ඉස්කෝලේ
පහුගිය දොහක හැමදාම සමාජෙට හොඳ වැඩ කොරන දකුණට එළියක් පදනමේ කොලූ පැටවුන්ගෙන් ආරාධනාවක් ලැබුණා ළමා දිනේ වෙනුවෙන් දුෂ්කර ඉස්කෝලෙක වැඩසටහනක් කොරල දෙන්න කියලා. ඉතිං ඕං ගමරාළත් ගියා. ගාල්ලෙ යක්කලමුල්ලෙ මිණුවන්දෙණිය කියන සුන්දර ගමේ තමයි මේ ඉස්කෝලෙ තියෙන්නෙ. ඉස්කෝලෙ නම තමයි මිණුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලය. මුළු ඉස්කෝලෙටම ළමයි 31යි. හැබැයි ඉතිං විවිධ හැකියාවල් තියෙන හරි දක්ෂ දරු පැටවු ටිකක්.
ඉතිං ඔය ඉස්කෝලෙ ගැන හැඟීමෙන් වැඩ කොරන වැඩිහිටියෙක් ඇවිත් හිටියා. එයාගෙ නම කුමාර. මනුස්සය ඉස්සෙල්ලම මගෙන් ඇහැව්වා පැණිත් එක්ක කහට බොනවද කියලා. මම කිවුවා හොඳයි කියලා. මිනිහ රූං ගාල ගොහින් අරගෙන ආවා කිතුල් පැණි. දැං එක කෝප්පෙකට කහට වක්කරා. තව කෝප්පෙකට පැණි වක්කරලා දුන්නා. ඔන්න ඉතිං අත් දෙකට කෝප්ප දෙකත් අරං ගමරාල අපූරු කහට බීමක් බිවුවා.
ඔය සංග‍්‍රහ කොරන අතරතුරේ තොරතෝංචියක් නැතිව ඒ මනුස්සය කියවනව ‘‘ගමරාල උන්නැහේ දන්නවද මේ ඉස්කෝලෙ වැහෙන්න ගිය ඉස්කෝලයක්. දේසපාලූවන්ටත් ඕන වුණේ මේක වහන්නනේ. ඇයි මහ රූස්ස ගස් එක්ක අක්කර හතරක ඉඩමක් තියෙනවනේ. හැබැයි ඉතිං අපේ ඉස්කෝලෙ ලොකු ඉස්කෝලෙ මහත්තය හැටියට හිටපු මහානාම මහත්තයටයි දැන් ඉන්න අඹවත්ත මහත්තයටයි පිං සිද්ධ වෙන්න තමයි මේ ඉස්කෝලෙ තියෙන්නෙ. මාත් ඉතිං ගමේ වැඩිහිටියෙක් හැටියට ඉස්කෝලෙ රැක ගන්න ඕන දේකට ලැහැස්තියි ගමරාල උන්නැහේ’’ කියලා කියාපි.
ඉතිං මට හිතුණ ඔය වැඩිහිටි දිනේට විතරක් අපි වැඩිහිටියො මතක් කොරාට එයාල ජීවිත කාලෙම පුංචි එවුන් වෙනුවෙන් කොච්චර දේවල් කොරනවද කියලා. ඒ විතරද ගුරු දිනය වෙනුවෙන් මහ උත්සව තියල ලොකු ලොකු ඉස්කෝලවල මුල් ගුරුවරුන්ටයි, ගුරුවරුන්ටයි උපහාර පිදුවට මේ වගේ දුප්පත් ඉස්කෝල රැකගෙන ඉන්න මුල් ගුරුවරුන්ටයි, ගුරුවරුන්ටයි ඇගයීමක් කොරනව නම් කොච්චර වටිනවද කියලා.
ඕං ඉතිං ඒ ගුරු වැඩිහිටි වටිනාකම හිතේ තියාගෙන එන්න හදන කොටම ලොකු ඉස්කෝලෙ මහත්තයා කියනවා මේ ගමරාල මගේ අදහසක් තියෙනව ඉස්කෝල වත්තේ මහ ගස් යට බංකු ගහල එළිමහන් පන්ති කාමරයක් හදන්න කියලා. ඉතිං ඒක හරි අපූරු අදහසක් නොවැ දරුවන්ට පරිසරය විඳිමින් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන එක. දැං මම කල්පනා කොරන්නෙ කාගෙ කාගෙ හරි උදවුවක් අරගෙන අපේ මහන්සියත් එකතු කොරලා ඔය වැඬේ කොරල දෙන විදියක් ගැන.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය අටවන දිගහැරුම.
2022-10-06 බ‍්‍රහස්පතින්දා.

No comments:
Post a Comment