Thursday, December 8, 2022

පුහුල - ගමරාලගේ අඬහැරය දාහත්වන දිගහැරුම.

 පුහුල

“ශ්‍රීනි  විභූශිත ලංකා බැබළේ - සිංහ ධජය සෙවනේ ” ඉස්සර ඉදලා මේ පද පේළියෙන් පටන් ගන්න සිංදුව ඇහුවාම දේශ පෙරේමයෙන් ඔද වැඩිලා මානව දයාව උතුරා ගියා නොවැ. ඔය ගීතය ලියල තියෙන්නෙ ප්‍රවීණ ගේ පද රචක හේම ශ්‍රී ද අල්විස් මහත්තයා. ලේසි පහසු වැඩක්ද සිංදු හාරදාස් දොළහක් ලියල නොවැ. කොච්චර ගායක ගායිකාවො ඔය සිංදු කියලා කීයක් හරි හොයා ගන්න ඇත්ද? ඇයි ඔය ස්ටාර්ලා. ඒගොල්ලොත් ඔවුවමනේ කියන්නේ. හැබැයි ඉතින් පහු ගිය දොහක අපෙන් සමු අරගෙන එලොව ගියපු ඔය හේමශ්‍රී ද අල්විස් මහත්තයාගෙ මළ ගමට ගොහිල්ල තියෙන්නේ එක ගායකයෙක්ලුනේ. ඉතිං හිතපල්ලකෝ දැන් සිරි ලංකාවේ ශ්‍රී විභූතිය කොහොමද කියලා. කොහොම වුණත් රටක් වටින ඒ මහත්තයට  සුබ ගමන් කියන ගමන් මෙදා සැරේ ලිපිය අපේ ආත්තම්මගෙන්ම පටන් ගමුකො.       

අපේ ආත්තම්මගෙ නම කිරින්දෙ ලියනආරච්චිගේ කරොන්චිනා හාමි. උන්දැ හරි කරුණාවන්තයි. කිසි දවසක කේන්තියෙන් නම් හිටියෙ නෑ. ඔය අපේ ආත්තම්ම ගාව තිබුණා යකඩ පෙට්ටි දෙකක්. ඒකට කිවුවෙ ට්‍රන්ක පෙට්ටිය කියලා. දුඹුරු පාටට හුරු ටිකක් ලොකු පෙට්ටියක් තිබුණා. ඒකෙ තිබුණෙ උන්දැගෙ චීත්ත, හැට්ට, සාරී. ඒ පෙට්ටියට යටින් තමයි රතු පාටට හුරු ටිකක් විතර පොඩි අනිත් ට්‍රන්ක පෙට්ටිය තිබුණෙ. ඒකෙ තමයි සල්ලි භාගෙ වටින කියන දේවල් දාල තිබුණෙ. ඉතිං ලේසි නෑ. ලොකු පෙට්ටිය උස්සල පැත්තකින් තියල තමයි ඒක අරින්නෙ. 

මට ඕක මතක් වුණේ මේ රටේ ජනාධිපතිතුමාටත් ඒ වගේ රතු පාට පෙට්ටියක් හමුදාවට කියල හදවගෙන නොවැ. ආරක්‍ෂා සහිතව තියෙන දේවල් දාගෙන ලෝකෙ වටේ කරක් ගහන්න. ඒ අතරෙ උන්නැහෙ කියනව නොවැ මේ පුරස්න විසදන්න නම් ඔක්කොම විකුණන්නෙ නැතුව මොකක්ද මේ මේ... පරතිවයූහගත කොරන්න ඕන කියලා. දැන් එතකොට තව ටික දොහකින් මු`ඵ රටම පරතිවියූහගත කොරන්න ඕන කියලා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට කියලා සම්පූර්ණ ඔප්පුවකුයි පැලෑනකුයි හදාගෙන ඔය රතු පෙට්ටියෙ දාගෙන ලන්සු තියාගෙන ලෝකෙ වටේ යාවිද? අනේ මන්දා මට එක එක දේවල් හිතෙනව අප්පා.  ඒ අස්සේ රටේ මිනිස්සුන්ගෙ නැති බැරි කම ඉහවහා ගොහිල්ලා. දැන් වාහන කෑලි විකුණන්න වගේ ඇගේ කෑලිත් විකුණන්න පටන් අරන්. වකුගඩු විතරක් නම් මදෑ වෘෂණ කෝෂත් හොඳ මිලකට විකුණන්න පටන් අරන්. මට ඇහුණ අපේ ගම් පලාතෙ එවුන් වගයක් කුටු කුටු ගානවා දැන් ඉතින් වෙනද වගේ අඩියක් පුඩියක් ගහල පාරකවත් වැටිල ඉන්න බයයි බොල. පරම්පරා මල්ල කපාගෙන ගියොත් මාර හුට්ටප්පරේ කියලා. 

ඕක ගැන කතා කොරනකොට නොකියම බැරි රස කතාවක් තියෙනව නොවැ. ඉස්සර අපේ ගමේ හිටිය සෝමෙ අයිය කියල කෙනෙක්. මිනිහට ඉතිං ඔය අන්ඩවායු කියන ලෙඩේ හන්දා පරම්පරා මල්ල මහ විසාලයි නොවැ. ඉතින් මේ ගම්පලාත ගැන නොදන්න කවුරුහරි තොවිලෙකට පුහුලක් හොයාගෙන ආපු ගමන් බොහෝ වෙලාවට යවන්නෙ සෝමෙ  අයිය හම්බුවෙන්න. ඉතින් යන එකා ගොහින් අහනව අයියෙ අතින් කරකවල පුහුලක් කඩාගන්න පුලුවන්ද කියලා. ඊට පස්සෙ ඉතිං තොවිලෙ එතනම නටනව. අම්ම අප්පටත් ආශිර්වාද කොරල පණිවිඩේ කියාපු එකාත් මොකාද අහල තමයි තොවිලෙ ඉවර කොරන්නෙ. හැබැයි ඉතින් මනුස්සය නොමැරි හිටියනම් මේ දවස්වල හැටියට හොඳ ගාණක් හොයාගන්න තිබුණා. අපරාදේ. 

කොහොම හරි මිනිස්සු බලන්නෙ තමන්ගෙ ඇට විකුණගෙන හරි  ජීවත් වෙන්න නොවැ. මේ සේරෝටම වග කියන එවුන් ඉන්න පාර්ලිමේන්තුව නම් දැන් තනිකර බණ මඩුවක්. තරගෙට බණ කියනවා. එකාට එකා දන්න බව පෙන්නන්න. ඕකට කියන්න වෙන්නේ අහේතු කාලේන කජ්ජේන පුහුලන් කියල තමා.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දාහත්වන දිගහැරුම.

2022-12-08 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...