Thursday, October 27, 2022

ගමරාලගේ අඬහැරය එකොළොස්වන දිගහැරුම - උණ

උණ

මෙදා සැරේ මේ ටික කුරුටු ගාන්න වුණෙත් උණ විකාරෙන් කරාපිටිය ඉස්පිරිතාලේ 34 වාට්ටුවේ ඇදක ඉදගෙන ඕං. පොත දිගෑරගෙන පටන් ගන්න කොටම මිසී කෙනෙක් අහපි මෙච්චර අමාරුවෙන් ඉඳගෙනත් ලියුම් ලියනවද කියලා. මම හනිකට එවෙලෙම පොත වහල තියලා ඉතුරු ටික ඊට පස්සෙ ලිවුවේ. නැත්තන්  එවෙලෙ ඇදෙන් බිමට දාලා වෙන අමාරු ලෙඩෙක් ඇඳට දාන්නත් බැරි නෑ. ඒ තරමට තද බදේ. එක එක ජාතියෙ උණ කාරයො. 

හැබැයි මට හැදුනෙ ඕං මී උණ. හීතල දරාගෙන ඉන්න බැරි කමටයි ඔලු කට්ට පුපුරන ගානට කැක්කුම හන්දයි අපේ පවුලෙ දොස්තර මහත්තයගෙ උපදෙස් පිට ගෙදර ඇත්තො මං එක්කන් ගොහිං ලේ දුන්න නොවැ බලන්න. මෙන්න බොලේ පැයක් හමාරක් යද්දි දඩ බඩ ගාල ගැහි ගැහි මාව කුදලගෙන ඇවිල්ලා නැවැත්තුව කියහන්කො. හැබැයි ඉතිං ලොකු දොස්තර මහත්තය කිවුවා හොඳ වෙලාවට ඇවිල්ල තියෙන්නෙ කියලා. ඒ මොකෝ ඇතුලෙ කෑලි බෑලි සවුත්තු වෙලා නැත කියන්නෙ.  ඒක හන්ද දවස් කීපෙකින් බේරුණා. ඒ විතරක්යැ මෙහේ කට්ටිය පඬුරු බැන්දා. පූජා තිවුවා.  ඒරොප්පෙ ඉන්න අපේ මලය ඇතු`ඵ කට්ටිය  යාඥා කොරා. මෙහේ නෑහෑදෑයෝ මිත්තරයො හෙව්ව බැලුවා. හැමෝටම බොහොම පිං. ගමරාලය කොහොම හරි ගොඩ ආවා. මේක පලකොරන දවස වෙනකොට ගෙදරත් ආව ඕං. 

කොච්චර අමාරු උනත් ඔතනත්  හිටිය නොවැ කිරිකැට් උණ කාරයො.  මේන් එක හාදයෙක් අහනව මිසී අද අපේ කොල්ලො ගහනව අපිට බලන්න විදියක් නැද්ද? මිසී කිවුව බලන්න පු`ඵවන් කාඩ් එකක් ගෙනාවොත් කියලා. පැනපු ගමන් කීප දෙනෙක්ම සල්ලි දෙන්න ඉදිරිපත් වුණා කියහන්කො. එකෙක් සුටුස් ගාලා ගියා ගෙනාවා දැම්මා. මෙන්න බොල එතකොට තමයි තේරුණේ මේ දවස්වල ලොකුම උණ ඒක තමයි කියලා. විස්සයි විස්ස කොහොම හරි මයෙ අප්පලට ජයම පතනව. 

දැන් ඔය මයෙ ඇදට අල්ලපු ඇදේ හිටියා බොහොම පරණ ගිරාමසේවක මහත්තයෙක්. ගම් පලාත අකුරැස්සෙ. රත්නායක මහත්තයා. බෝගහවත්තෙ රාළහාමි කිවුවනම් ඒ පළාතෙ හැමෝම දන්නව නොවැ. වයස අවුරුදු අසූ ගානක්. ජීවිතේ පළවෙනි වතාවට තමයි  ඉස්පිරිතාලෙක හිටියේ. බොහොම නිවුණු තැන්පත් කෙනෙක්. නිතරම ඉන්නෙ හිනා මූණෙන්. සෑහෙන්න දේවල් අපි කතා කොරා. එකක් විතරක් කියන්නම්. මට කිවුවා මම නම් පඩිය ඇරුනම සත පහක් අරගෙන නෑ කිවුවා පැන්ෂොන් යනකන්. ඒකට දැන් ලංකාවෙ වැඩියෙන්ම පගාව ගන්න තැන දිසාපති කන්තෝරුව කියනවනේ. ඒ සැරේ මම ඇහැවුවා දැන් කොහොමද එහේ දලු මිල හොඳද කියලා. අනේ මට මොකටෑ ඕවා. මට මගේ  පැන්ෂොන් එක තිබුණම හොඳටම ඇති කිවුවා. බලන්න ඉර හඳ අල්ලන්න යන මිනිස්සු අතරේ අල්පේච්ඡ ජීවිත. ඒවගේමයි ළඟ හිටපු එයාගෙ දරුවො. පුදුම නිවුණු ගුණවත් දරුවො. හැම ලෙඩෙකුටම උපකාර කොරා. කොහොමහරි මම ගෙදර එනකොටම බෝගහවත්තෙ රාළහාමිත් ගෙදර ගියා. ඕං ඉතිං නිරෝගි සුවයම ප්‍රාර්ථනා කොරනවා. 

එන්න ඉස්සරවෙලා දවාලෙ ඔය වාට්ටුවෙ කෑම කන තැනට ගියහම සෞඛ්‍ය අමාත්‍යංශෙ දැන්වීමක් අලවල තියෙනවා ලස්සන කෑම පිගානක් එහෙම දාලා ඉරි ගහල බෙදලා. ඒකෙ ගහල තියෙනවා මැනලා කන්න හැඩට ඉන්න කියලා. ඒක අද කාලෙට ගැළපෙන්න නොමැරී ඉන්න හොයන් කන්න කියලා ගැහුවනම් හරි. මොකෝ ඔය දැන්වීම ගහන්නත් අමාත්‍යංශෙ එවුන් කොච්චර ගසා කාලද දන්නේ නැත. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය එකොළොස්වන දිගහැරුම.

2022-10-27 බ්‍රහස්පතින්දා.

Thursday, October 20, 2022

ගමරාලගේ අඬහැරය දහවන දිගහැරුම - ගං වතුර

ගං වතුර 

ඇළ දොළ  ගංගා යාවි ගලා

දිය රැළි නංවා මුහුද සොයා

රන්වන් සමනලු රන් තටු  සලලා

යයි පියඹාලා මල් සොයලා 

ලා ලා ලා ලාල ලා ලාල ලල් ලල් ලාල ලා

මේක අසූව දශකයේ ගුවන් විදුලියෙන් අහපු ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයගෙ අපූරු ගීතයක් නොවැ. මට මේක මතක් වුණේ මේ දවස්වල ඇළ දොළ ගංගා සැරට ගලන නිසා ඕං. ඒ විතරක් නම් මදැයි ඒ කාලෙ සමනල්ලු ගැන ගතු කිය කිය මලක් විකසිත කොyරගත්තු උදවිය දැන් සිය කැමැත්තෙන්ම මල් යායම සමනලයට දීල කියලා කට්ටිය  කතා වෙනව ඇහුන නොවැ. 

කොහොම වුනත් හැම අවුරුද්දක ම වගේ මැයි මාසෙ අග සුමාන දෙකේ නැත්තන් ඔක්තෝබර් අග සුමාන දෙකේ අපේ පළාත්වලට ගංවතුර ගලන එක අරුමයක් නෙවෙයි. පුංචි  එවුන් කාලෙ නම් අපට මේක හරිම විනෝදයක්. කෙහෙල් කොටන්වලින් පාරු හදාගෙන වතුර බැහැගෙන දියබුං ගැහුව කියහංකො. අනික ඒ කාලෙ  මීට වඩා මහ ජල කඳක් එනවා. ඒත් එච්චර ගෙවල් නම් යටවෙන්නෙ නෑ. මොකෝ ගෙවල් තිබුණෙ උස්තැන්වල මිසක් කුඹුරුවල නෙවෙයිනෙ. 

ඔය මහ ගංවතුර අඩුවුනේ ගිංගග යෝජනා කරමය කෙරුණට පස්සේ.  ඒ කාලෙ ඕකට කිවුවෙ චීනගෙ වැඩ පොළ කියලා. අපේ පැත්තෙ අයත් ගියා ඕකෙ වැඩට. ඒ ගැන නම් වෙනම දවසක ලියන්න කතන්දර තියෙනවා. ඉතිං ඕකෙ දෙවැනි අදියරක් තියෙනව කියල ඒ කාලෙ කිවුවට එයින් පස්සෙ  කිසිම දෙයක් කෙරුනෙ නෑ. එක්කො චීනට එපා වෙලා. නැත්නම් අපේ කට්ටියට සංතෝෂම මදි වෙලාද දන්නෙ නෑ. හැබැයි ඉතිං අපේ කට්ටියත් චීනෙට දෙවෙනි වෙන්න කැමති නැහැනේ. ඒක හන්දා  ඔය වතුර ටික මුහුදට බහින මහමෝදර මෝය කට හරස් කොරලා මහ ගල් තඩි දාලා ගැහැවුවා වේල්ලක්. එතනින් කෙලින්ම බැහැපු වතුර පාර දැන් බහින්නෙ හැරිලා.  ඒක හන්දා වෙනදට වඩා ඉක්මනට වැලි ගොඩවෙලා මෝය කට වැහෙනවා. ඔන්න ඉතිං හයියෙන් වැහැලා වතුර ගලනකොට අදාළ බලධරයො ඩෝසරයක් හොයාගෙන යනවා.  මෝය  කපනවා. ගොඩක් වෙලාවට කපන කොට මෙහේ වෙන්න ඕන දේවල් වෙලා හමාරයි. අපේ කුඹුරු, කොරටු, භෝග වගා සම්පූර්ණ විනාසයි. අර මෝය කට හරස් කොරල දාපු වේල්ලෙ පොරෝජනේ ගන්නෙ කුඩයක් යටට වෙලා  කිටි කිටියේ තුරුලු වෙලා ඉන්න ජෝඩු විතරයි. 

කොහොමින් කොහොම හරි  මිනිස්සුන්ට මහා පුරස්න ගොඩක් ඇවිල්ලා හොඳටෝම හෙන්ඩත් වෙලා ඉන්නව මදිවට ගංවතුරත්  හයිරං කොරන්නෙ අපිට ම තමා. ඒ අස්සෙ කවුදෝ එකෙක් කියනවා  යළි නැගිටිනවයි කියලා.  තව එකෙක් කියනවා අලි නැගිටිනවා කියලා. කොහොම හරි පරිස්සමෙන් මොකෝ කලබලේට නැගිටිනකොට වැටුණු සේරම අහුල ගන්න බැරි වෙයි ඈ.   

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දහවන දිගහැරුම.

2022-10-20 බ්‍රහස්පතින්දා.

Thursday, October 13, 2022

ගමරාලගේ අඬහැරය නවවන දිගහැරුම - ගෑණු ගැටේ

ගෑණු ගැටේ

ගමේ ගොඩේ වෙල් ඉපනැල්ල එක්ක ගනුදෙනු කරන මහපොළොව එක්ක ඔට්ටුවෙන මම හදිස්සියෙ හරි කොළඹ රටට ගියපු වෙලාවට පිට්ටු බම්බු ගොඩනැගිල්ලයි එතනම තියෙන අනිත් උසම උස ගොඩනැගිලි දෙක දිහායි බලන්නෙ ඇස් දෙක ලොකු කොරලා. ඇයි ඉතිං අපි වගේ එවුන්ට කිට්ටු වෙන්න පුළුවන් තැන්ද ඔව්වා. එව්වා ඉතිං මහා දැන උගත්කම් ඇති ටයි කෝට් දාපු ලොකු මහත්වරුයි එක එක පාට ජාති මූණෙ ඉදලා කකුල්වල නියපොතු දක්වා උලාගෙන ඉන්න ලොකු ලොකු නෝනලයි යන තැන් නොවැ. 

ආං ඒ පිට්ටු බම්බුව ළඟ තියෙන අනිත් එකට නොවැ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියන්නේ. මම හිතුවෙ ඔතන ලෝකෙත් එක්ක හරි හරියට ගනුදෙනු කොරන මහ ඉහලට ඉගෙනගත්තු සරස් බරස් ගාල ඉංගිරිස් කතා කොරන කට්ටිය විතරක් වැඩ කටයුතු කොරන තැනක්ය කියලා. මෙන්න යකඩො ඊයෙ පෙරේදා ඉදලා එක හා හූවයි. ඉස්කෝලෙ අටේ පන්තියට විතරක් ගියපු අම්මණ්ඩි කෙනෙක් මුර කාරයො පිරි වරාගෙන ඔය ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ ඉඳගෙන හරි හරි සෙල්ලං ගොඩක් කොරලා. මහ ලොකු ලොක්කො සල්ලං කොරලා. උන්ගෙ මුලු සේසතම සුද්ද කොරලා. කෝටි ප්‍රකෝටි ගාණක් සල්ලි හොයලා කියලා. දැන් තමයි මට තේරෙන්නෙ ඔතන කොටන්න පොලවක් නැතත් නටන්න හරි අපිටත් යන්න පුළුවන් තැනක්ය කියලා. 

බලනකොට හොඳම ලෝකයො මෙතැන ඉදල නොවැ. කොහොමහරි පොත්ත සුදු කොරගෙන හිරට කොටට ඇදලා ඇඟ පත ගසාදාලා ගියානම් ගෑනියෙකුට කොච්චර එවුන් අහුවෙනවද අප්පා? ආණ්ඩුකාරයො, පිටරටවල ජනාධිපතිවරු, මහලොකු හාමුදුරුවරු, දේසපාලුවො. මෙවුන් ඔක්කොම දැන් ඉන්නෙ කිතුල් ඇට ගිලපු උගුඩුවො වගේ. ඔය ආයතනෙ නම තියෙන්නෙ තිකෝ කියලනේ. දැන් ඉතිං සල්ලි දාපු එවුන්ට අහන්න වෙන්නෙ තී කෝ කියලාය. 

ඔය ඉතිං රට බේරගන්න යුද්දෙට ගිය රණසූර කොල්ලන්ට අටපාස් ආමි කාරය කියපු එවුන් අටපාස් නැති මේ ගෑනිට මැඩම් කියලා නොවැ. ඒ විතරක් නම් මදැයි තමන් දන්න කලාවක් කොරගෙන පුළුවන් විදියට තමන්ගෙ උපන්දිනේ ගෙදර කිරිබත් කෑල්ලක් කාලා සතුටුවෙන්නෙ නැතුව සමහරු ගිහිල්ල නොවැ සර්පයිස් ද මොකක්ද කියලා අනුන්ගෙ ගින්දරෙන් මේ ගෑනි දෙන ලොකු පාටිවලට. අනේ මන්දා මට මතක් වුණේ මීට අවුරුදු ගානකට කලින් ප්‍රවීණ නාට්‍යවේදී මැදවල පර්සි කේ. ජයතිස්ස ශූරීන් ඉදිරිපත් කළ මමත් රඟ පෑ ‘ගෑණු ගැටේ’ වේදිකා නාට්‍යය. අඩුගානේ ඒකවත් බලල තිබුනනම් මේ වගේ ගැටවලට අහු නොවී ඉන්න තිබ්බා. 

බලාගෙන යනකොට ඔය නොදියුණුයි කියන කාලේ අහුනොවිච්චි දහංගැටවලට දැන් මේ දියුණු සමාජෙ එවුන් කොච්චර අහුවෙනවද? එකපාරක් දඬුවම් මුදලාලිට, ඒ සැරේ සෙලින්කෝ එකට, ඒ මදිවට සක්විතිට, තව ඉතිං ඊටීඅයි ද මොකක්ද එකට. මේ ඊයෙ පෙරේදා ඕං තව ඇල්පිටියෙ අම්මණ්ඩි කෙනෙකුටත් අහුවෙලා. හනේ ඔය සල්ලි රන් රත්තරන් බඩුවලට කොරන්න දෙයක් නැත්තං ඉස්සර රජ කාලෙ වගේ ගේ ඇතුලේ වළලලා හරි තියාපිය. එතකොට අනාගතේ පොඩි එවුන් හරි හාරල ගනීවි. ඔය එක එක අම්මණ්ඩිලාට පුදන්නෙ නැතුව. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය නවවන දිගහැරුම.

2022-10-13 බ්‍රහස්පතින්දා.

Thursday, October 6, 2022

ගමරාලගේ අඬහැරය අටවන දිගහැරුම - ඉස්කෝලේ

ඉස්කෝලේ

පහුගිය දොහක හැමදාම සමාජෙට හොඳ වැඩ කොරන දකුණට එළියක් පදනමේ කොලූ පැටවුන්ගෙන් ආරාධනාවක් ලැබුණා ළමා දිනේ වෙනුවෙන් දුෂ්කර ඉස්කෝලෙක වැඩසටහනක් කොරල දෙන්න කියලා. ඉතිං  ඕං ගමරාළත් ගියා. ගාල්ලෙ යක්කලමුල්ලෙ මිණුවන්දෙණිය කියන සුන්දර ගමේ තමයි මේ ඉස්කෝලෙ තියෙන්නෙ. ඉස්කෝලෙ නම තමයි මිණුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලය. මුළු ඉස්කෝලෙටම ළමයි 31යි. හැබැයි ඉතිං විවිධ හැකියාවල්  තියෙන හරි  දක්ෂ දරු පැටවු ටිකක්. 

ඉතිං ඔය ඉස්කෝලෙ ගැන හැඟීමෙන් වැඩ කොරන වැඩිහිටියෙක් ඇවිත් හිටියා. එයාගෙ නම කුමාර. මනුස්සය ඉස්සෙල්ලම මගෙන් ඇහැව්වා පැණිත් එක්ක කහට බොනවද කියලා. මම කිවුවා හොඳයි කියලා. මිනිහ රූං ගාල ගොහින් අරගෙන ආවා කිතුල් පැණි. දැං එක කෝප්පෙකට කහට වක්කරා. තව කෝප්පෙකට පැණි වක්කරලා දුන්නා. ඔන්න ඉතිං අත් දෙකට කෝප්ප දෙකත් අරං ගමරාල අපූරු කහට බීමක් බිවුවා. 

ඔය සංග‍්‍රහ කොරන අතරතුරේ තොරතෝංචියක් නැතිව ඒ මනුස්සය කියවනව ‘‘ගමරාල උන්නැහේ දන්නවද මේ ඉස්කෝලෙ වැහෙන්න ගිය ඉස්කෝලයක්. දේසපාලූවන්ටත්  ඕන වුණේ මේක වහන්නනේ. ඇයි මහ රූස්ස ගස් එක්ක අක්කර හතරක ඉඩමක් තියෙනවනේ. හැබැයි ඉතිං අපේ ඉස්කෝලෙ ලොකු ඉස්කෝලෙ මහත්තය හැටියට හිටපු මහානාම මහත්තයටයි දැන් ඉන්න අඹවත්ත මහත්තයටයි පිං සිද්ධ වෙන්න තමයි මේ ඉස්කෝලෙ තියෙන්නෙ. මාත් ඉතිං ගමේ වැඩිහිටියෙක් හැටියට ඉස්කෝලෙ රැක ගන්න  ඕන දේකට ලැහැස්තියි ගමරාල උන්නැහේ’’ කියලා කියාපි. 

ඉතිං මට හිතුණ ඔය වැඩිහිටි දිනේට විතරක් අපි වැඩිහිටියො මතක් කොරාට එයාල ජීවිත කාලෙම පුංචි එවුන් වෙනුවෙන් කොච්චර දේවල් කොරනවද කියලා. ඒ විතරද ගුරු දිනය වෙනුවෙන් මහ උත්සව තියල ලොකු ලොකු ඉස්කෝලවල මුල් ගුරුවරුන්ටයි, ගුරුවරුන්ටයි උපහාර පිදුවට මේ වගේ දුප්පත් ඉස්කෝල රැකගෙන ඉන්න මුල් ගුරුවරුන්ටයි, ගුරුවරුන්ටයි ඇගයීමක් කොරනව නම් කොච්චර වටිනවද කියලා. 

ඕං ඉතිං ඒ ගුරු වැඩිහිටි වටිනාකම හිතේ තියාගෙන එන්න හදන කොටම ලොකු ඉස්කෝලෙ මහත්තයා කියනවා මේ ගමරාල මගේ අදහසක් තියෙනව  ඉස්කෝල වත්තේ  මහ ගස් යට බංකු ගහල එළිමහන් පන්ති කාමරයක්  හදන්න කියලා. ඉතිං ඒක හරි අපූරු අදහසක් නොවැ දරුවන්ට පරිසරය විඳිමින් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන එක. දැං මම කල්පනා කොරන්නෙ කාගෙ කාගෙ හරි උදවුවක් අරගෙන අපේ මහන්සියත් එකතු කොරලා ඔය වැඬේ කොරල දෙන විදියක් ගැන. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය අටවන දිගහැරුම.

2022-10-06 බ‍්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...