හුළඟ
කණගාටුවෙන් උනත් ඉස්සර වෙලාම කියන්න ඕන සිංහල සිනමාවට විශාල මෙහෙවරක් කොරලා මෙලොවින් යන්න ගියපු සුමිත්‍රා පීරිස් මැතිණියට නිවන්සුව ලැබේවා කියලා. ඕං ඉතිං මේ සුමානෙ පටන් ගන්න කොටම උසස් පෙළ විභාගෙ හන්දා හැමෝම වගේ දාල තිබුණ උසස් පෙළ උසස් ලෙස සමත් වෙන්නට දූලා පුතාලට සුබ පතනව කියලා. ඒකත් හොඳයි. හැබැයි දැන් ඔය විභාගෙන් උසස් ලෙසම සමත් වෙන කට්ටිය නොවැ සරසවියට යන්නෙ. එතැන කෙරෙන සමහර වැඩ දැක්කහමයි උසස් පෙළට ලියන දරුවො කොරගන්න වැඩ දැක්කහමයි මට නම් හිතෙන්නෙ පොත් කියවල කොල පිරෙන්න ලිවුවට හිත් කියවල ගුණ ධර්ම පුරෝගෙන නැහැයි කියලා. ඒක හන්දා ඒ දේවල් නැතුව විභාගෙ විතරක් නම් කොච්චර උසස් විදියට සමත් වුණත් වැඩක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. මොකෝ පළවෙනිය වුණත් වැඩක් තියෙනවයි ඔලුවක් නැත්තන්.
ඕං ඉතිං මේ කාලේ ඔය හැදුනුම්පත ගැනත් වැඩිපුර කතා බහ කොරන කාලයක් නොවැ. ඇයි ඡන්දෙ කිට්ටුයි නොවැ. කට්ටියක් ඉස්සර හැදුනුම්පත් එකතු කොරා කියලා චෝදනා කරනවා. තව කට්ටියක් හැදුනුම්පත නැති අය අනිවාර්යෙන් හදාගන්න ඕන කියලා උපදෙස් දෙනවා. ඒ අස්සෙ හැදුනුම්පත් කාර්යාලෙ ඇත්තො කියනවා හැදුනුම්පත ගහන්න විදියක් නැත කොලයක් තමා දෙන්න වෙන්නෙ කියලා. ඒ කියන්නෙ ඒකට සල්ලි නැහැ කියලා නොවැ. හැබැයි බලපල්ලකො නවීන තාක්‍ෂණ කරමවේදෙට හැදුනුම්පතක් ගහන්න කියලා කාර්ය මණ්ඩලේ විසි නවදෙනෙක් නඩත්තු කොරගෙන අවුරුදු දාසයක් තිස්සෙ කෝටි දෙසීය හැට හයක් සල්ලි කාබාසිනියා කොරල නෙව. අන්තිමට බෙරේ පලුවකුත් නෑ නටාපු තොවිලෙකුත් නෑ. තිබුණු එකත් නැතුව දැන් හැදුනුම්පත කොලේකින් ගනිල්ලකො.
ඒ අස්සෙ මෙදා මහ කන්නෙ කුඹුරු යායම ගොයම් පැල කහ ගැහිලා කියලා අපි කොච්චර කිවුවද, කෝ එකෙක් ගනන් ගත්තෙ නැහැ නොවැ. මේන් බොලේ ජීවිතේට කුඹුරකට නොබැහැපු කුරුඳුවත්තෙ හාමු කියනවා මෙදා සැරේ සහල් අතිරික්තයක් ගන්න පු`ඵවන් කියලා. එයාලා කතා කොරන්නෙ කුඹුර බලල නෙවේ නොවැ. නිලධාරීන් එයාල සනසන්න හදන වාර්තා කියවල. හැබැයි පරිසරය ගැන හදාරපු විද්වත්තු නම් කියල තිබ්බා මේ ගොයම කහ පාට වුණේ ඉන්දියාවෙන් ආපු දූවිලි හුලගේ බලපෑම නිසයි කියලා. තවත් කණ්ඩායමක් කියල තිබුණා ප්‍රමිතියක් නැති කාබනික පෝරෙන් ආපු පණුවෙක් හන්දා කියලා. ඒ විතරක්යැ ලබන යල කන්නයටත් මේක බලපාන්න පු`ඵවන් කියලා. හැබැයි ඔය ඔක්කෝටම කලින් හෝ`ඵවගොඩ යායෙ ගොවිතැන් කොරන කෝප්‍රල් මලයා මට ඔය කාරණාව කිවුව නොවැ.
ඕං ඉතිං අලි මදිවට කොටි කියලා එක පාරක් බලෙන්ම පරිප්පු කැව්ව වගේ ඉන්දියාවෙන් ආපු ලොකුම හුළඟද දන්නෙ නැහැ ජයසංකර් මහත්තය ආපු එක. මොකෝ උන්දැල අපේ ලොකු අප්පොච්චලලුනේ. ඒකනෙ නිතරෝම අපේ රට දිහා ඇහැ ගහගෙන ඉන්නෙ. දැන් උන්දැල දන්නවා හැමෝම අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න තමා හදන්නෙ කියලා. ඒක හන්දා උන්දැ ආපු ගමන් අලි භාසාවෙන්ම කතා කොරා නෙවැ. ඇයි දහ කියලා පටන් අරගෙන තුන කියල ඉවර කොරා නෙවැ. බලා ඉමුකො මොකද වෙන්නෙ කියලා. ආ තව දෙයක් මතක් වුණා. ඔය සමහරු කල අපලයි කියල දැන ගත්තහම අපලෙ දුරු කොරගන්න අලියගෙ බඩ යටිනුත් රිංගනව නොවැ. මේ කාලෙත් ඒ වගේ තමා. වෙනද පොහොට්ටුව දිගෑරලා මල් පූජ කොරපු කට්ටියත් ඒක පැත්තකින් තියලා ඕං අලියගෙ බඩ යටින් රිංගනවා අපලෙ දුරු කොරගන්න. ඒ තරමට උන්ට අපලලු.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය විසිහතර වන දිගහැරුම.
2023-01-26 බ්‍රහස්පතින්දා.
