ගං වතුර
ඇළ දොළ ගංගා යාවි ගලා
දිය රැළි නංවා මුහුද සොයා
රන්වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා
ලා ලා ලා ලාල ලා ලාල ලල් ලල් ලාල ලා
මේක අසූව දශකයේ ගුවන් විදුලියෙන් අහපු ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයගෙ අපූරු ගීතයක් නොවැ. මට මේක මතක් වුණේ මේ දවස්වල ඇළ දොළ ගංගා සැරට ගලන නිසා ඕං. ඒ විතරක් නම් මදැයි ඒ කාලෙ සමනල්ලු ගැන ගතු කිය කිය මලක් විකසිත කොyරගත්තු උදවිය දැන් සිය කැමැත්තෙන්ම මල් යායම සමනලයට දීල කියලා කට්ටිය කතා වෙනව ඇහුන නොවැ.
කොහොම වුනත් හැම අවුරුද්දක ම වගේ මැයි මාසෙ අග සුමාන දෙකේ නැත්තන් ඔක්තෝබර් අග සුමාන දෙකේ අපේ පළාත්වලට ගංවතුර ගලන එක අරුමයක් නෙවෙයි. පුංචි එවුන් කාලෙ නම් අපට මේක හරිම විනෝදයක්. කෙහෙල් කොටන්වලින් පාරු හදාගෙන වතුර බැහැගෙන දියබුං ගැහුව කියහංකො. අනික ඒ කාලෙ මීට වඩා මහ ජල කඳක් එනවා. ඒත් එච්චර ගෙවල් නම් යටවෙන්නෙ නෑ. මොකෝ ගෙවල් තිබුණෙ උස්තැන්වල මිසක් කුඹුරුවල නෙවෙයිනෙ.
ඔය මහ ගංවතුර අඩුවුනේ ගිංගග යෝජනා කරමය කෙරුණට පස්සේ. ඒ කාලෙ ඕකට කිවුවෙ චීනගෙ වැඩ පොළ කියලා. අපේ පැත්තෙ අයත් ගියා ඕකෙ වැඩට. ඒ ගැන නම් වෙනම දවසක ලියන්න කතන්දර තියෙනවා. ඉතිං ඕකෙ දෙවැනි අදියරක් තියෙනව කියල ඒ කාලෙ කිවුවට එයින් පස්සෙ කිසිම දෙයක් කෙරුනෙ නෑ. එක්කො චීනට එපා වෙලා. නැත්නම් අපේ කට්ටියට සංතෝෂම මදි වෙලාද දන්නෙ නෑ. හැබැයි ඉතිං අපේ කට්ටියත් චීනෙට දෙවෙනි වෙන්න කැමති නැහැනේ. ඒක හන්දා ඔය වතුර ටික මුහුදට බහින මහමෝදර මෝය කට හරස් කොරලා මහ ගල් තඩි දාලා ගැහැවුවා වේල්ලක්. එතනින් කෙලින්ම බැහැපු වතුර පාර දැන් බහින්නෙ හැරිලා. ඒක හන්දා වෙනදට වඩා ඉක්මනට වැලි ගොඩවෙලා මෝය කට වැහෙනවා. ඔන්න ඉතිං හයියෙන් වැහැලා වතුර ගලනකොට අදාළ බලධරයො ඩෝසරයක් හොයාගෙන යනවා. මෝය කපනවා. ගොඩක් වෙලාවට කපන කොට මෙහේ වෙන්න ඕන දේවල් වෙලා හමාරයි. අපේ කුඹුරු, කොරටු, භෝග වගා සම්පූර්ණ විනාසයි. අර මෝය කට හරස් කොරල දාපු වේල්ලෙ පොරෝජනේ ගන්නෙ කුඩයක් යටට වෙලා කිටි කිටියේ තුරුලු වෙලා ඉන්න ජෝඩු විතරයි.
කොහොමින් කොහොම හරි මිනිස්සුන්ට මහා පුරස්න ගොඩක් ඇවිල්ලා හොඳටෝම හෙන්ඩත් වෙලා ඉන්නව මදිවට ගංවතුරත් හයිරං කොරන්නෙ අපිට ම තමා. ඒ අස්සෙ කවුදෝ එකෙක් කියනවා යළි නැගිටිනවයි කියලා. තව එකෙක් කියනවා අලි නැගිටිනවා කියලා. කොහොම හරි පරිස්සමෙන් මොකෝ කලබලේට නැගිටිනකොට වැටුණු සේරම අහුල ගන්න බැරි වෙයි ඈ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දහවන දිගහැරුම.
2022-10-20 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment