Thursday, April 27, 2023

කෙංගෙඩිය - ගමරාලගේ අඬහැරය තිස් හත්වන දිගහැරුම.

කෙංගෙඩිය

අපේ තාත්තා පට්ට යූඑන්පී කාරයෙක් නේ. ඉතින් උන්දැට පුදුම උණක් තිබුනෙ හැම අවුරුද්දෙම මැයි පළවෙනිදට  කොළඹ යන්න. උන්දැට ගමේ අය කිවුවෙ ගිංතොට අයිය කියලනෙ. ඉතිං කට්ටිය අහනව ගිංතොට අයිය යනව නේද කියලා. එයාල කතා බහ කොරගෙන ගැම්මට යනවා. තව ඒ ජාතියෙම උණ කාරයො කීප දෙනෙක් හිටියා. එළවළු පැටි සීයා, ජයසේකර මාමා, චූලසේන මාමා, පස් අමරදාස මාමා ඇතුළු  කණ්ඩායමක්  එකට සැට් වෙලා යනවා. ඔය ප්‍රේමදාස මහත්තයාට බෝම්බෙ වදින කොටත් අපේ තාත්තලා  එතන. ඒ කාලේ මොකෝ දැන් වගේ  එකෙක්ගෙ අතේවත් ෆෝන් තිබුණෙ නැහැනේ. ඉතිං රේඩියෝ එකෙන් පොරොත්ති ඇහුව වෙලේ ඉඳන් අපි තුෂ්නිම්භූත වෙලා හිටියේ මෙවුන්දලට මක්ක වෙලාද කියලා. කොහොම හරි රෑ ජාමේ ඕං හිතේ දුකට අඩියකුත් ගහගෙන ගෙදර ආවා. 

ඊට පස්සෙ  ඔය උණ මටත් හැදුන නෙව. මාත්  හැම අවුරුද්දෙම විනෝද චාරිකාවක් යනව වගේ කට්ටිය  එකතු කොරගෙන කවුරු හරි දෙන බත් එකයි අරක්කු ටිකයි දීගෙන කට්ටිය එක්කරගෙන ගියා නෙව මැයි රැළි වලට. එක සැරයක් යාපනෙත් ගියා. තව සැරයක් බදුල්ලෙ රැළියකට ගියා. එතන බැලින්නම්  නිවේදකයා නියමිත වෙලාවට ඇවිල්ල නෑ. ඒ පාර මගෙන් ඇහැව්වා මේ වැඩේ කොරන්න පුලුවන් කියලා. මං ඉතිං ගත් කටටම හාං කිවුවා. ඇයි ඉතිං උණනේ. ගියා වේදිකාවට. පෙළපාලිය බදුල්ලෙ ඉස්පිරිතාලෙ ළඟ ඉදලා විල්ස් ක්‍රීඩාංගනයට එනකම් එක දිගටම දොඩවල නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස් මහත්තයට මයික් පොල්ල දීලා තමා වේදිකාවෙන් බැස්සේ. එයාල සිංදු කිවුවා. තව කට්ටිය කතා කොරා. අපේ පැත්තෙන් ගියපු එවුන් බලා හිටියා මූ කොහොමද වේදිකාවට නැග්ගෙ කියලා. මොකෝ හැම වෙලාවකම ගොඩක් එවුන්ට තිබුණ පුරස්නෙ තමා මම වේදිකාවට නගින එක. මොකෝ මට වචන එනවනේ. හැබැයි එවුන්ට වචන එන්නෙ කාට හරි ගිනිගෙඩි පහත් කොරන්ඩ විතරයි නොවැ. 

මේ එක තැනකවත් කම්කරු අයිතිවාසිකම් ගැන කතා කොරන්නෙ නැහැ නොවැ. එක එකාට බැන අඬගාගෙන එවුන්ගෙ පම්පෝරි කියවනවා. අපි හුරේ දානවා.  හැබෑට ඊ. ඒ. ගුණසිංහ මහත්තයා හිටියනම් මොනව කියාවිද කියලා මෑතක මට හිතුනෙ ඒරොප්පෙ එන්න ටික දොහකට කලින් අපේ දෙවනි මලයගෙ භාරි වෙච්චි ගංගාගෙ සහෝදර සෙනෙවි අයියගේ ගෙදරට කුළු ගෙඩිය උස්සගෙන ඉන්න පිළිරුව අසලින් ගුණසිංහ පුරයට ගියපු දවසෙ. මෙදා සැරෙත් ඉතිං අවුරුද්ද පුරාම සෙනසුරු අපලෙ දුරු වෙන්න කියලා කාක් අසූචිවලින් වැහිච්චි ගුණසිංහ ප්‍රතිමාව හෝදලා මැයි පළවෙන්දට මල් මාලයක් දායි නේද? ඒ ඇති නොව. දැන් ආපස්සට හැරිලා බලද්දි මේ එකක්වත් තේරුමක් ඇති වැඩ නෙවේ කියලා තමයි මට හිතෙන්නේ. 

ඔය ඉස්සර හරක්ට ලෙඩ හැදුනම ගියේ හරක් වෙදා ගාවට නොවැ. ඉතිං වෙදකම් ඔක්කෝම කොරලා ඒත් ලෙඩේ හොඳ නොවුණොතින් වෙද මහත්තය කෙමක් කොරනවා. මොකක්දෝ බෙහෙත් පොට්ටනියක් හදනවා. ඒකට දාපු  බෙහෙත් දන්නෙ උන්දැ විතරයි. ඒක එල්ලනවා හරකගෙ බෙලේලේ. ඒක කවදහරි හැලෙනකම් ගලවන්න තහනම්. ඒකට කිවුවෙ කෙංගෙඩිය කියලා. අපිත් ඉතිං හරක්ට දෙවෙනි නැහැ නොවැ. මොකක් හරි පාටක කෙංගෙඩියක් බෙල්ලෙ එල්ලගෙන කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ කියාගෙන ඉන්නවා. බලන්ටකෝ මෙදා සැරෙත් පළවෙනිදාට. මේ අව්වෙ සැරට මානසික රෝගත් වැඩි වෙනවයි කියලා  දොස්තර මහත්තුරු කියල තියෙන්නේ.   

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් හත්වන දිගහැරුම.

2023-04-27 බ්‍රහස්පතින්දා.

Thursday, April 20, 2023

තන්තිරිය - ගමරාලගේ අඬහැරය තිස් හයවන දිගහැරුම.

තන්තිරිය

අවුරුද්දත් ගෙවිල ගියා එහෙනං. දැන් ඉතිං ගත්ත පඩියයි අතේ තිබිච්ච සේරෝමයි වියදම් කරල අවුරුදු කාපු කට්ටිය කල්පනා කරන්නෙ වෙසක් පෝයට දන්සලෙන් කනකන් කන්නෙ කොහොමද කියලා. ඕකටනෙ කියන්නේ අපි අවුරුදු කෑවෙ නෑ අවුරුද්ද අපි කෑව කියලා. කොහොම වුණත් ඒරොප්පෙට වඩා මේ දවස්වල සිරි ලංකාව ගිනියම් වෙලානේ. හුලං පෙත්ත දැම්මොත් ලයිට් බිල ගිනියම් වෙනවා. ඒක හන්දා ඉවසගෙන ඉන්න වෙනව නොවැ. 

ඒරොප්පෙට එනකොට මට වෙච්චි ලොකුම පාඩුව තමා කාබනික රසායනික පෝර මොකුත් නැතුව යස අගේට වගා කොරපු මගේ රැවුලයි කොණ්ඩෙයි කපන්න වෙච්චි එක. මොනවා කොරන්නද. ඕං මෙහෙ ආවට පස්සේ සතුවා කියන කඩමණ්ඩියට ගියපු වෙලාවක සැලුන් එකකින් කොණ්ඩෙයි රැවුලයි කැපුවා. මට මතක් වුණේ ඉස්සර අපි හිච්චි කාලේ තාත්තා අපි එක්කගෙන යනවා හිරිඹුරේ සිල්වා සැලුන් එකට. සිල්වා මාමා හොඳ කයි කාරයා. අපේ කොණ්ඩෙ කපල ඉවර වෙනකම් තාත්ත එක්ක කයිය ගහනවා. එතකොට දැන්  වගේ කොණ්ඩ කපන මැෂින් නැහැ නොවැ. කතුරයි පනාවයි දැලි පිහියයි තව තියෙනව හැඩල් දෙකක් තියෙන එකක්. තාත්තලගෙ රැවුල කැපුවහම මූණෙ අතුල්ලන ගලකුත් තිබුණා. ඉස්සර ඉතිං ඔය හිරිඹුර ඉලේපෙරුම ගරාජ් එකට මෙහා කාණු ගැට්ටේ තමයි සිල්වා සැලුන් එක තිබුණේ. 

පහු ගිය කාලේ බිත්තර කාරයො ගණන් ඉස්සුව වගේ කෙහෙල් කාරයොත් ගණන් ඉස්සුවනේ. ඉතිං ඒ ගානට ගන්න මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියෙන්න එපාය. ඔන්න ඉතිං කෙහෙල් කැන් පිටින් කුණුවෙලා මං දැක්කා විකුණ ගන්න බැරිවුණා කියලා මැසිවිලි කියනවා. අනික ඉතිං වෙනදනම් අවුරුද්දට කලින් අපි කෙසෙල් කැන් ඉදවන්න වලක් කපනවනේ. වල හාරලා ඒක පුච්චලා ඇතුළට කැප්පෙටියා කොළ, පින්න කොළ, බිලිං කොළ මේ ඔක්කොම දමලා ඊට පස්සෙ කෙහෙල් කැන් දාලා ඒවා වැහෙන්න ආයිත් කොළ දාලා වලට උඩින් තියනව පොල්පිති කෑලි. ඊළඟට පොල් කටු දෙකක් අරගෙන ඇස් පොල්කට්ටෙ හිල විදලා දුම්ගෙඩිය හඳලා ඒකටත් කෙහෙල් පරඬැල් පුරවල වළ මැද්දට වෙන්න පොල් පිති අතරට හිර කොරලා කොළයක් දාලා පස් දාලා වල වහනවනේ  දුම් පිට වෙන්නෙ නැති  වෙන්න හොඳ හැටි. වහල  ඉතිං දුම් පිඹිනවා. ඉතිං අවුරුද්දට ගොඩ ගත්තහම මාර සුවඳයි. දැන් කොහෙද එහෙම  කෙසෙල්. ඔක්කොම කාබයිට් තමයි. අද කැපුවා. හෙට ඉදුණා. ඉතිං බඩු ඉතුරුයි මොනවා කොරන්නද. ලෝකෙ කෙහෙල් පිටරට යවන රටවල් අතරින් අපේ රට ඉන්නෙ පස් වෙනි තැනට නොවැ. පහුගිය දවසක කෘෂිකර්ම ඇමති කිවුවා යාපනේ ගොයියන්නෙ ඇඹුල් කෙහෙල් අස්වැන්න විසි අට වෙනිදා මුලින්ම ඩුබායි රටට යවනව කියලා. මම දැන් බලාගෙන ඉන්නෙ යාපනේ ඇඹුල් කෙහෙල් ගෙඩියක් කන්න. කොහොම වුණත් ඒක හොඳ වැඩක්. ඉතිං මෙදා සැරේ අවුරුද්දට දකුණ බලාගෙන වැඩ ඇල්ලුවට කමක් නෑ. උතුර දිහාත් බලලා දකුණෙ උනුත් ලෑස්ති වෙයල්ලා ඇඹුල් කෙසෙල් වවල ඩුබායි එවන්න ඕන කෙහෙල් මලක් වෙන්න කියලා. 

මට මතකයි ඉස්සර දවසක අපේ ගෙවල් ඉස්සරහ වෙලෙන් එගොඩ මානිගෙවත්තෙ හිටපු හෑගොඩ ගෙදර සුනිල් අයියා ගිනි කසය වගේ ආවා. බැලින්නම් මිනිහගෙ කෙසෙල් කැනක් හොරු කපලා. අහවලා ආවද තණකොළ කපාගෙන කියලා අහගෙන ගෙදරකට ගියා.  හරියටම තණකොළ ගොඩේ කෙහෙල් ඇවරි නොවැ. ඒ පාර මේකා දෙවනත් කරා ආ... තන්තිරිය ගහේ ඇවරි ගෙදර නේද කියලා. දැන්නම් තණකොළ ගෙනාපු කෙනා ඇත්තෙත් නෑ. සුනිල් අයියා නම් බද්දේගම පාරේ ඊරියගහට මෙහා කෙහෙල් කඩයක් ම කොරනවා. කොහොම වුණත් මට තාම මතක් වෙනවා ඔය කතාව. රටේ පාලකයොත් ගොඩක් වෙලාවට කොරේ ඔය වැඩේනේ. තන්තිරිය ගහේ ඇවරි උන්ගෙ ගෙදර. ඕක තමා වැඩේ. ඔය සමහරු දන්නෙ නැද්ද දන්නෙත් නෑ අපේ පැත්තෙ කෙහෙල් කැනේ නැට්ටට තමා තන්තිරිය කියන්නෙ හොඳේ. 

  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් හයවන දිගහැරුම.

2023-04-20 බ්‍රහස්පතින්දා.    

 

Thursday, April 13, 2023

ආයු බොහෝ වේවා !!! ගමරාලගේ අඬහැරය තිස් පස්වන දිගහැරුම.

ආයු බොහෝ වේවා !!!

ඕං එහෙනම් පරණ අවුරුද්දෙ අන්තිම දවසෙ තමා මෙදා සැරේ අඬහැරෙන් මුලිච්චි වෙන්නේ. නස්සත්තරේ කියන විදියට නම් රේවතීගෙ පල්ලෙ හිටිය ඉර අස්විදගෙ පල්ලට වැදීම තමා. එහෙම නැත්තන් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගොඩවෙච්චි එක සමරන්න ඔන්න මෙන්න තියෙද්දි තමා අඬහැරය පාන්නෙ. සමහරු මේක දකින කොට ඕක සමරලත් තියෙයි. පාළොස්වෙනිද වෙනකන් ඉර සිරි ලංකාවට කෙලින් තියෙනව කියල තමා කියන්නෙ. ඉර හරහට තිබුණත් කමක් නෑ. සිරිලංකාව කෙලින් වෙනවනම්. කොහේද ඒක හැමදාම හාන්සිනේ නේද? හැබැයි හැම එකාලම දිවුරුම් දෙන්නෙ වැඩ භාරගන්නෙ නැකතට. පුදුම නැකැත් තමා. 

මෙදා සැරේ ගනුදෙනු සහ වැඩ ඇල්ලීම කල්ඇතුවම සමහර තැන්වල කොරලනේ. අර දැක්කනේ කුඩු කිලෝ එකසිය අනූ හයක් එක්ක අත්අඩංගුවට පත්වෙච්චි කට්ටියක්ම නිදහස් වුණේ. නඩුකාර උන්නාන්සෙල කියල තියෙන්නෙ පොලෝසියෙන් හරියට වැඩේ කොරල නැහැ කියලා. හැබැයි ඉතිං ග්‍රෑම් ගානක් අහුවුණානම් මරණ දඬුවම. ඒ කියන්නෙ ගනුදෙනුව හරියටම කෙරිල මයි හිතේ. තව පොලෝසියේ එක්කෙනෙක් කොල්ලට මාංචු දාලා කෙල්ල බැද්දට ඇදගෙන ගොහින් හදි කොරලා. උන්දැ වැඩ අල්ලලා. තව තැනක අම්මයි අප්පයි පුතයි සේරෝම කටගොන්නක් බීගෙන සුදියක් දාලා අම්මට බඩු වැඩිවෙලා කෑගැහුවා කියලා පුතා ගහලා මරලා දාලා. කියලා වැඩක් නෑ. ඕව තමා සිරි ලංකාවෙ වෙන්නෙ. 

අලුත් අවුරුද්ද ලබන්නත් ඉස්සෙල්ලා සිංහල දෙමළ විතරක් නෙවෙයි මුස්ලිම් අයගෙත් කට්ටියගෙම සහෝදරත්වය හොඳින්ම දැක්ක පහුගිය දවසක්දා. ගාල්ලෙ මාපලගම පැත්තෙ අම්මයි දූයි දූට පොත්ටික ගන්න ගාල්ලට ඇවිල්ලා මුස්ලිම් මුදලාලි කෙනෙක් ගාවට ගිහිල්ලා කරාබු දෙක උගස් තියන්න ගියපු වෙලාවේ හිත උණුවෙච්චිපාර සිංහල මුස්ලිම් දෙමළ මුදලාලිල ඔක්කොමලා එකතුවෙලා දරුවට පොත් ටික අරන් දීලා තිබුණා. ඒවා හරි වටින දේවල් නොවැ. අන්න නියම සහෝදරත්වය.  

අර කතාවක් තියෙනවනේ අපේ අරක්කු අපිටම ගහනව කියලා. ආන් ඒ වගේ අපේ සල්ලිවලින් වී අරගෙන ඒවා හාල් කොරලා ගිරාමසේවක හරහා බෙදන්න පු`ඵවන් කම තියෙද්දි මිනිස්සු ගෙන්නලා කතා පවත්තල පොටෝ ගහලා අලුත් අවුරුද්දෙ ආච්චිට හාල් ගරන්න කියලා බෙදුවනේ දේසපාලකයො. අපේ මිනිස්සුත් ඉතිං රීරී මාංසෙම හූරං කෑවත් හාල් කිලෝ විස්ස දුන්නම හොඳමයි සෑර් කියලා ඔලුව නමයි. මෙච්චරකල් වුණෙත් ඒකම තමයි. 

දකුණු පළාතට තියෙන ලොකුම ඉස්පිරිතාලෙ කරාපිටිය ඉස්පිරිතාලෙ සීටී ස්කෑන් යන්තරේ කැඩිලා මාස ගාණක්. ඒක හදන්න සල්ලි නෑ. හොඳම කයිවාරුකාරයො වැඩියෙන්ම ඡන්ද ගත්ත කුරුණෑගල පාස්පෝට් කන්තෝරුවෙ ලයිට් කැපුව බිල ගෙවල නැතුව. හැබැයි ඉතිං පම්පෝරිය නම් අඩුවක් නෑ. වැඩිපුර රිලව් ඉන්නෙත් වයඹ පළාතෙලුනේ. ඕං ඒ හන්දා චීනෙට රිලවු පටවන්න හදනවා. කොහොම වුණත් ඒක හොඳ වැඩක්. මෙච්චර කල් ජාතික කොඩියත් චීනෙන් ගෙනාපු එකේ ලංකාවෙන් රිලවු හරි චීනෙට යවන එක ලොකු දෙයක්. ඔය රටම ඉලව්වක් කොරන්න හවුල් වෙච්චි වලවුවලින් එකාගානෙ හරි රිලා කණ්ඩායම් භාරකරුවො හැටියට රිලවු එක්කම චීනෙට පැටෙවුවනම් අහවරයි. ඉස්සරනම් ඔය ඔලිඳ කෙළිය, පංචි කෙළිය තමා අවරුද්දට තිබුණෙ. දැන් ඉතිං පච කෙළිය තමා තියෙන්නෙ.

එහෙනම් අවුරුද්ද ගැන කියලම අහවර කරමු නේද. දැන් හැමෝටම අවුරුද්ද ගේන්නෙ ටෙලිවිසොන් එකෙන් නොවැ. ඉතිං එයාල හරි උජාරුවට ටෙලිවිසොන් එකෙන් කියනව වෙලාවට වැඩ කොරන හැටි. හැබැයි උං කොම්පැණියකින් ගෙවුවොත් හරියටම වෙලාවට කියනවා. උන්ගෙ එක නාට්ටියක්වත් වෙලාවට පටන් ගන්නේ නෑ. ඒකට එදා. ඔය ටෙලිවිසොං ආපු ගමන්ම අපේ මාමා ගෙනාව කලු සුදු විතරක් පේන ටෙලිවිසොන් එකක්. ඒක බලන්නෙ කාර් බැටරියෙන්. හැබැයි දවස් ගාණකට සැරයක් ගොඩ කඩේට අරන් ගොහින් චාජ් කොරන් එන්න ඕන. ආන් ඒකෙන් අපි බැලුව ලංකාවෙ පළවෙනි ටෙලිනාට්‍යය. දිමුතු මුතු හරි වෙලාවට පටන් ගන්නවා. වෙලාවට ඉවර වෙනවා. අමරසිරි කලංසූරිය මහත්තය තඩි කැසට් එකකුත් අරගෙන ඩුබායි ඉදල ගමට එන එකකින් තමා පටන් ගත්තෙ. ඒ මතක ඉතුරු කොරලා එයත් යන්නම ගියා නොවැ. ආයි සැරයක් කපුටා තටු ගහන්න හදන හන්දා හැමෝටම කලු කපුටා සුදු වෙනතුරු මෝල් ගහෙන් දලු ලනතුරු එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බොහෝ වේවා. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් පස්වන දිගහැරුම.

2023-04-13 බ්‍රහස්පතින්දා.    


Thursday, April 6, 2023

අවුරුද්දා - ගමරාලගේ අඬහැරය තිස් හතරවන දිගහැරුම.

 අවුරුද්දා 

”අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු ”

කියල ඉස්සර කිවුවට දැං නම් එරබදු මලක් දකින්න වත් නැහැ නොවැ. කාලය මැව් වෙනසක අරුමේ කියල  තමා කියන්න වෙන්නේ. ඉස්සර මේ දවස් වෙනකොට තිබිච්ච වට පිටාව මේ වෙනකොට සහමුලින්ම වෙනස් නොවැ. කොහාගෙ සද්දෙ ඇහෙන කොට දැනුනෙ අලුත් අවුරුද්ද ලබන සතුට. දැන්නම් ඉතින් කොහා අඬන්න ඉස්සෙල්ල කණ කොකා අඬලනෙ තියෙන්නෙ නේද. 

මටනම් මෙදා සැරේ කොහොමත් අවුරුද්ද සමරන්න විදියක් නෑ. මොකෝ පොඩි කාලෙ අපිට අවුරුද්ද ගෙනාපු අපේ මාමා මේ ලෝකෙන් සමු අරගෙන යන්නම ගියා නොවැ. ඉතිං එයාට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කොරනව. ඇත්තටම එයා හරි වෙනස් කෙනෙක්. ඒ ගැන පොතක් වුනත් ලියන්න පුළුවන්. ඒත් අද ටිකක් ලියනව. 

වතු පාලකවරයෙක් විදිහට වැඩ කරපු අපේ මාමා නිවාඩුවට ගෙදර ආවහම කොහොමත් අවුරුද්ද වගේ. උදේ පාන්දරම මිදුලෙ තියෙන ගස්වල අතු හොලවනවා. ඉදිච්ච කොල බිමට වැටෙන්න. ඊට පස්සෙ මුලු වත්තම සුද්ද කරනව. අතුගානව. මල් පැල හිටවනව. වැඩ ගොඩයි. ඊළඟට ඇස් දිෂ්ටි මානෙට මුලු පාරම සුද්ද කරනවා. ඔය පාර දෙපැත්ත ඉස්සර තනිකර වල් අනෝදා පදුරුවලින් වැහිලා තිබුණෙ. ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් අතු විතරයි කපල යන්නේ. ඊට පස්සෙ ගස් තිබුණට වඩා හොඳට අතුදාලා හැදෙනව. ඉතිං අපේ මාමා ඔය ගහෙන් ගහ සම්පූර්ණයෙන්ම ගලවල පාර එළි කරා නොවැ. ඒ පිනම ඇති. ඔය සේරෝම ටික එයා අසනීප වෙනකම්ම  කරගෙන ගියා. ඉස්සර ඔය ලයිට් නැති කාලෙ එයා ආවම භූමිතෙල් දාලා හුලං ගහල මැන්ටලේ පුම්බල පැට්‍රෝල් මැක්ස් එක පත්තු කොරනව නොවැ. එදාට වටපිටාවට හඳ පෑවුව වගේ. 

ඉතිං හිච්චි කාලෙ අවුරුද්දට අපි මාමා එනකන් මඟ බලන් ඉන්නව. මොකද ආපු ගමනා කොස් ගහකයි පොල් ගහකයි අතරට පරාලයක් දාලා කඹ දාලා බදිනවා ඔංචිල්ලාව. අපි තරගෙට ඔංචිල්ලාව පදින්නෙ ඉස්සරහ තිබුණ දිවුලා ගහේ අතුවල ගෑවෙන්න. එයා හරි ආසයි හැමෝම හැඩට ඇදල ලස්සනට ඉන්නවට. ඉතිං ඒ ගැනත් බලනවා. අලුත්ම අලුත් සල්ලි කොලවලින් අපි එක්ක ගනුදෙනු කොරනව. රතිඤ්ඤ, නිලා, අහස් කූරු, බඹර චක්කර මේ සේරෝම ගේනවා. ඒ හැමදේම එයා අකුරට කොරනව. ඒ විතරක්යැ. ගෙදර දානවා ජෝතිපාල මහත්තයගෙ කැසට් පටිය මුලු වත්තටම ඇහෙන්න. අවුරුදු ආවා නව අවුරුදු ආවා බක් මාසේ මංගල්ලේ ආවා කියලා. ඉතිං එයා තමා හිච්චි කාලෙ අපි සේරෝටම අවුරුද්ද ගෙනාවෙ. 

මම ඒරොප්පෙ එන්න ඉස්සෙල්ලා මාමා අන්තිමට ගනුදෙනු කරෙත් මා එක්ක. කඩන්න කිව්ව එයාගෙ කැටේ. මට කිවුව සීයෙ ගොඩවල් ගහන්න කියල. ඒ සැරේ මගේ අතට සල්ලි දීලා කිව්ව හිරිඹුරේට ගිහින් බඩු ගෙනහැල්ලා කට්ටියටම දීලා එයා ඉස්පිරිතාලෙ ඉඳල ගෙදර ආපු සතුට සමරන්න කියලා. වත්තෙ වැඩ කරන කෙනාටත් සලකන්න කිව්වා. ඒ තමයි එයාගෙ හැටි. අන්තිමේ ඇඳේ ඉඳගෙනත් යුතුකම් ටික හරියටම කොරා. ඒ විතරක් නෙමේ එයා වත්තපුරා මල් හිටවලා පාර දිගෙත් මල් හිටෙව්වා අද එයා නැතත් ඒ ගස් වල මල් පිපෙනවා හරිම ලස්සනයි.  

ඉස්සර අපිට පරෙයි පිස්සුව තිබුණ කාලෙ අවුරුද්දක් දවසක ලස්සන පරෙයියෙක් ආවා මාමලයි ගෙදර වහලෙ උඩට. එයත් අපි කූඩුවට දාලා අනිත් පරෙයියොත් එක්ක ඇති කොරා. ඒ පරෙයියට මාමා තියපු නම තමා අවුරුද්දා කියලා. ඉතිං හැමදාම මට අවුරුද්දට ඔය අවුරුද්දා මතක් වුණා. මෙදා සැරේ ඉදල ඒකට මාමා ගැන මතකයත් එකතු වේවි. වෙන කවුරුවත්ම නෙමේ. අපේ මාමා තමා අපේ අවුරුද්දා. එහෙනම් ඔයා කිවුව වගේ අපි හැමෝම ලස්සනට ඉන්නම් මාමේ. 

හැමෝටම යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා !!!.


එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් හතරවන දිගහැරුම.

2023-04-06 බ්‍රහස්පතින්දා.    


යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...