සඳ
ඕං ඉතිං ඉස්සර වෙලා මං අකුරු කොරන්න ගියේ ගොඩකන්ද කනිශ්ඨ විද්‍යාලෙට නොවැ. එතනදි මුලින්ම හම්බවෙන්නෙ හෝඩියෙ ගුරුතුමිය. ඒ කියන්නෙ සෝමා නානායක්කාර ගුරුතුමිය. සමහරු කියන විදියට සිංගප්පූරු ගෙදර ඉස්කෝලෙ හාමිනේ. ඇය වෙලාවකට කරුණාවන්තයි. වෙලාවකට හරි සැරයි. කොහොම වුණත් ගොඩක් දවසට ඒ ගුරුතුමිය කෙහෙල් කොලේ ඔතාපු තව බත් එකක් අරගෙන එනවා. විවේක කාලය දීපු ගමන් මට කතා කොරනවා. කොල්ලො කාලද ආවෙ කියල අහනවා. මම ඉතිං ගොඩක් දවසට කට උත්තර නැතුව ඔලුව දෙපැත්තට වනනවා. ඉතිං අර බත් එක දෙනවා මට. මම ඉතිං කටට දෙකට ගිලල දානවා. ඕං ඒ කාලෙ පන්තියෙ නිතරම කියල දීපු සිංදුවක් තමයි සුනිල් ශාන්ත ශූරීන් ගායනා කොරපු
දිය ගොඩ හැම තැන කිරි ඉතිරේ
ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැලවෙන්නේ
බැබළෙන හදපානේ
ඕක ඉතිං ඒ කාලෙ කට්ටියම හරි තාලෙට කිවුව නොවැ.
හැබැයි ඉතිං ඒ කාලෙ නම් ඔය ගුරුවරියන් ඔක්කොම සාරි ඇදල තමා ආවේ. ලොකු ඉස්කෝලෙ මහත්තය සුදට සුදේ ජාතික ඇඳුම ඇදල ආවා. අනෙක් ගුරු මහත්තුරු දිග කලිසමයි ෂර්ට් එකයි ඇදල ආවා. ඒ කාලෙ එහෙම ආවට දැන් ඉතිං එහෙම බෑ නොවැ. මොකෝ පහසු ඇඳුමකින් එන්න එපායැ.
මේක කියනකොට මට මතක් වුණේ අපි ගමේ පන්සලේ අවුරුද්දකට සැරයක් කඨින චීවරේ අරගෙන එළිවෙන ජාමෙට පෙරහැරේ යනකොට නිදිමත විකාරෙන් පඬුරු කාසි ටිකකුත් අරගෙන වදින්න දුවගෙන එන ගෙවල්වල උදවිය. බොහෝ තැන්වල ගෑණු උදවිය ඉන්නෙ පහසු ඇදුමින්. කලබලේට එහෙම්ම දුවල එනවා. හරියට වීදුරු ටැංකියෙ දාපු මාලු වගේ. ඉස්සරහට ඉතිං ඒ ඇදුමෙන්ම ඉස්කෝලෙත් එයි මයෙ හිතේ. ඇයි ඉතිං පහසුයි නෙව.
මේ ජරමර අස්සෙ ඕං අවුරුදු එකොළහකට පස්සෙ ලෝක ජනගහනය බිලියන අට පහු කොරාලු. ඕකටත් ඉතිං අපේ අත්ත මුත්ත කාලෙ තිබුණු පිළිවෙළ වෙනස් කොරලා එක එක සැලසුම් කරම ගෙනාපු නිසා තමයි මෙච්චර කල් ඇදුනෙ. දැන්නම් මයෙ හිතේ වඳ වෙන වේගෙ තමා වැඩි. ඒ මදිවට දැන් තව අඩු වෙනව නෙවැ. ඇයි ඕං ඒ පාර හඳට මිනිස්සු ගෙනියන්න හදනව නොවැ. එකදාස් නවසිය හැට නවයෙ ගියාට පස්සෙ ආයිත් ඔන්න හඳ ගමන පටන් අරගෙන. ඒ වතාවෙ නම් හදේ පස් ගල් පරික්‍ෂා කොරේ ගාල්ලෙ ඉපදුන සිරිල් පොන්නම්පෙරුම මහත්තය නොවැ. ඔය හඳ ගමන ගැන ගුවන් විදුලිය හරහා සිංහල බාසාවෙන් කියාපු ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්තයත් පසුගිය සුමානෙ ජීවිතෙන් සමුගත්ත නොවැ.
කොහොම වුනත් ඉස්සරහට හැමෝම පහසු ඇදුම් ඇදගෙන හඳටත් ගොහිල්ලා ඒක පුරාම කුණු බෑග් විසි කොරලා විනාස කොරහම අපි හිච්චි කාලෙ කියාපු බැබළෙන හඳ පානේ සිංදුව සුනිල් සාන්ත මහත්තය හිටියනම් කැළඹෙන හඳ පානේ කියා වෙනස් කොරන්නත් බැරි නැත.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය පහළොස්වන දිගහැරුම.
2022-11-24 බ්‍රහස්පතින්දා.
