උණ
මෙදා සැරේ මේ ටික කුරුටු ගාන්න වුණෙත් උණ විකාරෙන් කරාපිටිය ඉස්පිරිතාලේ 34 වාට්ටුවේ ඇදක ඉදගෙන ඕං. පොත දිගෑරගෙන පටන් ගන්න කොටම මිසී කෙනෙක් අහපි මෙච්චර අමාරුවෙන් ඉඳගෙනත් ලියුම් ලියනවද කියලා. මම හනිකට එවෙලෙම පොත වහල තියලා ඉතුරු ටික ඊට පස්සෙ ලිවුවේ. නැත්තන් එවෙලෙ ඇදෙන් බිමට දාලා වෙන අමාරු ලෙඩෙක් ඇඳට දාන්නත් බැරි නෑ. ඒ තරමට තද බදේ. එක එක ජාතියෙ උණ කාරයො.
හැබැයි මට හැදුනෙ ඕං මී උණ. හීතල දරාගෙන ඉන්න බැරි කමටයි ඔලු කට්ට පුපුරන ගානට කැක්කුම හන්දයි අපේ පවුලෙ දොස්තර මහත්තයගෙ උපදෙස් පිට ගෙදර ඇත්තො මං එක්කන් ගොහිං ලේ දුන්න නොවැ බලන්න. මෙන්න බොලේ පැයක් හමාරක් යද්දි දඩ බඩ ගාල ගැහි ගැහි මාව කුදලගෙන ඇවිල්ලා නැවැත්තුව කියහන්කො. හැබැයි ඉතිං ලොකු දොස්තර මහත්තය කිවුවා හොඳ වෙලාවට ඇවිල්ල තියෙන්නෙ කියලා. ඒ මොකෝ ඇතුලෙ කෑලි බෑලි සවුත්තු වෙලා නැත කියන්නෙ. ඒක හන්ද දවස් කීපෙකින් බේරුණා. ඒ විතරක්යැ මෙහේ කට්ටිය පඬුරු බැන්දා. පූජා තිවුවා. ඒරොප්පෙ ඉන්න අපේ මලය ඇතු`ඵ කට්ටිය යාඥා කොරා. මෙහේ නෑහෑදෑයෝ මිත්තරයො හෙව්ව බැලුවා. හැමෝටම බොහොම පිං. ගමරාලය කොහොම හරි ගොඩ ආවා. මේක පලකොරන දවස වෙනකොට ගෙදරත් ආව ඕං.
කොච්චර අමාරු උනත් ඔතනත් හිටිය නොවැ කිරිකැට් උණ කාරයො. මේන් එක හාදයෙක් අහනව මිසී අද අපේ කොල්ලො ගහනව අපිට බලන්න විදියක් නැද්ද? මිසී කිවුව බලන්න පු`ඵවන් කාඩ් එකක් ගෙනාවොත් කියලා. පැනපු ගමන් කීප දෙනෙක්ම සල්ලි දෙන්න ඉදිරිපත් වුණා කියහන්කො. එකෙක් සුටුස් ගාලා ගියා ගෙනාවා දැම්මා. මෙන්න බොල එතකොට තමයි තේරුණේ මේ දවස්වල ලොකුම උණ ඒක තමයි කියලා. විස්සයි විස්ස කොහොම හරි මයෙ අප්පලට ජයම පතනව.
දැන් ඔය මයෙ ඇදට අල්ලපු ඇදේ හිටියා බොහොම පරණ ගිරාමසේවක මහත්තයෙක්. ගම් පලාත අකුරැස්සෙ. රත්නායක මහත්තයා. බෝගහවත්තෙ රාළහාමි කිවුවනම් ඒ පළාතෙ හැමෝම දන්නව නොවැ. වයස අවුරුදු අසූ ගානක්. ජීවිතේ පළවෙනි වතාවට තමයි ඉස්පිරිතාලෙක හිටියේ. බොහොම නිවුණු තැන්පත් කෙනෙක්. නිතරම ඉන්නෙ හිනා මූණෙන්. සෑහෙන්න දේවල් අපි කතා කොරා. එකක් විතරක් කියන්නම්. මට කිවුවා මම නම් පඩිය ඇරුනම සත පහක් අරගෙන නෑ කිවුවා පැන්ෂොන් යනකන්. ඒකට දැන් ලංකාවෙ වැඩියෙන්ම පගාව ගන්න තැන දිසාපති කන්තෝරුව කියනවනේ. ඒ සැරේ මම ඇහැවුවා දැන් කොහොමද එහේ දලු මිල හොඳද කියලා. අනේ මට මොකටෑ ඕවා. මට මගේ පැන්ෂොන් එක තිබුණම හොඳටම ඇති කිවුවා. බලන්න ඉර හඳ අල්ලන්න යන මිනිස්සු අතරේ අල්පේච්ඡ ජීවිත. ඒවගේමයි ළඟ හිටපු එයාගෙ දරුවො. පුදුම නිවුණු ගුණවත් දරුවො. හැම ලෙඩෙකුටම උපකාර කොරා. කොහොමහරි මම ගෙදර එනකොටම බෝගහවත්තෙ රාළහාමිත් ගෙදර ගියා. ඕං ඉතිං නිරෝගි සුවයම ප්‍රාර්ථනා කොරනවා.
එන්න ඉස්සරවෙලා දවාලෙ ඔය වාට්ටුවෙ කෑම කන තැනට ගියහම සෞඛ්‍ය අමාත්‍යංශෙ දැන්වීමක් අලවල තියෙනවා ලස්සන කෑම පිගානක් එහෙම දාලා ඉරි ගහල බෙදලා. ඒකෙ ගහල තියෙනවා මැනලා කන්න හැඩට ඉන්න කියලා. ඒක අද කාලෙට ගැළපෙන්න නොමැරී ඉන්න හොයන් කන්න කියලා ගැහුවනම් හරි. මොකෝ ඔය දැන්වීම ගහන්නත් අමාත්‍යංශෙ එවුන් කොච්චර ගසා කාලද දන්නේ නැත.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය එකොළොස්වන දිගහැරුම.
2022-10-27 බ්රහස්පතින්දා.
