තන්තිරිය
අවුරුද්දත් ගෙවිල ගියා එහෙනං. දැන් ඉතිං ගත්ත පඩියයි අතේ තිබිච්ච සේරෝමයි වියදම් කරල අවුරුදු කාපු කට්ටිය කල්පනා කරන්නෙ වෙසක් පෝයට දන්සලෙන් කනකන් කන්නෙ කොහොමද කියලා. ඕකටනෙ කියන්නේ අපි අවුරුදු කෑවෙ නෑ අවුරුද්ද අපි කෑව කියලා. කොහොම වුණත් ඒරොප්පෙට වඩා මේ දවස්වල සිරි ලංකාව ගිනියම් වෙලානේ. හුලං පෙත්ත දැම්මොත් ලයිට් බිල ගිනියම් වෙනවා. ඒක හන්දා ඉවසගෙන ඉන්න වෙනව නොවැ.
ඒරොප්පෙට එනකොට මට වෙච්චි ලොකුම පාඩුව තමා කාබනික රසායනික පෝර මොකුත් නැතුව යස අගේට වගා කොරපු මගේ රැවුලයි කොණ්ඩෙයි කපන්න වෙච්චි එක. මොනවා කොරන්නද. ඕං මෙහෙ ආවට පස්සේ සතුවා කියන කඩමණ්ඩියට ගියපු වෙලාවක සැලුන් එකකින් කොණ්ඩෙයි රැවුලයි කැපුවා. මට මතක් වුණේ ඉස්සර අපි හිච්චි කාලේ තාත්තා අපි එක්කගෙන යනවා හිරිඹුරේ සිල්වා සැලුන් එකට. සිල්වා මාමා හොඳ කයි කාරයා. අපේ කොණ්ඩෙ කපල ඉවර වෙනකම් තාත්ත එක්ක කයිය ගහනවා. එතකොට දැන් වගේ කොණ්ඩ කපන මැෂින් නැහැ නොවැ. කතුරයි පනාවයි දැලි පිහියයි තව තියෙනව හැඩල් දෙකක් තියෙන එකක්. තාත්තලගෙ රැවුල කැපුවහම මූණෙ අතුල්ලන ගලකුත් තිබුණා. ඉස්සර ඉතිං ඔය හිරිඹුර ඉලේපෙරුම ගරාජ් එකට මෙහා කාණු ගැට්ටේ තමයි සිල්වා සැලුන් එක තිබුණේ.
පහු ගිය කාලේ බිත්තර කාරයො ගණන් ඉස්සුව වගේ කෙහෙල් කාරයොත් ගණන් ඉස්සුවනේ. ඉතිං ඒ ගානට ගන්න මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියෙන්න එපාය. ඔන්න ඉතිං කෙහෙල් කැන් පිටින් කුණුවෙලා මං දැක්කා විකුණ ගන්න බැරිවුණා කියලා මැසිවිලි කියනවා. අනික ඉතිං වෙනදනම් අවුරුද්දට කලින් අපි කෙසෙල් කැන් ඉදවන්න වලක් කපනවනේ. වල හාරලා ඒක පුච්චලා ඇතුළට කැප්පෙටියා කොළ, පින්න කොළ, බිලිං කොළ මේ ඔක්කොම දමලා ඊට පස්සෙ කෙහෙල් කැන් දාලා ඒවා වැහෙන්න ආයිත් කොළ දාලා වලට උඩින් තියනව පොල්පිති කෑලි. ඊළඟට පොල් කටු දෙකක් අරගෙන ඇස් පොල්කට්ටෙ හිල විදලා දුම්ගෙඩිය හඳලා ඒකටත් කෙහෙල් පරඬැල් පුරවල වළ මැද්දට වෙන්න පොල් පිති අතරට හිර කොරලා කොළයක් දාලා පස් දාලා වල වහනවනේ දුම් පිට වෙන්නෙ නැති වෙන්න හොඳ හැටි. වහල ඉතිං දුම් පිඹිනවා. ඉතිං අවුරුද්දට ගොඩ ගත්තහම මාර සුවඳයි. දැන් කොහෙද එහෙම කෙසෙල්. ඔක්කොම කාබයිට් තමයි. අද කැපුවා. හෙට ඉදුණා. ඉතිං බඩු ඉතුරුයි මොනවා කොරන්නද. ලෝකෙ කෙහෙල් පිටරට යවන රටවල් අතරින් අපේ රට ඉන්නෙ පස් වෙනි තැනට නොවැ. පහුගිය දවසක කෘෂිකර්ම ඇමති කිවුවා යාපනේ ගොයියන්නෙ ඇඹුල් කෙහෙල් අස්වැන්න විසි අට වෙනිදා මුලින්ම ඩුබායි රටට යවනව කියලා. මම දැන් බලාගෙන ඉන්නෙ යාපනේ ඇඹුල් කෙහෙල් ගෙඩියක් කන්න. කොහොම වුණත් ඒක හොඳ වැඩක්. ඉතිං මෙදා සැරේ අවුරුද්දට දකුණ බලාගෙන වැඩ ඇල්ලුවට කමක් නෑ. උතුර දිහාත් බලලා දකුණෙ උනුත් ලෑස්ති වෙයල්ලා ඇඹුල් කෙසෙල් වවල ඩුබායි එවන්න ඕන කෙහෙල් මලක් වෙන්න කියලා.
මට මතකයි ඉස්සර දවසක අපේ ගෙවල් ඉස්සරහ වෙලෙන් එගොඩ මානිගෙවත්තෙ හිටපු හෑගොඩ ගෙදර සුනිල් අයියා ගිනි කසය වගේ ආවා. බැලින්නම් මිනිහගෙ කෙසෙල් කැනක් හොරු කපලා. අහවලා ආවද තණකොළ කපාගෙන කියලා අහගෙන ගෙදරකට ගියා. හරියටම තණකොළ ගොඩේ කෙහෙල් ඇවරි නොවැ. ඒ පාර මේකා දෙවනත් කරා ආ... තන්තිරිය ගහේ ඇවරි ගෙදර නේද කියලා. දැන්නම් තණකොළ ගෙනාපු කෙනා ඇත්තෙත් නෑ. සුනිල් අයියා නම් බද්දේගම පාරේ ඊරියගහට මෙහා කෙහෙල් කඩයක් ම කොරනවා. කොහොම වුණත් මට තාම මතක් වෙනවා ඔය කතාව. රටේ පාලකයොත් ගොඩක් වෙලාවට කොරේ ඔය වැඩේනේ. තන්තිරිය ගහේ ඇවරි උන්ගෙ ගෙදර. ඕක තමා වැඩේ. ඔය සමහරු දන්නෙ නැද්ද දන්නෙත් නෑ අපේ පැත්තෙ කෙහෙල් කැනේ නැට්ටට තමා තන්තිරිය කියන්නෙ හොඳේ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය තිස් හයවන දිගහැරුම.
2023-04-20 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment