Thursday, January 12, 2023

බංගලි වළලු - ගමරාලගේ අඬහැරය විසිදෙවන දිගහැරුම.

බංගලි වළලු

ඉස්සර මාසෙකට දවසක් අපේ ආත්තම්ම මට කියනව ලැහැස්ති වෙලා එන්න පැන්ෂොන් ගේන්න කන්තෝරුවට යන්න කියලා. මම ඉතින් ඉහේ මලක් පිපුන වගේ  සුටුස් ගාලා ලැහැස්ති වෙනවා. මොකෝ මටත් මක්ක හරි හම්බවෙන හන්දා. අපේ සීයා වැඩ කොරේ ඔය මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ නොවැ. උන්දැ අසනීප වෙලා අපි අතෑරලා ගියාට පස්සෙ තමයි ආත්තම්ම ගියේ පැන්ෂොන් එක ගේන්න. ඕං ඉතින් උ`ඵවිටිකෙ තැපැල් කන්තෝරුවට ගිහිල්ලා පැන්ෂොන් එක අරගෙන එහෙම්ම පාර දිගේ ජයවර්ධන කඩේට යනවා. ගොහින් ගන්නවා අඩුම කුඩුම. මටත් ඉතිං එව්වයින් ටික ටික අරගෙන දීලා විස්කෝතු පැකට් එකකුත් අරගෙන දෙනවා. ඒක ඉතිං මාරම වටිනවා  ඒ කාලෙ හැටියට. වැඩිපුර බඩගින්නෙ හිටපු කාලෙ නොවැ. 

ඒකට මෙදා  සැරේ. පැන්ෂොන් එක කන්තෝරුවට එවල නෑ කියලා ඕං එක අවනඩුවයි. ඒ  මිනිස්සු වයසට යනකම් විය කොරලත් නියමිත දවසට පැන්ෂොන් එක නැහැ නොවැ. ඒ අස්සෙ ජන අධිපති තුමා කියනව ඉස්සරහට හොඳටෝම අමාරුයි.  මුකුත් ගෙවන්න වෙන්නෙම නෑ  කියලා. ඒ විතරක්යැ බදුත් වැඩි කොරලා ලයිට් බිලත් වැඩි කොරලා සේරෝම අය කරගන්න ඕන කියලත් කියනවා. යකඩෝ මං අහන්නේ අපිට ලැබෙන කරමයක් නැතුව කොහොමද ඔවුව ගෙවන්නෙ. අනික අපෙන් එහෙම බදු ගනිද්දි විදුලි බල මණ්ඩලේ ලොකු ලොක්කො එයාලගෙ  බදුත් අපේ සල්ලිවලින්ම ගෙවලලු. උන් ඇමතිට බනිනවා. ඇමති උන්ට බනිනවා. අපි හුරේ දදා බලන් ඉන්න අතරේ දෙගොල්ලම අපේ රීරි  මාංශෙ  හූරගෙන කාල නොවැ. 

ඒ මදිවට පහුගිය කාලෙ මහ කතාබහක් ගියා නොවැ ගංජා වවලා රට යවලා ඩොලර් හොයා ගන්න පු`ඵවන් කියලා. මෙන්න බොලේ එහෙව් එකේ ගංජා වවලා වේලල මිටි බැදලා යවල තියෙන්නෙ පොලෝසියෙ ලොකු මහත්තයෙක්ගෙ සිවිලිම උඩට නෙවැ. ඉතිං කොහොමද ඩොලර් හම්බවෙන්නෙ. 

ඒවා මේව කොහොම වුණත් ගාල්ල මහනුවර, යාපනය නගර සංවර්ධනය කොරන්න කියලා ලෝක බැංකුවෙන් දීපු ආධාර පාවිච්චි නොකරපු හන්දා ඕං කෝටි ගානක් ආධාර කපා දාලා. බලපියකො කොරන අපරාධ. දීපු ආධාරෙන් පොරෝජන ගන්න බෑ. ඒ වුනාට හිඟන්නගෙ තුවාලෙ වගේ හැමදාම ලෝකෙට අතපාගෙන  ඉන්නවා. 

හොඳම වැඩේ කියන්නෙ සහන ණය කරමයක් යටතේ ජපානෙන් දෙන්න හැදුව නොවැ කෝච්චි. මේං බොල ඒක එක පෑන් පාරින් නවත්තල දැම්ම නොවැ ජපන් උදව් අපට එපා කියලා. ආන් අන්තිමට යස අපූරුවට ජපානෙන් දීපු කෝච්චි තෑග්ග බංගලි දේසෙන් බාර ගත්තා. දැන් අන්න එහේ අගමැතිතුමියගෙ ප්‍රධානත්වයෙන් වැඩේ පටන් ගත්ත. මෙහේ එවුන්ට ඉතිං හැමදාම අර ඇන්ජලින් ගුණතිලක නෝන කියපු මේ සින්දුව කිය කිය තමයි ඉන්න වෙන්නේ.

බංගලි වළලු ගෙන එන්නයි         පොරොන්දුව 

දුහුලැල් සාරි ගෙන එන්නයි         පොරොන්දුව

රන්මිණි මාල පළදන්නයි            පොරොන්දුව

එය ඉටු කරනා කළ නාවද                 ඉතිං තව 

එහෙම කාලයක් මෙහේට නම් එන හැඩක් නෑ. ආපු එකත් ගියේ බංගලි දේසේට. ඒක හන්දා හැමෝම මතක තියාගත්තට කමක් නෑ හෙට අනිද්දට එකේක පොරොන්දු දුන්නත් ඔය සේරෝම කඩවුණු පොරොන්දු තමයි.  

    

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසිදෙවන දිගහැරුම.

2023-01-12 බ්‍රහස්පතින්දා.    


No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...