Thursday, October 19, 2023

දෙහි ලෙල්ල - ගමරාලගේ අඬහැරය හැටදෙවන දිගහැරුම.

දෙහි ලෙල්ල 

ඕං ඉතිං අර කට්ටිය කියනව වගේ අම්මල අප්පලගෙ විභාගෙ නොවැ ඔය ශිෂ්‍යත්වෙ කියන්නෙ. ඕක ගොඩ දාගත්තොත් ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් කියලා හිච්චි එවුං පන්ති ගානෙ ඇදගෙන යනවා. ඒ විතරක් නං මදෑ. ගෙදර ගොහිල්ලත් උංට ඉන්න දෙන්නෙ නැහැ නොවැ. පොත් බලපිය කියනවා. පුරස්න පත්තර බලපිය කියනවා.  එක කෙලියයි නොවැ. කොහොම හරි මහ වරුසාවෙ තෙමීගෙන ගංවතුරෙ බැහැගෙන ගොහිං මෙදා සැරේ හිච්චි එඋං ඔය මහ එඋංගෙ  විභාගෙ ලිවුව නොවැ. අවසානෙ එඋං කියනවා දැං නං මාර නිදහසක් තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ අර බරපතල වැඩ ඇතුව මහ උළුගෙදර හිටපු එඋං වගේ තමා මේ දරුවො මෙච්චරකල් ඉදල තියෙන්නෙ.  ඒ අස්සෙ තව තැනක විභාග ශාලාව බලාගන්න එකෙක්  ළමයෙක්ගෙ පුරස්න වලට උත්තර ලියලා දීලා. තව තැන්වල පුරස්න පත්තර උස්සලා. යකඩෝ මේක නිකං දරුවන්ගෙ මුළු ජීවිතේම තීන්දු කොරන එකක් කියල හිතාගෙන නොවැ ගොඩක් එඋං වැඩ කොරන්නෙ. 

ඕං  ඉතිං මේ ගැන කතා කොරපු වෙලාවෙ පහුගිය දොහේ දරුවො වෙනුවෙන් අපූරු වික්‍රමයක් කොරපු ලොකු ඉස්කෝලෙ මහත්තයෙක් හදිසියේම අන්තරා උනා නොවැ. ඒක නං විසාල පාඩුවක්. ඒ තමයි හිනිදුම්පත්තුවෙ මාපලගම ඉපදිලා ගාල්ලෙ රූමස්සල බොනවිස්ටා ඉස්කෝලෙ මුල් පුටුව හොබවපු ගනේවත්ත ඉස්කෝලෙ මහත්තයා. උන්දැ කොරපු සේවය අනුව නරක තැනකට නං යන එකක් නැහැ නොවැ. මොකෝ මීට අවුරුදු කීපෙකට කලින් ඔය ඉස්කෝලෙ ළමයි දාහතක් විතරයි හිටියෙ. වැහෙන්න තිබුණ තැනක් නොවැ. එහෙව් තැනක් තමා මේ ඉස්කෝලෙ මහත්තයා බාර ගත්තෙ කොහොම හරි ගොඩදාන්න කියලා. ඇත්තටම එතන සෙනරත් පරණවිතාන මහත්තයා, මාර්ටිං  වික්‍රමසිංහ මහත්තය වගේ මහා ප්‍රාඥයන්ට අධ්‍යාපනය දීපු තැනක් නොවැ. කොහොම හරි ඒ හැමෝටම ගෞරවයක් වෙන්න ගනේවත්ත මහත්තයා ඉස්කෝලෙ ගොඩදැම්මා නොවැ. දැං ළමයි තුන් දාහක් විතර ඉන්න ජාතික තලයේ ඉස්කෝලයක්. දැං පුදුම තරගයක් තියෙන්නෙ ඒ  ඉස්කෝලෙට ළමයි දාන්න. ආන්න ඒකයි කියන්නෙ හිතුවොත් කොරන්න බැරි දෙයක් නෑ  ඒකට හොඳම සාක්ෂිය තමා ගනේවත්ත මහත්තයා. 

තව එකක් මේක කියවන නොකියවන හැම කෙනෙක්ගෙම ජීවිත වටින හන්දා මේකත් කියන්නංකෝ. දැං අර ඉස්කෝලෙ මහත්තයා සතියක් තිස්සෙ බඩ පපුව දැවිල්ල හැදිලා ගෑස්ටික් කිය කියා හිටියලු. දන්නෙම නෑ නිදි පැදුරෙම තමා නැතිවෙලා තියෙන්නෙ. ඒ හන්දා කට්ටියම කල්පනාවට ගත්තොත් නං හොඳා එහෙම අමාරුවක් ආවොත් ගෑස්ටික් කිය කිය නොඉඳ වහාම දොස්තර මහත්තයා ගාවට යන එක තමා නුවණට හුරු කියලා. දැං ඔය ඉස්සර ඉස්කෝලෙ දහම් පාසලේ තියෙනව නොවැ විවාද තරග.  ඒවයින් කතා කොරන්න තර්ක කොරන්න කොච්චර ඉගෙන ගන්නවද? හැබැයි දැං එහෙම තරගයක් තිබ්බොත් එක කණ්ඩායමක් අපේ කණ්ඩායමට ජය වේවා කිය කිය කෑ ගහයි. අනිත් කණ්ඩායම නිවන් සැප ලැබේවා කිය කිය කෑ ගහයි. මොකෝ එහෙම තමා දැං ගොඩක් එඋං මේ මූණු පොතේ හැසිරෙන්නෙ. දාන ඕනම කාරණයක් ගැන තර්ක කොරන්න දන්නෙ නෑ. විකල්පයක් පෙන්නන්න දන්නෙත් නෑ. ඕන එකටයි එපා එකටයි හැම එකටම ජය වේවා කියලා දානවා නිවන් සැප ලැබේවා කියලා දානවා. මෙඋංගෙ මොල ගෙඩි හෙල්ලිලාද කොහෙද මයෙ හිතේ. 

අපි හිච්චි එකාල සන්දියේ ඔය කවුරු හරි පක්ෂෙක නායකයො එනව කිවුවම රැස්වීමකට පැනගෙන යනවා බලන්න. උන්දැල හැබෑවට දකින්න තියෙන ආසාවටයි කතාව අහගෙන ඉන්නයි. ඉතිං මට මතකයි ඒ සන්දියෙ දැං කරාපිටියෙ සමසෞඛ්‍ය පීඨෙ නේවාසිකාගාරෙ තියෙන තැන ගොඩකන්දෙ පාර අයිනෙ රැස්වීමකට ආවා නොවැ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි, අනුර බණ්ඩාරනායක මහත්තයයි. ඒ දෙන්නම කතා කොරා. පස්සෙ ඔය මැතිණියගෙ අතේ තිබුණ වටා පතක් වගේ පවන් ගහන එකක් ආං ඒක වැටිල තිබිල ඒ පැත්තෙ කෙනෙක් අහුලගෙන බොහොම ආසාවෙන් තියන් හිටිය නොවැ. ඉතිං මට හොඳට මතක හිටිය එක තමා ඔය අනුර බණ්ඩාරනායක මහත්තයා කට කැඩිච්ච කතාත් කියනව නොවැ. උන්දැගෙ කතාවෙදි කිවුවා ජේ ආර්ගෙ පස්ස පැත්ත හරියට මිරිකපු දෙහි ලෙල්ලක් වගේය කියලා. ඉතිං මිනිස්සු හිනාවෙලා කෑ ගැහුවා ජය වේවා කියලා කොහොමහරි පස්ස පැත්ත කොහොම උනත් උංදැලගෙ ආර්ථික ප්‍රතිපත්ති හංදා හැම එකාම මිරිකලා මිරිකලා දැං මුළු රටම දෙහි ලෙල්ලක් වගේ කියලා තමා මට නං හිතෙන්නෙ.    


එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටදෙවන දිගහැරුම.

2023-10-19 බ්‍රහස්පතින්දා.    


No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...