බිංදුව
ඕං ඒරොප්පෙ ආවට පස්සෙ වෙසක් එකත් ඔන්න මෙන්න තියලා අවුරුදු උත්සවයක් කොරන්න හම්බුනා නොවැ. මෙහේ ඉන්න සිරි ලංකාවෙ කට්ටියත් එක්ක කොහොම හරි උන්දැලගෙ සිංහල කම හොඳටම තිබුණ කියල මට තේරුණේ මගේ ළඟ තිබුණ පෑන ඉල්ලගත්ත දෙන්නම් කියලා. තාම ලැබුනෙ නැහැ නොවැ. සුද්දෙක් ගත්තනම් වැඩේ කොරගෙන ස්තුති කොරලා ආපහු දෙනවා. දන්නවනේ ඉතිං අපේ කට්ටිය. අපේකම එහෙමම තමා. මෙදා සැරේ අඬහැරේ ලියන්නෙ මලයාලම් සහයෝගයෙන්. මොකෝ අපේ රියදුරා ඉන්නෙ මලයාලම් ජාතික තෝමස්. උන්දැගෙ පෑන තමා පිහිට වුණේ. මලයාලම් ගුරුකම් ටිකකුත් ඉගෙන ගන්න පුළුවන් වෙයි ඉස්සරහට මයි හිතේ.
හැබැයි මෙහේ තියපු අවුරුදු උත්සවේ නම් අකාර විකාර තරග තිබුණෙ නෑ. ඇයි දැන් එහෙමනේ. ඇඟපත පුරා බනිස් එල්ලල කන්න දෙනවා. කුක්කු බෝතල් පොවනවා. මොන විකාරද බලපල්ලකෝ. දැන් ඉන්න හිච්චි එවුන් ඉස්සරහට පැරණි ජන ක්‍රීඩා කියලා ඔවුව කරාවි. දැන් ඉන්න එවුන්ට ඕන විනෝදයයි ජවයයි එකමුතුකමයි නොවේ. කුණු රසය. ඔහොම යනකොට රති ක්‍රීඩාව කියල එකකුත් අවුරුදු උත්සවේ කොරන්න බැරි නෑ. ගොඩකඳු අසිරිය කියලා අපි හරි සරුවට අවුරුදු උත්සව කොරා. ඔය සෙල්ලම් නම් තිබුනෙ නෑ එතකොට.
දැන් කඩවල් ඉස්සරහා රතිඤ්ඤා පෙට්ටි, කේක් පෙට්ටි අයින් කොරලා වෙසක් කූඩු, බකට්, සවු කොළ, බල්බ් වැල්, රැස් වළලු, බෞද්ධ කොඩි තමා තියෙන්නේ. මාසේ ලැබූ ගමන් වෙසක් නේ. මේ පාර ඕව විකිණේවිද දන්නෙත් නෑ. මෙදා සැරේ මිල වැඩියිලුනේ හැමදේම. දැන් ඔය වෙසක් කූඩු කඩෙන් ගෙනාවට අපි හිච්චි කාලේ එපාය බලන්න. හතර අතේ යනව බට කෝටු කපන්න. ඒ සැරේ ගොහින් බෙලි පට්ට රබර් ඔට්ටපාලු එකතු කොරන් එනවා. හදනවා කූඩු. පාට පාට සව් කොළ ගෙනහැල්ලා පාප්ප හදාගෙන දවස් ගණන් අලෝනවා. ඔය අතරේ අපේ මාමා නිවාඩු ආපු ගමන් යෝධ නෙ`ඵම් මල් හදනවා. තරු හදනවා. අහස් යාත්‍රා හදනවා. වත්ත පුරා රැළි රැළි බකට් එල්ලනවා. පුදුම ලස්සනයි. එහෙම වෙසක් එකක් ආයෙ එනේකක් නෑ. මොකෝ සේරෝම වෙනස් වෙලා. දැන් අපේ මාමත් නැහැ නොවැ.
වෙනද තැන් තැන්වල එළිය පෙට්ටි හතක් හදලා ඒවයි සත් සතිය පින්තූර ගහනවා. මෙදා සැරේ නම් නිකවැරටිය පැත්තෙ එළිය පෙට්ටි හතක ගහනවලු ගෑණු හත් දෙනෙක්ගෙ රූප. ඇයි ආවාස ගෙයකට පැනලා මාර දූතිකාවෝ වගේ හාමුදුරුවන්ගේ අහුවෙන තැන් ඔක්කොම අල්ලලා කියන්නේ. වෙනදා අත තිවුවෙ කඨින සිවුරට විතරයි. ඒකට දැන්. හැම එකටම අත තියනව නොවැ. තව ඉතිං ඔය පෝයට අපාය පෙන්නන්නත් වෙනද වගේ යක්කු රූප ඕන නෑ. අර පොඩි හාමුදුරු කෙනෙකුට අනිත් හාමුදුරු ගොල්ලෝ වට කොරගෙන කොහු වලින් ගහල තියෙන්නේ අත පය කැඩෙනකල්. ඒක තමා නියම අපාය. ඕං මෙදා සැරේ වෙසක් උත්සවේ සමරන්න ඕන විදිය කියලා පොලෝසියෙනුත් උපදෙස් දීලා තියෙන්නේ සිංහල බෞද්ධයට. රටකට ගිය කලක්.
අපි හිච්චි කාලෙ තිබුන ගොඩකන්ද කැකුළු ළමා සමාජෙ කියල එකක්. මේක ඒ දවස්වල සිළුමිණ පත්තරය හරහා ලියාපදිංචි කොරා. ඕං ඕකෙනුත් බීම දන්සලක් දෙන්න ආධාර එකතු කොරා. ඉතිං පොත අරගෙන ගියහම කවුරු හරි අඩු ගානක් ලිවුවොත් අනිත් කට්ටියත් ඒක බලලා ඒ ගානම තමා ලියන්නෙ. ඉතින් අපි කොරන්නෙ මාක් එකක් දාගෙන බිංදුවක් වැඩි කොරනවා. ඕං නැගලා යනවා. මිනිස්සු එහෙමයි. අනිත් එක්කෙනා ලියන විදියට තමා ලියන්නේ. දැනුත් ඔය පේන්නෙ නැද්ද අණක් ගුණක් නෑ එකෙක් නිවන් සුව කියල දැම්මහම ඔක්කොම උන් දාන්නෙ ඒක. කොහාම හරි බිංදුවට තියෙන වටිනාකම ඒකාලෙ තමා දැනගත්තෙ. ඒක හන්දා අදටත් බිංදුවට වැටුණත් සැලෙන්නෙ නෑ. ඒවා ජීවිතේට ලැබෙන වටිනාකම්. ඒ දන්සලේ විස්තරේ වෙන දවසක කියන්නම් කෝ. දැනට මෙන්න මේ සිංදුව මතක් කොර ගන්නකෝ.
වෙසක් ලබනවා තොරණ් බදිනවා තැන තැන දන්සල් ඉදිවෙනවා
හරි හරි එහෙනම් ඕං හැමෝටම සිත නිවෙන සුබ වෙසක් මංගල්ලයක් ම වේවා. !!!
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය තිස් අටවන දිගහැරුම.
2023-05-04 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment