සිංගප්පූරුව
ඕං ඉතිං නුවර පෙරහැරත් ඉවරයි නොවැ. මෙදා සැරේ පෙරහැර අහවරයි කියලා සංදේශෙ බාර ගන්න අලියෙක් ආපු හන්දද දන්නෙ නෑ අලි කුලප්පු වුනේ නේද? ඒ මදිවට උංදැ ඔය දවල් වේල ගිලදාන්න ගම්පොළ වාරියගල පැත්තෙ ගොහිං හරි හුට්ටප්පරයක් නොවැ වෙලා තියෙන්නෙ. උංදැලට වගේ හැම්බේකං උඩිං පුඩිං නැතුවට බඩගින්නට පොඩි එවුං එක්ක මක්ක හරි ගිල දාන්න ඕන හංදා කොස් ගෙඩියක් කඩාගෙන ආපු මිනිහෙක් පොඩි එකෙක් එක්කම පාරෙ නවත්තල නොවැ අරුංද යනකං. තාමත් ඒ මනුස්සගෙන් පුරස්න කොරනවා. ඉන්න හිටින්න හරි හමන් පැළක් වත් නැති මිනිහෙක් හයියෝ සිරි ලංකාවෙ පොලෝසියටත් තියෙන වැඩ. ඇයි පහුගිය දොහක පොලෝසියෙ මහත්තයෙක්ම පෝලෝසියෙ කුස්සියෙන්ම කුකුළු මස් උස්සලා තිවුනෙ. තව පොලෝසියෙ මහත්තයෙක් කඩේකට ගොහිං කාල සල්ලි නොදී මාරු වෙන්න හදලා. ඊට පස්සෙ බඩකට පිරෙන්න කාල තිබුණෙ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලොකු එකාල තේරුම් ගන්න ඕන පොඩි එවුංටත් බඩ ගින්න දැනෙනව කියලා. මං හිච්චි කාලෙත් බඩගින්නට වැඩිපුර කොස් කාපු හන්දා ඕක ටක්කෙටම දන්නව ආයිබොවන්ඩ.
ඒ අස්සෙ තව එකෙක් ආං එප්පාවලට අප්ප එනකොට දුර හිටං ගිනි පිඹින බටයක් ඕන කියලා මුහුණු පොතේ දාලා. දැං උංදැ මහඋළු ගෙදර. ඕං දැං මහ එවුං ලතෝනි දිදී කියනවා ඒක උංදැ කොලුකමට කොරපු වැඩක්ය කියලා. එයා සෙල්ලම් කොරන්නෙ කොම්පියුටරෙන් හංදා එයාට බරක් පතලක් තේරෙන්නෙ නෑයි කියන්නෙ. හැබැයි ඉතිං කලින්ම ඔය කොම්පියුටර් සෙල්ලම මොකක්ද කියලා මහඑවුං හෙවුව බැලුවනං අද බෙරිහන් දෙන්න ඕන නැහැ නොවැ. දැං ඕවට ඇබ්බැහි වෙලා ඉන්න ගොඩක් එවුන්ගෙ ඔලුව ඔල්මොරොන්දන් වෙලා නොවැ තියෙන්නෙ. ඕන මගුලකට නිවන් සැප ලැබේවා කියලා දානවා. එකෙක් දැන්මම ඔක්කොම එවුං ඒකම දානවා. කිසිම විචාර බුද්ධියක් නැති තර්කානුකූල බවක් නැති නිර්මාණශීලී නැති කොම්පියුටර් ජිල්මාට් විතරක් දන්න තරුණ පරම්පරාවක් එක්ක තමා ආසියාවේ ආශ්චර්යෙට යන්න හදනව කියන්නෙ. ඕක හිතනකොට අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නෙ නෑ ආයිබොවන්ඩ. කොහොම හරි මේ වගේ පරපුරක් නිර්මාණය කොරේ ඔය අනාගතේ දැකපු නායකයොම තමා.
අපි හිතාගෙන හිටියෙ ඇමරිකාව ලෝකෙ ලොකුම බලවතා කියල නොවැ. බැලින්නං යකඩෝ මුළු සෞරග්‍රහ මණ්ඩලේටම බලවතා ඇමරිකාව නොවැ. මොකෝ හඳේ ඉඩම් විකුණන්නෙත් ඇමරිකාව. දැනට හයසිය හැත්තැ පස්දෙනෙකුට හදෙන් ඉඩම් විකුණල නොවැ. මොන රටේද දන්නෙත් නෑ. හිටපු ජනාධිපතිවරු තුන් දෙනෙකුත් හදෙන් ඉඩම් අරගෙන. උන් තමන්ගෙ රටවල් හරියට පාලනේ කොරපු හංද වෙන්නැති හඳට යන්න හදන්නෙ. ඕපාර එහෙත් ජනාධිපතිවරණයක් තියයිද කියලනං දන්නෙ නෑ. ආතර් සී ක්ලාක් මහත්තයවත් හිටියනං විස්තරේ හරියටම අහගන්න තිබ්බ නොවැ.
දැං ඔය ගාල්ල පැත්තෙ උං කියන එකක් තමා ගාල්ලෙ පිට්ටනියෙ කිරිකැට් ගැහුවොත් අනිවාර්යෙන් වහිනව කියලා. පල්ලෙකැලෙත් එහෙමයි මයි හිතේ. කොහෙම වුණත් ඉස්සර ඉදල කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියන එවුවනං මිනිස්සු පයිසෙකට මායිං කොරේ නෑ. මොකෝ උං වහිනව කිවුවොත් පායනවා. පායනවා කිවුවොත් වහිනවා. බැලින්නං ඒක ටක්කෙටම කියන්න පුළුවන් රේඩාරෙ තාම හයි කොරලා නෑයි කියන්නෙ සල්ලි මදියි කියලා. වෙන වැඩකට නැති ඒවට කොච්චර වියදම් කොරනවද ? දැන් බලනකොට ඉර හඳ බලලා මෙවුව තීරණය කොරපු උංද දියුණු එහෙම නැත්තං ටයි කෝට් දාගෙන මෙච්චර කල් බොරු කියපු එවුන්ද දියුණු. හැබැයි අනාවැකි දෙකක් හරියටම කියනවා. වැස්සොත් වතුර ගලනවා කියනවා. පෑව්වොත් වතුර හිදෙනවා කියනවා. ගන්න පඩියට ඒකත් ඇති නොවැ නේද? දැං අර තොප්පිගල කියන්නෙ කැලයක් කියල කියපු මනුස්සය නොවැ රටේ රජා වෙලා තියෙන්නෙ. ඒක හන්දද කොහෙද ආං අක්කර එකදාස් පන්සීයක් සුද්ද කොරලා වී වගා කොරන්න කියලා කට්ටිය. ඇයි හත්තිලව්වෙ කොච්චර කුඹුරු යායවල් පිටිං නිකං පුරන් වෙලා තියෙනවද? ඒවයි වගා කොරන්න බැරිය කැලේ අමුතුවෙන් අක්කර එකදාස් පන්සීයක් එළි කොරන්නෙ. කමක් නෑ ඉතිං තොප්පිගල කියන්නෙ කැලයක් කියල කියපු මිනිහ නොවැ මහ පුටුවෙ ඉන්නෙ. ඒක හන්දා වෙන්නැති.
ඕං කොහොම හරි ලංකාවට ලේ නෑකමක් තියෙන මනුස්සයෙක් සිංගප්පූරුවෙ ජනාධිපති වෙලා නොවැ. ඒකත් ලොකු දෙයක්. යාංතං අපේ අභිමානෙ රැකගන්න පුළුවන් වෙයි. මොකෝ මෙච්චරකල් දැගලුව නොවැ ලංකාව සිංගප්පූරුව වගේ කොරන්න. හැබැයි රට ගැන නොහිතන පාලක පැලැන්තියයි, සිහිවිකල් වෙච්ච තරුණ පරපුරයි එක්ක මේ කපේට ඒ වැඩේනං කොරන්න වෙන්නෑ. ඒක හන්දා අපේ ගෞරවේ යංතං හරි රැක ගන්න නං දැන් තියෙන්නෙ සිංගප්පූරුවෙ ජනාධිපතිතුමාට කතා කොරල කියන්න අපිට කොරන සැලකිල්ලක් හැටියට ඒ රටේ හැංගිල ඉන්න අපේ මහ බැංකුවෙ හිටපු අධිපතිතුමත් එක්කාසු කොරගෙන සිංගප්පූරුව සිරිලංකාව වගේ කොරන්න කියලා. ඒක ලේසියි නොවැ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් හයවන දිගහැරුම.
2023-09-07 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment