Thursday, December 29, 2022

සුනේ සුං - ගමරාලගේ අඬහැරය විසි වන දිගහැරුම.

සුනේ සුං

ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා

මේක ඉතිං ඉස්කෝලෙ ගියපු හැම එකාලම පාඩම් කොරපු කවියක් නොවැ. හැබැයි ඉතිං ඔය කියාපු විදියට උනාද කියන එක තමයි පුරස්නෙ. එහෙම වුනානම් මෙහෙම වෙයිද? කොහොම හරි දන්නෙම නැතුව දවස් තුන්සිය හැට පහ නම් ගෙවිල ගියා. දැන් ඉතිං සුබ නව වසරක් කියාගෙන එන වසරට ලැහැස්ති වෙනවා. ඔය ඔක්කෝම වචන විතරයි. වෙච්චි සුබයක් නැහැ නොවැ. සුබ වෙන්න නම් ඉතිං වැඩ කොරන්න එපායැ. ඒකට දැන් ඉන්න උන්. වැඩ නොකර බලා ඉදල අන්තිමේ කියනව අපේ වෙලාව හොඳ නෑ කියලා. හැබැයි උත්සාහයෙන් ජීවිතය ජයගත්තු එකාල පෙන්නල කියනවා උගෙ වෙලාව හොඳයි කියලා. මෙතන තියෙන්නෙ වෙලාවෙ පුරස්නයක් නෙවෙයි. තම තමන් වැඩ කොරන විදියේ පුරස්නයක්.

ඉස්සරනම් උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇහුනා

පිනිබර යාමේ සැවුලන් හඬලනවා - කොළඹ රේල්ලුව රජ ගමනක යනවා
අම්මා වට කර ලිප ගිනි ඇවිලනෙවා - නැගිටින් පුතුනේ බිම් මල් පූදිනවා

ඒ කියන්නේ මුලින්ම නැගිටින්නෙ කුකුළා. එයා නැගිටලා හැමෝම ඇහැරෙවුවා. හැබැයි ඉතිං ඊට පස්සෙ මොකෝ උනේ. වෙලාවට ඇහැරෙන එක පැත්තකට දාලා කුකුළා මරාගෙන කෑවා නොවැ. ඒකනේ අර පරණ චිත්තරපටියක විජය කුමාරතුංගයි, සෝනියා එක්ක ජෝ ඉඳගෙන සිංදුවක් කියන්නේ.

කොයි කාටත් කලින් පුතේ අඬලයි කුකුළා - ඌ කන්න සතෙක් සිටී ඒකා නරියා කියලා.

ඇත්තටම ඉතිං බලාගෙන යනකොට දැන් වෙලා තියෙන්නෙ ඒකම තමයි. කුකුලා ඇඬලුවට වැඩක් නෑ. දැන් නරියගෙ කාලේ. ඒකනෙ කියන්නෙ අවුවයි වැස්සයි නරියගෙ මඟුලයි කියලා. දැන් හැම තැනම ඒ වගේ. හැබැයි ඉතිං පුරසාරම් බාන්නෙ නම් ලිච්ඡවි රජ දවස වගේ කියලා.
මේකට පාලකයො විතරක් නෙවෙයි හැම එකාම වගකියන්නත් ඕන. ඒකනෙ අර බයිලාවක් තියෙන්නෙ ඇන්ටන් ජෝන් මහත්තයගෙ කන්තෝරුව කන්තෝරුව මම වැඩ කොරන කියලා. ආන් ඒක අහපල්ලකෝ. ඒකෙ කියන විදියට ඔය පාලකයොන්ට චෝදනා කොරන ගොඩක් තැන්වල තත්වෙ එහෙම තමා. දැන් මේක කිවුව කියලා මාත් එක්ක ආරෝවක් ගන්න එපා. මගෙ දෑහින්ම දැකපු දේවල් තියෙනව ඕන තරම්. ඉතිං කොහොමද කියහල්ලකො ගොඩ යන්නෙ.

එකපාරක් පත් වෙච්චි රටේ ජනාධිපතිනිය රට දියුණු කොරන්න වෙලාව වෙනස් කොරා. ඒ පාර ජ්‍යෝතිශ්‍ය කාරයො ඒ වැඩේ වැරදියි කියලා ඒ ගොල්ලො පරණ වෙලාවෙම හිටියා. ඒත් ඉතිං ඔය දෙකෙන්ම වෙච්ච සෙතක් නැහැ නොවැ. ඒ කියන්නේ ගොඩක් එවුන් කොරන්නෙ බොරුව. හැබැයි ඉතිං බොරු සළුපිළි අඳින එවුන්ගෙ රෙදි ගැළවෙන වෙලාවකුත් එනවා. දැක්කනේ පහුගිය දවසක දකුණු කොරියානු ආපදා සහන කමිටු සභාපති චෝං සුං ලි කිවුවේ වෙලාවට වැඩ නොකරන එක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා කියලා. ඉතිං ඔය ඉස්සර ඉඳලා අපි හරි ආඩම්බර ජාතියක් කියලා උන් කොරියන් කාරයො කියලා කියපු උජාරුව නවත්තලා අඩුම ගානෙ සුං කියපු විදියට වෙලාවට වැඩ කොරන්න පටන් ගත්තොත් රටම සුං නොවී බේර ගන්න පුළුවන් වෙයි කියලා තමයි මටනම් හිතෙන්නේ. ඒක හන්දා හැමෝම සුං නොවී හිතට එකඟව හරියට වැඩ කොරන්න බලාපල්ලා ලබන වසරවත් ඇත්තටම සුබ වෙන්න.

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසි වන දිගහැරුම.
2022-12-29 බ්‍රහස්පතින්දා.    

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...