කට්ටි
ඕං පහුගිය දොහක ගියා නොවැ ඩුබායි රටේ දේරා වල තියෙන මාළු කඩේට. අපි ඉතිං ඕන තැනකට ගියහම විගහට හොයන්නෙ දොට්ට පිලට යන්න තැනක් නොවැ. ඕං ඉතිං එතන වැසිකිළිය හොයාගෙන ගියා නොවැ. අපේ රටේ සමහර උත්සව ශාලාවල තියෙන වැසිකිළි වලට වඩා පිරිසිදුයි නොවැ මාලු කඩේ වැසිකිළිය. ඕං ඒ වැඩේ හමාර කොරගෙන දුවන පඩිපෙල දිගේ ගියා මාලු කඩේට. හැබැයි මාලු ගන්න නෙවෙයි ගියේ කරවල ගන්න. හාල්මැස්සො, කූනිස්සො, බොම්බෙලි ඒ විතරක්යැ තඩි කට්ට කරවලයෙකුත් ගත්තා. පංකාදුයි. බැලින්නං බඩු අරගන තියෙන්නෙ ලංකාවෙ දෙන්නෙක් ඉන්න කඩේකින්. හැබැයි ඉතිං ලංකාවෙ හිටපු කාලෙ ගාල්ලෙ මාලු කඩෙන් පටන් අරගෙන රට පුරා මාලු කඩවලට ගොහිං පෑලියගොඩ මහ මාලු කඩෙන් අවසන් කොරා. එක තැනකවත් නැහැ නොවැ දේරා මාලු කඩේ වගේ වැසිකිලියක්. අපේ රටේ මාලුු විකුණන සමහර තැන් වැසිකිළියටත් අන්තයි නොවැ. බලන්න එපාය මෙහේ මාලු විකුණන්න තියෙන විදිය. අයිස් කැට දාලා මාලු එක රටාවකට අඩුක් කොරලා වටේට ප්ලාස්ටික් මල් වැල් එහෙමත් දාලා හරියට අර ලංකාවෙ කපුවන්ට පූජ කොරන්න හදන පූජා වට්ටිය වගේ ලස්සනයි නොවැ.
ආං ඒකයි මේ පිටරටවල් දියුණු වෙන්නෙ. මොන දේ කොරත් පිළිවෙළට ලස්සනට කොරනවනේ. දැං බලාපල්ලකො අර ජපානෙ ඉස්කෝලවලට ගියහම ඉස්සරවෙලාම පොඩි උංට කියලා පංතියයි වැසිකිළියයි පිරිසිදු කොරවන එක නොවැ කොරන්නෙ. ඉතිං ඒ හන්දා ඒ වැසිකිළිවල කවදාවත් පාවිච්චි කොරාට පස්සෙ වතුර ගහන්න කියල ලියන්න දෙයක් නැහැ නොවැ. අපේ නං කොච්චර බෝඩ් ගැහුවත් වතුරත් නොගහ වටේට කෙළත් ගහලා බිත්තියෙ කුනුහරුපත් ලියල නොවැ යන්නෙ ඔය පොදු වැසිකිළිවල එහෙම තියෙන්නෙ. මුල හරියට හැදුවෙ නැති වුනහම එහෙම තමා. මක්ක කිවුවත් ඉතිං අපි වගේ මෝඩයො නෙවෙයි නොවැ හොඳට ඉගෙන ගත්තු මහ උගත්තු නොවැ පාලකයො වෙලා ඔය අපේ රටට අධ්‍යාපන කරම හදල තියෙන්නේ. ඉතිං එවුං හිතනව ඇත්තෙ දරුවොයි මහ එවුනුයි සේරෝම රේස් එකක දිවුවහම අස්ප රේස් එකක වගේ අනිත් රටවල් පහු කොරගෙන තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකෙට යන්න පුළුවන් කියල වෙන්නැති. ඒත් මට තේරෙන හැටියට නං අනිත් එවුං හරි විදියට දුවලා දියුණු වෙනකොට අපි වැරදි පාරක දුවල හොඳටම හති වැටිලා කියලා තමා.
ඕං ඔහොම රටක ඉතිං එක දවසකට ළමා දිනෙයි වැඩිහිටි දිනෙයි සමරනවනේ. දැං ගොඩක් එවුං ජීවිත හදාගන්නෙ කෑම බීම ගන්නෙ ඔය ගෙදර තියෙන රූප පෙට්ටිය කියන විදියට නොවැ. ඕන වසක් විසක් කෑවහම ලස්සන වෙනවා තරුණ වෙනවා කියල කවුරුහරි ඕකෙ කිවුවනං කීය දීල හරි එවුවම තමා කන්නෙ. ඒ සැරේ අපිත් කන්නෙ ඔවුවම තමා කියලා පොටෝ ගහලත් දානව නොවැ. ඒ තරමට ඇබ්බැහි වෙලා තියෙන්නෙ. තව ඒ මදිවට ඒ රූප පෙට්ටියෙම පොඩි එඋංගෙ වැඩ සටහන් කොරනවා. එඋංගෙ හපන්කං කතා කොරන්න. ඕකෙ දවසක් එක පොඩි එකෙක් කියනව මම ගැහැවුවා සීයට වැටෙන්න පොලු පාරක් කියලා. ඉතිං මහ ජෝඩුවයි වටේ ඉන්න එඋනුයි හිනා වෙනවා. ඉතිං මෙවුව බලන අනිත් එවුනුත් හිතනව ඇති උනුත් ඒ තාලෙටම කොරා නං රූප පෙට්ටියෙන් පෙන්නයි කියලා. ඒපාර ඒකෙම පෙන්නව ළමා දිනේ සමරන්න ඕන විදියයි වැඩිහිටියන්ට ගරු කොරන්න ඕන විදියයි. පස්සෙ උං නිසාම ඔලුව තොරොම්බල් වෙච්ච පොඩි එකෙක් දඩබ්බර වැඩක් කොරොත් අංක එකේ පොරොත්ති උංගෙ කියලා තලු මරලා ඒකත් කියනවා. කාට කියන්නද මේවා.
දැං අර පහුගිය දවසක පොරොත්ති වලට කිවුවෙ ක්‍රිඩකයෙක් සුද්දියෙක්ගෙ පස්ස පැත්තට හයියෙන් ගහල කියලා. බැරි වෙලාවත් එදා කියල තිබුනනං ඉස්කෝලෙ එනකොට පොරොත්ති සිරස්තල ලියන් එන්න කියලා පුංචි එවුං ඒකත් ලියං යාවි. ඒකෙන් වැඩක් නෑ ආං අර දිනේශ් චන්දිමාල් කියන කොලුවා තමන් ඉගෙනගත්තු අම්බලංගොඩ ධර්මාශෝකෙට තමන්ගෙ සල්ලිවලින් කිරිකැට් පුරුදුවෙන්න තැනක් හදලා දීලා නොවැ. ආං දරුවො වෙනුවෙන් කොරන වැඩ. තව බුලත්සිංහල පිළිඹ ගාමිණී ඉස්කෝලෙ මුර කාරයා හැන්දයි ලඹෙයි අරගෙන විදුහල්පතිතුමියත් එක්ක හැමෝගෙම උදවු අරගෙන ශාලාවක් හදලා ලෝක ළමා දිනේ දවසෙ විවෘත කොරා නොවැ. බලන්න කොච්චර වටින වැඩද කියලා.
ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙනං සෙල්ලං කොරන්න නිදහසක් තිබුන නොවැ. ඒ කාලෙ ඔය පොලොවෙ කොටු ටිකක් ඇදලා පැතලි උළුකැට කෑල්ලක් අරගෙන කට්ටි පනිනවා. අඹ ඇටයක් අරගෙන අඹ කට්ටි කියලා එකක් පනිනවා. සමහර පැතිවල කොටු පනිනවා කියලත් කියනවා. ඒකට දැං ඉන්න එඋං මහ එඋං හොරකං කොරල කට්ටි පනිනවා. පොඩි එඋං කොටු පනිනවා කියලා තැන් තැන්වල යනවා. අඹ කට්ටිනං ඇත්තෙම නෑ. ඉල්ලල අඹ ගන්න විතරයි එඋං දන්නෙ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය හැටවන දිගහැරුම.
2023-10-05 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment