Thursday, September 22, 2022

ගමරාලගේ අඬහැරය හයවන දිගහැරුම - කලු මාමාගේ කුළුන

 කලු මාමාගේ කුළුන

හිච්චි එකා සංදියෙ බොහෝ වෙලාවට අපේ අතු පැලේ කෑම අඟ හිඟ පාඩු තිබුණ එක අමුතු දෙයක් නොවේ. බොහෝ වෙලාවට බඩ පුරෝගත්තෙ කොස් කාලා. හරි නම් බෝගස්වලට වඩා අපි වඳින්න ඕන කොස් ගස්වලට ද කියලත් හිතෙනවා. ඒ තරමට කොස් ගහ උපකාර වුණා බඩගින්දර නිවා ගන්න. ඒ විතරක් නම් මදැයි කොස් නැති කාලෙට ගස් ලබුත් තම්බල කෑවා. ඒ කාලෙ ඉතින් මන්දපෝෂණෙත් තිබුණද මන්දා. කොහොම වුණත් කැත්ත උදැල්ල අරං පොළොව එක්ක ඔට්ටු වෙන්නනම් හයිය හත්තිය තිබුණා.

මේ අඟ හිඟකම් හින්දා මොනව හරි ඩිංගිත්තක් බඩට දාගන්න බලාගෙන අහල පහල ගෙදරකට යන එක පුරුද්දක් වුණා නොවැ. මං ඉතිං හැන්දෑවට යන තැනක් තමයි පැටි සීයලැයි ගෙදර. මොකෝ බේබි ආත්තම්මා බොහෝ දවසට රෑට හදනව තැටියක් වගේ ලොකුම ලොකු පොල් රොටි. උණු උණුවෙ කට පිච්චි පිච්චි මක්ක හරි තවරගෙන හාස් හූස් ගගා පෙරේතකමින් ඕක ගිලදාන්නෙ හරියට රාජ භෝජන ලැබුන වගේ.    

ඕං ඔය හැමදාක වගේ ඇඳිරියට එහේට එනවා කිරි ගෙදර කලු මාමා. හරියට මහා කලු සිංහලයා වගේ. හයේ හතරෙ මනුස්සයා.  ඉතිං ටිකක් සූර් වෙලා චූන් එකේ එන කලු මාමා ලී දණ්ඩක් වගේ හරහට මාව කරේ රඳවගෙන එයාගෙ උරහිස් බාහුවෙන් හිර කොරගෙන වේගයෙන් කැරකෙන ගමන්

♫ අත මිට කාසි පනම් හොඳ හැටි තියෙනව නම් - හිටගෙන දිව්‍ය ලෝකෙ මවන්නම්

ඔබ මට ආදරෙ නම් මල වගෙ කරේ තියන් - හෙලිකොප්ටරේ වගේ දුවන්නම් ♫

කියලා සිංදුවක් කියනවා. රොටි කාල බඩ පිරිලා අඩි හයක් උස කලු මාමගේ කරේ කැරකෙන කොට හරියට දිවිය ලෝකෙ ගියා වගේ තමයි මට දැනුණේ.

දැන් තමයි හිතෙන්නෙ කලු මාමට වඩා නෙළුම් කුළුන කොච්චර උසද කියලා. ඒක හදන්න රට වැසියො හැටියට අපි ඔක්කොම දායක වෙලා කිව්වම හරිම සතුටුයි. පොඩි පහේ කෙලියක්ද? ආසියාවේ උසම කුළුන කියනවනේ. අනික අර ඩොලර් පුරස්නෙ විසඳන්න පරදේසක්කාරයො වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන් කියනවනේ මේක තියෙන හන්දා. ඉස්සර නම් එවුන් ආවේ අපේ තිබුණ රන්, රිදී, මුතු, මැණික් , මිනිරන්, ඇත් දළ  අරගන්න. ඊට පස්සෙ ආවේ අපේ සරු පසේ වවලා අස්වැන්න නෙළා ගන්න. ඒ විතරක් නම් මදැයි බලි තොවිල් බලන්න, වෙහෙර විහාර, පෙරහර බලන්න. පුස්කොළ පොත් කියවන්න. දේශීය බෙහෙත් වට්ටෝරු, ඇට වර්ග, පැල වර්ග ගෙනියන්න. ඒකට  දැන්, දැන් උං එන්නෙ උසම උස කොන්ක්‍රීට් කණුවකට නැගලා උංගෙන්ම යැපෙන්න බලාගෙන ඉදලා ලොකේටම කෙලවෙච්චි මිනිස්සු ඉන්න සුන්දර භූමියක අසිරිය උඩ ඉදන් බලල සතුටු වෙන්න.

ඒ අස්සෙ කවුද කියනව ඇහුණා කන්න බොන්න නැති රටවල් අතරින් අපි ඉන්නෙ හතරවෙනි තැනලු ඕං. ඉස්කෝලෙ ළමයි බඩගින්නට බුද්ධ පූජාවත් කාලලු. අනේ ඉතිං ඒකට මොකෝ ඔය කුළුනට නැග්ගහම දිවිය ලෝකෙ ගියා වගේ කියනවනේ. ඒක හන්දා දැන් අපිත් කල්පනා කොරන්නෙ කන්න බොන්න නැතත් සල්ලි කීයක් හරි හොයාගෙන ඔය කුළුනට ගොහින් මේ යම ලොව අතෑරලා දෙව්ලොව යන විදියක්ය.

අන්තිමට බලනකොට හිච්චි එකා සංදියෙ කලු මාමගේ කරේ ඉදන් ඒක තමයි දිවිය ලෝකෙ කියල හිතපු එකයි දැන් මේක තමයි දිවිය ලෝකෙ කියල හිතන එකයි අතර ලොකු වෙනසක් මට නම් පේන්නෙ නැත.    

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හයවන දිගහැරුම.

2022-09-22 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...