Thursday, August 31, 2023

උණ - ගමරාලගේ අඬහැරය පනස් පස්වන දිගහැරුම.

උණ

ඉස්සරනං ඉතිං ඔය හඳ රාහු අල්ලනව කියනව නොවැ. එදාට මහ විසාල කළු වලාවකින් හඳ වැහෙනවා. දැන් නං ඉතිං ඒක ගානක් නැහැ නොවැ. මොකෝ හඳ නොවෙයි මුලු රටම රාහු අල්ලලනේ තියෙන්නෙ. අපි ඉතිං හිච්චි කාලෙ හැමෝගෙම කටේ තිබුණ සිංදුවක් නොවැ සුනිල් ශාන්ත මහත්තයගෙ දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ කියන එක. හැබැයි ඉතිං ගස්වැල් කිරි මුහුදේ කියන එක දැන් වෙනස් කොරන්න වෙනවා. ගස් වැල් ගිනි මැලයේ පිච්චේ කියලා තමා කියන්න වෙන්නේ. ඇයි ඉතිං කැලෑ ගිනි තියනවා මදිවට ආං තණමල්විල දර අඟුරු කොරලා පිටරට යවන්න පැට්ටේරියකුත් පටන් අරගෙන නොවැ. හැබැයි දැන් මං බින්න බැහැල ඉන්න වැලි කතරේ ඩුබායි රටේ කෙලියට ගස් වවනවා. ඕං සිරි ලංකාවෙ වැලිමඩ උළුගලවත්තෙ හදන කාබනික පෝර දැන් ගේනවා ඩුබායි වගාවට දාන්න. බලාපියකො වෙනස කොහොමද කියලා. 

ඉතිං මේ ඔක්කොම අස්සෙ කොහොම හරි බාහුබලී රොකට් එකෙන් ගොහින් ඉංදියාවෙ චන්ද්‍රයාන් හඳට ගියා නොවැ. ඒ වෙලාවෙ මගේ ඉන්දියන් මිත්‍රයා අප්පුඩි ගැහුවා. මමත් අප්පුඩි ගහලා අතට අත දීලා මිනිහට සුබ පැතුවා. ඒත් ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝදි උන්නැහේ සමුළුවක ඉදගෙන කොඩිය වනනවා අත්පුඩි ගහනවා කියලා ඔය වීඩියෝ එක මගෙත් එකක් ඉන්න මිත්‍රයට පෙන්නපු ගමන් උන්දැ බනින්න ගත්තා මේක අගමැතිගෙ වැඩක් නෙවෙයි කියලා. ඒ මදිවට අනිත් ආගම් අදහන අයටවත් උන්දැ කැමති නෑ එයා කියන්නෙ ඔක්කොම හින්දු වෙන්න ඕන කියලා. ඕං ඔහොම කියලා මිනිහ දොස් කිවුව නොවැ. ආං එහෙම ආගමික නිදහසක් නැති කොරන ලොකු අයියල තමා අපට උපදෙස් දෙන්නෙ බලය බෙදන්න කියලා. දැන් ඔයිපාර හදේ බලයත් බෙදයිද දන්නෑ. කොහොම වුණත් අර කිවුව වගේ 2048 වෙනකං ඉන්න දෙයක් නෑ මයි හිතේ. ඊට කලින් සුද්දියො එනව ලංකාවෙ ගෙවල්වල වැඩට. ඇයි අපි දැං සියල් සපිරි ජාතියක් නොවැ. ඒක හන්දනේ රේගුව සන්තකයේ තිබිච්ච දරුවන්ට උවමනා වෙන බඩු මුට්ටු කුඩු පට්ටම් කොරලා විනාස කොරලා දැම්මෙ. කොච්චර ඒවා නැති දරුවො ලංකාවේ ඉස්කෝලවල ඉන්නවද? දැං ඉතිං මේව බලනකොට සුද්දියො තේරුම් ගනීවි අඩේ සිරි ලංකාවෙ හොඳට සල්ලි තියෙනව නොවැ ඒක නිසානෙ යකෝ මේව කුඩු පට්ටම් කොරන්නෙ කියලා විගහට ලංකාවෙ ගෙවල්වල වැඩට එයි මයි හිතේ.  

ඕං බලන්නකෝ රට දියුණු වේගෙන එනකොට කෙරෙන වැඩ. ආණ්ඩුවේ වාහන අතුරුදහන්. සංවර්ධන වැඩ අසාර්ථකයි.  කෝටි ගාණක් සල්ලිවලට වෙච්චි දෙයක් නෑ. විශ්වවිද්‍යාලෙ මහ ඇදුරො නෑ. ඉස්පිරිතාලෙ දොස්තරල නෑ. ගිරාමසේවක වසම්වල විස්තර කොම්පියුටරේට දාන්න කියලා කෝටි ගාණක් ඉවරයි වෙච්චි වැඩකුත් නෑ. හැබැයි ඉතිං මක්ක නැතත් ගෑස් පෝලිම තෙල් පෝලිම නෑ කියල හිත හදාගෙන කට්ටිය ඉන්නව නොවැ. 

ඕං  ගාල්ලෙ නියාගම ඉස්කෝලෙන් දුවන්න හපන් දරුවෙක් මීටර් හාරසීය ජයග්‍රහණය කොරලා. ඉස්සරහට ලෝකෙත් එක්ක තරග කොරන්න හයියක් ඒ දරුවට තියෙනවා. ගමේ ගොඩේ  ඔය වගේ වටින දරුවො ඕන තරම් ඉන්නව නොවැ. දැං ඕං ඔය මීපාවල ඉස්කෝලෙ පිට්ටනියෙ නිවාඩු දවසටවත් ගමේ කොල්ලො කුරුට්ටන්ට සෙල්ලම් කොරන්න දෙන්නෙ නෑ රැවුල් කාරයො කොණ්ඩ කාරයො එනවයි කියලා. හැබැයි ඉතිං රැවුල් කොණ්ඩ වැවුනට එවුනුත් ඒ ඉස්කෝලෙම ඉගෙන ගත්ත එවුන්  තමා. දැං උං ටික ඒ වේදනාවෙන් ඉන්න අල්ල පනල්ලේ ඕං ඒ පිට්ටනියෙම මැදිරිගිරියෙ ළමා කණ්ඩායම ගෙනැල්ල සංගීතයක් ගහනවා. දැං අරුන්දල අහන්නෙ එදාට රැවුල් කාරයො කොණ්ඩ කාරයො එන්නෙ නැද්ද කියලා. ඔවුව ඉතිං බොහොම ලේසියෙන් විසඳන්න පු`ඵවන් පුරස්න බොල. 

ඕං ලංකාවෙන් රට එන කට්ටියටත් පුරස්නයක් නොවැ. කහ උණට විදින බෙහෙත නෑ කියන්නෙ. හැබෑට දැං තියෙන තත්වෙ හැටියට කහ උණ, මී උණ, කුරුලු උණ නෙවෙයි ඔය පෝය දවසටත්  බැංකු ඇරගෙන  දඩබඩේට අස්වැසුම ගෙවනව වගේ විගහට කෙළ උණ එකට  විදින්න දැම්ම බෙහෙතක් හොයා ගත්ත නම් වටිනවා. මොකෝ මෙච්චරකල් සමුර්දිය දුන්න කියලත් වෙලා තියෙන්නෙ හැම අවුරුද්දෙම ඒකට වෙන් වෙච්ච මුදල වැඩි වෙච්ච එක නොවැ. ඒ කියන්නෙ ජීවිතේට එකෙක්වත් සමුර්දිමත් වෙන්නෙ නම් නැත. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් පස්වන දිගහැරුම.

2023-08-31 බ්‍රහස්පතින්දා.    


Thursday, August 24, 2023

පළවෙනියා - ගමරාලගේ අඬහැරය පනස් හතරවන දිගහැරුම.

පළවෙනියා

අද කාලෙ රස්සා හොයන ගොඩක් එවුංට ඕන එකපාරට කැරකෙන පුටුවක වාඩිවෙලා සැපට ඉන්න නොවැ. ඒ උනාට එහෙම බෑ. ඉස්සර වෙලා කට්ට කාල දුක් විදලා තමා ඒ තත්වෙට පත් වෙන්න ඕන. හරියටම මීට අවුරුද්දකට ඉස්සර වෙලා වෙල් යායක් අයිනෙ බංකුවකට වෙලා ලියන්න පටන් ගත්තු ගමරාලගෙ අඬහැරය ගාල්ලෙ දක්‍ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානෙන් ජනගත කොරලා රට අතෑරලා වැලි කතරට ඇවිල්ලා ඇද උඩ ඉදෙගනත් ලිවුව නොවැ. ඕං අවුරුද්දක් පිරුනට පස්සෙ මට හම්බවුනා වැලිමඩ ඉපදිලා මෙහේ වැලිකතරේ රාජකාරි කොරන්න ආපු ඉංජිනේරු මහත්තයෙක්. ඒ නෝනත් රත්නපුරේ ඇහැලියගොඩ පැත්තෙ. ඒත් ඉංජිනේරු නෝන කෙනෙක් නොවැ. ඉතිං එයාල ඕස්‌ට්‍රේලියාවට යන හන්දා කැරකෙන පුටුවකුයි මේස පොඩ්ඩකුයි ගමරාලයට දුන්නා. මෙදා සැරේ ඉදල ඒ නෝනටයි මහත්තයටයි පිං සිද්ද වෙන්න ඕං ගමරාලයා කැරකෙන පුටුවෙ ඉදගෙන අඬහැරය ලියන්නංකෝ.
ඔය ගාල්ලෙ කරන්දෙණිය හරි පරසිද්ද කුරුදු වලට නොවැ. අක්කර ගණන් කුරුදු තියෙනවා. කුරුදු තලන අය වැඩිපුර ඉන්නෙත් ඒ පළාතෙ තමයි. ඉතිං අද ගොඩක් එවුං උඩිං යන්න දඟලන කාලෙක උඩු ගුවනේ ඉදල පැරෂුට් එකකින් මුලින්ම පැනපු නිලධාරිනියගෙ ගමත් ඔය කරන්දෙණිය. ඒ මේජර් මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ ආං එතුමිය සියලු දේවල් පැත්තකින් තියලා බුලුගල ආරණ්‍ය සේනාසනයක සසුන් ගත වුනා නොවැ. බලන්න අවබෝධය කොච්චරද කියලා.
ඕං ඒ අස්සෙ කරන්දෙණිය ඉස්කෝලෙක පිට්ටනියෙදි එක කොල්ලෙක් තව කොල්ලෙකුට පිහියෙන් අනිනවා. මක්ක බෙදා ගන්නද. තව කුරුණෑගල පැත්තෙ ගෑණු ළමයෙක් පංති නායකකම ගන්න ඕන හන්දා වහ බෝතලයක් ගෙනත් අනිත් එවුංගෙ වතුර බෝතල්වලට කවලම් කොරලා. වෙනද මෙවුව කොරන්නෙ දේශපාලනේ කොරන එවුං විතරයි. අනිත් එකා මරල හරි තැනට එන්න. ඒකට දැං. ඇයි කැකිරාව පැත්තෙ ඉස්කෝලෙ යන ගෑණු දරුවෙක් දෙකක් දාගෙන විසි වෙවී යනකොට ඕං පොලෝසියෙන් අල්ලලා. අනේ මන්දා වාද්දුවෙ හැප්පිල මැරුණ යාලුවගෙ මිනී පෙට්ටියට අවසන් ගෞරව දක්වන්න කියලා තව මෝටර් සයිකල් පිලාවක් ඇවිල්ලා රේස් කොර කොර තනි රෝදෙන් වැඩ දාලා. උං එහෙමයි ගෞරව දක්වන්නෙ. යකඩො ඒක එපා කිවුව කියලා වැඩිහිටියෙකුට වට කොරගෙන ගහනවලු. මීට කලිනුත් ඔය විදියට ජීවිතයක් නැති කොරානෙ. කිසිම අවවාදයක් පිළිගන්න කැමති එවුං නොවෙයි බොල දැං ඉන්නෙ. දැං මං ඔය හැම එකක්ම පළාතෙ නමත් එක්ක සටහන් කොරේ ඉස්සර කියන්නෙ නගරෙට ගියහම සංකර වෙනව කියලා. ඒකට දැං වෙනද බොහොම සුන්දරව තිබුණු ගහ කොළ සතා සිවුපාවා එක්ක බද්ද වුණු ගම් පළාත් නොවැ සංකර වෙලා තියෙන්නෙ.
ඒ මදිවට හේනක් කොරන්න ඉස්සර නම් බැද්ද තලලා ටිකක් ගිනි ගැහැවුවා විතරයි. දැං මහ වනාන්තර ගිනි තියනවා ඒවා අල්ල ගන්න. වතුර වලවල්වලට වස කවලම් කොරනවා සත්තු මරන්න. ඒ මදිවට පංසලක හිටපු අලියෙකුටත් වහ දීලා නොවැ. වතුර ඩිංගිත්තක් තියෙන වැව කාටහරි දීලා සල්ලි ගන්නවා මාලු අල්ලන්න. ඉතිං ඉතිරි වතුර ටිකත් හිඳල මාලු අල්ලනවා. ඉස්සර හේනුත් කොරා. දඩයනුත් කොරා. මාලුත් ඇල්ලුවා. හැබැයි ඔය තාලෙට නම් නෙවේ.
දැන් බලන්න ඉස්සර අපිට ගෙදරින් කියනවා කෑවනං බිවුවනං කෝප්පෙ පිගාන හෝදල තියපල්ල කියලා. ඒකට දැං ආච්චි හරි අම්ම හරි පැනපු ගමං ළමයින්ගෙ පිගන් කෝප්ප හෝදන්න බාර ගන්නවා. ඒ පාර උජාරුවෙන් කියනවා දරුවට පාඩම් වැඩනේ. මේව අපි කොරලා දෙන්න එපායැ කියලා. තමන්ගෙ ළමය පන්තියේ නායකය වෙච්ච ගමන් පොටෝ ගහලා මූණු පොතේ දානවා. අපිට වගේ දරුවන්ට දුක් විඳින්න බෑනේ කියලා සැප දෙනවා. කොහොම හරි පළවෙනියා වෙයං කියනවා. ඕං ඉතිං අනිකා මරාගෙන හරි අර දුක පුරුදු නැති ළමයි පළවෙනියා වෙන්න බලනවා. ඒක තමා මේ ඔක්කොම විනාසෙ. බලන්න කරුණාරත්න අබේසේකරයන් රචනා කොරපු අල්හාජ් මොහිදින් බෙග් මාස්ටර් ගායනා කොරපු මේ සිංදුව කොච්චර ගැළපෙනවද කියලා.

අවිචාර උන්මාද මේ ලෝකයේ                -          දෙවියන්ද මිනිසුන්ද නොමගේ ගියේ
බලකාමෙ ධනකාමේ වැල සේ එතේ       -          කරුණාව මුදිතාව පියඹා යතේ
ගුණදහම හැදියාව ගෑවී නැතේ                -          රජයාවි තන්හාව මානේ සිතේ
මුලු ලෝකෙ සොලවාලා සේසත් නගා     -          නැටුවාට ගැයුවාට එක් වී රගා
සැනසෙන්න බැරිවේය එය සහතිකයි       -          පරදාලා ජයගන්න ඕනේ හිතයි

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් හතරවන දිගහැරුම.
2023-08-24 බ්‍රහස්පතින්දා.    

Thursday, August 17, 2023

උම්මත්තකයෝ - ගමරාලගේ අඬහැරය පනස් තුන්වන දිගහැරුම

උම්මත්තකයෝ 

ඕං පහුගිය දවසක ගමරාලයට උදේ පාන්දර ඇමතුමක් ආවා සිරි ලංකාවේ හිතවත්තු දෙන්නෙක්ගෙන්. මොකද ඒ වෙලාවෙ පෙර පිනකටද කොහේදෝ  එවුං දෙන්න බේරිලා තියෙන්නෙ. මොකෝ හරියටම ඒ වෙලාවෙ උං ඉදල තියෙන්නෙ ඔය මීරිගම රේල් ගේට්ටුව ළඟ නොවැ. ඉතිං එවුං දැකල තියෙනවා කෝච්චි පාර හරහා යකඩ පෙට්ටියක් නැවතිලා තියෙනවා විනාඩි දහයක් විතර. ඒකෙ හිටපු මිනිහ බැහැල ගොහින් රේල් ගේට්ටුව මුර කොරන හාදයට කිවුවලු මේක නැවතිලා කියලා. ඒත් ඉතිං කොරපු කෙංගෙඩියක් නැහැ. කොහොම හරි ඒක එහෙම්ම තියෙද්දි එකපාරටම ලයිට් පත්තුවෙලා ගේට්ටුව වහලා.  ඊට පස්සෙ උන්දැ ටෝච් එකක් පත්තු කොරගෙන රේල් පාර දිගේ ඉස්සරහට දුවනවලු කෝච්චිය නවත්තන්න. අනේ අම්මපා මෙච්චර තාක්‍ෂණේ දියුණුයි කියන කාලෙක හදිසි පණිවිඩයක් දැනුම් දෙන්න  විදියක් නැති හැටි. 2048 දී වත් මෙව්ව වෙනස් වේවිදෝ? කොහොම හරි ඉතිං දඩ බඩාං ගාලා සද්දෙකුත් එක්ක වෙන්න ඕන වැඩේ වෙලා ඉවරයි. 

 දැං ඔතන ඔය පුරස්නෙ දැනගෙන පාර  හදන කීප සැරයකම අවසරය ඉල්ලල තියෙනව නොවැ රේල් ගේට්ටුව වෙනස් කොරන්න. කොහෙද රේල්ලුවෙන් අවසර දීලා නෑ. දැං ඉතිං කෝටි ගාණක් පාඩු උනාට පස්සෙ කමිටුවක් පත් කොරපිය හේතුව හොයන්න. අනේ මන්දා ඒ අස්සෙ හැමෝම කොට කොට යනව කියන ලංගමේ ඕං මාසෙකට කෝටි හයක් කොටලලුනේ. කොහොමද කෑම. වැඩේය කියන්නෙ ඔය හැම තැනකම වගේ ඉන්න එවුං හොරා කකා පාලකයන්ට විතරක් චෝදනා කොරනවා. උං හිතන්නේ සක්කර දෙයියො හිටගෙන කොරනවනං අපි පිනුං ගහ ගහ කොරාම මොකෝ කියලා. තව ඉතිං ඔය ගොඩක් හොරකං උගන්නන්නෙත් අමාත්‍යංශ ලේකම්ලම තමා. මොකෝ උන්ටත් වාසි නොවැ. අතේ ඇගිලි ගානට කීප දෙනෙක් තමා ඔව්වට විරුද්ධ වෙන්නෙ. 

 උතුරෙ දේශපාලකයො දහතුනක් අල්ලගෙන හරට්ටු අල්ල අල්ල ඉන්න වෙලාවෙ යාපනේ ඉපදුනු තර්ජනී සිවලිංගම් ලෝකෙටම අභියෝග කොරලා ලෝකෙ උසම දැල් පන්දු ක්‍රීඩිකාව හැටියට ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කොරලා දීලා ලක් මාතාවට ණය නැතුව ඕං අවුරුදු හතලිස් හතරක් වෙද්දි ක්‍රීඩාවෙනුත් සමුගත්තා. කොච්චර වටිනවද? කොහොම හරි ඕං මහ කලු සිංහලයත් ඉවර වේගෙන යන්නෙ. ඇයි ලෝකෙ කොටම මිනිස්සු ඉන්න රටවල් විසි පහට සිරි ලංකාවත් අයිතියිලුනේ. ඉස්සරහට රට සංවර්ධනේ වෙලා ගෙවල් දොරවල් වල වැඩ කොරන්න සුද්දියො එහෙම ආවහම පොඩි ඉනිමගකට නැගලා තමා වැඩ කියන්න වෙන්නේ. නැත්තං එවුංට අපි පේන්නෙ නෑ නොවැ. දැං ඉතිං ඔය දොස්තර මහත්තුරු රට අතෑරලා යන විදියට පුලුවං තරම් ඉස්පිරිතාල ගාව පෙට්ටි කඩ දාන එක තමා හොඳ. හම්බන්තොට හිටපු  සිහිනැති කොරන එකම දොස්තර මහත්තයත් පැදුරටත් නොකිය ගිහිල්ලලු නොවැ. හැබැයි සමහරු කියන්නෙ ඒ පැත්තෙ ගොඩක් එවුංට අමුතුවෙන් සිහි නැති කොරන්න දෙයක් නැහැ කියල තමා. 

 මොනව නැතත් කොරෝනා බෙහෙත හැමෝටම ගැහැවුවා කිය කිය කටමැත දෙඩෙවුව නොවැ. ආං ඒවා අරගෙන ඒ සල්ලිවලින් කොටහක් පිල්ලි ගහල කියන්නෙ. ඒවයෙ විස්තර ඔක්කොම හංගලලු නොවැ. ඔය ගහල තියෙන්නෙ බෙහෙත ඒකනේ සෑර් තමා හොඳටම කොරේ කිවුවෙ. 

  පත්තරවල පොත්වල අකුරුත් එක්ක හරඹ කොරපු ගාල්ලෙ අම්බලන්ගොඩ පොල්වත්තෙ උපන් අනුලා ද සිල්වා නෝනත් යන්නම ගියා නොවැ. හිච්චි කාලෙ මිහිර පත්තරේ කියවල අපි කොච්චර ඉගෙන ගත්තද ආං ඒ පිනම ඇති එතුමියට නිවන් දකින්න. ඒ කාලෙ අනුලා ද සිල්වා නෝනා සමුද්දර දේවි කෝච්චියෙ නොවැ බේරෙ ගෙදරට ගොහිං තියෙන්නෙ. ඒක ඇතුලෙ සිද්ද වෙන අවලං වැඩ ගැන ලිවුවා කියලා අන්තිමේ එවුංගෙන් බේරෙන්න බස් එකේ යන්නත් සිද්ද උනා නොවැ. ඉස්සර ඉදල ඔහොම තමා. හරි දේ පෙන්නන එකාට වට කොරගෙන ගහලා කොහොම හරි වැරැද්ද කොරන්නම තමා ඕන. ඉතිං රට පාලනය කොරන තැන ඉදලා කෝච්චිය බස් එක නෙවෙයි හැම තැනම පාලන අධිකාරියෙ වැඩිපුර ඉදල තියෙන්නෙ ඔය විදියට හිතල මතල වැඩ කොරන උම්මත්තකයො තමයි මයි හිතේ. 

 ඕං යූ. ඇල්. විමලජීව ඉස්කෝලෙ මහත්තය කියල තිබුනා ඒරොප්පෙ කියන වචනෙ වෙනුවට වෙන වචනයක් භාවිතා කොරන්ඩ කියලා. ඕං එහෙනං අද ඉදලා වැලි කතරේ හිටං ලියන්නං කෝ.     

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් තුන්වන දිගහැරුම.

2023-08-17 බ්‍රහස්පතින්දා.

Thursday, August 10, 2023

දඩය - ගමරාලගේ අඬහැරය පනස් දෙවන දිගහැරුම.

 දඩය 

 කාලෙන් කාලෙට එක එක පළාත්වල කට්ටියට එක එක උණ හැදෙනව නෙව. අගෝස්තු මාසේ ගාල්ලෙ කට්ටියට හැදෙන්නෙ වැල්ල දේවාල උණ. මොකෝ කොච්චර ගියත් ඇතිවෙන්නෙ නැහැ නොවැ. මේ කාලෙට වෙනද කුඹුරෙ වැඩට විතරක් ගන්න ලෑන්මාස්ටර් වලට හරි හරියට වැඩ නොවැ. කොල්ලො කුරුට්ටො කෙල්ලො විතරක් නෙවෙයි පවුල් පිටින් යන්නෙ ඕකෙ නැගලා ඩක ඩක ගගා බඩවල් ගැස්සි ගැස්සි ඔහේ යනවා. ඒ මදිවට රෑන් පිටින් බයිසිකල් බට්ටො ලොරි ඉතිං ඒවා ඔක්කෝම තැන් තැන්වල ගාල් කොරලා උණවටුන හන්දියෙන් ඇතුළට හැරිලා පයින් යන එක ලේසි වැඩක් නෙවෙයි. එකාට එකා හැපි හැපි කිටි කිටියෙ තද වෙලා තමා යන්නෙ. කොල්ලන්ට කෙල්ලන්ට නම් ඉතිං ඉබ්බ දියේ දැම්ම වගේ තමයි. 

 අවුරුදු සිය ගානකට ඉස්සර මහමුහුදෙන් ආපු දෙවොල් දෙවියො ඔතන ගල් පර්වතයේ භාවනා කොරා කියල තමයි ඉතිහාසෙ කතාව තියෙන්නෙ. ඔතන ඇතුල් වෙන තැනම මීගහ දේවාලෙ ගාව උත්සවේ කාලෙට මාත් කාලයක් යකඩ කටින් දෙඩෙව්ව නොවැ. එතකොට ඔය ඉතිහාස විස්තර කියන්නෙ හෙලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්තය එක්කත් එකට ආශ්‍රය කොරපු  බොහෝ ඇසුපිරූ තැන් තියෙන කොට්ටව  සිරිසේන රාළහාමි. එතුමගෙ පුත්තරය තමා ඔය අපේ කම අරගෙන අමුඩේ එක්ක ලෝකෙ පුරා යන සමන් ලෙනින් මහත්තයා. ගහේ කටු උල් කොරන්න දෙයක් නැහැ කියනවනේ. හැබැයි ඔතනට යන ගොඩක් එවුන්ට ඉතිහාසෙ ගැන වගේ වගක් නැහැ නෙව. ඉටි මල් පොකුරු, ප්ලාස්ටික් කෑලි, මැටි මුට්ටි ගන්න තමා යන්නෙ. පෙළක් එවුං ඉතිං තා මක්ක හරි සප්පායං වෙලා කඩල ගොට්ටක් කන්න තමා යන්නෙ. ඇයි එක පාරක් අර කවුද එකෙක්  ඇහැවුවෙ ඉතිහාසෙ කන්නද කියලා. 

 හත්වලාමෙ ඒ අස්සෙ මහ ඉඩෝරෙ හන්දා වැව්වල පතුල මතුවෙලා නොවැ. අක්කර දාස් ගානක ගොවිතැනක් බතක් කොරගන්න බැරුව ඉන්නෙ. සමනල වැවෙන් වතුර දුන්නොත් ලයිට් කැපෙනව කියල ඒකත් බැහැ කිවුවලු නොවැ. ලොක්ක කිවුවලු කමක් නෑ ගොයියන්ට වන්දි දෙමු කියලා. ඉස්සෙල්ල ලොක්කත් ගොයියන්ගෙන් අහන්නෙ නැතුව වියත්තු කියපු විදියට ගොයියන්ට හයිරං කොරන්න ගිහිං තමා අන්තිමේ උන්දැට ඉන්න හිටින්න තැනුත් නැතුව වන්දි ගෙවන්න සිද්ද වුණේ. අනේ ඔය වැව්වල පතුල් පෑදෙනව වගේ මුංගෙ මොල පෑදෙනවනම්. මොකෝ අං මෝදු වුණාට වැඩක් නෑ. ආං ඉන්න හරක්ටත් කන්න තණකොළ නැහැයි කියලා  හරක්ගෙ පිටෙත් බෝඩ් එල්ලල කිලිනොච්චියෙ විරෝධතාවයක් කොරානේ. අන්තිමේ බතුයි තණකොළයි දෙකම නැතුව ලයිට් පත්තු කොරගෙන පස් කාපියව්. දැං ඕං වැඩේ හරියන්නෙ නැතෙයි කියල උන්දැලටම තේරුං ගිහිල්ලද කොහෙද සැරින් සැරේ වතුර දෙනව කියල තියෙන්නෙ. හැබැයි ඉතිං ඔය නායකය කාලයක් තිස්සෙ විපක්ෂ නායකකං කොරන කාලෙනං කිවුවෙ එයා බලයට ආවහම පැරකුම් යුගයක් නැවතත් අරඹනව කියල තමා. ඒ සිංදුවනෙ දැම්මෙ යන යන තැන. 

 කතරගම දෙයියන්ටවත් මේ අවනඩුව කියන්න විදියක් නැහැ නොවැ. එතැන තියෙන සෙල්ලං වල හැටියට දෙයියො ඉදීවියැ. ඉස්සර කතරගම ගියහම කාවාඩිය නටන ගමන් කෑ ගහන්නෙ හරෝ හරා හරෝ හරා කියලා. ඒකට දැන් නිළමෙ කෑ ගහනවා කපුවන්ට ඇගිල්ල දික් කොරලා අරූ හොරා අරූ හොරා කියලා. එවුන් අනිත් පැත්තට ඇගිල්ල දික් කොරලා අරූ හොරා අරූ හොරා කියනවා. ඉතිං ගොහිං වැඩක් නෑ. දෙයියො බලන්න නං අර ආචාරිය සුනිල් ආරියරත්න මහත්තයගෙ කදිර දිව්‍යරාජ චිත්තරපටිය බලන්න තමා තියෙන්නෙ. 

 ඉස්සර නං පීරිසියක කලු මැදල ඉස්සරහින් පහනක් තියල තමා පාතාල අදුනින් බැලුවෙ. ඒකට දැන් ඔක්කොම පාතාලෙන් බලන්නෙ ඩුබායි ඉදගෙනලු නොවැ. පාතාල කෙරුමො බර ගානක් ඩුබායි ඉදගෙන සිරි ලංකාවට තුවක්කු බටේ දික් කොරගෙන එවුන්ගෙ වියාපාර කොරනවලු නොවැ. මාත් මෙහේ ඉදන් අඬහැරෙන් මහ එවුන්ට තලන විදියට මගේ නමත් ඔය පාතාල ලයිස්තුවට දාලා සී අයි ඩී එකට කියයිද දන්නෙත් නෑ. එහෙම වැඩ නොවැ කොරන්නෙ. 

 මං මේ කල්පනා කොරේ බුදු හාමුදුරුවො දේශනා කොරලා තියෙනවා අල්පේච්ඡ ජීවිතයක් ගත කොරන්න කියලා. ලැබෙන දේ සතුටින් බාර අරගෙන හරියට කලමණාකරණය කොරලා පාවිච්චි කොරන්න කියලා. ඒකට දැන් කොච්චර ආධාර හම්බවුණත්  මදි පන්සලේ ලයිට් බිල ගෙවන්න. අන්තිමේ ලයිට් කැපුවහම රටේ ලොකුම පුරස්නෙ ඒක වෙලා කවුරු හරි ලොක්කෙක් කැමරා ටිකක් අටවගෙන ගොහිං ඒක ගෙවා දානවා. හැබැයි ඉතිං රතුබිල ඇවිල්ල සෑහෙන්න ගෙවල්වල ලයිට් කැපෙනවා. ගෙවන්න එකෙක් නැහැ නොවැ. ඕං කාලයක් තිස්සේ එක එක්කෙනා පිම්බෙන්න බොරු කිවුව නොවැ කහවත්තෙං ලොකුම මැණික හම්බුනා. ලොකුම මැණික් පොකුර හම්බවුණා කියලා. අන්තිමේ ඒ හැම එකක්ම ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ තමයි. බලාගෙන යනකොට නිකං ඉල්ලං කෑලි නොවැ. ඔන්න මෙදා සැරේ නං ඇත්තටම හොඳ මැණිකක් කහවත්තෙන් හම්බවෙලා තියෙනවා. මං මේ කිවුවෙ කහවත්තෙ ජයන්ත කුමාරනායක මහත්තය ගැන. හැමෝම අස්වැසුම සමෘද්ධිය දීපියව් කියල කෑ ගහන කාලෙක දැං මට සමෘද්ධිය ලැබුනා හොඳටෝම ඇති මගේ ළමයි දෙන්න ඉගෙන ගෙනත් හමාරයි ඒක හන්දා මට මේක දැං වැඩක් නෑ. මට මේකෙන් ලොකු උදව්වක් මෙච්චර කල් හම්බවුණා කියලා තමන්ගෙ අස්වැසුම දීමනාව නැවතත් ප්‍රාදේශීය ලේකම්තුමිය මුණගැහිලා භාරදීලා නොවැ. බලන්න කහවත්තෙ කොච්චර වටින මැණිකක්ද කියලා ඒ මහත්තයා. 

 මෙච්චර අමාරුවෙන් මිනිස්සු ජීවත්වෙන කාලෙ ආණ්ඩුවටත් බදු ගෙවල පොලෝසිවලට දඩත් ගෙවලා ඕං ඒ මදිවට අම්මගෙ පාංශකූලෙට එන්න නං දිඹුලාගල පන්සලකින් දඩයක් නියම කොරලා රුපියල් විසි හතර දාහක්. වරද තමා අවුරුදු දෙකක් දානෙ නොදී  හිටිය එක. මොන දේශනාවක මොන සූත්තරයක මොන විනය පිටකයක මේක තියෙනවද කියල තමා තාම හොයා ගන්න බැරි. අනේ මන්දා දැන් ඉතිං අර කවුද කිවුව වගේ බුදු සරණයි නෙවේ අබ සරණයි කියල තමා කියන්න වෙන්නේ. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස්  දෙවන දිගහැරුම.

2023-08-10 බ්‍රහස්පතින්දා.

Thursday, August 3, 2023

මහතා - ගමරාලගේ අඬහැරය පනස් එක්වන දිගහැරුම.

මහතා

 අම්මප බලාගෙන යනකොට අපිත් මෝඩ රැළක් නොවැ. මෙච්චර කල් අපේ කාලය කැප කොරගෙන අපේ සල්ලි වියදම් කොරගෙන හුරේ දාල තියෙන්නෙ අනුන්ගෙ කොම්පැනියක් ගොඩ ගන්න නොවැ. ඇයි අර කිරිකැට් කොම්පැනියෙ අයිතිකාරයො කිවුවෙ උජාරුවෙන් උන් කොම්පැනියක්ය ඕන දෙයක් කොරන්න පුළුවන්ය කියලා. අනේ අර ආනා පුංචිහේවා මහත්තයා අමාරුවෙන් හදපු තැන මෙවුන් බල්ටි ගහනවා. මට කියන්න තියෙන්නෙ අපිට හොඳ වැඩේ කියල තමා. 

 රුහුණෙ මී කිරි ඉස්සර ඉදලම පරසිද්දයි නොව. සමහරු ඒක හන්ද කියනව මට ඇහිල තියෙනවා  රුහුණෙ වැඩිපුර ඉන්නෙ මී හරක් කියලා. අනේ මන්දා මාත් එහේ හන්දා ඔවුවට මුකුත් කියන්න බෑ. කොහොම වුණත්  ඊයෙ පෙරේදා තමා දැනගත්තෙ මැණික් ගල් වලටත් වඩා මී හරක් වටිනවා කියලා. ඇයි අර වැලිපැන්නෙ පොලීසියට පේන දුරින් රුහුණෙ මී හරක් අධිවේග පාරෙන් ගෙනත් දිගට හරහට කපල තියෙන්නෙ පරසිද්ද මැණික් මුදලාලි කෙනෙක්. හැබැයි ඉතින් වලාන පොලෝසියෙන් ඇවිත් අල්ලනකම් අරුන්දල දන්නෙ නෑ. උන් බබාලා. වැඩේය කියන්නෙ වලානෙන් අල්ලල ආයේ බාර දෙන්නෙ අරුන්ට නොවැ. ඉතිං උසාවි දානකොට කොහොම ගොනු කොරයිද දන්නෙ නෑ. මොකෝ ජනාධිපති ලේකම් කෙනෙකුත් කතා කොරල නොවැ ගොඩින් බේර ගන්න. 

 ලංකාවෙ නීතිය හරි පුදුමයි. ඌ මැණික් කාරයෙක් නිසා උගේ නම පරසිද්ද කොරන්නෙ නෑ. තව මැජික් කාරයෙක් රාජාංගනේ පොලීසියේ ලොක්කට සද්දයක් දාලා මිනිහම ඉදිරිපත් වෙනකම් අල්ලන්න පොලෝසියට බැරි වුණා නොවැ. ඒකට මේ ඒරොප්පෙ පොලෝසිය. බලන්න එපායැ. කෝටිපතියෙක් වුණත් වැරදි නම් කුදලගෙන ගියා එච්චරයි. ලංකාවෙ නීති හදන තැන නීති කඩනවා. නීති ක්‍රියාත්මක කොරන තැන්වල නීතිය කනවා. අර කැකිරාවෙ දැක්ක නොවැ පෙරකදෝරු නෝන කෙනෙක් අනුන්ගෙ ගොඩනැගිල්ලක් හොරට ලියාගෙන උසාවියේ කාර්යාලෙට ගොහින් පැනපු ගමන් අර ලියවිල්ල අරගෙන කෑලි කෑලි වලට ඉරලා කටේ දාගෙන කාල නොවැ. මට මතක් වුණේ ඉස්සර අකුරැස්සෙ ස්ටෑන්ඩ් එකේ හිටියා. ආං ඒවගේ පෝස්ටර් කන තඩි එළුවෙක්. 

 කහටගස්දිගිලියෙ දෝණියැන්ද සහේට ගන්න ඕන හන්දා අප්ප පුතා මරා දාලා. රිදීමාලියද්දෙ අප්පයි පුතයි අම්මව මරල වල දාලා. අනේ අම්මපා මක්ක වෙලාද මෙවුන්දලට. මුන්දලගෙ ඔළුගෙඩි කුරුවල් වෙලා මයි හිතේ. ඒකනේ අර ලංකාවට අවුරුදු පනහක් තිස්සෙ සිය වෙනි පාරටත් ආපු ජර්මන් ජාතික මහත්තය කියල තියෙන්නේ එකදාස් නමසිය හැත්තැ එකේ එයා සීගිරියට ගියා යාපනේ පුස්තකාලෙ බලන්න ගියා ඒ කාලෙ සිංහල මිනිස්සු හරි හොඳයි. හැබැයි  ඒ කාලෙ මිනිස්සු කතා කොරනවා. දැන් එහෙම නෑ. හැමෝගෙම අතේ ස්මාර්ට් දුරකතන කියලා. බලන්න ඒ මනුස්සයට තේරුණු වෙනස.  ඕක හරියට පාවිච්චි කොරන්න දන්න අය මේ වගේ ලිපියක් කියවනවා. එහෙම නැතිවුන් ඉතින් වල්පල් තමා. 

 දෙදාස් විසි දෙකේ අවුරුද්දේ ආණ්ඩුවෙ වියාපෘති දෙසීය හැට එකෙන් හරියට කොරලා තියෙන්නෙ විසි දෙකක් විතරලු නොවැ. හැබැයි ඉතිං සම්බන්ධීකරණ සභාපතිල කියල ජාතියකුත් පත් කොරලා එවුන්ටත් වරප්‍රසාද දෙනවා. කමිටු  රැස්වීමක් තියනවා. කෝම හරි කමක් නෑ ඉතිහාසෙ පළවෙනි වතාවට ප්‍රංශෙ ජනාධිපති තුමා ආව එක හොඳයි. සෑහෙන්න දේවල් දෙන්න පොරොන්දු වෙලානේ. වැඩේය කියන්නෙ ඉන්දියාවෙ අගමැතිතුමා  සිරි ලංකාවෙ ලොක්කටයි ප්‍රංශෙ ලොක්කටයි දෙන්නටම පුද්ගලිකව කෑම වේල් දෙකක් දීලා නොවැ. අපේ පැත්තෙ හිටියා රැවුල එහෙම වවාගත්තු ප්‍රාදේශීය සභා මන්තිරියෙක්. උන්දැ කැබලි කරන ඉඩමක් අනුමැතියට දාපු ගමන් සබාවෙ මේස උඩ නැගල කෑ ගහනවා. ඉතිං අර කොම්පැනියෙ එක්කෙනෙක් ඇවිත් උන්දැ පුද්ගලික කෑම වේලකට එක්ක ගොහිං අත මිටත් මොලවනවා. විරෝධතාවෙ හමාරයි. ඉංදියාවෙනුත් ඕං බටයක් එළනවලු නේ ලංකාව පැත්තට. ප්‍රංශෙ මක්ක කොරාවිද?

 ඕං මෙච්චර කල් කිවුවෙ ජේ. ආර්. උන්නැහේට ගෑනියෙක් මිනිහෙක් කොරන්න විතරයි බැරි වුණේ කියලා. ඔන්න ඒකත් කොරා නොවැ. මාතාට මහතා කියලා අම්ම තාත්තා කොරා. එහෙව් මාර දූවරු ඉන්න රටක් නෙව සිරි ලංකාව. සමහර විට උන්දැ හිතන්න ඇති උන්දැගෙ නමටත් සිංහවංස කියල තියෙන හන්දා ඕන තාලෙකට මේක කියන්න පුළුවන් කියලා. ඒක හන්දා ඉතිං සිංහ වංසෙට ඕන විදියට ජාතික ගීය ගායනා කොරා. පස්සෙ බලු වෙන එක වෙනම කතාවක්. ඒ වුනාට ඉතිං තාලෙ ලස්සනයි නොවැ. කට ඇරල උජාරුවට කිවුවහම. කොහොම වුණත් ආනන්ද සමරකෝන් මහතා හිටියනම් ආයෙ පාරක් මැරෙන්නෙ ඔය ඛෙත්තාරාමෙ පිට්ටනියට ඇවිල්ලා.  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් එක්වන දිගහැරුම.

2023-08-03 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...