මහතා
අම්මප බලාගෙන යනකොට අපිත් මෝඩ රැළක් නොවැ. මෙච්චර කල් අපේ කාලය කැප කොරගෙන අපේ සල්ලි වියදම් කොරගෙන හුරේ දාල තියෙන්නෙ අනුන්ගෙ කොම්පැනියක් ගොඩ ගන්න නොවැ. ඇයි අර කිරිකැට් කොම්පැනියෙ අයිතිකාරයො කිවුවෙ උජාරුවෙන් උන් කොම්පැනියක්ය ඕන දෙයක් කොරන්න පුළුවන්ය කියලා. අනේ අර ආනා පුංචිහේවා මහත්තයා අමාරුවෙන් හදපු තැන මෙවුන් බල්ටි ගහනවා. මට කියන්න තියෙන්නෙ අපිට හොඳ වැඩේ කියල තමා.
රුහුණෙ මී කිරි ඉස්සර ඉදලම පරසිද්දයි නොව. සමහරු ඒක හන්ද කියනව මට ඇහිල තියෙනවා රුහුණෙ වැඩිපුර ඉන්නෙ මී හරක් කියලා. අනේ මන්දා මාත් එහේ හන්දා ඔවුවට මුකුත් කියන්න බෑ. කොහොම වුණත් ඊයෙ පෙරේදා තමා දැනගත්තෙ මැණික් ගල් වලටත් වඩා මී හරක් වටිනවා කියලා. ඇයි අර වැලිපැන්නෙ පොලීසියට පේන දුරින් රුහුණෙ මී හරක් අධිවේග පාරෙන් ගෙනත් දිගට හරහට කපල තියෙන්නෙ පරසිද්ද මැණික් මුදලාලි කෙනෙක්. හැබැයි ඉතින් වලාන පොලෝසියෙන් ඇවිත් අල්ලනකම් අරුන්දල දන්නෙ නෑ. උන් බබාලා. වැඩේය කියන්නෙ වලානෙන් අල්ලල ආයේ බාර දෙන්නෙ අරුන්ට නොවැ. ඉතිං උසාවි දානකොට කොහොම ගොනු කොරයිද දන්නෙ නෑ. මොකෝ ජනාධිපති ලේකම් කෙනෙකුත් කතා කොරල නොවැ ගොඩින් බේර ගන්න.
ලංකාවෙ නීතිය හරි පුදුමයි. ඌ මැණික් කාරයෙක් නිසා උගේ නම පරසිද්ද කොරන්නෙ නෑ. තව මැජික් කාරයෙක් රාජාංගනේ පොලීසියේ ලොක්කට සද්දයක් දාලා මිනිහම ඉදිරිපත් වෙනකම් අල්ලන්න පොලෝසියට බැරි වුණා නොවැ. ඒකට මේ ඒරොප්පෙ පොලෝසිය. බලන්න එපායැ. කෝටිපතියෙක් වුණත් වැරදි නම් කුදලගෙන ගියා එච්චරයි. ලංකාවෙ නීති හදන තැන නීති කඩනවා. නීති ක්‍රියාත්මක කොරන තැන්වල නීතිය කනවා. අර කැකිරාවෙ දැක්ක නොවැ පෙරකදෝරු නෝන කෙනෙක් අනුන්ගෙ ගොඩනැගිල්ලක් හොරට ලියාගෙන උසාවියේ කාර්යාලෙට ගොහින් පැනපු ගමන් අර ලියවිල්ල අරගෙන කෑලි කෑලි වලට ඉරලා කටේ දාගෙන කාල නොවැ. මට මතක් වුණේ ඉස්සර අකුරැස්සෙ ස්ටෑන්ඩ් එකේ හිටියා. ආං ඒවගේ පෝස්ටර් කන තඩි එළුවෙක්.
කහටගස්දිගිලියෙ දෝණියැන්ද සහේට ගන්න ඕන හන්දා අප්ප පුතා මරා දාලා. රිදීමාලියද්දෙ අප්පයි පුතයි අම්මව මරල වල දාලා. අනේ අම්මපා මක්ක වෙලාද මෙවුන්දලට. මුන්දලගෙ ඔළුගෙඩි කුරුවල් වෙලා මයි හිතේ. ඒකනේ අර ලංකාවට අවුරුදු පනහක් තිස්සෙ සිය වෙනි පාරටත් ආපු ජර්මන් ජාතික මහත්තය කියල තියෙන්නේ එකදාස් නමසිය හැත්තැ එකේ එයා සීගිරියට ගියා යාපනේ පුස්තකාලෙ බලන්න ගියා ඒ කාලෙ සිංහල මිනිස්සු හරි හොඳයි. හැබැයි ඒ කාලෙ මිනිස්සු කතා කොරනවා. දැන් එහෙම නෑ. හැමෝගෙම අතේ ස්මාර්ට් දුරකතන කියලා. බලන්න ඒ මනුස්සයට තේරුණු වෙනස. ඕක හරියට පාවිච්චි කොරන්න දන්න අය මේ වගේ ලිපියක් කියවනවා. එහෙම නැතිවුන් ඉතින් වල්පල් තමා.
දෙදාස් විසි දෙකේ අවුරුද්දේ ආණ්ඩුවෙ වියාපෘති දෙසීය හැට එකෙන් හරියට කොරලා තියෙන්නෙ විසි දෙකක් විතරලු නොවැ. හැබැයි ඉතිං සම්බන්ධීකරණ සභාපතිල කියල ජාතියකුත් පත් කොරලා එවුන්ටත් වරප්‍රසාද දෙනවා. කමිටු රැස්වීමක් තියනවා. කෝම හරි කමක් නෑ ඉතිහාසෙ පළවෙනි වතාවට ප්‍රංශෙ ජනාධිපති තුමා ආව එක හොඳයි. සෑහෙන්න දේවල් දෙන්න පොරොන්දු වෙලානේ. වැඩේය කියන්නෙ ඉන්දියාවෙ අගමැතිතුමා සිරි ලංකාවෙ ලොක්කටයි ප්‍රංශෙ ලොක්කටයි දෙන්නටම පුද්ගලිකව කෑම වේල් දෙකක් දීලා නොවැ. අපේ පැත්තෙ හිටියා රැවුල එහෙම වවාගත්තු ප්‍රාදේශීය සභා මන්තිරියෙක්. උන්දැ කැබලි කරන ඉඩමක් අනුමැතියට දාපු ගමන් සබාවෙ මේස උඩ නැගල කෑ ගහනවා. ඉතිං අර කොම්පැනියෙ එක්කෙනෙක් ඇවිත් උන්දැ පුද්ගලික කෑම වේලකට එක්ක ගොහිං අත මිටත් මොලවනවා. විරෝධතාවෙ හමාරයි. ඉංදියාවෙනුත් ඕං බටයක් එළනවලු නේ ලංකාව පැත්තට. ප්‍රංශෙ මක්ක කොරාවිද?
ඕං මෙච්චර කල් කිවුවෙ ජේ. ආර්. උන්නැහේට ගෑනියෙක් මිනිහෙක් කොරන්න විතරයි බැරි වුණේ කියලා. ඔන්න ඒකත් කොරා නොවැ. මාතාට මහතා කියලා අම්ම තාත්තා කොරා. එහෙව් මාර දූවරු ඉන්න රටක් නෙව සිරි ලංකාව. සමහර විට උන්දැ හිතන්න ඇති උන්දැගෙ නමටත් සිංහවංස කියල තියෙන හන්දා ඕන තාලෙකට මේක කියන්න පුළුවන් කියලා. ඒක හන්දා ඉතිං සිංහ වංසෙට ඕන විදියට ජාතික ගීය ගායනා කොරා. පස්සෙ බලු වෙන එක වෙනම කතාවක්. ඒ වුනාට ඉතිං තාලෙ ලස්සනයි නොවැ. කට ඇරල උජාරුවට කිවුවහම. කොහොම වුණත් ආනන්ද සමරකෝන් මහතා හිටියනම් ආයෙ පාරක් මැරෙන්නෙ ඔය ඛෙත්තාරාමෙ පිට්ටනියට ඇවිල්ලා.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් එක්වන දිගහැරුම.
2023-08-03 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment