සතුට
මම වැඩිමලා වෙච්චි අපේ පවුලෙ ළමයි ගාන හතරයි. ඉතින් හතරවෙනියා හම්බවුනාට පස්සෙ මට මතකයි ගෙදර කතා වෙනවා ඇල් ආර් ටී කියල එකක් කොරන්න කියනවා. ඒකට කැමැත්ත ප්‍රකාශ කොරලා අස්සන් කොරාම සල්ලිත් හම්බවෙනවා කියලා. ඕං ඒ සැරේ අපේ තාත්තත් මහමෝදර ඉස්පිරිතාලෙට ගිහින් දෙන්නත් එක්ක කතාවෙලා අස්සන් කොරලා හම්බවෙච්ච සල්ලිවලින් සබන් පවුඩර් විතරක් නෙවෙයි ඇඟ පුරා පවුඩර් ගාන්න ගෙදර තිබුණෙ නිල් පාට පවුඩර් මල් කියලා මෙදා සැරේ රෝස පාට බූල් බූල් තියෙන පවුඩර් මලකුත් අරගෙන බඩ පුරවගන්න හාල් තුනපහ තව ඉතින් අපිට කන්න විස්කෝතු එහෙම අරගෙන මල්ලක් පුරවල ගෙනාව නොවැ. ඉතිං දැනිච්ච සතුට කියල වැඩක් නෑ. හැබැයි ඒ සතුටට පත්තු කොරන්න රතිඤ්ඤ තිබුණෙ නැහැ. ඒ කාලෙ බඩගින්නට කොස් ඇට තම්බල කෑවාම ඩෝං පටෝං ගාල පත්තුවෙන රතිඤ්ඤා තමා අපි ළඟ තිබුණෙ. පස්සෙ ඉතිං සෑහෙන්න කාලයක් ගියාට පස්සෙ තමා ඇල් ආර් ටී ගිවිසුම මොකක්ද කියලා තේරුනේ.
තව ඉතිං ඔය දැනුත් කියනවනෙ මාස් පඩි කාරයො හිඟන්නො වගේ කියලා. අපේ තාත්තත් මාස් පඩි කාරයෙක් නේ. ඉතිං ඔය කොහේ හරි කඩේකින් පොතට තමා බඩු ගත්තෙ. ගොඩක් වෙලාවට බඩු තුන්ඩුව ලියල දුන්නහම අපි කවුරුහරි තමා කඩේට යන්නෙ බඩු ගේන්න. ගිහිල්ලා ඉතිං අනිත් කට්ටිය සේරෝම බඩු අරගෙන යනකම් ඉන්නවා. මොකෝ මුදලාලිගෙ ගෝරනාඩුව අහන්න වෙනවනේ. ඉතිං බුලත් අතක් දෙනව වගේ යටහත් පහත්ව මුදලාලිට දෙනවා ණය පොතයි බඩු තුන්ඩුවයි. උන්දැ සැරට උගුර පාදලා බලනව අපේ මූණ. දැන් බොලයි තාත්ත කවදද ණය ගෙවනව කිවුවෙ කියල අහනවා. ඉතිං අපි කියනව පඩි ගත්තම ණය ගෙවනව කිවුව කියලා. ඉතිං ඔන්න සත්තම දානවා ගිය සැරෙත් ගෙවුවෙ බාගයයි. ඒක හන්දා මෙච්චර දෙන්න බෑ කියලා. ඒ සැරේ උන්දැට ඕන ගානට බඩු තුන්ඩුව අඩු කොරනවා. ආ... සීනි පන්සීයක් බෑ දෙසිය පනහයි. භූමිතෙල් බෝතලයක් බෑ. කාලයි. ඉතිං අපිට තියෙන්නෙ සද්ද නැතුව ඉදල කපල කපලා මුදලාලිට ඕන විදියට ගාන දාල දෙන බඩු ටික සිමෙන්ති කොලෙන් හදපු කඩදහි බෑග් එකේ දාගෙන භූමිතෙල් බෝතලෙත් එල්ලගෙන ගෙදර එන්න. ඕං ඔය මුදලාලිට ඕන විදියට වෙනස් කොරන එකටත් දැන් කියන්නෙ ප්‍රතිව්‍යූහගතකරණය කියලා මොකක්ද දිව උ`ඵක්කු වෙන වචනයක්නේ.
ඒ සැරේ එක කඩේකින් ණය අරගෙන හිඟ උනාම වෙන කඩේකට ගිහින් අර විදියටම බඩු අරගෙන වෙන පාරකින් එනවා. කොහොම හරි කීප දවසක් ඔය මුදලාලිල අපේ ගේ ගාවට ඇවිල්ලා කෑ ගහලා තියෙනවා. ඒ වෙලාවට ඉතිං අපේ තාත්තා හෙමිහිට මාරු වෙනවා. අපි ගල්ගැහිලා බලන් ඉන්නවා. අපේ අම්මා තමා සටන් පෙරමුණට ගොහින් මුදලාලිට උත්තර දෙන්නෙ. මට මතකයි එකපාරක් මුදලාලි මහත්තයෙක් ඇවිල්ලා එතකොට අපි හිටපු පොල් අතු පැලේ එක කණුවකින් අල්ලලා හොල්ලලා කිවුවා දැනගනිපිය ණය නොගෙව්වොත් තොපි එක්කම ගිනි තියලා දානව කියලා. හැබැයි ඉතිං අපේ අම්මත් ඇරියෙ නෑ.
ඔය ඉතිං ඉතිහාසෙ අපිට වෙච්ච දේවල්නෙ මම කිවුවෙ. මං නම් හිතන්නෙ නෑ දැන් කාලෙ මෙහෙම වෙයි කියලා. මොකෝ දැන් ඕන දේකට උපදෙස් දෙන්න වියත්තු ඉන්නවා. ඒ මදිවට අපරාධකාරයො කියන හරක් කටාලා බූරු මූණල වෙනුවෙන් කතා කරන උගත් කටාලත් ඉන්නවනේ. ඕං ඒ අස්සෙ ලෝකෙට වැරදිලා ද කොහෙද කියනවා ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු සතුටින් ඉන්න රට ෆින්ලන්තය කියලා. මයි හිතේ ඒක වැරදියි. මිනිස්සු වැඩියෙන්ම සතුටින් ඉන්නෙ සිරි ලංකාවෙ. දැක්කනෙ පත්තු කොරපු රතිඤ්ඤ තොගේ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. මේ රටට දැන් කියන්නෙ පිං ලන්තය කියලා.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය තිස් දෙවන දිගහැරුම.
2023-03-23 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment