කෙංගෙඩිය
අපේ තාත්තා පට්ට යූඑන්පී කාරයෙක් නේ. ඉතින් උන්දැට පුදුම උණක් තිබුනෙ හැම අවුරුද්දෙම මැයි පළවෙනිදට කොළඹ යන්න. උන්දැට ගමේ අය කිවුවෙ ගිංතොට අයිය කියලනෙ. ඉතිං කට්ටිය අහනව ගිංතොට අයිය යනව නේද කියලා. එයාල කතා බහ කොරගෙන ගැම්මට යනවා. තව ඒ ජාතියෙම උණ කාරයො කීප දෙනෙක් හිටියා. එළවළු පැටි සීයා, ජයසේකර මාමා, චූලසේන මාමා, පස් අමරදාස මාමා ඇතුළු කණ්ඩායමක් එකට සැට් වෙලා යනවා. ඔය ප්‍රේමදාස මහත්තයාට බෝම්බෙ වදින කොටත් අපේ තාත්තලා එතන. ඒ කාලේ මොකෝ දැන් වගේ එකෙක්ගෙ අතේවත් ෆෝන් තිබුණෙ නැහැනේ. ඉතිං රේඩියෝ එකෙන් පොරොත්ති ඇහුව වෙලේ ඉඳන් අපි තුෂ්නිම්භූත වෙලා හිටියේ මෙවුන්දලට මක්ක වෙලාද කියලා. කොහොම හරි රෑ ජාමේ ඕං හිතේ දුකට අඩියකුත් ගහගෙන ගෙදර ආවා.
ඊට පස්සෙ ඔය උණ මටත් හැදුන නෙව. මාත් හැම අවුරුද්දෙම විනෝද චාරිකාවක් යනව වගේ කට්ටිය එකතු කොරගෙන කවුරු හරි දෙන බත් එකයි අරක්කු ටිකයි දීගෙන කට්ටිය එක්කරගෙන ගියා නෙව මැයි රැළි වලට. එක සැරයක් යාපනෙත් ගියා. තව සැරයක් බදුල්ලෙ රැළියකට ගියා. එතන බැලින්නම් නිවේදකයා නියමිත වෙලාවට ඇවිල්ල නෑ. ඒ පාර මගෙන් ඇහැව්වා මේ වැඩේ කොරන්න පුලුවන් කියලා. මං ඉතිං ගත් කටටම හාං කිවුවා. ඇයි ඉතිං උණනේ. ගියා වේදිකාවට. පෙළපාලිය බදුල්ලෙ ඉස්පිරිතාලෙ ළඟ ඉදලා විල්ස් ක්‍රීඩාංගනයට එනකම් එක දිගටම දොඩවල නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස් මහත්තයට මයික් පොල්ල දීලා තමා වේදිකාවෙන් බැස්සේ. එයාල සිංදු කිවුවා. තව කට්ටිය කතා කොරා. අපේ පැත්තෙන් ගියපු එවුන් බලා හිටියා මූ කොහොමද වේදිකාවට නැග්ගෙ කියලා. මොකෝ හැම වෙලාවකම ගොඩක් එවුන්ට තිබුණ පුරස්නෙ තමා මම වේදිකාවට නගින එක. මොකෝ මට වචන එනවනේ. හැබැයි එවුන්ට වචන එන්නෙ කාට හරි ගිනිගෙඩි පහත් කොරන්ඩ විතරයි නොවැ.
මේ එක තැනකවත් කම්කරු අයිතිවාසිකම් ගැන කතා කොරන්නෙ නැහැ නොවැ. එක එකාට බැන අඬගාගෙන එවුන්ගෙ පම්පෝරි කියවනවා. අපි හුරේ දානවා. හැබෑට ඊ. ඒ. ගුණසිංහ මහත්තයා හිටියනම් මොනව කියාවිද කියලා මෑතක මට හිතුනෙ ඒරොප්පෙ එන්න ටික දොහකට කලින් අපේ දෙවනි මලයගෙ භාරි වෙච්චි ගංගාගෙ සහෝදර සෙනෙවි අයියගේ ගෙදරට කුළු ගෙඩිය උස්සගෙන ඉන්න පිළිරුව අසලින් ගුණසිංහ පුරයට ගියපු දවසෙ. මෙදා සැරෙත් ඉතිං අවුරුද්ද පුරාම සෙනසුරු අපලෙ දුරු වෙන්න කියලා කාක් අසූචිවලින් වැහිච්චි ගුණසිංහ ප්‍රතිමාව හෝදලා මැයි පළවෙන්දට මල් මාලයක් දායි නේද? ඒ ඇති නොව. දැන් ආපස්සට හැරිලා බලද්දි මේ එකක්වත් තේරුමක් ඇති වැඩ නෙවේ කියලා තමයි මට හිතෙන්නේ.
ඔය ඉස්සර හරක්ට ලෙඩ හැදුනම ගියේ හරක් වෙදා ගාවට නොවැ. ඉතිං වෙදකම් ඔක්කෝම කොරලා ඒත් ලෙඩේ හොඳ නොවුණොතින් වෙද මහත්තය කෙමක් කොරනවා. මොකක්දෝ බෙහෙත් පොට්ටනියක් හදනවා. ඒකට දාපු බෙහෙත් දන්නෙ උන්දැ විතරයි. ඒක එල්ලනවා හරකගෙ බෙලේලේ. ඒක කවදහරි හැලෙනකම් ගලවන්න තහනම්. ඒකට කිවුවෙ කෙංගෙඩිය කියලා. අපිත් ඉතිං හරක්ට දෙවෙනි නැහැ නොවැ. මොකක් හරි පාටක කෙංගෙඩියක් බෙල්ලෙ එල්ලගෙන කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ කියාගෙන ඉන්නවා. බලන්ටකෝ මෙදා සැරෙත් පළවෙනිදාට. මේ අව්වෙ සැරට මානසික රෝගත් වැඩි වෙනවයි කියලා දොස්තර මහත්තුරු කියල තියෙන්නේ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය තිස් හත්වන දිගහැරුම.
2023-04-27 බ්‍රහස්පතින්දා.
