උම්මත්තකයෝ
ඕං පහුගිය දවසක ගමරාලයට උදේ පාන්දර ඇමතුමක් ආවා සිරි ලංකාවේ හිතවත්තු දෙන්නෙක්ගෙන්. මොකද ඒ වෙලාවෙ පෙර පිනකටද කොහේදෝ එවුං දෙන්න බේරිලා තියෙන්නෙ. මොකෝ හරියටම ඒ වෙලාවෙ උං ඉදල තියෙන්නෙ ඔය මීරිගම රේල් ගේට්ටුව ළඟ නොවැ. ඉතිං එවුං දැකල තියෙනවා කෝච්චි පාර හරහා යකඩ පෙට්ටියක් නැවතිලා තියෙනවා විනාඩි දහයක් විතර. ඒකෙ හිටපු මිනිහ බැහැල ගොහින් රේල් ගේට්ටුව මුර කොරන හාදයට කිවුවලු මේක නැවතිලා කියලා. ඒත් ඉතිං කොරපු කෙංගෙඩියක් නැහැ. කොහොම හරි ඒක එහෙම්ම තියෙද්දි එකපාරටම ලයිට් පත්තුවෙලා ගේට්ටුව වහලා. ඊට පස්සෙ උන්දැ ටෝච් එකක් පත්තු කොරගෙන රේල් පාර දිගේ ඉස්සරහට දුවනවලු කෝච්චිය නවත්තන්න. අනේ අම්මපා මෙච්චර තාක්‍ෂණේ දියුණුයි කියන කාලෙක හදිසි පණිවිඩයක් දැනුම් දෙන්න විදියක් නැති හැටි. 2048 දී වත් මෙව්ව වෙනස් වේවිදෝ? කොහොම හරි ඉතිං දඩ බඩාං ගාලා සද්දෙකුත් එක්ක වෙන්න ඕන වැඩේ වෙලා ඉවරයි.
දැං ඔතන ඔය පුරස්නෙ දැනගෙන පාර හදන කීප සැරයකම අවසරය ඉල්ලල තියෙනව නොවැ රේල් ගේට්ටුව වෙනස් කොරන්න. කොහෙද රේල්ලුවෙන් අවසර දීලා නෑ. දැං ඉතිං කෝටි ගාණක් පාඩු උනාට පස්සෙ කමිටුවක් පත් කොරපිය හේතුව හොයන්න. අනේ මන්දා ඒ අස්සෙ හැමෝම කොට කොට යනව කියන ලංගමේ ඕං මාසෙකට කෝටි හයක් කොටලලුනේ. කොහොමද කෑම. වැඩේය කියන්නෙ ඔය හැම තැනකම වගේ ඉන්න එවුං හොරා කකා පාලකයන්ට විතරක් චෝදනා කොරනවා. උං හිතන්නේ සක්කර දෙයියො හිටගෙන කොරනවනං අපි පිනුං ගහ ගහ කොරාම මොකෝ කියලා. තව ඉතිං ඔය ගොඩක් හොරකං උගන්නන්නෙත් අමාත්‍යංශ ලේකම්ලම තමා. මොකෝ උන්ටත් වාසි නොවැ. අතේ ඇගිලි ගානට කීප දෙනෙක් තමා ඔව්වට විරුද්ධ වෙන්නෙ.
උතුරෙ දේශපාලකයො දහතුනක් අල්ලගෙන හරට්ටු අල්ල අල්ල ඉන්න වෙලාවෙ යාපනේ ඉපදුනු තර්ජනී සිවලිංගම් ලෝකෙටම අභියෝග කොරලා ලෝකෙ උසම දැල් පන්දු ක්‍රීඩිකාව හැටියට ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කොරලා දීලා ලක් මාතාවට ණය නැතුව ඕං අවුරුදු හතලිස් හතරක් වෙද්දි ක්‍රීඩාවෙනුත් සමුගත්තා. කොච්චර වටිනවද? කොහොම හරි ඕං මහ කලු සිංහලයත් ඉවර වේගෙන යන්නෙ. ඇයි ලෝකෙ කොටම මිනිස්සු ඉන්න රටවල් විසි පහට සිරි ලංකාවත් අයිතියිලුනේ. ඉස්සරහට රට සංවර්ධනේ වෙලා ගෙවල් දොරවල් වල වැඩ කොරන්න සුද්දියො එහෙම ආවහම පොඩි ඉනිමගකට නැගලා තමා වැඩ කියන්න වෙන්නේ. නැත්තං එවුංට අපි පේන්නෙ නෑ නොවැ. දැං ඉතිං ඔය දොස්තර මහත්තුරු රට අතෑරලා යන විදියට පුලුවං තරම් ඉස්පිරිතාල ගාව පෙට්ටි කඩ දාන එක තමා හොඳ. හම්බන්තොට හිටපු සිහිනැති කොරන එකම දොස්තර මහත්තයත් පැදුරටත් නොකිය ගිහිල්ලලු නොවැ. හැබැයි සමහරු කියන්නෙ ඒ පැත්තෙ ගොඩක් එවුංට අමුතුවෙන් සිහි නැති කොරන්න දෙයක් නැහැ කියල තමා.
මොනව නැතත් කොරෝනා බෙහෙත හැමෝටම ගැහැවුවා කිය කිය කටමැත දෙඩෙවුව නොවැ. ආං ඒවා අරගෙන ඒ සල්ලිවලින් කොටහක් පිල්ලි ගහල කියන්නෙ. ඒවයෙ විස්තර ඔක්කොම හංගලලු නොවැ. ඔය ගහල තියෙන්නෙ බෙහෙත ඒකනේ සෑර් තමා හොඳටම කොරේ කිවුවෙ.
පත්තරවල පොත්වල අකුරුත් එක්ක හරඹ කොරපු ගාල්ලෙ අම්බලන්ගොඩ පොල්වත්තෙ උපන් අනුලා ද සිල්වා නෝනත් යන්නම ගියා නොවැ. හිච්චි කාලෙ මිහිර පත්තරේ කියවල අපි කොච්චර ඉගෙන ගත්තද ආං ඒ පිනම ඇති එතුමියට නිවන් දකින්න. ඒ කාලෙ අනුලා ද සිල්වා නෝනා සමුද්දර දේවි කෝච්චියෙ නොවැ බේරෙ ගෙදරට ගොහිං තියෙන්නෙ. ඒක ඇතුලෙ සිද්ද වෙන අවලං වැඩ ගැන ලිවුවා කියලා අන්තිමේ එවුංගෙන් බේරෙන්න බස් එකේ යන්නත් සිද්ද උනා නොවැ. ඉස්සර ඉදල ඔහොම තමා. හරි දේ පෙන්නන එකාට වට කොරගෙන ගහලා කොහොම හරි වැරැද්ද කොරන්නම තමා ඕන. ඉතිං රට පාලනය කොරන තැන ඉදලා කෝච්චිය බස් එක නෙවෙයි හැම තැනම පාලන අධිකාරියෙ වැඩිපුර ඉදල තියෙන්නෙ ඔය විදියට හිතල මතල වැඩ කොරන උම්මත්තකයො තමයි මයි හිතේ.
ඕං යූ. ඇල්. විමලජීව ඉස්කෝලෙ මහත්තය කියල තිබුනා ඒරොප්පෙ කියන වචනෙ වෙනුවට වෙන වචනයක් භාවිතා කොරන්ඩ කියලා. ඕං එහෙනං අද ඉදලා වැලි කතරේ හිටං ලියන්නං කෝ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් තුන්වන දිගහැරුම.
2023-08-17 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment