Thursday, November 24, 2022

සඳ - ගමරාලගේ අඬහැරය පහළොස්වන දිගහැරුම.

සඳ

ඕං ඉතිං ඉස්සර වෙලා මං අකුරු කොරන්න ගියේ ගොඩකන්ද කනිශ්ඨ විද්‍යාලෙට නොවැ. එතනදි මුලින්ම හම්බවෙන්නෙ හෝඩියෙ ගුරුතුමිය. ඒ කියන්නෙ සෝමා නානායක්කාර ගුරුතුමිය. සමහරු කියන විදියට සිංගප්පූරු ගෙදර ඉස්කෝලෙ හාමිනේ. ඇය වෙලාවකට කරුණාවන්තයි. වෙලාවකට හරි සැරයි. කොහොම වුණත් ගොඩක් දවසට ඒ ගුරුතුමිය කෙහෙල් කොලේ ඔතාපු තව බත් එකක් අරගෙන එනවා. විවේක කාලය දීපු ගමන් මට කතා කොරනවා. කොල්ලො කාලද ආවෙ කියල අහනවා. මම  ඉතිං ගොඩක් දවසට කට උත්තර නැතුව ඔලුව දෙපැත්තට වනනවා. ඉතිං අර බත් එක දෙනවා මට. මම ඉතිං කටට දෙකට ගිලල දානවා. ඕං ඒ කාලෙ පන්තියෙ නිතරම කියල දීපු සිංදුවක් තමයි සුනිල් ශාන්ත ශූරීන් ගායනා කොරපු 

දිය ගොඩ හැම තැන කිරි ඉතිරේ 

ගස්වැල් කිරි මුහුදේ කිමිදේ 

මද මුදු  සුළඟින් අප නැලවෙන්නේ 

බැබළෙන හදපානේ 

ඕක ඉතිං  ඒ කාලෙ කට්ටියම හරි තාලෙට කිවුව නොවැ. 

හැබැයි ඉතිං ඒ කාලෙ නම් ඔය ගුරුවරියන් ඔක්කොම සාරි ඇදල තමා ආවේ. ලොකු  ඉස්කෝලෙ මහත්තය සුදට සුදේ ජාතික ඇඳුම ඇදල ආවා. අනෙක් ගුරු මහත්තුරු දිග කලිසමයි ෂර්ට් එකයි ඇදල ආවා. ඒ කාලෙ එහෙම ආවට දැන් ඉතිං එහෙම  බෑ නොවැ. මොකෝ පහසු ඇඳුමකින් එන්න එපායැ. 

මේක කියනකොට මට මතක් වුණේ අපි ගමේ පන්සලේ අවුරුද්දකට සැරයක් කඨින චීවරේ අරගෙන එළිවෙන ජාමෙට පෙරහැරේ යනකොට නිදිමත විකාරෙන් පඬුරු කාසි ටිකකුත් අරගෙන වදින්න දුවගෙන එන ගෙවල්වල උදවිය. බොහෝ තැන්වල ගෑණු උදවිය ඉන්නෙ පහසු ඇදුමින්. කලබලේට එහෙම්ම දුවල එනවා. හරියට වීදුරු ටැංකියෙ දාපු මාලු වගේ. ඉස්සරහට ඉතිං ඒ ඇදුමෙන්ම ඉස්කෝලෙත් එයි මයෙ හිතේ. ඇයි ඉතිං පහසුයි නෙව. 

මේ ජරමර අස්සෙ ඕං අවුරුදු එකොළහකට පස්සෙ ලෝක ජනගහනය බිලියන අට පහු කොරාලු. ඕකටත් ඉතිං අපේ අත්ත මුත්ත කාලෙ තිබුණු පිළිවෙළ වෙනස් කොරලා එක එක සැලසුම් කරම ගෙනාපු නිසා තමයි මෙච්චර කල් ඇදුනෙ. දැන්නම් මයෙ හිතේ වඳ වෙන වේගෙ තමා වැඩි. ඒ මදිවට දැන් තව අඩු වෙනව නෙවැ. ඇයි ඕං ඒ පාර හඳට මිනිස්සු ගෙනියන්න හදනව නොවැ. එකදාස් නවසිය හැට නවයෙ ගියාට පස්සෙ ආයිත් ඔන්න හඳ ගමන පටන් අරගෙන. ඒ වතාවෙ නම් හදේ පස් ගල් පරික්‍ෂා කොරේ ගාල්ලෙ ඉපදුන සිරිල් පොන්නම්පෙරුම මහත්තය නොවැ. ඔය හඳ ගමන ගැන ගුවන් විදුලිය හරහා සිංහල බාසාවෙන් කියාපු ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්තයත් පසුගිය සුමානෙ ජීවිතෙන් සමුගත්ත නොවැ. 

කොහොම වුනත් ඉස්සරහට හැමෝම පහසු ඇදුම් ඇදගෙන  හඳටත් ගොහිල්ලා ඒක පුරාම කුණු බෑග් විසි කොරලා විනාස කොරහම අපි හිච්චි කාලෙ කියාපු බැබළෙන හඳ පානේ සිංදුව සුනිල් සාන්ත මහත්තය හිටියනම් කැළඹෙන හඳ පානේ කියා වෙනස් කොරන්නත් බැරි නැත. 


එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය පහළොස්වන දිගහැරුම.

2022-11-24 බ්‍රහස්පතින්දා.    


Thursday, November 17, 2022

පෙත්සම - ගමරාලගේ අඬහැරය දාහතරවන දිගහැරුම.

පෙත්සම

ඕන එකෙකුට ජීවිතේ ගැට ගහගන්න තමන්ටම කියල බිං අගලක් හරි තියෙන්න ඕන කියලනේ ඉස්සර මිනිස්සු කිවුවේ. ඒක හන්දා දීගයක් දෙන්න ඉස්සරවෙලත් ඉඩම කඩම  හරකබාන තියෙනවද කියල හොයල බැලුව නොවැ. ඔය රජ කාලෙ නම් රජාට සේවය කරපු එවුන්ට ගම් නියම්ගම් පිටින් වෙන් කොරල දීල තියෙනව නොවැ. හැබැයි ඉතිං රජාගෙ කනෙනුත් රිංගල ඉඩම් ගත්ත එවුන් හිටිය කියලා අමතක කොරන්නත් බැහැ බොල. ඇයි අර පරදේසක්කාරයො ඇවිල්ලා රජතුමාගෙන් ගෙරි හමක වාසිය ඉල්ලගෙන කොරේ පොඩි පහේ විජ්ජුම්බරයක්ද? 

රජ කාලෙන් මෙපිට මිනිස්සුන්ට මෙහෙවරක් කරපු උත්තමයෙක් තමයි ඩී. ඇස්. සේනානායක මහත්තයා. එතුමගෙ කාලෙ ගොවි ජනපද ඇති කොරල ගොඩ මඩ දෙකෙන්ම ඉඩම් දුන්න නෙව වගා කොරගෙන හරි ජීවත් වෙන්න. ඇයි මැතිනිගෙ පාලන කාලෙත් එහෙම නොවැ. අක්කර සිය දහස් ගණන් තිබිච්ච දළ කාරයන්ගෙ වතු  ජනසතු කොරනව කියලා සෑහෙන්න හරියක් ආණ්ඩුවට පවර ගත්තෙ. කොටින්ම එතුමියට පරම්පරාවෙන් ලැබුණු වතුත් ආණ්ඩුවට පවර ගත්ත නෙව. මෙව්ව නම් ඉතිං මහ වටින වැඩ. 

ඒකට දැන් මහතැන්වලට යන හැම එකාම බලන්නෙ ආණ්ඩුවට අයිති ඉඩමක් අල්ලගන්න. දැන් ඔය පහුගිය දවස්වල කිවුවෙ හිටපු ඇමතියෙක් එයාගෙ දෝනියැන්ද නමට හන්තානෙන් අක්කරේ රුපියල් තුන්සිය ගානට ආණ්ඩුවෙන් අරගෙන තියෙන්නෙ. දැන් ඒ ඇමතිය විරුද්ධ  පක්සෙ ඉඳගෙන විලි ලැජ්ජ නැතුව මෙවුන් හොරු කිය කිය කියනවා. බලනකොට ඔක්කොම එක මල්ලෙ. ඔය ඇමතිලාට අක්කරේ දෙන ගානට ඉඩම් නැති ගොවියන්ට ඉඩම් දීලා ත්‍රෛයිලෝක විජයපත්‍ර හරි වවන්න දෙනවනම් කොච්චර හොඳද අම්මප.  ඒව ඉතිං  හීන තමයි. දැන් ඔය අනුරාධපුර දිහාවෙ යාන්තං  ජීවිතේ ගැට ගහගන්න පාර අයිනෙ බඩ ඉරිගු කරලක් බුලත් විටක් විකුණන මිනිස්සුන්ටත් වර්ග අඩි පහකට රුපියල් දෙදාහක් වෙන්න ගෙවන්න කියල නෙව. මොකෝ නැති එකාගෙ බෙල්ල මිරිකල හරි මහ එවුන්ට වරප්‍රසාද දෙන්න එපායැ. 

දැන්  ඔය ගමේ සමහර පොඩි මන්තිරිලත් එහෙමයි. ඔය එක පළාතක අක්කර ගානක ගස් බෙදාගෙන තිබුණෙ. තව ඉතිං පස් කපනව, වැලි ගොඩදානව, මැණික් ගරනවා එක එක සෙල්ලම්. මේ පළාතෙත්  එහෙමයි. අනතුරුදායකයි කියලා ආණ්ඩුවෙ ගස් කපලා උන්ගෙ ලී මෝලකට ගෙනියනවා. බලපත්තර නැතුව කොස් ගස් කපනවා. හැබැයි ඉතිං  බිම් අඟලක් නැති එකෙකුට ඉඩමක් දෙන්න ගියොත් හොරුම එකතු වෙලා පෙත්සං ගහනවා. සොබාදහම දඬුවම් දෙනකම් ඔහොම කරපල්ලකො. අන්තිමට කියන්න තියෙන්නෙ නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සං.        

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දාහතරවන දිගහැරුම.

2022-11-17 බ්‍රහස්පතින්දා.

Thursday, November 10, 2022

මී මැස්සා - ගමරාලගේ අඬහැරය දහතුන්වන දිගහැරුම.

මී මැස්සා

ඕං ඉතිං බලාගෙන යනකොට මාත් හොඳ අප්පුහාමි කෙනෙක්නෙ බොලව්. ඇයි ඉතිං අපේ තාත්තගේ තාත්තා තේමිස් අප්පුහාමි. හැබැයි අපි උපදින්නත් කලින් උන්දැ වෙන ලෝකෙකට  ගිහිල්ලා. අම්මගෙ තාත්තා තමයි ජයනෝරිස් අප්පුහාමි. උන්දැ තමයි මට හිටපු මම දැකපු එකම සීයා. අදටත් මට ජීවිතේ ගත කොරන්න  බිම් කඩක් ලැබුණෙ සීය මට දක්වපු සෙනෙහස හින්දා. නැත්තන් අපට ඉන්න වෙන්නෙ මහ පාරෙ  තමයි. ඒ පිනෙන්ම උන්දැ හොඳ තැනක ඇති කියලා මම හිතනවා. 

කොහොම හරි හිච්චි එකා සන්දියෙ මට මතකයි ඔය අය වැය කියවන දවසට නම් සීය බැටරි කෑලි දාලා ගෙදර රේඩියෝ පෙට්ටිය  ලඟට වෙලා හොඳට අහගෙන ඉන්නවා. අඩු කොරන්නෙ මොනවද වැඩි කොරන්නෙ මොනවද කියලා.  හැබැයි  ඉතිං  ඉස්සර තමයි එහෙම අවුරුද්දකට සැරයක් ඕක කොරේ. දැන්නම් ඉතිං අවුරුද්ද පුරාම වැඩි කොරනවා.   ඉදල හිටල සොච්චමක් අඩු කොරනවා. ඒක හන්දා දැන් ඔය අය වැය ඇහුවත් එකයි නැතත්  එකයි. උන්ම කියවනවා - උන්ම අනුමත කොර ගන්නවා - කනවා - බොනවා -  සාජ්ජයක් දානවා - උන්ගෙ ගණු දෙනු බේරගෙන ගෙදර යනවා.  ඉතිං අපිට පිස්සුද ඕක අහගෙන ඉන්න. ඒ වෙලාවෙ හේනක් කුඹුරක් කොටා ගත්තම අහවරයි. 

දැන් ඔය අපේ ගමේ හිච්චි එවුන්ගෙත් තීනවා ළමා සමිතියක්. එවුන් ඔය පිංකමක් සල්පිලක් කොරහම අය වැයක් හදලා  එකතු වුන මුදල, වියදම් වුන මුදල, ඉතුරු වුන මුදල කියලා ටක්කෙටම ගණන් හදලා ඉදිරිපත් කොරනවා. ඒක ඔය මහ ආණ්ඩුවෙ අය වැයට වඩා සම්පූර්ණ පැහැදිලියි නොවැ. ඔය ආර්ථික ඔස්තාර්ල ගෙනාපු අය වැයවලින් උඩයි පල්ලයි දෙකම නැතුව අන්තිමට අපි  වලපල්ලට වැටිච්චි එක  විතර නෙව වෙලා තියෙන්නෙ. 

ඕකත් එක්ක එකතු වෙච්චි ලොකුම වැඩේ නොවැ බදු ගැහිල්ල. ඉස්සර නම් ඔය ඇඟ බද්ද, කකුස්සි බද්ද, බලු බද්ද එහෙමත් තිබිල තියෙනවා. දැන් ඉතින් නම වෙනස් කොරලා ඊට වඩා බදු ජාති ගොඩක් තියෙනවා. බොහෝ වෙලාවට  මහ එවුන්ට බදු සහන - පොඩි එවුන්ට බදු මරණ තමයි. 

හැබැයි ඉතිං රීරි මාංසෙම හූරං කාලා ඡන්දයක් කිට්ටු වෙන කොටම සහනාධාර කියලා  කකුස්සි කටක් හරි බෙදපු ගමන් අපේ එවුන්ටත් ඔක්කොම අමතකයි. කන්න නැතත් අනිත් වැඩේ කොරන්න මේක හරි හම්බවුනා නේද කියලා ගැම්මට ගොාහින් කතිරෙ ගහල එනවා. 

පසුගිය දොහක මට ඇහුන තව ඔස්තාර් කෙනෙක් කියනවා මල නොතලා රොන් ගන්නා සේ තමයි බදු ගන්නෙ කියලා. හැබැයි  ඉතින් මීමැස්ස නම් මල නොතලා රොන් අරගෙන මී වදයක් බදිනවා. ඕං ඒකට ආණ්ඩු කොරපු සහ කොරන එවුන් මලත් තලලා රොනුත් අරගෙන මීයක් කඩන්නෙ අත ලෙවකන්නද කියලා මුලු මී වදයම කඩාගෙන උන් විතරක් පැණි බොනවා.   

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දහතුන්වන දිගහැරුම.

2022-11-10 බ්‍රහස්පතින්දා.

Thursday, November 3, 2022

මොනර පිහාටු - ගමරාලගේ අඬහැරය දොළොස්වන දිගහැරුම.

මොනර පිහාටු

ඕං අපි හිච්චි කාලේ නිතර දුවාපු තැනක් තමයි හෝළුවගොඩ දේවාලේ. ඒ කියන්නේ ඔය හෝළුවගොඩ දේවගිරි පුරාණ විහාරස්ථානය. ඉස්සර ඉදල ඕකට ඔය දේවාලේ කියන්නේ ගලින් නෙලාපු ගණ දෙවි පිළිමයක් තැන්පත් කොරපු දේවාලයක් මූලික කොරගෙන වැදුම් පිදුම් කොරපු හන්දා. හිච්චි කාලේ ඉතිං වැඩිපුර ඔතනට දුවගෙන ගියේ ටිකක් හරි බඩගින්න නිවා ගන්න ඔය පූජ වට්ටියකින් පලතුරු ටිකක් කන්නයි ඔතන යාතිකා කොරන ජයසේකර මාමට කියලා ඔලුවට මොනර පිහාටු මිටිය තියාගන්නයි. හැබැයි ඉතිං පූජාවෙ හැටියටද අපලෙ හැටියටද දන්නෑ එක එක්කෙනාට එක එක විදියට මොනර පිහාටු සාත්තුව ලැබෙනවා. අපිත් කොහොමහරි අස්සෙන් ඔලුව දාලා මොනර පිහාටු මිටිය අතුල්ල ගන්නවා. හරී සනීපයි. මූණෙ ගෑවෙනකොට හංකිති කැවෙනවා. අනික ඒ කාලේ මේ පැත්ත පලාතක මොනරෙක් දකින්නත් නැහැ නොවැ. දැන් නම් ඕං ඔය අධිවේග පාර හැදුවට පස්සෙ හිටං මෙහේ මොනරු වැහි වැහැලා. 

කොහොම වුණත් ඔය මොනර නැටුම හරි පරසිද්ධ එකක් නොවැ. හැබැයි ඉතිං අලංකාරය තියෙන්නෙ ඉස්සරහ පැත්තෙන් බැලුවොත් තමා. පස්සෙන් බැලුවොත් අර ඔක්කොම අහවරයි නෙව. ඒත් ඕං පෙරහැරවල මොනර නැටුමට තියෙන්නෙ පුදුම ඉල්ලුමක් නොවැ. පහුගිය දොහේ ඔය මොනර නැටුම් නටාපු කතා කොරන්න බැරි කෙලි පොඩ්ඩියෙකුට ලැබුණු ආදරේ දැක්ක නොවැ. 

ඉතිං අර මාතර තිහගොඩ දිහෑ දරු පැටවුත් බලන්න ඇත්තෙ මොනර පිහාටු එකතු කොරගෙන පන්සලේ පෙරහැරේ ලස්සනට නටන්න වෙන්න ඇති. ඉස්සර අපේ හිච්චි කාලේ පියුම් මාමා දැක්කහමත් පොලෝසියෙන් කියල බයවුණ එකේ ඇත්තටම පොලෝසියෙන් පන්නව දැක්කහම ඒ පුංචි එවුන්ට මොනව හිතෙන්න ඇත්ද? අම්මප හනේ ඉතිං එහෙව් එකේ පාතාලෙ කෙරුමෙක් අල්ලනව වගේ පිස්තෝල අරගෙන පැනලා පුංචි එකාගෙ ඔලුවට තියන්න තරම් ඔලුව නොමේරූ එකෙක් නොවැ තරු පටි ගහල ඉදල තියෙන්නේ. හැබැයි ඉතිං මොනර බිත්තර පවා විනාස වෙන්න යාල ගොහින් වැඩ පෙන්නපු එකෙක්ගෙවත් ඔලුවට තුවක්කු පත්තු වුණේ නැහැ නොවැ. එක්කො ගියපු එවුන්ට ඔලු නෑ. නැත්තන් ආරක්‍ෂා කරන උන්ට ඔලු නෑ. හැම නීතියම ගමේ පුංචි එකාලට විතරයි ඕං. 

අනේ ඉතිං කරාපිටියෙ ඉස්පිරිතාලෙ ලෙඩ ඇදේ ඉන්න මාතර තිහගොඩ දරුවට නිරෝගි සුව ලැබේවා කියලා ගමරාල ප්‍රාර්ථනා කොරනව ඕං. 

ඉතිං මට හිතෙන්නෙ ඔය පොලෝසියෙ ගොඩක් එවුන්ගේ තරුපටිවල අලංකාරේ හරියට මොනර නැටුම වගේමයි. ඉස්සරහ බැබලෙනවා. පිටිපස්ස ඉතිං කියලා වැඩක් නෑ. මොනර කොළ දුන්න නම් නීතිය නවා ගන්න බැරි කමකුත් නෑ. අනේ හැබෑට වෙච්චි දෙයක්.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දොළොස්වන දිගහැරුම.

2022-11-03 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...