උණ
ඉස්සරනං ඉතිං ඔය හඳ රාහු අල්ලනව කියනව නොවැ. එදාට මහ විසාල කළු වලාවකින් හඳ වැහෙනවා. දැන් නං ඉතිං ඒක ගානක් නැහැ නොවැ. මොකෝ හඳ නොවෙයි මුලු රටම රාහු අල්ලලනේ තියෙන්නෙ. අපි ඉතිං හිච්චි කාලෙ හැමෝගෙම කටේ තිබුණ සිංදුවක් නොවැ සුනිල් ශාන්ත මහත්තයගෙ දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ කියන එක. හැබැයි ඉතිං ගස්වැල් කිරි මුහුදේ කියන එක දැන් වෙනස් කොරන්න වෙනවා. ගස් වැල් ගිනි මැලයේ පිච්චේ කියලා තමා කියන්න වෙන්නේ. ඇයි ඉතිං කැලෑ ගිනි තියනවා මදිවට ආං තණමල්විල දර අඟුරු කොරලා පිටරට යවන්න පැට්ටේරියකුත් පටන් අරගෙන නොවැ. හැබැයි දැන් මං බින්න බැහැල ඉන්න වැලි කතරේ ඩුබායි රටේ කෙලියට ගස් වවනවා. ඕං සිරි ලංකාවෙ වැලිමඩ උළුගලවත්තෙ හදන කාබනික පෝර දැන් ගේනවා ඩුබායි වගාවට දාන්න. බලාපියකො වෙනස කොහොමද කියලා.
ඉතිං මේ ඔක්කොම අස්සෙ කොහොම හරි බාහුබලී රොකට් එකෙන් ගොහින් ඉංදියාවෙ චන්ද්‍රයාන් හඳට ගියා නොවැ. ඒ වෙලාවෙ මගේ ඉන්දියන් මිත්‍රයා අප්පුඩි ගැහුවා. මමත් අප්පුඩි ගහලා අතට අත දීලා මිනිහට සුබ පැතුවා. ඒත් ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝදි උන්නැහේ සමුළුවක ඉදගෙන කොඩිය වනනවා අත්පුඩි ගහනවා කියලා ඔය වීඩියෝ එක මගෙත් එකක් ඉන්න මිත්‍රයට පෙන්නපු ගමන් උන්දැ බනින්න ගත්තා මේක අගමැතිගෙ වැඩක් නෙවෙයි කියලා. ඒ මදිවට අනිත් ආගම් අදහන අයටවත් උන්දැ කැමති නෑ එයා කියන්නෙ ඔක්කොම හින්දු වෙන්න ඕන කියලා. ඕං ඔහොම කියලා මිනිහ දොස් කිවුව නොවැ. ආං එහෙම ආගමික නිදහසක් නැති කොරන ලොකු අයියල තමා අපට උපදෙස් දෙන්නෙ බලය බෙදන්න කියලා. දැන් ඔයිපාර හදේ බලයත් බෙදයිද දන්නෑ. කොහොම වුණත් අර කිවුව වගේ 2048 වෙනකං ඉන්න දෙයක් නෑ මයි හිතේ. ඊට කලින් සුද්දියො එනව ලංකාවෙ ගෙවල්වල වැඩට. ඇයි අපි දැං සියල් සපිරි ජාතියක් නොවැ. ඒක හන්දනේ රේගුව සන්තකයේ තිබිච්ච දරුවන්ට උවමනා වෙන බඩු මුට්ටු කුඩු පට්ටම් කොරලා විනාස කොරලා දැම්මෙ. කොච්චර ඒවා නැති දරුවො ලංකාවේ ඉස්කෝලවල ඉන්නවද? දැං ඉතිං මේව බලනකොට සුද්දියො තේරුම් ගනීවි අඩේ සිරි ලංකාවෙ හොඳට සල්ලි තියෙනව නොවැ ඒක නිසානෙ යකෝ මේව කුඩු පට්ටම් කොරන්නෙ කියලා විගහට ලංකාවෙ ගෙවල්වල වැඩට එයි මයි හිතේ.
ඕං බලන්නකෝ රට දියුණු වේගෙන එනකොට කෙරෙන වැඩ. ආණ්ඩුවේ වාහන අතුරුදහන්. සංවර්ධන වැඩ අසාර්ථකයි. කෝටි ගාණක් සල්ලිවලට වෙච්චි දෙයක් නෑ. විශ්වවිද්‍යාලෙ මහ ඇදුරො නෑ. ඉස්පිරිතාලෙ දොස්තරල නෑ. ගිරාමසේවක වසම්වල විස්තර කොම්පියුටරේට දාන්න කියලා කෝටි ගාණක් ඉවරයි වෙච්චි වැඩකුත් නෑ. හැබැයි ඉතිං මක්ක නැතත් ගෑස් පෝලිම තෙල් පෝලිම නෑ කියල හිත හදාගෙන කට්ටිය ඉන්නව නොවැ.
ඕං ගාල්ලෙ නියාගම ඉස්කෝලෙන් දුවන්න හපන් දරුවෙක් මීටර් හාරසීය ජයග්‍රහණය කොරලා. ඉස්සරහට ලෝකෙත් එක්ක තරග කොරන්න හයියක් ඒ දරුවට තියෙනවා. ගමේ ගොඩේ ඔය වගේ වටින දරුවො ඕන තරම් ඉන්නව නොවැ. දැං ඕං ඔය මීපාවල ඉස්කෝලෙ පිට්ටනියෙ නිවාඩු දවසටවත් ගමේ කොල්ලො කුරුට්ටන්ට සෙල්ලම් කොරන්න දෙන්නෙ නෑ රැවුල් කාරයො කොණ්ඩ කාරයො එනවයි කියලා. හැබැයි ඉතිං රැවුල් කොණ්ඩ වැවුනට එවුනුත් ඒ ඉස්කෝලෙම ඉගෙන ගත්ත එවුන් තමා. දැං උං ටික ඒ වේදනාවෙන් ඉන්න අල්ල පනල්ලේ ඕං ඒ පිට්ටනියෙම මැදිරිගිරියෙ ළමා කණ්ඩායම ගෙනැල්ල සංගීතයක් ගහනවා. දැං අරුන්දල අහන්නෙ එදාට රැවුල් කාරයො කොණ්ඩ කාරයො එන්නෙ නැද්ද කියලා. ඔවුව ඉතිං බොහොම ලේසියෙන් විසඳන්න පු`ඵවන් පුරස්න බොල.
ඕං ලංකාවෙන් රට එන කට්ටියටත් පුරස්නයක් නොවැ. කහ උණට විදින බෙහෙත නෑ කියන්නෙ. හැබෑට දැං තියෙන තත්වෙ හැටියට කහ උණ, මී උණ, කුරුලු උණ නෙවෙයි ඔය පෝය දවසටත් බැංකු ඇරගෙන දඩබඩේට අස්වැසුම ගෙවනව වගේ විගහට කෙළ උණ එකට විදින්න දැම්ම බෙහෙතක් හොයා ගත්ත නම් වටිනවා. මොකෝ මෙච්චරකල් සමුර්දිය දුන්න කියලත් වෙලා තියෙන්නෙ හැම අවුරුද්දෙම ඒකට වෙන් වෙච්ච මුදල වැඩි වෙච්ච එක නොවැ. ඒ කියන්නෙ ජීවිතේට එකෙක්වත් සමුර්දිමත් වෙන්නෙ නම් නැත.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් පස්වන දිගහැරුම.
2023-08-31 බ්‍රහස්පතින්දා.
