පෙත්සම
ඕන එකෙකුට ජීවිතේ ගැට ගහගන්න තමන්ටම කියල බිං අගලක් හරි තියෙන්න ඕන කියලනේ ඉස්සර මිනිස්සු කිවුවේ. ඒක හන්දා දීගයක් දෙන්න ඉස්සරවෙලත් ඉඩම කඩම හරකබාන තියෙනවද කියල හොයල බැලුව නොවැ. ඔය රජ කාලෙ නම් රජාට සේවය කරපු එවුන්ට ගම් නියම්ගම් පිටින් වෙන් කොරල දීල තියෙනව නොවැ. හැබැයි ඉතිං රජාගෙ කනෙනුත් රිංගල ඉඩම් ගත්ත එවුන් හිටිය කියලා අමතක කොරන්නත් බැහැ බොල. ඇයි අර පරදේසක්කාරයො ඇවිල්ලා රජතුමාගෙන් ගෙරි හමක වාසිය ඉල්ලගෙන කොරේ පොඩි පහේ විජ්ජුම්බරයක්ද?
රජ කාලෙන් මෙපිට මිනිස්සුන්ට මෙහෙවරක් කරපු උත්තමයෙක් තමයි ඩී. ඇස්. සේනානායක මහත්තයා. එතුමගෙ කාලෙ ගොවි ජනපද ඇති කොරල ගොඩ මඩ දෙකෙන්ම ඉඩම් දුන්න නෙව වගා කොරගෙන හරි ජීවත් වෙන්න. ඇයි මැතිනිගෙ පාලන කාලෙත් එහෙම නොවැ. අක්කර සිය දහස් ගණන් තිබිච්ච දළ කාරයන්ගෙ වතු ජනසතු කොරනව කියලා සෑහෙන්න හරියක් ආණ්ඩුවට පවර ගත්තෙ. කොටින්ම එතුමියට පරම්පරාවෙන් ලැබුණු වතුත් ආණ්ඩුවට පවර ගත්ත නෙව. මෙව්ව නම් ඉතිං මහ වටින වැඩ.
ඒකට දැන් මහතැන්වලට යන හැම එකාම බලන්නෙ ආණ්ඩුවට අයිති ඉඩමක් අල්ලගන්න. දැන් ඔය පහුගිය දවස්වල කිවුවෙ හිටපු ඇමතියෙක් එයාගෙ දෝනියැන්ද නමට හන්තානෙන් අක්කරේ රුපියල් තුන්සිය ගානට ආණ්ඩුවෙන් අරගෙන තියෙන්නෙ. දැන් ඒ ඇමතිය විරුද්ධ පක්සෙ ඉඳගෙන විලි ලැජ්ජ නැතුව මෙවුන් හොරු කිය කිය කියනවා. බලනකොට ඔක්කොම එක මල්ලෙ. ඔය ඇමතිලාට අක්කරේ දෙන ගානට ඉඩම් නැති ගොවියන්ට ඉඩම් දීලා ත්‍රෛයිලෝක විජයපත්‍ර හරි වවන්න දෙනවනම් කොච්චර හොඳද අම්මප. ඒව ඉතිං හීන තමයි. දැන් ඔය අනුරාධපුර දිහාවෙ යාන්තං ජීවිතේ ගැට ගහගන්න පාර අයිනෙ බඩ ඉරිගු කරලක් බුලත් විටක් විකුණන මිනිස්සුන්ටත් වර්ග අඩි පහකට රුපියල් දෙදාහක් වෙන්න ගෙවන්න කියල නෙව. මොකෝ නැති එකාගෙ බෙල්ල මිරිකල හරි මහ එවුන්ට වරප්‍රසාද දෙන්න එපායැ.
දැන් ඔය ගමේ සමහර පොඩි මන්තිරිලත් එහෙමයි. ඔය එක පළාතක අක්කර ගානක ගස් බෙදාගෙන තිබුණෙ. තව ඉතිං පස් කපනව, වැලි ගොඩදානව, මැණික් ගරනවා එක එක සෙල්ලම්. මේ පළාතෙත් එහෙමයි. අනතුරුදායකයි කියලා ආණ්ඩුවෙ ගස් කපලා උන්ගෙ ලී මෝලකට ගෙනියනවා. බලපත්තර නැතුව කොස් ගස් කපනවා. හැබැයි ඉතිං බිම් අඟලක් නැති එකෙකුට ඉඩමක් දෙන්න ගියොත් හොරුම එකතු වෙලා පෙත්සං ගහනවා. සොබාදහම දඬුවම් දෙනකම් ඔහොම කරපල්ලකො. අන්තිමට කියන්න තියෙන්නෙ නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සං.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දාහතරවන දිගහැරුම.
2022-11-17 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment