චූන් පාන්
“ලෝකෙන් උතුම් රට ලංකාවයි - ලංකාවයි සිරි ලංකාවයි ”
මේ සිංදුව කිය කියා අවුරුදු ගානක් තිස්සේ ණයට කකා සැප විඳගෙන අපි හිටියෙ පුදුම චූන් එහෙකය. කොච්චර චූන් වුණාද කියනවනම් ලෝකයේ දියුණුයි කියන රටවල් වල කරන හැම මඟුලක්ම අපේ රටෙත් කොරානෙ ඉතිං.
J.R මහත්තය විවෘත ආර්ථිකය ගෙනාවම හරියට කොරන්න පුළුවන් කියල හිතපු අපි ඊට පස්සෙ M.R. - G.R. – B.R වෙනකම්ම හිටියේ කුරහන් චූන් එකේය. අන්තිමට ඉතුරු වුණේ QR විතරය. වසර 30ක් තිබුණු කොටි ත්‍රස්තවාදය ජීවිත පරිත්‍යාගයෙන් ඉවර කරහමත් අපි හොඳටම චූන් වී ජාතික කොඩිය කරේ බැඳගෙන පාරට බැහැලා සූර් වී නැටුවේ සියලු පුරස්න දැන් අහවරයි කියල හිතලාය. අන්තිමට දන්නෙම නැතිව අහිංසක අපේ හීන මාලිගාව හොරු බිඳලාය.
ඒ සැරේ යහපාලන චූන් එකක් කඩන්පාත් වුණාය. කොහොම වුණත් රෙද්ද බැනියම අදින කෙහෙල් කොළේ බත් එක කන පුලතිසිපුර පුරන් කොටන ගිරාමසේවක මහත්තයා හරිම හොඳයි කියලා චූන් එකේ ඉන්න කොට රෙද්ද ගැළවුනා වගේ මහ දවාලෙ සේප්පුවත් කඩාගෙන රට පුරා ගින්දරත් පත්තු විය. ඒකෙන්ම ඒ චූන් එකත් හමාර විය.
ඊළඟ චූන් එක රට රකින විරුවාය. ඇගේ මයිල් කෙලින් වී චූන් එක වැඩි වී අපි උස්සලාම දුන්නාය. පිරිත් නූල් බැන්දාය. රුවන්වැලිය වැන්දාය. හරිත විප්ලවය ලෝකෙටම පෙන්වන්නෙ අපි තමයි කියා පුරසාරම් බෑවාය. ඩොලර් හිඟයක් ඇත්තෙම නෑ ණයත් ගෙවනවා සල්ලිත් අච්චු ගහනවා කියා මොල හත අවදි කර කට මැත දොඩවමින් පුදුම චූන් එකකින් කාක්කන්ට ආප්ප දැම්මේ හෙනහුරු අපලෙත් දුරු වෙන්න කියාය.
සියලු දෝෂ සමනය වී චූන් එක වැඩිකමට මට ඉතිහාසය මතක් විය. සත ගණන්වලටත් පාන් කාපු උදවිය තාම ඉද්දි මම පාන් කෑවේ රුපියල් තුනට ය. පස්සෙ තුනයි සත දහයක් වුනා හොඳට මතකය. ඒ කාලෙ ඉස්කෝලෙ කොල්ලො නැහැදිච්ච කමට කියපු පද පේලියක් තාම මතකය.
“පාන් පෙත්ත උඩ යනවා
රූං පෙත්ත කැරකෙනවා
ප්‍රේමදාස සුරංගනා කතා කියනවා ”
ඒ තරම් පාන් ප්‍රධාන ආහාරයක් නොව මාතෘකාවක් විය. ඒ නිසාම 94 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ මාතෘකාවක් වුණෙත් පාන් ගෙඩිය තුනයි පනහට දෙන බවකි. ඒ මදිවට අනිත් රටවල් අපි පහු කොරගෙන යනකොට
ඉතිං අපිට පාන් ද?
කියා සමච්චල් කොරමින් ඉතිහාස සිරිවිභූතියෙන් මත්ව අපි හිටියේ ගරු ගාම්භීරවය.
ඔන්න ඉතිං ලියල හමාරය. චූන්පාන් වාහනේ ආවාය. පෑන තියල විඟහට දිවුවේ පාන් ගෙඩියක් ගන්නය. අදට එකසිය අසූවයි. ළඟදීම තුන්සිය වේවි. පාන් මල්ලි කීවාය. හනේ ඇත්තට ආචාරියෙක් කිවුව වගේ රුපියල චප්ප චපිරි වෙලා හක්ක බොක්කට ගිහිල්ලා බොක්ක දොට්ට පැනලා රටම මස්තබාල්දු වෙලාද නැත්නම් අපි බාල්දු වෙලාද කියලා මට හිතුණේ චූන් කරන්න ගිහින් පාන් කියා ගන්න බැරි ගානට වැටුණු විටය. එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය සිව්වන දිගහැරුම.
2022-09-08 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment