Wednesday, September 14, 2022

ගමරාලගේ අඬහැරය පස්වන දිගහැරුම - ඔටුන්න

ඔටුන්න 

ඉස්සර ඉදල ගමේ ගොඩේ කාත් එකක් හරි නෝක්කාඩුවක් තිබුණනම් කඩපිලේ හරි මළ ගෙදරදි බණ ගෙදරදි හරි සැර පරුෂ වචනවලින් නමක් ගමක් නැතුව ඇද බාන එක ගමේ අපේ විදියක් නොවැ. ඒ කියන එකට විරෝධය පාන එකාට කියනව තොප්පිය හරිනම් උඹ දාගනිං කියලා. ඕං ඉතිං කවුරු හරි කැමැත්තෙන්ම තොප්පිය දාගෙන වැරදිකාරය වෙනවා. 

තොප්පිය එහෙම දැම්මට ඔටුන්න එහෙම දාගන්න බැහැ නොවැ. දෙකම දාන්නෙනම් ඔ`ඵවට තමයි. හැබැයි ඔටුන්න දාගන්න පොරකන කට්ටිය ඡන්දෙ කාලෙට මිනිස්සුන්ට පාට පාට තොප්පි බෙදනවා. ඒවයි රූපෙකුත් තියෙනවා. ලකුණකුත් තියෙනවා. ඉලක්කමකුත් තියෙනවා. අපිත් ඉතිං අර තොප්පි වෙළෙන්ඳට නින්ද ගියහම පොරකකා තොප්පි ගත්තු වඳුරො වගේ පොරකාල අරගෙන තොප්පිය දාගත්ත කියහංකෝ. එදා තොප්පි වෙළෙන්ඳා උසී කිවුවම වඳුරොත් උසී කිවුවා. දැන් තොප්පි වෙළෙන්ඳා ජය වේවා කියනවා. අපිත් ජය වේවා කියනවා. තොප්පි වෙළෙන්ඳා ගැහුව හොඳ පැලෑනක්. විසික් කොරා එයාගෙ තොප්පිය. වඳුරොත් විසික් කොරා. වෙළෙන්ඳා ඒවත් අරන් වෙළඳාමෙ ගියා. 

ඒකට අපි, වෙළෙන්ඳා විසි කොරාට අපි විසි කොරේ නෑ. උජාරුවෙන් තොප්පිය දාගෙන කල්ලි බෙදිල මරා ගත්ත. වෙළෙන්ඳො ඒක බලලා තලු මර මර රෑට රෑට සෙට් වෙලා බෙදා ගත්තා. අන්තිමට උන් ඔටුනු පළන් රජුන් වුණා. අපි ඔලුව පලන් ගිලන් වුණා. හැබැයි මේ ඔක්කොම සංසිද්ධි වෙන්න කලින් අපි හිටියෙ එංගලන්තෙ ඔටුන්න යට. භාග වෙලාවට එහෙම හිටියනම් හොඳයි කියලා බොහෝ අය කියනව මට ඇහුණා. ඒත් ඒක කොච්චර හරි ද වැරදි ද කියල කියන්න මට තේරුමක් නෑ. මටත් දැනගන්න ලැබුණා එක දහස් නවසිය පනහ වෙනකොටත් ආසියාවෙන් අපි දෙවෙනි වෙලා හිටියෙ ජපනට විතරලු. එතකොට අපි ලෝකෙ එකෙකුටවත් ණය නෑ. ඉතිං ඊටත් වඩා හොඳටම කොරන්න නේ එංගලන්තෙ ඔටුන්නෙන් නිදහස් වෙලා අපේ උදවියට ඔටුන්න දාල මේක පාලනය කොරලා මේ තරමට සුඛිත මුදිත කොරේ. දැන් හැම එකාම ලක්ෂ දහයක් ණයයි කියනවනේ. 

දැං ඔයි ඊයෙ පෙරේදා සඳහටම ඔටුන්න හැරදා ගිය දෙවන එළිසබෙත් මහ රැජින තමයි එයාගෙ කිරීටෙන් අපි නිදහස් කොරේ. ඒ උත්තමාවියට ඔටුන්න ලැබුණෙ අහම්බෙන්ලු නේ. පෙළපතේ සමහරු ආදරෙන් මත්වෙලා රජකම අතහැරලා. සමහරු අකාලෙ මියගිහිල්ලා. ඉතිං කවුරු කොහොම කිවුවත් තාමත් සම්ප්‍රදායට ගරු කොරන රටක් නිසා එකදහස් නවසිය පනස් දෙකේ පෙබරවාරි හය ඇයගේ පිය රජතුමා වුණු හය වෙනි ජෝර්ජ් රජුගේ මරණෙත් එක්ක එවකට අවුරුදු විසිහයක් වුණු දෙවැනි එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය රැජින හැටියට අභිෂේක ලැබුව නොවැ. ඕං ඊට පස්සෙ දෙවතාවක්ද කොහේදෝ ලංකාවටත් ඇවිල්ලා. කෝච්චියෙන් අනුරාධපුරෙත් ගිහිල්ලා. එවකට හිටපු රටේ නායකයත් එක්ක මහ වේල්ලක් බලන්නත් ගිහිල්ලා. ඒ වේල්ලට වික්ටෝරියා කියලා ඇයගේ මිත්තණියගේ නම දානව කිවුව හින්දා ඒක හදන්න සල්ලිත් දීලා. හැබැයි ඉතිං මහරැජින කෝච්චියෙ ගියාට අපේ රජවරුන්ට නම් වෙලාවක් නෑ කෝච්චිවල කරක් ගහන්න. කොහොමින් කොහොම හරි එදා ඉදල දෙදහස් විසි දෙකේ සැප්තැම්බර් අට වෙනකන් ඇය කිරීටය පාලනය කොරා. අන්තිමට හිරු නොබසින අධිරාජ්‍යයේ සඳ බැස ගියා. ඇයට නිවන්පුර හරි මොක්පුර හරි සුරපුර හරි ඕනෑ පුරයක යන්න ලැබේවා කියලා පතන ගමන් මට හිතුණේ මේ වෙනකොට සිරි ලංකාවෙත් අහම්බෙන් ඔටුනු පළඳලා ද එහෙම නැත්තන් කාගෙ හරි තොප්පියක් දාගෙන ඔක්කොටම වැරදි කාරය වෙලාද කියලා. හිතල බලන්ටකෝ.    

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය පස්වන දිගහැරුම.

2022-09-14 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...