Thursday, December 29, 2022

සුනේ සුං - ගමරාලගේ අඬහැරය විසි වන දිගහැරුම.

සුනේ සුං

ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා

මේක ඉතිං ඉස්කෝලෙ ගියපු හැම එකාලම පාඩම් කොරපු කවියක් නොවැ. හැබැයි ඉතිං ඔය කියාපු විදියට උනාද කියන එක තමයි පුරස්නෙ. එහෙම වුනානම් මෙහෙම වෙයිද? කොහොම හරි දන්නෙම නැතුව දවස් තුන්සිය හැට පහ නම් ගෙවිල ගියා. දැන් ඉතිං සුබ නව වසරක් කියාගෙන එන වසරට ලැහැස්ති වෙනවා. ඔය ඔක්කෝම වචන විතරයි. වෙච්චි සුබයක් නැහැ නොවැ. සුබ වෙන්න නම් ඉතිං වැඩ කොරන්න එපායැ. ඒකට දැන් ඉන්න උන්. වැඩ නොකර බලා ඉදල අන්තිමේ කියනව අපේ වෙලාව හොඳ නෑ කියලා. හැබැයි උත්සාහයෙන් ජීවිතය ජයගත්තු එකාල පෙන්නල කියනවා උගෙ වෙලාව හොඳයි කියලා. මෙතන තියෙන්නෙ වෙලාවෙ පුරස්නයක් නෙවෙයි. තම තමන් වැඩ කොරන විදියේ පුරස්නයක්.

ඉස්සරනම් උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇහුනා

පිනිබර යාමේ සැවුලන් හඬලනවා - කොළඹ රේල්ලුව රජ ගමනක යනවා
අම්මා වට කර ලිප ගිනි ඇවිලනෙවා - නැගිටින් පුතුනේ බිම් මල් පූදිනවා

ඒ කියන්නේ මුලින්ම නැගිටින්නෙ කුකුළා. එයා නැගිටලා හැමෝම ඇහැරෙවුවා. හැබැයි ඉතිං ඊට පස්සෙ මොකෝ උනේ. වෙලාවට ඇහැරෙන එක පැත්තකට දාලා කුකුළා මරාගෙන කෑවා නොවැ. ඒකනේ අර පරණ චිත්තරපටියක විජය කුමාරතුංගයි, සෝනියා එක්ක ජෝ ඉඳගෙන සිංදුවක් කියන්නේ.

කොයි කාටත් කලින් පුතේ අඬලයි කුකුළා - ඌ කන්න සතෙක් සිටී ඒකා නරියා කියලා.

ඇත්තටම ඉතිං බලාගෙන යනකොට දැන් වෙලා තියෙන්නෙ ඒකම තමයි. කුකුලා ඇඬලුවට වැඩක් නෑ. දැන් නරියගෙ කාලේ. ඒකනෙ කියන්නෙ අවුවයි වැස්සයි නරියගෙ මඟුලයි කියලා. දැන් හැම තැනම ඒ වගේ. හැබැයි ඉතිං පුරසාරම් බාන්නෙ නම් ලිච්ඡවි රජ දවස වගේ කියලා.
මේකට පාලකයො විතරක් නෙවෙයි හැම එකාම වගකියන්නත් ඕන. ඒකනෙ අර බයිලාවක් තියෙන්නෙ ඇන්ටන් ජෝන් මහත්තයගෙ කන්තෝරුව කන්තෝරුව මම වැඩ කොරන කියලා. ආන් ඒක අහපල්ලකෝ. ඒකෙ කියන විදියට ඔය පාලකයොන්ට චෝදනා කොරන ගොඩක් තැන්වල තත්වෙ එහෙම තමා. දැන් මේක කිවුව කියලා මාත් එක්ක ආරෝවක් ගන්න එපා. මගෙ දෑහින්ම දැකපු දේවල් තියෙනව ඕන තරම්. ඉතිං කොහොමද කියහල්ලකො ගොඩ යන්නෙ.

එකපාරක් පත් වෙච්චි රටේ ජනාධිපතිනිය රට දියුණු කොරන්න වෙලාව වෙනස් කොරා. ඒ පාර ජ්‍යෝතිශ්‍ය කාරයො ඒ වැඩේ වැරදියි කියලා ඒ ගොල්ලො පරණ වෙලාවෙම හිටියා. ඒත් ඉතිං ඔය දෙකෙන්ම වෙච්ච සෙතක් නැහැ නොවැ. ඒ කියන්නේ ගොඩක් එවුන් කොරන්නෙ බොරුව. හැබැයි ඉතිං බොරු සළුපිළි අඳින එවුන්ගෙ රෙදි ගැළවෙන වෙලාවකුත් එනවා. දැක්කනේ පහුගිය දවසක දකුණු කොරියානු ආපදා සහන කමිටු සභාපති චෝං සුං ලි කිවුවේ වෙලාවට වැඩ නොකරන එක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා කියලා. ඉතිං ඔය ඉස්සර ඉඳලා අපි හරි ආඩම්බර ජාතියක් කියලා උන් කොරියන් කාරයො කියලා කියපු උජාරුව නවත්තලා අඩුම ගානෙ සුං කියපු විදියට වෙලාවට වැඩ කොරන්න පටන් ගත්තොත් රටම සුං නොවී බේර ගන්න පුළුවන් වෙයි කියලා තමයි මටනම් හිතෙන්නේ. ඒක හන්දා හැමෝම සුං නොවී හිතට එකඟව හරියට වැඩ කොරන්න බලාපල්ලා ලබන වසරවත් ඇත්තටම සුබ වෙන්න.

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසි වන දිගහැරුම.
2022-12-29 බ්‍රහස්පතින්දා.    

Thursday, December 22, 2022

කෙහෙල් මල - ගමරාලගේ අඬහැරය දහනවවන දිගහැරුම

කෙහෙල් මල

බලාගෙන යනකොට අපේ රටට කෙලවිල තියෙන්නෙ ඉහළ ඉඳල පහළ දක්වා හැම එකාම ඉස්සර හිටන් අයිස් ගහපු හන්දා. හැබැයි ඉතිං ඒ අයිස් ගහනව කියන්නෙ තමන්ට අදාල වැඩේ නොකර නිකං හිටපු එකට. ඒකට යකෝ දැන්. දැන් අර පිටරටවල වගේ හැමතැනකම අයිස් කඳු පිටින් කඩා වැටිලනෙ. කොහොම වුණත් කාලෙන් කාලෙට එක එක චිත්තරපටි ගෙනාවට ඕවට අහුවෙන්න ඕනෙත් නෑ. හැබැයි ඉතිං පුංචි එවුන් ගැන විපරමින් ඉන්න එකත් හොඳයි. ඒ මොකෝ උන්ට වඩා අපේ පොඩි එවුන් වටින්නෙ අපට නොවැ. දැන් ඉතිං ඔය අයිස් වරුසාවල් නවත්තන්න පුංචි එවුන් අත පතගාල බෑග් පරික්‍ෂා කොරල වැඩක් නෑ. එවුවයි මුල හොයා ගන්න ඕන. සමහර එවුන් කියනවා ඔය අරගල කරපු එවුන් තමයි මෙවුව ගෙනල්ල පුරුදු කොරේ කියලා. උන්ගෙ නායකය හිටියනම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ කියලා. එතකොට හත් වලාමේ අර ඕකට පුරුදු වෙච්චි දරුවො කියනව මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල තමයි ඇබ්බැහි වුණේ කියලා. එතකොට ඒ කාලෙ රට පාලනය කොරේ අරගල කාරයොද ? ඔය මහලොකු සකලවිද දැනුම තියෙන කට්ටිය නොවැ.

දැන් ඔය බුද්ධි අංශ කොච්චර තියෙනවද? මේ ඉස්කෝලෙ ලඟට වෙනකං අයිස් වරුසාව ඇවිල්ලා දරුවො ඇබ්බැහි වෙනකම් ඔවුව හොයා ගන්න බැරිවුණාද? කොහේද ඉතිං එවුන්ට වෙන වැඩ පවරනව නෙව. එක එකාගෙ පැවැත්ම හදාගන්න. ඉතිං ඊට පස්සෙ හැම මඟුලකටම අහිංසක දරුවො තමයි පලි. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලා ඕං සෞඛ්‍ය ලොක්කෙක් කියනවා පොලෝසියෙයි ත්‍රිවිධ හමුදාවෙයි කස්ටියත් අයිස් ගහනව කියලා. ඉතිං මොන දෙයියන්ට කියන්නද?

මේ ජරමර අස්සෙ කෙරෙන හොරකම නං අඩුවක් නැහැ නොවැ. මන්නාරම් ද්‍රෝණියේ තෙල් නිධියක් තියෙනව කිවුවා. ඒකට වෙච්චි දෙයක් නෑ. පුත්තලමෙ ඉල්මනයිට් නිධියක් තියෙනවා. ඒක තුට්ටු දෙකට පිටරටට දෙන්න යනවා. ඒකට මැදිහත් වෙලා තියෙන්නෙ කොම්පැනි දෙකක්. හැබැයි මේක මාධ්‍යවල වාර්තා කොරන්නෙ නෑ. ඇයි අර කොම්පැනි කාරයො වෙළඳ දැන්වීම් දෙන හන්දා. අනේ මන්දා හැමතැනම ගනුදෙනු. රටට හෙණ ගැහුවත් කමක් නෑ. ඒ අස්සෙ සේරුවාවිල රත්තරන් නිධිය ගැන තිබිච්ච වාරතාව අතුරුදහන්. ඒක බාර නිලධාරිය කියනවා එහෙම රත්තරන් නිධියක් තිබුණද කියල එයා දන්නෙ නෑ කියලා. ආණ්ඩුවෙ ඇමතියෙක් කියනවා රාජ්‍ය දේපල විකුණල හරි සල්ලි හොයා ගන්න ඕන කියලා. හැම එකාම එකයි අප්පා කියල වැඩක් නෑ.

ඕං මේක ලියන අතරෙ මං ගියා ගාලු ටවුමට ගොහින් එන්න වැඩ කීපෙකට. මෙන්න බොලේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ පේන දුරින් වයසක උන්දැ කෙනෙක් ලෑලි තට්ටුවක දාගෙන පොත් විකුණනවා. එතනට ආව අම්ම කෙනෙකුයි ඉස්කෝලෙ ඇඳුම ඇඳපු දුවෙකුයි. පොත් බැලුවා. සුභාෂිතය පොත තිබුණා. ගාන ඇහැව්වා. අර මනුස්සය කිවුව එකසිය විස්සයි කියලා. අඩු කොරල දෙන්න බැරිද ඇහුවා. අර මනුස්සය කිවුවා ඔය අඩුම ගාන තමයි නෝනා කියලා. මෙන්න බොලේ පොත පැත්තකට දාලා දෙන්නම පාරෙන් අනිත් පැත්තට පැන්නා. එතන තියෙනව රතු පාට ලොකු රඹුටන් ගෙඩි පහක් සීයයි කිවුවා. අඩු කිරිලි මොකුත් නෑ. රුපියල් සීයක් දීලා ගෙඩි පහක් ගත්තා. දෙන්නත් එක්ක කකා පාර දිගේ ලෙලි විසිකර කර බස්නැවතුම පැත්තට ගියා. විනයත් නෑ. ගුණයත් නෑ. ඉතිං කොහොමද කියපල්ලකො දරුවො හදන්නෙ. උනුත් බලන්නෙ පොත පත විසි කොරලා උඩ පැනලා රතු පාට රඹුටන් වල්ල කඩා ගන්න.

ඔය දහසක් පුරස්න අස්සෙ ඕං අගමැතිතුමා කමිටුවක් පත් කොරලා ජාතික පුෂ්පය හොයන්න. එච්චරයි අපිට අඩු. ඉස්සර ඉඳල අපි කියනව නොවැ මව් මරා උපන් කුමරා කෙහෙල් මල කියලා. මේකෙත් ඉතින් වැඩිපුර ඉපදුනු එවුන් කොරල තියෙන්නේ ලක් මව මරන්න කටයුතු කරපු එක නොවැ. ඒක හන්ද මං ඔය කමිටුවට යෝජනා කොරනවා දාපිය ‘කෙහෙල් මල’ කියලා.
 
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දහනවවන දිගහැරුම.
2022-12-22 බ්‍රහස්පතින්දා.    

Thursday, December 15, 2022

ඉර - ගමරාලගේ අඬහැරය දහඅටවන දිගහැරුම.

ඉර

ඉස්සරනම් උදුවප් මාසෙ ලබනකන් බලාගෙන ඉන්නෙ සිරිපා කරුණා කොරන්න යන්න. හැබැයි ඉතිං අපේ අත්ත මුත්ත කාලෙ නම් ගේ දොර ඉඩකඩම් හරකබාන සේරෝම අයිතිය කාට හරි පවරල තමා සිරීපාදෙ ගියේ. ඒ තරමට ගමන අවදානම් නොවැ. ඒ හන්දා ජීවිතේ ගැන ආසාව අතෑරලා ගියේ. දැන්නම් ඉතිං ඔය ගොඩක් කට්ටිය යන්නෙ විනෝද වෙන්නනෙ. ඒකනෙ මග තීන ඒවා කඩල බිදල විනාස කොරලා, ගෙනියන බෑග් බෝතල් හැමතැනම වීසි කොරලා එන්නෙ. අම්මප මෙහෙමත් එවුන්. ඒ කාලෙ වැඩිපුර උදේ පාන්දරින්ම සිරිපාදෙට යන්නෙ ඉර සේවේ බලන්න.  හැබැයි ඉතිං ඉස්සරහට නම් ඉර පායයිද දන්නෙත් නැහැ මුන්දල කොරන වැඩ හන්දා. කොහොම වුණත් කමක් නෑ සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් හැමෝම පරිස්සමෙන් සිරිපා කරුණා කොරලා වරෙල්ලකෝ. 

ඒත් එක්කම ඉතිං දෙසැම්බරේ වැඩියෙන් පරසිද්ද නත්තල් මාසෙ කියල නෙව.  ඒක හන්දා ඕං කිතුණු බැතිමතුන් හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කොරනවා. මේ කාලෙට පට්ට සීතලයි. ඒ මදිවට මීදුමෙන්  වැහෙන හන්දා ගමේ උදවිය කිවුවෙ ඕං නත්තල් බැහැල කියලා. මෙදා සැරේනම් ඔන්න හයියෙන්ම නත්තල් බැහැල බොල. දවස් ගානක්  ඉර හැංගිලාම ගොහිල්ලා. තනිකර මීදුමෙන් වැහිලා. ඒ මදිවට  ඉන්දියාවෙනුත් මොකක්දෝ දුමක් ඇවිල්ලා. අපිට ඉතිං ඒවයින් අඩුවක් නැහැ නොවැ. එක්කො නැවක් නැත්නම් දුමක්. කොහොම හරි උහුලන්න බැරි සීතලට මැරෙන්න ඕන වුන් ඕන තරම් ඉද්දි අහිසක සත්තු මැරිල නොවැ. 

ඉතිං මේ ඉර ගැන කතා කොරන කොට මට මතක් වෙන්නෙ අපේ කොළඹ සීයා. උන්දැගෙ නම නානායක්කාර  වසම් තෙලිකඩ මාසාච්චිගේ ජෝර්ජ්. උන්දැ හිටියෙ කොම්පඤ්ඤ වීදියෙ තට්ටු ගෙවල්වල. උන්දැ  මැරෙනකම්  හැමදාම උදේට සදලුතලේට ඇවිල්ලා දණ ගහගෙන ඉර නමස්කාර කොරනව නොවැ. මයෙ හිතේ ඔය ඉර හඳ ගස් ගල් වැඳපු නොදියුණු කාලේ මේ දියුණු කාලෙට වඩා හොඳද කොහෙද? නැත්තන් ඉතිං විස්සවිද්යාලෙ ඉගෙන ගන්න  එවුන් වට වෙලා මහ ඇදුරෙකුට හොඳටෝම තඩිබාල තියෙන්නෙ. අපෙ අම්ම මුත්ත කාලෙ වත් වෙච්චි වැඩද මෙවුව. ඒකනෙ ඕං හිරගෙදර ඇතුළෙ ඉන්නවලු ඔය ශිෂ්‍යත්වෙ සමත් පාළොස්දාස් පන්සිය තිස් පහක්. සාමාන්‍ය  පෙළ සමත් දාහත් දාස් හයසිය දාසයයි. උසස් පෙළ සමත් පන්දහස් තුන්සිය අනූ පහයි. උපාධිය ගත්තු තුන්සිය  හතලිස් නවයයි. ඉතිං හිතපල්ලකො මේ ඉගෙනීමේ තරම. ඕකට තමයි අපේ එවුන් දියුණුව කියන්නෙ. 

ඔන්න බොලේ මාත් ඉර ගැන ලියනකොට චිත්තරපටිවල හැඩට සින්දු කියාපු නුවන් ගුණවර්ධන මහත්තයත් ලා සඳ එළියේ සඳටත් හොරා හිමිදිරි උදයේ හිරුටත් හොරා යන්න ගොහිල්ලා. ඒක කියලා අනිත් පැත්ත හැරෙන්නත් ඉස්සෙල්ලා අපේ කාලේ කැසට් ලෝකෙ රජු නිහාල් නෙල්සන් මහත්තයා ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ කියා මේ ලෝකෙන් යන්න ගොහිල්ලා. ඉතිං මක් කොරන්නද අපි සනසපු ඔබ දෙපළටම සුබ ගමන්. 

හැබැයි පුතෝ ඔය නත්තලටයි තිස් එකටයි පාටි දාන්නෙ පරිස්සමෙන්. මං පහුගිය දොහක කොලුවෙකුගෙ මළ ගෙදරක ගියා. ඒකා යාලුවොන්ට බෝතල හතරක් බොන්න දීලා. පස්වෙනි බෝතලේ පස්සෙ බොන්න අරන් තියමු කිවුව කියලා අනිත් එවුන් වට කොර ගෙන ඒකට ගහලා මරා දාලා. ඒ තරමට දැන් අපේ එවුන් තිරිසන් වෙලා නොවැ. කියලා වැඩක් නෑ. මෙහෙම හරි ඉර හඳ පායන එක මදෑ.    

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දහඅටවන දිගහැරුම.

2022-12-15 බ්‍රහස්පතින්දා.

Thursday, December 8, 2022

පුහුල - ගමරාලගේ අඬහැරය දාහත්වන දිගහැරුම.

 පුහුල

“ශ්‍රීනි  විභූශිත ලංකා බැබළේ - සිංහ ධජය සෙවනේ ” ඉස්සර ඉදලා මේ පද පේළියෙන් පටන් ගන්න සිංදුව ඇහුවාම දේශ පෙරේමයෙන් ඔද වැඩිලා මානව දයාව උතුරා ගියා නොවැ. ඔය ගීතය ලියල තියෙන්නෙ ප්‍රවීණ ගේ පද රචක හේම ශ්‍රී ද අල්විස් මහත්තයා. ලේසි පහසු වැඩක්ද සිංදු හාරදාස් දොළහක් ලියල නොවැ. කොච්චර ගායක ගායිකාවො ඔය සිංදු කියලා කීයක් හරි හොයා ගන්න ඇත්ද? ඇයි ඔය ස්ටාර්ලා. ඒගොල්ලොත් ඔවුවමනේ කියන්නේ. හැබැයි ඉතින් පහු ගිය දොහක අපෙන් සමු අරගෙන එලොව ගියපු ඔය හේමශ්‍රී ද අල්විස් මහත්තයාගෙ මළ ගමට ගොහිල්ල තියෙන්නේ එක ගායකයෙක්ලුනේ. ඉතිං හිතපල්ලකෝ දැන් සිරි ලංකාවේ ශ්‍රී විභූතිය කොහොමද කියලා. කොහොම වුණත් රටක් වටින ඒ මහත්තයට  සුබ ගමන් කියන ගමන් මෙදා සැරේ ලිපිය අපේ ආත්තම්මගෙන්ම පටන් ගමුකො.       

අපේ ආත්තම්මගෙ නම කිරින්දෙ ලියනආරච්චිගේ කරොන්චිනා හාමි. උන්දැ හරි කරුණාවන්තයි. කිසි දවසක කේන්තියෙන් නම් හිටියෙ නෑ. ඔය අපේ ආත්තම්ම ගාව තිබුණා යකඩ පෙට්ටි දෙකක්. ඒකට කිවුවෙ ට්‍රන්ක පෙට්ටිය කියලා. දුඹුරු පාටට හුරු ටිකක් ලොකු පෙට්ටියක් තිබුණා. ඒකෙ තිබුණෙ උන්දැගෙ චීත්ත, හැට්ට, සාරී. ඒ පෙට්ටියට යටින් තමයි රතු පාටට හුරු ටිකක් විතර පොඩි අනිත් ට්‍රන්ක පෙට්ටිය තිබුණෙ. ඒකෙ තමයි සල්ලි භාගෙ වටින කියන දේවල් දාල තිබුණෙ. ඉතිං ලේසි නෑ. ලොකු පෙට්ටිය උස්සල පැත්තකින් තියල තමයි ඒක අරින්නෙ. 

මට ඕක මතක් වුණේ මේ රටේ ජනාධිපතිතුමාටත් ඒ වගේ රතු පාට පෙට්ටියක් හමුදාවට කියල හදවගෙන නොවැ. ආරක්‍ෂා සහිතව තියෙන දේවල් දාගෙන ලෝකෙ වටේ කරක් ගහන්න. ඒ අතරෙ උන්නැහෙ කියනව නොවැ මේ පුරස්න විසදන්න නම් ඔක්කොම විකුණන්නෙ නැතුව මොකක්ද මේ මේ... පරතිවයූහගත කොරන්න ඕන කියලා. දැන් එතකොට තව ටික දොහකින් මු`ඵ රටම පරතිවියූහගත කොරන්න ඕන කියලා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට කියලා සම්පූර්ණ ඔප්පුවකුයි පැලෑනකුයි හදාගෙන ඔය රතු පෙට්ටියෙ දාගෙන ලන්සු තියාගෙන ලෝකෙ වටේ යාවිද? අනේ මන්දා මට එක එක දේවල් හිතෙනව අප්පා.  ඒ අස්සේ රටේ මිනිස්සුන්ගෙ නැති බැරි කම ඉහවහා ගොහිල්ලා. දැන් වාහන කෑලි විකුණන්න වගේ ඇගේ කෑලිත් විකුණන්න පටන් අරන්. වකුගඩු විතරක් නම් මදෑ වෘෂණ කෝෂත් හොඳ මිලකට විකුණන්න පටන් අරන්. මට ඇහුණ අපේ ගම් පලාතෙ එවුන් වගයක් කුටු කුටු ගානවා දැන් ඉතින් වෙනද වගේ අඩියක් පුඩියක් ගහල පාරකවත් වැටිල ඉන්න බයයි බොල. පරම්පරා මල්ල කපාගෙන ගියොත් මාර හුට්ටප්පරේ කියලා. 

ඕක ගැන කතා කොරනකොට නොකියම බැරි රස කතාවක් තියෙනව නොවැ. ඉස්සර අපේ ගමේ හිටිය සෝමෙ අයිය කියල කෙනෙක්. මිනිහට ඉතිං ඔය අන්ඩවායු කියන ලෙඩේ හන්දා පරම්පරා මල්ල මහ විසාලයි නොවැ. ඉතින් මේ ගම්පලාත ගැන නොදන්න කවුරුහරි තොවිලෙකට පුහුලක් හොයාගෙන ආපු ගමන් බොහෝ වෙලාවට යවන්නෙ සෝමෙ  අයිය හම්බුවෙන්න. ඉතින් යන එකා ගොහින් අහනව අයියෙ අතින් කරකවල පුහුලක් කඩාගන්න පුලුවන්ද කියලා. ඊට පස්සෙ ඉතිං තොවිලෙ එතනම නටනව. අම්ම අප්පටත් ආශිර්වාද කොරල පණිවිඩේ කියාපු එකාත් මොකාද අහල තමයි තොවිලෙ ඉවර කොරන්නෙ. හැබැයි ඉතින් මනුස්සය නොමැරි හිටියනම් මේ දවස්වල හැටියට හොඳ ගාණක් හොයාගන්න තිබුණා. අපරාදේ. 

කොහොම හරි මිනිස්සු බලන්නෙ තමන්ගෙ ඇට විකුණගෙන හරි  ජීවත් වෙන්න නොවැ. මේ සේරෝටම වග කියන එවුන් ඉන්න පාර්ලිමේන්තුව නම් දැන් තනිකර බණ මඩුවක්. තරගෙට බණ කියනවා. එකාට එකා දන්න බව පෙන්නන්න. ඕකට කියන්න වෙන්නේ අහේතු කාලේන කජ්ජේන පුහුලන් කියල තමා.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දාහත්වන දිගහැරුම.

2022-12-08 බ්‍රහස්පතින්දා.

Thursday, December 1, 2022

ගොයම - ගමරාලගේ අඬහැරය දහසයවන දිගහැරුම.

ගොයම

උණ වසංගතයක් හැදිල ඉස්පිරිතාලෙ හිටපු නිසා ටික දොහක් යනකම් මහන්සි වෙන්නයි නිදි වරන්නයි එපා කියල දොස්තර මහත්තුරු කිවුවට මහ කන්නය වපුරන්න කුඹුරට බහින්නම උනා. කොහොම වුණත්  නොසෑහෙන්න ඇගේ රුදාවත් හැදිලා බෙහෙත් ගිල ගිල ආයෙ දවස් කීපයක් එක තැන ලගින්න උනා. ඒක හන්දා බාර ගනිපු වගකීමකුත් අතාරින්න උනා. මොනව කොරන්නද කොහොම හරි මේක යාන්තන් ලිවුව ඕං. 

මේ දවස්වල හැම තැනම විභාග ප්‍රතිඵල යුද්දෙ නොවැ. අම්මල අප්පල සයිබර් අවකාශෙට දානව මගේ දරුව අච්චරට මෙච්චර සමත් කියලා. ඕක ඉතිං ලෝකෙට කිවුව කියල වරදකුත් නැහැ. ඒත් මට හිතෙනව ඔය විභාගෙ කියන්නෙ දරුවෙකුගෙ ජීවිතේ එක කඩඉමක් විතරයි කියලා. මොකද ජීවිතේ දිනනව කියන්නෙ ඔය විභාග සමත් වෙන එක නෙවෙයි නොවැ. ගොඩක් විභාග සමත් වුණ අය ජීවිතේ පැරදිල තියෙනව. ඒවගේම අසමත් වුණ අය ජීවිතේ දිනල තියෙනවා. ඒක හන්දා හොඳම දේ තමයි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නැතුව දරුවගෙ ඔලුව අතගාලා ආශිර්වාද කොරලා ඉතුරු ටිකත් ගමන් කොරන්න හරි පාර පෙන්නල නැණ ගුණ දෙකම ඇති දරුවෙක් හැටියට සමාජ ගත කොරන එක, ඒක තමා වැඩිහිටියන්ගෙ වගකීම. 

ඒ අස්සෙ එක ජමරෙට ගුරුවරුන්ගෙ දඬුවම් සැර වැඩියි කියලා මහා කලබගෑනියක්. ඒකෙත් දෙපැත්තෙම වරදක් මට නම් පේනවා. තරගකාරිත්වය පුරුදු වෙච්ච ළමයින්ගෙ ඔලුගෙඩිවල මනස්ගාත පිරිලා. දඬුවම් දෙන ගුරුවරුන්ගෙ ඔලුවල ආතතිය වැඩි වෙලා, ආවේගය ඇවිස්සිලා. ඒකට අපේ කාලේ  අත් දෙක උස්සපිය කියලා මහ කෝට්ටකින් පස්ස පැත්තට දෙනවා ආයි මොනවද පස්ස පැත්ත ඉලිප්පිලා කලිසමේ සුලු දිය පහවෙනව. ඒත් නැහැ නොව පොලෝසිවලට ගියේ. එහෙම ගියානම් අපිටත් මේ වෙනකම් කම්බි කූරු ගණන් කොරන්න තමයි වෙන්නෙ.  ඒ අස්සෙ අමතර පන්ති කොරන කට්ටිය එක පොරයයි. හොඳටම සමත් එකා එයාගෙ පන්තියෙ කියන්න. හැබැයි ඉතිං ඊට අඩුවෙන් සමත් වෙච්චි අයයි අසමත් වෙච්චි අයයි ඔක්කොගෙන්ම සල්ලි නම් අරගෙන ඇති මයෙ හිතේ. ඒත් ඉතිං හොඳට සමත් වෙච්ච කෙනාගෙ නමයි පින්තූරෙයි තමයි පරසිද්ද කොරන්නෙ. හරියට වෙළඳ භාණ්ඩ වගේ. බස්වලත් ගහනවා. හොඳම කෙනා බිහි කරපු මගේ පන්තියට වර කියලා. දැන් ඔක්කොම ළමයි  ඉහළින්ම සමත් කොරන්නම් කියලා සල්ලි ගත්තු ගුරුවරයට අසමත් වුණු ළමයි මේ දවස්වල කියනව ඇත්තෙ මේ සිංදුව වෙන්ට ඇති. 

අයියෝ සාමිනී යෙනකූ වේනාම්

පොයි පොයියා සොලී හෙමත් එනදුපෝදුම්

(අනේ දෙවියනේ ඔයා නම් මට එපා. බොරු පිට බොරු කියලා මාව රැවැට්ටුව හොඳටම ඇති)

මම ඔය විභාග ලියන දවස්වල උදේ වරුවෙ විභාගෙට යනවා හවස්වරුවෙ සේනාධීර මුදලාලිගෙ වෙලේ ගොයම් පැල හිටවනවා. නැත්තං පහුවදාට යන්න වෙන්නෙ බඩගින්නෙ තමයි. ඉගෙන ගන්න දරුවොත් හරියට ගොයම් පැල වගේ තමයි. කිරි වැදුන ගමන් සතුටු වෙලා වැඩක් නෑ. කරල පැහිලා බිමට නැමිලා අස්වැන්න ගන්නකන් පරිස්සම් කොරගන්න වෙනවා. එහෙම නැතුව කිරි වැදුන ගමන් උඩ බලාගෙන හිටියොත් කරල බොල් වෙලා, වල් තණකොල එක්ක කවලම් වෙනවා. කරල පැහෙනකොට අස්වැන්න නෙලුවෙ නැතොත් සත්තු කාල යනවා නොවැ. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය දහසයවන දිගහැරුම.

2022-12-01 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...