Thursday, February 16, 2023

ආලෝකය - ගමරාලගේ අඬහැරය විසිහත් වන දිගහැරුම.

ආලෝකය

ඕං ඉතිං පහුගිය සුමානෙ අඬහැරේ මම කිවුවෙ ලබන මාසෙ නවය කවුරුත් හිතන දේ නොවෙන්නත් පු`ඵවන් කියලා. ඒක අදටත් වලංගුයි. මොකෝ මං එහෙම කිවුවෙ අපිට ඔය  ඉස්සර ඉදලා ගංවතුරක් එනකොට කලින්ම දැනෙනව නොවැ. ඇයි ඊට කලින් මහ තඩි කබරු ගොඩට එනවා. යායෙ බැදල ඉන්න මීහරක් දිගටම කෑ ගහනවා. කොරවක්කා උගේ කූඩුවත් උස්සගෙන කුරුටු පුවක් පුවක් කිය කිය හබරල ගාල උඩට එනවා. ඉතිං ඒව මුකුත් නැතිවුනාම කියන්න තියෙන්නෙ කිසිදෙයක් වෙන හැඩක් පේන්න නෑ කියල තමා. 

ඒ අස්සෙ  ඕං වැල්ලවාය බුත්තල පැත්තෙ කීප සැරයක් පොළොව හෙලවුණා. ඉස්සර මිනිස්සු නම් කියන්නෙ මේ සිද්ධ වෙන දේවල්වලට අහස පොළව කම්පා වෙනව කියලා. ඇයි ඉතිං පංචමහා බූතයොනේ. හැබැයි වෙනදට නම් ඔය පැතිවල වෙන වෙන බූතයොත් ඉන්නව. ඇයි අර ඩයන නෝන කියන ඩොලර් හොයන තුන්ලෝකේ පත්තරේ ඔය ඉසව්වෙ සරුවට වැවෙනව නොවැ. ඉතිං වෙනදට නම් අපේ එවුන් ඕක මාත්‍රාව වැඩියෙන් අරගත්තහමත් කියනවා පොළොව හෙල්ලෙනව බොල  කියලා. හැබැයි මෙදා සැරේ නම් හෙල්ලුනේ ඇත්තටමයි. කොයි හැටි වෙතත් හැමෝම ඒ ගැන විපරමින් ඉන්න එකනම් හොඳයි. 

ආ තව එකක්. මං කීප වතාවක් කියල තියෙනවනේ මේ දැන් ඉන්න හිච්චි එවුන්ගෙ ඔ`ඵව විකෘති වෙලා කියලා. දැන් අර බලන්න හිච්චි එවුන් හතර දෙනෙක් වටවෙලා තාත්ත කෙනෙකුට ගහලා මරලා දාලා. ඉතිං නොදන්න එවුන්ගෙ ඔ`ඵ හදන්නෙ කොහොමද මේ රටේ ඉස්පිරිතාලවල ලෙඩට දුකට බෙහෙත් නැහැයි කියද්දි ආං දොස්තර කෙනෙක් ළමයින්ට දෙන්න මත්පෙති වගයක් තියාගෙන ඉදල අහුවෙලා. වෙනද නම් ඔය දොස්තර මහත්වරුන්ට කියන්නේ මිහිපිට දෙවිවරු කියලා. ආ ඒක කියනකොට මතක් වුණේ. නවගමුවෙ පත්තිනි දේවාලෙත් දින නියමයක් නැතුව වහල දාලලුනේ. කිල්ලක් අහුවෙලා කියලා. අර රජයේ මුද්‍රණාලයේ ඉන්නෙත් නෝන කෙනෙක් නිසා කිල්ලක්වත් අහුවෙලාද දන්නෙ නෑ හැබෑට. 

ඕං  ඉතිං හෙට අනිද්දට තියෙනවා මහාශිව රාත්‍රිය. ඒක ඉතිං ඔය හින්දු බැතිමතුන් මහ ගෞරවයෙන් භක්තියෙන් පේවෙලා සමරන එකක්නෙ. ඔය දිනේදි තමා තමුන් බලවත් කියල පෙන්වන්න ශිව දෙවියො මහා ආලෝක කදම්භයක් විහිදුවල ඒකෙ අගමුල සොයාපිය කිවුවලුනේ. එතකොට එක දෙවි කෙනෙක් ඌරු වේශයක් අරගෙන පොළොව හෑරුවත්, තව දෙවි කෙනෙක් හංස වේශයක් අරගෙන අහසට ඉගිලුනත්, හොයන්න බැරි වුණාලුනේ අගක් මුලක්. බලාගෙන යන කොට එකදාස් නවසිය හැත්තැ හතේ විහිදවපු ආලෝක කදම්භයේ අගක් මුලක් තාම එකෙකුටවත් හොයාගන්න බැරි වුණානෙ. කට්ටියක් ඌරො වගේ පොළව හාර හාර මොනවද හෙව්වා. තව කට්ටියක් හංසය වගේ බැලුන් හදාගෙන චන්ද්‍රිකා හදාගෙන ගුවන් ගතවුණා. අන්තිමට අපේ සල්ලි කාබාසිනියා කරා විතරයි හොයගත්තු අගකුත් නෑ මුලකුත් නෑ.  ඒ ආලෝක කදම්භයට අහුවෙලා හැම එකාගෙම ඇස් අන්ධවුනා. ඒකනේ මේ හෙනේ.  ඉතිං අපි  හැමදාම තුන්වෙනි ලෝකේ. වෙලාවකට හිතෙනවා ශිව දෙයියන්ටත් වඩා සිරි ලංකාවෙ හිටපු පාලකයොයි ඉන්න පාලකයොයි බලවත්ද කියලා. කොහොම වුණත් තොපිල හැමෝටම දෙයියන්ගෙම පිහිටයි.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසිහත් වන දිගහැරුම.

2023-02-16 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...