Thursday, January 19, 2023

හෙනහුරා - ගමරාලගේ අඬහැරය විසිතුන්වන දිගහැරුම.

හෙනහුරා 

ඕං ඉතිං හැමෝම ඡන්ද ගැන කතා කරන වෙලාවේ පහුගිය දොහක තිබුණ නොවැ ඡන්දයක් සමූපකාර උත්සව සේවා සමිතියේ. ඒකෙ හිටපු නිලධාරියො අස්වෙන්න ඉස්සරවෙලා තිබුණා සභා රැස්වීම. එතන හරි අපූරුවට සැලසුම් කොරල තිබුණ නොවැ. සද්ද පෙට්ටිය කුරු කුරු ගානවා. කියන දේවල් පැහැදිලි නෑ. ඒක ඇහැවුවම කිවුවෙ සාමාජිකයෙක්ට තමා වැඩේ භාරදුන්නෙ කියලා. ඉතිං සද්ද පෙට්ටියට හෙනහුරා ගැහැවුවත් පුරස්නයක් නැහැ නොවැ. ඒ මදිවට හිටපු සභාපතිට හිතවත් කට්ටියක් ඉස්සරහම පුටුවල වාඩි කොරවලා. කවුරුහරි අඩුපාඩුවක් පෙන්නපු ගමන් එවුන් ටික කෑ ගහනව ඒක නවත්තන්න කියලා. අනේ ඉතිං සමූපකාර ව්‍යාපාරෙටත් හෙනහුරා ලබල වගේ තමයි. 

ඔය අතරෙ ගියා නොව ගාලු ටවුමට. ඕං එතකොට හම්බවුණා ඔසුහළක් කොරන හිතවතෙක්. මනුස්සය කියාපු කතා ටික ලියන්නම හිතුණා. පහුගිය දවසක ඇවිල්ල තියෙනව නෝන කෙනෙක් බෙහෙත් ගන්න. ඉතිං බෙහෙත් ටික දීලා ගාන කිවුවහම කිවුවලු අනේ අතේ තියෙන ගාන මදි. රෙදිපිළි ගත්ත ඉතුරුවුණේ මෙච්චරයි කියලා. ඉතිං බලපියකො මොන රෙද්ද ගන්නත් ඉස්සර බෙහෙත් අරං ඉන්න එපායැ. ඒ මදිවට තව දවසක් සිල් මෑණි කෙනෙක් කියලා එක්කෙනෙක් ඇවිල්ලා. කෙඳිරි ගාගෙන වාඩිවෙලා කිවුවලු මහත්තයෝ මට කොන්දෙ අමාරුවක් තියෙනවා. බෙහෙත් ගන්න කීයක් හරි දෙන්න කියලා. ඉතිං එයා කියල තියෙනවා සල්ලි නම් දෙන්න බෑ බෙහෙත් ටිකක් දෙන්නම් කෝ දෙන්න තුණ්ඩුව කියලා. බලනකොට ඒකෙ තියෙන්නෙ විටමින් පෙති වගයක නම්. ඒක ඇහැවුව කියලා පරුෂ වචනයෙන් දේශනා කොරල ගොහිං. තව දවසක් හාමුදුරු කෙනෙක් කියල කෙනෙක් ඇවිත්. ජංගම දුරකතනයක් දීලා ඒක තියාගෙන හදිසියකට කියලා රුපියල් තුන්සීයක් ඉල්ලුවලු. එයා අනේ ඒක එපා කියලා මුදලක් දීලා. පස්සෙ බලනකොට කඩ කීපයකටම ඒ වැඩේ කොරලලු. බලනකොට හැමතැනම හෙනහුරාලා. 

බලාගෙන යනකොට වඳින පුඳන තැන්වලත් හෙනහුරාලා. නීතිය රකින තැන්වලත් හෙනහුරාලා. රට පාලනය කොරන තැන්වලත් හෙනහුරාලා. මු`ඵ රටට ම හෙනහුරා ලබලා. කොරේ පිටට මරේ කියලා ඕං ඇමරිකාවෙන් කියනවා ලංකාවට සහන දෙන වැඩේට චීනෙන් හෙනහුරෙක් පහත්වෙලා කියලා. ඒක හන්දා වැඩේ කෙරෙන විදියක් නැහැ කියලා. ඔය පිටරටින් හිඟා කන වැඩේට උපදෙස් දෙන්න ඉන්දියාවෙන් ජයශංකර් කියලා මහත්තයෙකුත් එනවලුනෙ. ඔය උපදෙස් සෙල්ලං ඔක්කෝම ඉවර වෙනකොට මොන සංකර් ආවත් හැමදාම ජයගත්තෙ උන් විතරයි. අපිට ඉතිං හෙනහුරාගෙ ඒරාෂ්ටකේ නොවැ. ඕං ඒ අස්සෙ අවුරුදු තිහකට පස්සෙ දාහත්වෙනිදා හෙනහුරා මාරුවුනා කියල තමයි ජ්‍යෝතිෂ්‍යවේදියො කියන්නෙ. දැන්වත් වැඩේ හරියයිද මන්දා. කොහොම වුණත් මන් බැලුවෙ අවුරුදු සියගාණක් පරණ හෝ`ඵවගොඩ නුග ගහ ළඟට ගොහිල්ලා හෙනහුරාට පූජාවක් තියන්න. සෙනසුරාදාට එතන හරියට සෙනඟ. ඒ තරමට ඒරාෂ්ටක නොවැ.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසිතුන්වන දිගහැරුම.

2023-01-19 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...