝදගෙන ගිහිල්ලා සිතියම එහෙම පිටින් වෙනස් වෙලා කියල තියෙන්නෙ. රට ඇතුලෙ සිද්ද වෙන නොසන්ඩාල අසමජ්ජාති විපිරියාසයි දේශගුණෙන් කාලගුණෙන් සිද්දවෙන විපිරියාසයි ඔක්කොම එක්කහු උනාම මං හිතන්නෙ හොඳ හොඳ විපිරියාස තියෙන්නෙ සිරි ලංකාවෙ තමයි. මොකෝ සිරි ලංකාවෙ ලොක්ක පත්වෙච්ච විදියත් විපිරියාසයි. ආණ්ඩුවත් විපිරියාසයි. සේරෝම බලද්දි විපිරියාස නොවැ. හැබැයි ඉතිං අපේ රටේ සිද්ද වෙන මේ සම්පූරණ විපිරියාස ගැන දන්නවනං ඔය ලෝකෙම නායකයො ටික ඩුබයි රටේ නෙවෙයි මේ විපිරියාස සමුළුව තියන්නෙ අපේ රටේ. මොකෝ සෑහෙන්න විපිරියාස අපේ රටෙන් නං ඉගෙන ගන්න තිබුණ නොවැ. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටනව වන දිගහැරුම.

2023-12-07 බ්‍රහස්පතින්දා.    


යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...