මොනර පිහාටු
ඕං අපි හිච්චි කාලේ නිතර දුවාපු තැනක් තමයි හෝළුවගොඩ දේවාලේ. ඒ කියන්නේ ඔය හෝළුවගොඩ දේවගිරි පුරාණ විහාරස්ථානය. ඉස්සර ඉදල ඕකට ඔය දේවාලේ කියන්නේ ගලින් නෙලාපු ගණ දෙවි පිළිමයක් තැන්පත් කොරපු දේවාලයක් මූලික කොරගෙන වැදුම් පිදුම් කොරපු හන්දා. හිච්චි කාලේ ඉතිං වැඩිපුර ඔතනට දුවගෙන ගියේ ටිකක් හරි බඩගින්න නිවා ගන්න ඔය පූජ වට්ටියකින් පලතුරු ටිකක් කන්නයි ඔතන යාතිකා කොරන ජයසේකර මාමට කියලා ඔලුවට මොනර පිහාටු මිටිය තියාගන්නයි. හැබැයි ඉතිං පූජාවෙ හැටියටද අපලෙ හැටියටද දන්නෑ එක එක්කෙනාට එක එක විදියට මොනර පිහාටු සාත්තුව ලැබෙනවා. අපිත් කොහොමහරි අස්සෙන් ඔලුව දාලා මොනර පිහාටු මිටිය අතුල්ල ගන්නවා. හරී සනීපයි. මූණෙ ගෑවෙනකොට හංකිති කැවෙනවා. අනික ඒ කාලේ මේ පැත්ත පලාතක මොනරෙක් දකින්නත් නැහැ නොවැ. දැන් නම් ඕං ඔය අධිවේග පාර හැදුවට පස්සෙ හිටං මෙහේ මොනරු වැහි වැහැලා.
කොහොම වුණත් ඔය මොනර නැටුම හරි පරසිද්ධ එකක් නොවැ. හැබැයි ඉතිං අලංකාරය තියෙන්නෙ ඉස්සරහ පැත්තෙන් බැලුවොත් තමා. පස්සෙන් බැලුවොත් අර ඔක්කොම අහවරයි නෙව. ඒත් ඕං පෙරහැරවල මොනර නැටුමට තියෙන්නෙ පුදුම ඉල්ලුමක් නොවැ. පහුගිය දොහේ ඔය මොනර නැටුම් නටාපු කතා කොරන්න බැරි කෙලි පොඩ්ඩියෙකුට ලැබුණු ආදරේ දැක්ක නොවැ.
ඉතිං අර මාතර තිහගොඩ දිහෑ දරු පැටවුත් බලන්න ඇත්තෙ මොනර පිහාටු එකතු කොරගෙන පන්සලේ පෙරහැරේ ලස්සනට නටන්න වෙන්න ඇති. ඉස්සර අපේ හිච්චි කාලේ පියුම් මාමා දැක්කහමත් පොලෝසියෙන් කියල බයවුණ එකේ ඇත්තටම පොලෝසියෙන් පන්නව දැක්කහම ඒ පුංචි එවුන්ට මොනව හිතෙන්න ඇත්ද? අම්මප හනේ ඉතිං එහෙව් එකේ පාතාලෙ කෙරුමෙක් අල්ලනව වගේ පිස්තෝල අරගෙන පැනලා පුංචි එකාගෙ ඔලුවට තියන්න තරම් ඔලුව නොමේරූ එකෙක් නොවැ තරු පටි ගහල ඉදල තියෙන්නේ. හැබැයි ඉතිං මොනර බිත්තර පවා විනාස වෙන්න යාල ගොහින් වැඩ පෙන්නපු එකෙක්ගෙවත් ඔලුවට තුවක්කු පත්තු වුණේ නැහැ නොවැ. එක්කො ගියපු එවුන්ට ඔලු නෑ. නැත්තන් ආරක්‍ෂා කරන උන්ට ඔලු නෑ. හැම නීතියම ගමේ පුංචි එකාලට විතරයි ඕං.
අනේ ඉතිං කරාපිටියෙ ඉස්පිරිතාලෙ ලෙඩ ඇදේ ඉන්න මාතර තිහගොඩ දරුවට නිරෝගි සුව ලැබේවා කියලා ගමරාල ප්‍රාර්ථනා කොරනව ඕං.
ඉතිං මට හිතෙන්නෙ ඔය පොලෝසියෙ ගොඩක් එවුන්ගේ තරුපටිවල අලංකාරේ හරියට මොනර නැටුම වගේමයි. ඉස්සරහ බැබලෙනවා. පිටිපස්ස ඉතිං කියලා වැඩක් නෑ. මොනර කොළ දුන්න නම් නීතිය නවා ගන්න බැරි කමකුත් නෑ. අනේ හැබෑට වෙච්චි දෙයක්.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දොළොස්වන දිගහැරුම.
2022-11-03 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment