Thursday, December 22, 2022

කෙහෙල් මල - ගමරාලගේ අඬහැරය දහනවවන දිගහැරුම

කෙහෙල් මල

බලාගෙන යනකොට අපේ රටට කෙලවිල තියෙන්නෙ ඉහළ ඉඳල පහළ දක්වා හැම එකාම ඉස්සර හිටන් අයිස් ගහපු හන්දා. හැබැයි ඉතිං ඒ අයිස් ගහනව කියන්නෙ තමන්ට අදාල වැඩේ නොකර නිකං හිටපු එකට. ඒකට යකෝ දැන්. දැන් අර පිටරටවල වගේ හැමතැනකම අයිස් කඳු පිටින් කඩා වැටිලනෙ. කොහොම වුණත් කාලෙන් කාලෙට එක එක චිත්තරපටි ගෙනාවට ඕවට අහුවෙන්න ඕනෙත් නෑ. හැබැයි ඉතිං පුංචි එවුන් ගැන විපරමින් ඉන්න එකත් හොඳයි. ඒ මොකෝ උන්ට වඩා අපේ පොඩි එවුන් වටින්නෙ අපට නොවැ. දැන් ඉතිං ඔය අයිස් වරුසාවල් නවත්තන්න පුංචි එවුන් අත පතගාල බෑග් පරික්‍ෂා කොරල වැඩක් නෑ. එවුවයි මුල හොයා ගන්න ඕන. සමහර එවුන් කියනවා ඔය අරගල කරපු එවුන් තමයි මෙවුව ගෙනල්ල පුරුදු කොරේ කියලා. උන්ගෙ නායකය හිටියනම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ කියලා. එතකොට හත් වලාමේ අර ඕකට පුරුදු වෙච්චි දරුවො කියනව මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල තමයි ඇබ්බැහි වුණේ කියලා. එතකොට ඒ කාලෙ රට පාලනය කොරේ අරගල කාරයොද ? ඔය මහලොකු සකලවිද දැනුම තියෙන කට්ටිය නොවැ.

දැන් ඔය බුද්ධි අංශ කොච්චර තියෙනවද? මේ ඉස්කෝලෙ ලඟට වෙනකං අයිස් වරුසාව ඇවිල්ලා දරුවො ඇබ්බැහි වෙනකම් ඔවුව හොයා ගන්න බැරිවුණාද? කොහේද ඉතිං එවුන්ට වෙන වැඩ පවරනව නෙව. එක එකාගෙ පැවැත්ම හදාගන්න. ඉතිං ඊට පස්සෙ හැම මඟුලකටම අහිංසක දරුවො තමයි පලි. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලා ඕං සෞඛ්‍ය ලොක්කෙක් කියනවා පොලෝසියෙයි ත්‍රිවිධ හමුදාවෙයි කස්ටියත් අයිස් ගහනව කියලා. ඉතිං මොන දෙයියන්ට කියන්නද?

මේ ජරමර අස්සෙ කෙරෙන හොරකම නං අඩුවක් නැහැ නොවැ. මන්නාරම් ද්‍රෝණියේ තෙල් නිධියක් තියෙනව කිවුවා. ඒකට වෙච්චි දෙයක් නෑ. පුත්තලමෙ ඉල්මනයිට් නිධියක් තියෙනවා. ඒක තුට්ටු දෙකට පිටරටට දෙන්න යනවා. ඒකට මැදිහත් වෙලා තියෙන්නෙ කොම්පැනි දෙකක්. හැබැයි මේක මාධ්‍යවල වාර්තා කොරන්නෙ නෑ. ඇයි අර කොම්පැනි කාරයො වෙළඳ දැන්වීම් දෙන හන්දා. අනේ මන්දා හැමතැනම ගනුදෙනු. රටට හෙණ ගැහුවත් කමක් නෑ. ඒ අස්සෙ සේරුවාවිල රත්තරන් නිධිය ගැන තිබිච්ච වාරතාව අතුරුදහන්. ඒක බාර නිලධාරිය කියනවා එහෙම රත්තරන් නිධියක් තිබුණද කියල එයා දන්නෙ නෑ කියලා. ආණ්ඩුවෙ ඇමතියෙක් කියනවා රාජ්‍ය දේපල විකුණල හරි සල්ලි හොයා ගන්න ඕන කියලා. හැම එකාම එකයි අප්පා කියල වැඩක් නෑ.

ඕං මේක ලියන අතරෙ මං ගියා ගාලු ටවුමට ගොහින් එන්න වැඩ කීපෙකට. මෙන්න බොලේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ පේන දුරින් වයසක උන්දැ කෙනෙක් ලෑලි තට්ටුවක දාගෙන පොත් විකුණනවා. එතනට ආව අම්ම කෙනෙකුයි ඉස්කෝලෙ ඇඳුම ඇඳපු දුවෙකුයි. පොත් බැලුවා. සුභාෂිතය පොත තිබුණා. ගාන ඇහැව්වා. අර මනුස්සය කිවුව එකසිය විස්සයි කියලා. අඩු කොරල දෙන්න බැරිද ඇහුවා. අර මනුස්සය කිවුවා ඔය අඩුම ගාන තමයි නෝනා කියලා. මෙන්න බොලේ පොත පැත්තකට දාලා දෙන්නම පාරෙන් අනිත් පැත්තට පැන්නා. එතන තියෙනව රතු පාට ලොකු රඹුටන් ගෙඩි පහක් සීයයි කිවුවා. අඩු කිරිලි මොකුත් නෑ. රුපියල් සීයක් දීලා ගෙඩි පහක් ගත්තා. දෙන්නත් එක්ක කකා පාර දිගේ ලෙලි විසිකර කර බස්නැවතුම පැත්තට ගියා. විනයත් නෑ. ගුණයත් නෑ. ඉතිං කොහොමද කියපල්ලකො දරුවො හදන්නෙ. උනුත් බලන්නෙ පොත පත විසි කොරලා උඩ පැනලා රතු පාට රඹුටන් වල්ල කඩා ගන්න.

ඔය දහසක් පුරස්න අස්සෙ ඕං අගමැතිතුමා කමිටුවක් පත් කොරලා ජාතික පුෂ්පය හොයන්න. එච්චරයි අපිට අඩු. ඉස්සර ඉඳල අපි කියනව නොවැ මව් මරා උපන් කුමරා කෙහෙල් මල කියලා. මේකෙත් ඉතින් වැඩිපුර ඉපදුනු එවුන් කොරල තියෙන්නේ ලක් මව මරන්න කටයුතු කරපු එක නොවැ. ඒක හන්ද මං ඔය කමිටුවට යෝජනා කොරනවා දාපිය ‘කෙහෙල් මල’ කියලා.
 
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දහනවවන දිගහැරුම.
2022-12-22 බ්‍රහස්පතින්දා.    

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...