Thursday, November 10, 2022

මී මැස්සා - ගමරාලගේ අඬහැරය දහතුන්වන දිගහැරුම.

මී මැස්සා

ඕං ඉතිං බලාගෙන යනකොට මාත් හොඳ අප්පුහාමි කෙනෙක්නෙ බොලව්. ඇයි ඉතිං අපේ තාත්තගේ තාත්තා තේමිස් අප්පුහාමි. හැබැයි අපි උපදින්නත් කලින් උන්දැ වෙන ලෝකෙකට  ගිහිල්ලා. අම්මගෙ තාත්තා තමයි ජයනෝරිස් අප්පුහාමි. උන්දැ තමයි මට හිටපු මම දැකපු එකම සීයා. අදටත් මට ජීවිතේ ගත කොරන්න  බිම් කඩක් ලැබුණෙ සීය මට දක්වපු සෙනෙහස හින්දා. නැත්තන් අපට ඉන්න වෙන්නෙ මහ පාරෙ  තමයි. ඒ පිනෙන්ම උන්දැ හොඳ තැනක ඇති කියලා මම හිතනවා. 

කොහොම හරි හිච්චි එකා සන්දියෙ මට මතකයි ඔය අය වැය කියවන දවසට නම් සීය බැටරි කෑලි දාලා ගෙදර රේඩියෝ පෙට්ටිය  ලඟට වෙලා හොඳට අහගෙන ඉන්නවා. අඩු කොරන්නෙ මොනවද වැඩි කොරන්නෙ මොනවද කියලා.  හැබැයි  ඉතිං  ඉස්සර තමයි එහෙම අවුරුද්දකට සැරයක් ඕක කොරේ. දැන්නම් ඉතිං අවුරුද්ද පුරාම වැඩි කොරනවා.   ඉදල හිටල සොච්චමක් අඩු කොරනවා. ඒක හන්දා දැන් ඔය අය වැය ඇහුවත් එකයි නැතත්  එකයි. උන්ම කියවනවා - උන්ම අනුමත කොර ගන්නවා - කනවා - බොනවා -  සාජ්ජයක් දානවා - උන්ගෙ ගණු දෙනු බේරගෙන ගෙදර යනවා.  ඉතිං අපිට පිස්සුද ඕක අහගෙන ඉන්න. ඒ වෙලාවෙ හේනක් කුඹුරක් කොටා ගත්තම අහවරයි. 

දැන් ඔය අපේ ගමේ හිච්චි එවුන්ගෙත් තීනවා ළමා සමිතියක්. එවුන් ඔය පිංකමක් සල්පිලක් කොරහම අය වැයක් හදලා  එකතු වුන මුදල, වියදම් වුන මුදල, ඉතුරු වුන මුදල කියලා ටක්කෙටම ගණන් හදලා ඉදිරිපත් කොරනවා. ඒක ඔය මහ ආණ්ඩුවෙ අය වැයට වඩා සම්පූර්ණ පැහැදිලියි නොවැ. ඔය ආර්ථික ඔස්තාර්ල ගෙනාපු අය වැයවලින් උඩයි පල්ලයි දෙකම නැතුව අන්තිමට අපි  වලපල්ලට වැටිච්චි එක  විතර නෙව වෙලා තියෙන්නෙ. 

ඕකත් එක්ක එකතු වෙච්චි ලොකුම වැඩේ නොවැ බදු ගැහිල්ල. ඉස්සර නම් ඔය ඇඟ බද්ද, කකුස්සි බද්ද, බලු බද්ද එහෙමත් තිබිල තියෙනවා. දැන් ඉතින් නම වෙනස් කොරලා ඊට වඩා බදු ජාති ගොඩක් තියෙනවා. බොහෝ වෙලාවට  මහ එවුන්ට බදු සහන - පොඩි එවුන්ට බදු මරණ තමයි. 

හැබැයි ඉතිං රීරි මාංසෙම හූරං කාලා ඡන්දයක් කිට්ටු වෙන කොටම සහනාධාර කියලා  කකුස්සි කටක් හරි බෙදපු ගමන් අපේ එවුන්ටත් ඔක්කොම අමතකයි. කන්න නැතත් අනිත් වැඩේ කොරන්න මේක හරි හම්බවුනා නේද කියලා ගැම්මට ගොාහින් කතිරෙ ගහල එනවා. 

පසුගිය දොහක මට ඇහුන තව ඔස්තාර් කෙනෙක් කියනවා මල නොතලා රොන් ගන්නා සේ තමයි බදු ගන්නෙ කියලා. හැබැයි  ඉතින් මීමැස්ස නම් මල නොතලා රොන් අරගෙන මී වදයක් බදිනවා. ඕං ඒකට ආණ්ඩු කොරපු සහ කොරන එවුන් මලත් තලලා රොනුත් අරගෙන මීයක් කඩන්නෙ අත ලෙවකන්නද කියලා මුලු මී වදයම කඩාගෙන උන් විතරක් පැණි බොනවා.   

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දහතුන්වන දිගහැරුම.

2022-11-10 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...