Thursday, February 9, 2023

නවය - ගමරාලගේ අඬහැරය විසිහය වන දිගහැරුම.

නවය

අද මුලින්ම කියන්න තියෙන්නෙ භූමිකම්පාවකින් විනාස වෙච්චි තුර්කි සහ සිරියාවේ දහස් ගානක් මනුස්ස ජීවිතවලට නිවන් සුව පතනව කියල තමයි. බලාගෙන යනකොට මේක ලංකාවෙ කෝටිපතියන්ටත් මාර අපල කාලයක් නෙ. මේ ටික දවසට ඔය කෝටිපතියො කී දෙනෙක් මැරුනද?  ඒක තමයි කියන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිත් නෙවෙයි. සල්ලි කියන්නෙ ජීවිතෙත් නෙවෙයි කියලා. දැන් ඒ අස්සෙ සමහර උන්දලා ජීවත් වෙන්න සල්ලි නෑ කියලා හය හතර නොතේරෙන පුංචි එවුන් මරාගෙන උනුත් මැරෙනවා. මුං හැම එකාලම තේරුම්ගන්න  ඕන ජීවත් වෙන්න උවමනා වෙන්නෙ සල්ලි නෙවෙයි හිතේ හයිය කියලා.  ඔය හිතේ හයිය තිබුණෙ නැත්තන් තියෙන පුරස්නවල හැටියට මාත් එහෙනං එලොව තමා. ඒත් හිත හයියයි බොල. 

ඒ අස්සෙ මේ දවස්වල ලයිට් බිල ගැන මහා ගෝරනාඩුවක් නොවැ. ඇමති කියනවා කපන්නත්  ඕන බිල වැඩි කොරන්නත්  ඕන කියලා. මණ්ඩලෙත් කියනවා කපන්න  ඕන කියලා. උපයෝගීතා කොමිසම කියනව එහෙම බැහැ දෙන්න  ඕන කියලා. අපි ඉතිං මේක බලා ඉන්නව. විභාගෙට පාඩම් කොරන්න විදියක් නෑ කියලා දෙමාපියො කියනවා. ඉස්සරනම් අපි පාඩම් කොරේ කුප්පි ලාම්පු එලියෙන්. දැන් ඒකත් නැහැ නොවැ. ඇයි ලාම්පු පත්තු කරන්න භූමිතෙල් නැහැ නොවැ. 

කොහොම හරි ඔය ගාල්ලෙ ගල්වඩුගොඩ ඉපදිලා ජල විදුලිය හොයා ගනිපු විමලසුරේන්ද්‍ර මහත්තයා දැන් හිටියනං උන්දැට වෙන්නෙත් ජල විදුලිය නිපදවන යන්ත‍්‍ර සූත‍්‍ර හදන එක පැත්තක තියලා විදුලි බල මණ්ඩලේ පාඩු නැතුව පවත්තගෙන යන්න පුළුවන් සූත්තරයක් හදන්න තමා. වෙලාවට උන්දැ ඒ කාලෙම ඉපදිලා  ලාම්පු  එළියෙන් පාඩම් කොරලා විභාග පාස්වෙලා රට රටවලත් ගොහින් ඉගෙන ගෙන රටට සේවයක් කොරානෙ රට අතෑරලා යන්නැතුව.  ඒකට අපි හැමෝම එතුමට ණය ගැතියි නෙවැ. 

දැන් ඔය මොන අඩුපාඩු තිබුණත්  ඕං ආදරවන්තයින්ගේ දිනය කියල එකක් සමරන්නත් කට්ටිය ලැහැස්ති වෙනවා.  හැබෑට දැන් සිද්ධවෙන දේවල් දැක්කහම ඔය ආදරේ මොකක්ද කියල මෙවුන් දන්නවද කියන එකත් පුරස්නයක්. කොටින්ම අම්ම තාත්ත පවා තමන්ගෙම දරුවො මරනවනෙ. ඉතිං කොහෙද ආදරේ. අර බලපල්ලකො තුර්කියෙ සුන්බුන්වලට යට වෙච්චි දරුවෙක් ලඟට වෙලා හෙල්ලෙන්නෙ නැතුව බල්ලෙක් ඉන්නවා. අන්න ආදරේ කියන්නෙ  ඒකට. 

කොහොම වුණත් අද නවම් මාසෙ නව වෙනිදා. ඉස්සර ඉදල කතාවක් තියෙනවනෙ නවය නපුරුයි කියලා. දහතුනත් නපුරුයි කියනවා. කොහොම හරි ඔය නපුරු ඉලක්කන් ඔක්කොම එක පෝලිමට ඇවිල්ල තියෙන්නෙ. සමහර විට ලබන මාසෙ නව වෙනිදා කවුරුත් හිතන දෙයක් නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් හැමෝම වගේ නහුනව චක්කරේ එක්ක තමා ජීවත් වෙන්නෙ. ඒ කියන්නෙ අනූ නවයක් තියෙන එකා බලන්නෙ ඒක සීයක් කරගන්නෙ කොහොමද කියලා.   

 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසිහය වන දිගහැරුම.

2023-02-09 බ‍්‍රහස්පතින්දා.    


No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...