සුනේ සුං
ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවාබැතිපෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා
2022-12-29 බ්‍රහස්පතින්දා.
සුනේ සුං
ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවාකෙහෙල් මල
ඉර
ඉස්සරනම් උදුවප් මාසෙ ලබනකන් බලාගෙන ඉන්නෙ සිරිපා කරුණා කොරන්න යන්න. හැබැයි ඉතිං අපේ අත්ත මුත්ත කාලෙ නම් ගේ දොර ඉඩකඩම් හරකබාන සේරෝම අයිතිය කාට හරි පවරල තමා සිරීපාදෙ ගියේ. ඒ තරමට ගමන අවදානම් නොවැ. ඒ හන්දා ජීවිතේ ගැන ආසාව අතෑරලා ගියේ. දැන්නම් ඉතිං ඔය ගොඩක් කට්ටිය යන්නෙ විනෝද වෙන්නනෙ. ඒකනෙ මග තීන ඒවා කඩල බිදල විනාස කොරලා, ගෙනියන බෑග් බෝතල් හැමතැනම වීසි කොරලා එන්නෙ. අම්මප මෙහෙමත් එවුන්. ඒ කාලෙ වැඩිපුර උදේ පාන්දරින්ම සිරිපාදෙට යන්නෙ ඉර සේවේ බලන්න. හැබැයි ඉතිං ඉස්සරහට නම් ඉර පායයිද දන්නෙත් නැහැ මුන්දල කොරන වැඩ හන්දා. කොහොම වුණත් කමක් නෑ සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් හැමෝම පරිස්සමෙන් සිරිපා කරුණා කොරලා වරෙල්ලකෝ.
ඒත් එක්කම ඉතිං දෙසැම්බරේ වැඩියෙන් පරසිද්ද නත්තල් මාසෙ කියල නෙව. ඒක හන්දා ඕං කිතුණු බැතිමතුන් හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කොරනවා. මේ කාලෙට පට්ට සීතලයි. ඒ මදිවට මීදුමෙන් වැහෙන හන්දා ගමේ උදවිය කිවුවෙ ඕං නත්තල් බැහැල කියලා. මෙදා සැරේනම් ඔන්න හයියෙන්ම නත්තල් බැහැල බොල. දවස් ගානක් ඉර හැංගිලාම ගොහිල්ලා. තනිකර මීදුමෙන් වැහිලා. ඒ මදිවට ඉන්දියාවෙනුත් මොකක්දෝ දුමක් ඇවිල්ලා. අපිට ඉතිං ඒවයින් අඩුවක් නැහැ නොවැ. එක්කො නැවක් නැත්නම් දුමක්. කොහොම හරි උහුලන්න බැරි සීතලට මැරෙන්න ඕන වුන් ඕන තරම් ඉද්දි අහිසක සත්තු මැරිල නොවැ.
ඉතිං මේ ඉර ගැන කතා කොරන කොට මට මතක් වෙන්නෙ අපේ කොළඹ සීයා. උන්දැගෙ නම නානායක්කාර වසම් තෙලිකඩ මාසාච්චිගේ ජෝර්ජ්. උන්දැ හිටියෙ කොම්පඤ්ඤ වීදියෙ තට්ටු ගෙවල්වල. උන්දැ මැරෙනකම් හැමදාම උදේට සදලුතලේට ඇවිල්ලා දණ ගහගෙන ඉර නමස්කාර කොරනව නොවැ. මයෙ හිතේ ඔය ඉර හඳ ගස් ගල් වැඳපු නොදියුණු කාලේ මේ දියුණු කාලෙට වඩා හොඳද කොහෙද? නැත්තන් ඉතිං විස්සවිද්යාලෙ ඉගෙන ගන්න එවුන් වට වෙලා මහ ඇදුරෙකුට හොඳටෝම තඩිබාල තියෙන්නෙ. අපෙ අම්ම මුත්ත කාලෙ වත් වෙච්චි වැඩද මෙවුව. ඒකනෙ ඕං හිරගෙදර ඇතුළෙ ඉන්නවලු ඔය ශිෂ්‍යත්වෙ සමත් පාළොස්දාස් පන්සිය තිස් පහක්. සාමාන්‍ය පෙළ සමත් දාහත් දාස් හයසිය දාසයයි. උසස් පෙළ සමත් පන්දහස් තුන්සිය අනූ පහයි. උපාධිය ගත්තු තුන්සිය හතලිස් නවයයි. ඉතිං හිතපල්ලකො මේ ඉගෙනීමේ තරම. ඕකට තමයි අපේ එවුන් දියුණුව කියන්නෙ.
ඔන්න බොලේ මාත් ඉර ගැන ලියනකොට චිත්තරපටිවල හැඩට සින්දු කියාපු නුවන් ගුණවර්ධන මහත්තයත් ලා සඳ එළියේ සඳටත් හොරා හිමිදිරි උදයේ හිරුටත් හොරා යන්න ගොහිල්ලා. ඒක කියලා අනිත් පැත්ත හැරෙන්නත් ඉස්සෙල්ලා අපේ කාලේ කැසට් ලෝකෙ රජු නිහාල් නෙල්සන් මහත්තයා ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ කියා මේ ලෝකෙන් යන්න ගොහිල්ලා. ඉතිං මක් කොරන්නද අපි සනසපු ඔබ දෙපළටම සුබ ගමන්.
හැබැයි පුතෝ ඔය නත්තලටයි තිස් එකටයි පාටි දාන්නෙ පරිස්සමෙන්. මං පහුගිය දොහක කොලුවෙකුගෙ මළ ගෙදරක ගියා. ඒකා යාලුවොන්ට බෝතල හතරක් බොන්න දීලා. පස්වෙනි බෝතලේ පස්සෙ බොන්න අරන් තියමු කිවුව කියලා අනිත් එවුන් වට කොර ගෙන ඒකට ගහලා මරා දාලා. ඒ තරමට දැන් අපේ එවුන් තිරිසන් වෙලා නොවැ. කියලා වැඩක් නෑ. මෙහෙම හරි ඉර හඳ පායන එක මදෑ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දහඅටවන දිගහැරුම.
2022-12-15 බ්‍රහස්පතින්දා.
පුහුල
“ශ්‍රීනි විභූශිත ලංකා බැබළේ - සිංහ ධජය සෙවනේ ” ඉස්සර ඉදලා මේ පද පේළියෙන් පටන් ගන්න සිංදුව ඇහුවාම දේශ පෙරේමයෙන් ඔද වැඩිලා මානව දයාව උතුරා ගියා නොවැ. ඔය ගීතය ලියල තියෙන්නෙ ප්‍රවීණ ගේ පද රචක හේම ශ්‍රී ද අල්විස් මහත්තයා. ලේසි පහසු වැඩක්ද සිංදු හාරදාස් දොළහක් ලියල නොවැ. කොච්චර ගායක ගායිකාවො ඔය සිංදු කියලා කීයක් හරි හොයා ගන්න ඇත්ද? ඇයි ඔය ස්ටාර්ලා. ඒගොල්ලොත් ඔවුවමනේ කියන්නේ. හැබැයි ඉතින් පහු ගිය දොහක අපෙන් සමු අරගෙන එලොව ගියපු ඔය හේමශ්‍රී ද අල්විස් මහත්තයාගෙ මළ ගමට ගොහිල්ල තියෙන්නේ එක ගායකයෙක්ලුනේ. ඉතිං හිතපල්ලකෝ දැන් සිරි ලංකාවේ ශ්‍රී විභූතිය කොහොමද කියලා. කොහොම වුණත් රටක් වටින ඒ මහත්තයට සුබ ගමන් කියන ගමන් මෙදා සැරේ ලිපිය අපේ ආත්තම්මගෙන්ම පටන් ගමුකො.
අපේ ආත්තම්මගෙ නම කිරින්දෙ ලියනආරච්චිගේ කරොන්චිනා හාමි. උන්දැ හරි කරුණාවන්තයි. කිසි දවසක කේන්තියෙන් නම් හිටියෙ නෑ. ඔය අපේ ආත්තම්ම ගාව තිබුණා යකඩ පෙට්ටි දෙකක්. ඒකට කිවුවෙ ට්‍රන්ක පෙට්ටිය කියලා. දුඹුරු පාටට හුරු ටිකක් ලොකු පෙට්ටියක් තිබුණා. ඒකෙ තිබුණෙ උන්දැගෙ චීත්ත, හැට්ට, සාරී. ඒ පෙට්ටියට යටින් තමයි රතු පාටට හුරු ටිකක් විතර පොඩි අනිත් ට්‍රන්ක පෙට්ටිය තිබුණෙ. ඒකෙ තමයි සල්ලි භාගෙ වටින කියන දේවල් දාල තිබුණෙ. ඉතිං ලේසි නෑ. ලොකු පෙට්ටිය උස්සල පැත්තකින් තියල තමයි ඒක අරින්නෙ.
මට ඕක මතක් වුණේ මේ රටේ ජනාධිපතිතුමාටත් ඒ වගේ රතු පාට පෙට්ටියක් හමුදාවට කියල හදවගෙන නොවැ. ආරක්‍ෂා සහිතව තියෙන දේවල් දාගෙන ලෝකෙ වටේ කරක් ගහන්න. ඒ අතරෙ උන්නැහෙ කියනව නොවැ මේ පුරස්න විසදන්න නම් ඔක්කොම විකුණන්නෙ නැතුව මොකක්ද මේ මේ... පරතිවයූහගත කොරන්න ඕන කියලා. දැන් එතකොට තව ටික දොහකින් මු`ඵ රටම පරතිවියූහගත කොරන්න ඕන කියලා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට කියලා සම්පූර්ණ ඔප්පුවකුයි පැලෑනකුයි හදාගෙන ඔය රතු පෙට්ටියෙ දාගෙන ලන්සු තියාගෙන ලෝකෙ වටේ යාවිද? අනේ මන්දා මට එක එක දේවල් හිතෙනව අප්පා. ඒ අස්සේ රටේ මිනිස්සුන්ගෙ නැති බැරි කම ඉහවහා ගොහිල්ලා. දැන් වාහන කෑලි විකුණන්න වගේ ඇගේ කෑලිත් විකුණන්න පටන් අරන්. වකුගඩු විතරක් නම් මදෑ වෘෂණ කෝෂත් හොඳ මිලකට විකුණන්න පටන් අරන්. මට ඇහුණ අපේ ගම් පලාතෙ එවුන් වගයක් කුටු කුටු ගානවා දැන් ඉතින් වෙනද වගේ අඩියක් පුඩියක් ගහල පාරකවත් වැටිල ඉන්න බයයි බොල. පරම්පරා මල්ල කපාගෙන ගියොත් මාර හුට්ටප්පරේ කියලා.
ඕක ගැන කතා කොරනකොට නොකියම බැරි රස කතාවක් තියෙනව නොවැ. ඉස්සර අපේ ගමේ හිටිය සෝමෙ අයිය කියල කෙනෙක්. මිනිහට ඉතිං ඔය අන්ඩවායු කියන ලෙඩේ හන්දා පරම්පරා මල්ල මහ විසාලයි නොවැ. ඉතින් මේ ගම්පලාත ගැන නොදන්න කවුරුහරි තොවිලෙකට පුහුලක් හොයාගෙන ආපු ගමන් බොහෝ වෙලාවට යවන්නෙ සෝමෙ අයිය හම්බුවෙන්න. ඉතින් යන එකා ගොහින් අහනව අයියෙ අතින් කරකවල පුහුලක් කඩාගන්න පුලුවන්ද කියලා. ඊට පස්සෙ ඉතිං තොවිලෙ එතනම නටනව. අම්ම අප්පටත් ආශිර්වාද කොරල පණිවිඩේ කියාපු එකාත් මොකාද අහල තමයි තොවිලෙ ඉවර කොරන්නෙ. හැබැයි ඉතින් මනුස්සය නොමැරි හිටියනම් මේ දවස්වල හැටියට හොඳ ගාණක් හොයාගන්න තිබුණා. අපරාදේ.
කොහොම හරි මිනිස්සු බලන්නෙ තමන්ගෙ ඇට විකුණගෙන හරි ජීවත් වෙන්න නොවැ. මේ සේරෝටම වග කියන එවුන් ඉන්න පාර්ලිමේන්තුව නම් දැන් තනිකර බණ මඩුවක්. තරගෙට බණ කියනවා. එකාට එකා දන්න බව පෙන්නන්න. ඕකට කියන්න වෙන්නේ අහේතු කාලේන කජ්ජේන පුහුලන් කියල තමා.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දාහත්වන දිගහැරුම.
2022-12-08 බ්‍රහස්පතින්දා.
ගොයම
උණ වසංගතයක් හැදිල ඉස්පිරිතාලෙ හිටපු නිසා ටික දොහක් යනකම් මහන්සි වෙන්නයි නිදි වරන්නයි එපා කියල දොස්තර මහත්තුරු කිවුවට මහ කන්නය වපුරන්න කුඹුරට බහින්නම උනා. කොහොම වුණත් නොසෑහෙන්න ඇගේ රුදාවත් හැදිලා බෙහෙත් ගිල ගිල ආයෙ දවස් කීපයක් එක තැන ලගින්න උනා. ඒක හන්දා බාර ගනිපු වගකීමකුත් අතාරින්න උනා. මොනව කොරන්නද කොහොම හරි මේක යාන්තන් ලිවුව ඕං.
මේ දවස්වල හැම තැනම විභාග ප්‍රතිඵල යුද්දෙ නොවැ. අම්මල අප්පල සයිබර් අවකාශෙට දානව මගේ දරුව අච්චරට මෙච්චර සමත් කියලා. ඕක ඉතිං ලෝකෙට කිවුව කියල වරදකුත් නැහැ. ඒත් මට හිතෙනව ඔය විභාගෙ කියන්නෙ දරුවෙකුගෙ ජීවිතේ එක කඩඉමක් විතරයි කියලා. මොකද ජීවිතේ දිනනව කියන්නෙ ඔය විභාග සමත් වෙන එක නෙවෙයි නොවැ. ගොඩක් විභාග සමත් වුණ අය ජීවිතේ පැරදිල තියෙනව. ඒවගේම අසමත් වුණ අය ජීවිතේ දිනල තියෙනවා. ඒක හන්දා හොඳම දේ තමයි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නැතුව දරුවගෙ ඔලුව අතගාලා ආශිර්වාද කොරලා ඉතුරු ටිකත් ගමන් කොරන්න හරි පාර පෙන්නල නැණ ගුණ දෙකම ඇති දරුවෙක් හැටියට සමාජ ගත කොරන එක, ඒක තමා වැඩිහිටියන්ගෙ වගකීම.
ඒ අස්සෙ එක ජමරෙට ගුරුවරුන්ගෙ දඬුවම් සැර වැඩියි කියලා මහා කලබගෑනියක්. ඒකෙත් දෙපැත්තෙම වරදක් මට නම් පේනවා. තරගකාරිත්වය පුරුදු වෙච්ච ළමයින්ගෙ ඔලුගෙඩිවල මනස්ගාත පිරිලා. දඬුවම් දෙන ගුරුවරුන්ගෙ ඔලුවල ආතතිය වැඩි වෙලා, ආවේගය ඇවිස්සිලා. ඒකට අපේ කාලේ අත් දෙක උස්සපිය කියලා මහ කෝට්ටකින් පස්ස පැත්තට දෙනවා ආයි මොනවද පස්ස පැත්ත ඉලිප්පිලා කලිසමේ සුලු දිය පහවෙනව. ඒත් නැහැ නොව පොලෝසිවලට ගියේ. එහෙම ගියානම් අපිටත් මේ වෙනකම් කම්බි කූරු ගණන් කොරන්න තමයි වෙන්නෙ. ඒ අස්සෙ අමතර පන්ති කොරන කට්ටිය එක පොරයයි. හොඳටම සමත් එකා එයාගෙ පන්තියෙ කියන්න. හැබැයි ඉතිං ඊට අඩුවෙන් සමත් වෙච්චි අයයි අසමත් වෙච්චි අයයි ඔක්කොගෙන්ම සල්ලි නම් අරගෙන ඇති මයෙ හිතේ. ඒත් ඉතිං හොඳට සමත් වෙච්ච කෙනාගෙ නමයි පින්තූරෙයි තමයි පරසිද්ද කොරන්නෙ. හරියට වෙළඳ භාණ්ඩ වගේ. බස්වලත් ගහනවා. හොඳම කෙනා බිහි කරපු මගේ පන්තියට වර කියලා. දැන් ඔක්කොම ළමයි ඉහළින්ම සමත් කොරන්නම් කියලා සල්ලි ගත්තු ගුරුවරයට අසමත් වුණු ළමයි මේ දවස්වල කියනව ඇත්තෙ මේ සිංදුව වෙන්ට ඇති.
අයියෝ සාමිනී යෙනකූ වේනාම්
පොයි පොයියා සොලී හෙමත් එනදුපෝදුම්
(අනේ දෙවියනේ ඔයා නම් මට එපා. බොරු පිට බොරු කියලා මාව රැවැට්ටුව හොඳටම ඇති)
මම ඔය විභාග ලියන දවස්වල උදේ වරුවෙ විභාගෙට යනවා හවස්වරුවෙ සේනාධීර මුදලාලිගෙ වෙලේ ගොයම් පැල හිටවනවා. නැත්තං පහුවදාට යන්න වෙන්නෙ බඩගින්නෙ තමයි. ඉගෙන ගන්න දරුවොත් හරියට ගොයම් පැල වගේ තමයි. කිරි වැදුන ගමන් සතුටු වෙලා වැඩක් නෑ. කරල පැහිලා බිමට නැමිලා අස්වැන්න ගන්නකන් පරිස්සම් කොරගන්න වෙනවා. එහෙම නැතුව කිරි වැදුන ගමන් උඩ බලාගෙන හිටියොත් කරල බොල් වෙලා, වල් තණකොල එක්ක කවලම් වෙනවා. කරල පැහෙනකොට අස්වැන්න නෙලුවෙ නැතොත් සත්තු කාල යනවා නොවැ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය දහසයවන දිගහැරුම.
2022-12-01 බ්‍රහස්පතින්දා.
යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...