ගෑණු ගැටේ
ගමේ ගොඩේ වෙල් ඉපනැල්ල එක්ක ගනුදෙනු කරන මහපොළොව එක්ක ඔට්ටුවෙන මම හදිස්සියෙ හරි කොළඹ රටට ගියපු වෙලාවට පිට්ටු බම්බු ගොඩනැගිල්ලයි එතනම තියෙන අනිත් උසම උස ගොඩනැගිලි දෙක දිහායි බලන්නෙ ඇස් දෙක ලොකු කොරලා. ඇයි ඉතිං අපි වගේ එවුන්ට කිට්ටු වෙන්න පුළුවන් තැන්ද ඔව්වා. එව්වා ඉතිං මහා දැන උගත්කම් ඇති ටයි කෝට් දාපු ලොකු මහත්වරුයි එක එක පාට ජාති මූණෙ ඉදලා කකුල්වල නියපොතු දක්වා උලාගෙන ඉන්න ලොකු ලොකු නෝනලයි යන තැන් නොවැ.
ආං ඒ පිට්ටු බම්බුව ළඟ තියෙන අනිත් එකට නොවැ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියන්නේ. මම හිතුවෙ ඔතන ලෝකෙත් එක්ක හරි හරියට ගනුදෙනු කොරන මහ ඉහලට ඉගෙනගත්තු සරස් බරස් ගාල ඉංගිරිස් කතා කොරන කට්ටිය විතරක් වැඩ කටයුතු කොරන තැනක්ය කියලා. මෙන්න යකඩො ඊයෙ පෙරේදා ඉදලා එක හා හූවයි. ඉස්කෝලෙ අටේ පන්තියට විතරක් ගියපු අම්මණ්ඩි කෙනෙක් මුර කාරයො පිරි වරාගෙන ඔය ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ ඉඳගෙන හරි හරි සෙල්ලං ගොඩක් කොරලා. මහ ලොකු ලොක්කො සල්ලං කොරලා. උන්ගෙ මුලු සේසතම සුද්ද කොරලා. කෝටි ප්‍රකෝටි ගාණක් සල්ලි හොයලා කියලා. දැන් තමයි මට තේරෙන්නෙ ඔතන කොටන්න පොලවක් නැතත් නටන්න හරි අපිටත් යන්න පුළුවන් තැනක්ය කියලා.
බලනකොට හොඳම ලෝකයො මෙතැන ඉදල නොවැ. කොහොමහරි පොත්ත සුදු කොරගෙන හිරට කොටට ඇදලා ඇඟ පත ගසාදාලා ගියානම් ගෑනියෙකුට කොච්චර එවුන් අහුවෙනවද අප්පා? ආණ්ඩුකාරයො, පිටරටවල ජනාධිපතිවරු, මහලොකු හාමුදුරුවරු, දේසපාලුවො. මෙවුන් ඔක්කොම දැන් ඉන්නෙ කිතුල් ඇට ගිලපු උගුඩුවො වගේ. ඔය ආයතනෙ නම තියෙන්නෙ තිකෝ කියලනේ. දැන් ඉතිං සල්ලි දාපු එවුන්ට අහන්න වෙන්නෙ තී කෝ කියලාය.
ඔය ඉතිං රට බේරගන්න යුද්දෙට ගිය රණසූර කොල්ලන්ට අටපාස් ආමි කාරය කියපු එවුන් අටපාස් නැති මේ ගෑනිට මැඩම් කියලා නොවැ. ඒ විතරක් නම් මදැයි තමන් දන්න කලාවක් කොරගෙන පුළුවන් විදියට තමන්ගෙ උපන්දිනේ ගෙදර කිරිබත් කෑල්ලක් කාලා සතුටුවෙන්නෙ නැතුව සමහරු ගිහිල්ල නොවැ සර්පයිස් ද මොකක්ද කියලා අනුන්ගෙ ගින්දරෙන් මේ ගෑනි දෙන ලොකු පාටිවලට. අනේ මන්දා මට මතක් වුණේ මීට අවුරුදු ගානකට කලින් ප්‍රවීණ නාට්‍යවේදී මැදවල පර්සි කේ. ජයතිස්ස ශූරීන් ඉදිරිපත් කළ මමත් රඟ පෑ ‘ගෑණු ගැටේ’ වේදිකා නාට්‍යය. අඩුගානේ ඒකවත් බලල තිබුනනම් මේ වගේ ගැටවලට අහු නොවී ඉන්න තිබ්බා.
බලාගෙන යනකොට ඔය නොදියුණුයි කියන කාලේ අහුනොවිච්චි දහංගැටවලට දැන් මේ දියුණු සමාජෙ එවුන් කොච්චර අහුවෙනවද? එකපාරක් දඬුවම් මුදලාලිට, ඒ සැරේ සෙලින්කෝ එකට, ඒ මදිවට සක්විතිට, තව ඉතිං ඊටීඅයි ද මොකක්ද එකට. මේ ඊයෙ පෙරේදා ඕං තව ඇල්පිටියෙ අම්මණ්ඩි කෙනෙකුටත් අහුවෙලා. හනේ ඔය සල්ලි රන් රත්තරන් බඩුවලට කොරන්න දෙයක් නැත්තං ඉස්සර රජ කාලෙ වගේ ගේ ඇතුලේ වළලලා හරි තියාපිය. එතකොට අනාගතේ පොඩි එවුන් හරි හාරල ගනීවි. ඔය එක එක අම්මණ්ඩිලාට පුදන්නෙ නැතුව.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය නවවන දිගහැරුම.
2022-10-13 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment