Thursday, May 11, 2023

අම්මාවරුනේ - ගමරාලගේ අඬහැරය තිස් නවවන දිගහැරුම.

අම්මාවරුනේ 

මැයි 09 මගේ උපන්දිනේ දවස නේ. ගිය අවුරුද්දේ එදා මම හිටියෙ ගාල්ලෙ අරගල භූමියේ. හරියටම ඒ උපන්දිනේ දවසෙ තමා ගෝල්ෆේස් අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල වුණේ. මං හිතුවා  අරලිය ගහ මන්දිරේ ඉදල ගැම්මට එන කට්ටියගෙන් මටත් උපන්දින තෑග්ග හම්බවෙයි කියලා. අපේ ගෙදර එවුනුත් හොඳටම කලබල වෙලා. පුතා ආව මාව හොයා ගෙන. කොහොම වුණත් අපි කණ්ඩායමක් තීරණය කළා මේ සිද්ධියට විරෝධය පළ කොරලා මේකට සම්බන්ධ ආණ්ඩුවේ බලවත්තු වහාම අත්අඩංගුවට ගන්න කියලා සන්දේශයකුත් ලියාගෙන ගොහින් බාර දෙන්න. ඕං ඉතිං මං අඬබෙරේකුත් ගහ ගහ ගාල්ල ටවුම මැදින් ගියා නොවැ ඩික්සන් පාරේ ආණ්ඩුකාර කාර්යාලෙට ආණ්ඩුකාරයට සන්දේශය බාර දෙන්න. ආණ්ඩුකාරය මාරු වුණා. අන්තිමේ මායි දර්ශන සහෝදරයයි තීරණය කොරා ඒ ස්ථානයේ රැය පහන් කොරන්න. පොලෝසිය විතරක් නෙවෙයි හමුදාවෙනුත් ආවා. අපි සියලු ආරක්‍ෂාව මැද එතනම හිටියා. කොහොමහරි උපන්දිනය ගත කොරේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලෙ. ඒවා හොඳ සිහිවටන. 

කොහොමින් කොහොම හරි ඒරොප්පෙට ආවට පස්සෙ ඕං පළවෙනි වතාවට උපන්දිනේ සැමරුවා නෙව. අපේ මලයයි එයාගෙ නෝනයි මාව හෝටලයකට එක්ක ගොහින් ඔටුන්නක් දාලා කේක් කපල කන්න දීලා එක සෙල්ලමයි. තෑග්ගකුත් හම්බවුනා. මං නම් කවදාවත් එහෙම බලාපොරොත්තු වුණේ නෑ. මොකෝ ඉතිං තව වයසට ගිය එකනේ. ඒත් ඉතිං යකාගෙ හැටියට විමානෙ කියලා ඕන කරමයකට හුරු වෙන්න වෙනව ඉතිං. මේ සැමරුම සංවිධාන කොරපු මගේ මලයට, නෑනට, හරියටම අනිත් උපන්දින දරුවා හැටියට වැඩේට කර ගහපු සඳුන් මල්ලිට වගේම මම වයසට ගියාට සුබ පැතුම් එකතු කරපු හැමෝටම බොහොම ස්තුතියි ඈ. 

මැයි මාසෙ දෙවැනි ඉරිදා ලෝක මවුවරුන්ගේ දවස නොවැ. ඉතිං එදාට උජාරුවෙන් අම්මල සමරන අපේ සමහර එවුන්ගෙ වැඩනම් කියල වැඩක් නෑ. අම්මගෙ බඩෙන් ඉපදිලා තනේ කිරිත් බීලා අම්මලගෙ තුරුලෙ ලොකු මහත් වෙලා ඊට පස්සෙ පොත්ත සුදු ලොකු නෝන කෙනෙක් බැද ගත්තට පස්සෙ එවුන්ගෙ කීමට අම්ම තමන්ගෙ ළඟ තියාගන්නත් ලැජ්ජයි කියල පැත්තකට කොරනව නොවැ. හැබැයි ඔය ධර්මය හොඳටම තියෙනව කියන සිරි ලංකාවෙ. ඒකට හිච්චි කාලෙ හදාගන්න බැරි කමට සුද්දෙක්ට හදා ගන්න දීපු ළමයි ලොකු මහත් වුණාම කොච්චර කෝටිපතියෙක් වුණත් එවුන් සෑහෙන්න මහන්සි වෙලා සිරි ලංකාවේ අම්මා හොයාගෙන එනවා. දැන් කල්පනා කොරහල්ලකෝ හරියටම මනුස්ස ධර්මය තියෙන්නෙ මොන රටේද කියලා. 

අපි හිච්චි කාලෙ හිටපු ගමන් අපේ මාම  එක්ක කොළඹ සීයලහ යනවා. සීයල හිටියේ අර ස්පාඤ්ඤෙට පිපිඤ්ඤ පැටෙවුවා කියලා ඔය කට්ටිය කියන්නේ කොම්පඤ්ඤ වීදියෙ.  ඉතිං අපි යන්නෙ කෝච්චියෙ. ආන් ඒ යනකොට කලුතර අහුවෙනවනේ. කෝච්චියෙ හැමෝම වගේ කලුතරදි නැගිටිනවා. ඔලුව නවනවා. වදිනවා. ඒකෙන් තමා කලුතර දැනගත්තෙ.  ආන් ඒ කෝච්චි පාරෙ ගෑනු දරුවෙකුගෙ මළ සිරුරක් තිබිල නොවැ. මේ දවස්වල කලුතර  කිවුවහම මතක් වෙන්නේ බෝධිය නෙවෙයි ඕන් ඕක. ඉතිං බලන්න බෝධිය ගාව ඔලුව නැවුවට, පඬුරු දැම්මට මිනිස්සුන්ගෙ ඔලුවෙ මනුස්සකම නෑ. ගුණවන්තකම නෑ. සමහර එවුන් රේල් පාරේ නිරුවත් මළ සිරුරක් තිබුණ කිය කිය පොරොත්ති දදා උන්ගෙ යූ ටියුබ් එක උස්ස ගන්න දගලනවා. මරණයක් විකුණල හරි කමක් නෑ එවුන්ට සල්ලි  හම්බ වෙනවනම්. ඒ අස්සෙ ඒ දරුවගෙ අම්ම කියනවා අපේ දරුව ගියේ දන්සල් කන්න එක්කන් ගිය එක්කෙනා තමයි මේක කොරලා තියෙන්නේ කියලා. ඉතිං ඕක බලලා අනේ ඇගේ අම්මට  කියලා සමහරු මවුවරුන්ගේ දිනේ ඔන්න මෙන්න කියලා සමරනවා. ඒ අස්සේ කියනවා අරගලේ නායකයෙක් තමා මේක කොරලා තියෙන්නෙ කියලා. ඉතින් එවුන්ගෙ අතින් කිසිම දවසක වැරැද්දක් වුණයි කියලා පිළිගන්නෙ නැති ගලේ බළල පැහැරුවත් ඒකත්  සුවඳයි කියන එවුන් අරගලේ කරපු එවුන්ගෙ අම්මලාට කියලා ඒගොල්ලො මවුගුණ සමරනවා. ඔහොම තමයි මවුගුණ සමරන්නේ. 

ඔක්කොම ලියලා අම්මට සිරි කියලා වැඩේ අවසන් කොරන්ඩ හදනකොට දැක්ක හොඳ කතාවක්. මාතර පැත්තෙ අම්ම කෙනෙකුට හම්බවෙච්චි දරුවෙක් හදවතේ සිදුරක් තිබුණයි කියලා තාත්තා ඒ අම්මගෙන් අහලා මොකද මූව මාතර ගඟට විසි කොරලා ගෙදර ආවෙ නැත්තෙ කියලා. ඒ තාත්තා අම්මයි දරුවයි අතෑරලා ගිහිල්ලා. ඒ අම්මා දහදුක් විඳගෙන දරුවා හදලා දරුව ලොකු මහත් වෙනකොට හදවතේ සිදුරත් වැහිලා ගිහිල්ලා. දොස්තර මහත්වරු බලලා කියලා දැන් හොඳටම හොඳයි කියලා. ඊට පස්සෙ ඒ අම්මා ඒ දරුවා සාසනේට පූජා කොරලා. ඒ දරුවා මහන වෙලා. ඒ ඔක්කොම ඉවර වුනාට පස්සේ ඒ අම්මට හදවත් රෝගයක් හැදිලා. ඒ අම්මා දුකින් හිටියෙ හදවත් රෝගෙ හැදිලා මැරුණට කමක් නෑ තව අවුරුදු දෙකකින් තියෙන උපසම්පදාවෙන් පස්සේ මැරුණනම් හොඳයි කියලා. කොහොම හරි අර හාමුදුරුවන්ගෙ තියෙන පිංවත් සම්බන්ධතා පාවිච්චි කොරලා සත පහක් වත් වියදම් කරන්නැතුව පෞද්ගලික රෝහලකින් අම්මගෙ පපුවෙ සැත්කම කොරලා අම්ම සනීප කොරගෙන. දැක්ක නේද මවුවරුන්ට සලකන මනුස්සකම පිරි දරුවෝ. අවසානෙට මට මතක් වුණේ නන්දා මාලිනී මහත්මිය ගායනා කොරන අම්මාවරුනේ ගීතය. මේක සියලුම මවුවරුන්ට උපහාරයක්ම වේවා !!

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් නවවන දිගහැරුම.

2023-05-11 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...