Thursday, September 14, 2023

පිරමීඩෙ - ගමරාලගේ අඬහැරය පනස් හත්වන දිගහැරුම

 පිරමීඩෙ

ඕං ඉතිං එක එකාලගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අහිංසක තරුණ ජීවිත බිලිගන්න කාලයක් නොවැ මේක. හැමදාම ඔය දුම්රිය දෙපාර්තමේන්තුව කියන එක පාඩුයි. හැබැයි ඉතිං එවුංගෙ අයිතිවාසිකමුත් ඉල්ලනවා. මං දන්න විදියටනං ඕකෙ ඉහළම පුටුවල  ඉන්න උං ලක්ෂ ගණන් හම්බ කොරන කට්ටියක්. කොහොම උනත් අනිත් එවුංට අසාධාරණයක් වෙනව ඇති. හැමෝම දඟලන්නෙ ඉතිං මස් රාත්තලම කන්න තමා. ඕං ඒ අස්සෙ ඉංදියාව කොච්චර හයිරං කොරත් සිරි ලංකාව වටේ මුහුදෙ පට්ටන්දරේ හොයන්න තව චීන නැවක් එනවලු නොවැ. 

අනේ මංදා මටනං ඔය චීන වචනෙ මුලින්ම මතක අපි ගියපු ගොඩකන්ද කණිෂ්ට විද්‍යාලෙ හිටපු දයානන්ද හේවාවසම් ඉස්කෝලෙ මහත්තයට කොල්ලො කුරුට්ටො දාපු නම හන්දා. මොකෝ උන්දැට තිබුණෙ චීන්නුන්ට වගේ ලස්සන රවුම් මූණක් නොවැ. හැබැයි ඉතිං පට්ට  සැරයි. කොච්චි කරල වගේ. උංදැ අපට සෑහෙන්න දේවල් ඉගැන්නුව විතරක් නෙවෙයි ඉස්කෝලෙ පිටිපස්සෙ කණ්ඩිය ගාවට වෙනකං තිබිච්ච බිම් කඩේ අපිට කියලා මයියොකු අරව මේවා වගා කෙරෙව්වා. මට හොඳට මතකයි අපි එක්ක හිටපු සුමනසිරිට නම ලියන්න පුරුදු කොරපු විදිය. මෙහෙට වර කියලා දුන්නා රට හුණු කූර. ලියපිය කිවුවා කළුලෑල්ලෙ තොගේ නම. මෙන්න බොලේ මුන්දැ ලියපි සුමනනරිසි කියලා දුන්නා බෝවිටිය කෝට්ටෙන් උන්දැගෙ පස්ස පැත්තට නම හරියට ලියනකං. දැංනං ඉතිං සමහර ගුරුවරු කෝට්ටෙන් තලන්නෙ උංදැ සල්ලිවලට උගන්නන පංතියට එන්නෙ නැති  ළමයින්ට නොවැ. ආං එහෙමයි ඉස්සර ගුරුවරු අරගල කොරේ. අපි එක්ක ඔට්ටු වෙලා. ඕං මෙදා සැරේ ගුරු දිනේටත් මොකක්දෝ අරගලයක් කොරනව කියන්නෙ. ඒකාලෙ උන්දැගෙ චීන පැටව් දෙන්නෙක් වගේ ලස්සන සුදු බෝල වගේ  දූල දෙන්නෙක් හිටපු ගමං එනවා. ඒ එක දුවෙක් නං අකාලයේ පරලොව ගියා. අපේ ඉස්කෝලෙ මහත්තයත් දැං පරලොව ගොහිං. අනිත් දූ දැං ගාල්ලෙ ඉඩම් කන්තෝරුවෙ වැඩ කොරන්නෙ. ඔය පහුගිය කොරෝනා කාලෙ උන්දැට ඒ ලෙඩේ හැදිල මට පණිවිඩයක් එවල තිබුනා වස විස නැති එළවළු ටිකක් ඕන කියලා. මම මල්ලක් ලෑස්ති කොරා. උන්දැගෙ මනුස්සය ඇවිල්ලා සල්ලි දෙන්න හැදුවා. මං කිවුවා මට සල්ලි එපා මේක ගෙනහුං දෙන්න කියලා. මොකෝ ඉස්කෝලෙ යන කාලෙ උංදැගෙ අප්පොච්චා අපට වගාව පුරුදු කොරපු එක මට මතකයි නොවැ. 

ඊට පස්සෙ ඉතිං චීනෙ ගැන කතා උනේ අපේ පැත්තෙ ගංවතුර ගලන එක පාලනය කොරන්න පටන් ගත්ත නොවැ ගිං ගඟ යෝජනා කරමය කියල එකක්. ඕක චීන ආණ්ඩුවෙන් කොර වැඩක්. ඒක හන්දා ඒකට කිවුවෙ චීනගෙ වැඩ පොල කියලා. අපේ ගමේ සෑහෙන්න කට්ටිය ඕකෙ වැඩට ගියා නොවැ. ඔය පස්සෙ කාලෙක  රිචර්ඩ් පතිරණ මහත්තය හදපු  වක්වැල්ලෙ දිගම පාලම තියෙන බන්ට් වේලි හැදුවෙ ආං ඒ කාලෙ. කොහොම හරි මේ වෙනකං ඕකෙ දෙවෙනි අදියර කෙරුනෙ නෑ. පළවෙනි එකෙන්ම වැඩේ අහවරයි. 

ඒ සැරේ පහුගිය කාලෙ කිවුව නොවැ ඕපාර හම්බන්තොට පැත්තෙ චීන්නු වගේ ළමයි ඉදීවි කියලා. ඒක එහෙම වෙලාද කියලනං මං දන්නෙ නෑ. කොහොම හරි දැං තෙල් පිරවුම්හල්වල අයිතියත් චීන්නු ඇල්ලුව නොවැ. දැං ආණ්ඩුවට වඩා අඩුවෙන් උං තෙල් ගහනව. ඒකියන්නෙ චීන්නු නාහෙට අහන්නෙම නැහැ නොවැ. මරුනෙ. ඉස්සර ඔය සිගරට් එකත් නිකං බෙදල තමා පටං අරන් තියෙන්නෙ. අපේ එවුංටත් ඉතිං නිකං හරි අඩුවට හරි දෙනවනං රටට හෙණ ගැහුවත් කමක් නෑ නොවැ. කවදහරි එවුංගෙ රගේ තෙරෙනකොට වෙන්න ඕන හරිය වෙලා හමාරයි.  

මීට අවුරුදු ගානකට උඩිං එකෙක් ඇවිදින් මට කියනවා මාත් එක්ක පැය දෙකක් කතා කොරන්න ඕන කියලා. ඉතිං කතා කොරපිය කිවුවම කියනවා එහෙම බෑ තැනකට එක්ක යන්න තියෙනවා කියලා. එතන සෑර් එක්ක තමා කතා කොරන්න ඕන කියලා. ඒ කරදරෙන් ගැලවෙන්න බැරිම තැන මං කැමති වුනා යන්න. උන්දැගෙම මොටෝ සයිකලෙන් ගියා කලේගාන හංදියෙන් බෝපෙ පාර පටං ගන්න තැන විශාල ගෙදරකට. අම්මට එළියෙ තඩි කාර් බාර් නවත්තලා. ඇතුළෙ තේජසින් බැබළෙන කට්ටිය හිටියා. ඉතිං පොඩි ගානක් දාලා තව කට්ටිය හොයලා දීල අඩියෙන් අඩිය ඉස්සරහට යන විදිය මට කියලා දුන්නා. එතකොට අර වගේ වාහන ගන්න පුළුවන් කියලත් කිවුවා. පොතකුත් දුන්නා කියවන්න කියලා. ඔක්කොම අහගෙන මං කරබාගෙන ගෙදර ආවා. ඒත් මෙවුං ඇතෑරියෙම නෑ. මාව සල්ලිකාරයෙක් කොරන්න මට වඩා පුදුම උවමනාවක් උන්ට තිබුනෙ. පස්සෙන්ම පැන්නුවා. යාංතං ඒ මර උගුලෙන් ගැලවුනා. පස්සෙ කාලෙකදිනෙ බොල තේරුම් ගත්තෙ ඕං ඕකට කියන්නෙ පිරමීඩ ජාවාරම කියලා. දැං ඔය ඊයෙ පෙරේදා අහුවුණේ සිරිලංකාවෙන් චීන්නු තිහක් විතර ඔය වියාපාරෙ මහා පරිමාණෙන් කොරලා කෝටි ගාණකට පොලු තියලා. වෙලාවට මං බේරුණා. හැබැයි ඉතිං අපිට වැඩිය හොඳට ඉගෙන ගත්තු ටයි කෝට් දාගත්තු  ඔය ආණ්ඩුවෙ කන්තෝරුවල වැඩ කොරන ගොඩක් නෝනල මහත්තුරු ඔය පිරමීඩ සෙල්ලමට අහුවෙලා තියෙන්නෙ. සබ්බ සකලමනාවම ඉවරයි. අන්තිමේ හම්බ කොරපු දේට කොරපු දේකුත් නෑ. වෙච්ච දේකුත් නෑ. පෙළක් එවුං ජීවිතෙත් නැති කොර ගන්නවා. දැං මට හිතෙන්නෙ ඔය සිරි ලංකාවෙත් එක කෑල්ලක් චීනෙටයි තව කෑල්ලක් ඉංදියාවටයි අනිත් කෑලි ටික අරහෙටයි මෙහෙටයි බෙදුවට පස්සේ කවද හරි දවසක ඔය වෙච්ච සෙතේම සිරි ලංකාවටත් වේවිද කියලා. අර පිරමීඩෙක වැලලුවා වගේ අපි ඔක්කොටම වැලලෙන්න වේද කියලා තමයි මට හිතාගන්න බැරි. මොකෝ ඉතිං අන්තිමට කොරපු දේකුත් නෑ වෙච්චි දේකුත් නෑ රටේ අයිතියත් නැති බංගස්තාන උනනෝතිං මොන දෙයියංට කියන්නද? අන්තිමට පිරමීඩ සරණං ගච්චාමි  කියල තමයි  මට නං දැනෙන්නෙ. බලමුකෝ නේද?  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් හත්වන දිගහැරුම.

2023-09-14 බ්‍රහස්පතින්දා.    


No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...