දංකුඩ
හා හා පුරා කියලා ඕං මේ අවුරුද්දටත් වැඩ පටන් ගත්තා. මොන අමාරුකම තිබුණත් හැම ගෙදරකම වගේ බලන්නෙ ජනවාරි පළවෙනිදට කිරිබත් ඩිංගිත්තක් හරි හදන්න නොවැ. හැබැයි ඉතිං මෙදා සැරේ බොහෝ තැන්වල කැඳ බොන්නවත් විදියක් නැතිව තමා හිටියේ. මේං බොලේ ඔය අල්ලපනල්ලෙ පෙන්නපි මාර්ග සංවර්ධන කාර්යාලෙ අපූරු කිරිබත් සංග්‍රහයක්. ලොක්කන්ට කිරිබත්වලින් විසික් කොරල ගහනවා. හනේ අම්මාපල්ලා මෙවුන්ට බත් ඇටයක් හරි හම්බවෙන එකත් පුදුමයි. ඇයි යකඩෝ ගහන්න වෙන දෙයක් තිබුණෙම නැත. මේ අපි වැදල පුදල හදන කිරිබත්වලින් නොගහ.
ඒ මදිවට මෙදා සැරේ මහ කන්නෙ නම් දැනටම කුඹුරු විනාසයි. ගොයම් පැල සේරෝම කහ වෙලා. කොළ අගිස් රතු වෙලා. වපුරන්න ඉස්සර ගහන්න මඩ පෝරක් තිබුණෙත් නෑ. ගිනි ගානට ගෙනාපු යූරියවලින් වැඩකුත් නෑ. මුන්ට කිවුවට තේරෙන්නෙත් නෑ. ඒ මදිවට ඇමතිය කියනවා ගොයියන්ට පෝර විකුණපු සල්ලිවලින් තමයි රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවුවෙ කියලා. මේ වෙලාවට තමයි ඇගේ මාලු වෙලේ නටන්නෙ. ලෙඩා මළත් බඩ සුද්දයි නොවැ. ඒ විතරක්යැ. අර බල්ලගෙ වැඩේ බූරුවා කොරා වගේ කෘෂි කරුම ඇමති යනෝ බිත්තර බෙදන්න. ආං පොඩ්ඩක් හොයල බැලුවනම්. අක්කර තුන්සිය අටක් විසාල අඹ කැලේ ජාන සම්පත් මධ්‍යස්ථානේ කිරි එළදෙන්නු විසි එකක් ඉදලත් අවුරුදු හතරක් එක කිරි කඳුලක් දොවල නැහැයි කියන්නෙ කම්කරුවෙක් නැතුව. ඉතිං බලාපල්ලකො කොච්චර එවුන් නිකම් ඉන්නවද?
ඒ අස්සේ ඔය බිත්තර කාරයො මහ ජල්ලියක් අල්ලනව නෙවැ. අඩු මිලට දෙන්නම බෑ කියලා. මස් මා`ඵ කන්න සල්ලි නැති එකාලා කෑවෙ බිත්තරයක් විතරයි. දැන් ඒකත් කාල හමාරයි නොවැ. මේං බොල රටින් බිත්තර ගෙනැල්ලා අඩුවට දෙනව කිවුව ගමන් බිත්තර කාරයො කියනව එහෙම වුණොත් ඊට අඩුවෙන් උනුත් දෙනව කියලා. ඔය ගේන බිත්තරවල කුරුලු උණ තියෙනව කියලත් කියනවා. අනේ කමක් නෑ දැන් උණ සන්නිපාතෙම හැදිල තියෙන එකේ ඕකත් ගානක් නෑ. මුං වෙළෙන්දොද ත්‍රස්තවාදීන්ද කියලත් හිතෙනවා. බලන කොට සිරි ලංකාව කියන්නෙ මහ පුදුම රටක්. ලංකාවෙ හදන පිගන් ගඩොල්, පිගන් කෝප්ප මිල වැඩියි. රට ඒවා ලාභයි. ලංකා අල මිල වැඩියි. රට අල ලාබයි. ඒකනේ සිය රට දේ සිරි සැප දේ කියන්නෙ. ඕක හන්දා තමයි අපෙනුත් කට්ටිය අහන්නෙ දැන් ෂැපද කියලා.
ඒ අස්සෙ ඕං ආචාරියෙක් කියනව ඇහුනා ඉස්සරනම් වලේ වැටුනම මොලේ පෑදෙනවා. දැන් කොච්චර වලේ වැටුනත් මොලේ පෑදෙන්නෙ නෑ කියලා. හනේ මන්දා.
කිරිබත් වලින් පටන් ගත්ත හන්දා ඕං කිරිබත්වලින් ම අහවර කළා. අපි හිච්චි එකාල කාලෙත් ඔය කිරිබතට වඩා ආස කිරිබත් හටිටිය පතුලෙ තියෙන දංකුඩ හූරගෙන කන්න නොවැ. පුදුම රහක් තියෙන්නේ. ඒ අස්සෙ මහ මිනිස්සු කියනවා ඔවුව පිරිමින්ට කන්න හොඳ නෑ. කෑවම පස්ස පැත්ත ලොකු වෙනවා කියලා. ඒ මදිවට රැවුල වැවෙන්නෙත් නෑ කියලා. ඒක හන්දා ගෑණුන්ට විතරයි කන්න හොඳ කියලා. හැබැයි ඉතිං හෙණ ගැහුවත් අපිත් දංකුඩ හූරගෙන කෑවා. ඒත් කිසිම වෙනසක් නම් වුණේ නැහැ නොවැ. ඒ මදිවට මේ මෑතක් වෙනකම්ම එක එකාගෙ දංකුඩ කකා බැලමෙහෙවර කොරා කියලා මිනිස්සු කියනවා. හැබැයි ඉතිං අර කියාපු විදිය හරි නම් මේ වෙනකොට පස්ස පැත්ත පිදුරුතලාගල කන්ද වගේ වෙලා මූණ තියෙන්න එපායැ නැවුම් ඇතිලියක් වගේ. කොහොම වුණත් අලුත් අවුරුද්දෙ කාගෙවත් දංකුඩ කන්නවත්, එක එකාලට බැලමෙහෙවර කොරන්නවත් හාංකවිසියකින් වත් අදහසක් නැහැ නොවැ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය විසිඑක් වන දිගහැරුම.
2023-01-05 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment