හෙඩ්
ටික දවසකට උඩදි මම ගියා කරාපිටියෙ ඉස්පිරිතාලෙ තිස්හතරෙ වාට්ටුවට. අසනීපෙන් හිටපු මාමා බලන්න. ඒ ගිහිපු වෙලේ විදේශ ගතවෙලා ඉන්න සහෝදරය කිවුව වීඩියෝ කෝල් එකක් අරගෙන මාමව බලන්න දෙන්න කියලා. ඉතිං වීඩියෝ කෝල් එක අරගෙන පෙන්නුවා. දුක සැප අහන්න දුන්නා. එතකොට ආව නොවැ කණ්ණාඩි කූට්ටමක් දාගත්තු මිසී කෙනෙක්. හා හා වීඩියෝ කරන්න බෑයි කිවුවා. මම කිවුවා වීඩියෝ කරේ නෑ මිස් ලෙඩාව පෙන්නුවා රට ඉන්න පවුලේ කෙනෙකුට වීඩියෝ කෝල් එකකින් කියලා. මිසී කියනවා අනෙක් ලෙඩ්ඩුන්ගෙ පෞද්ගලිකත්වය රැකෙන්න ඕන කියලා එහෙම කරන්න බෑයි කියලා. හැබැයි ඉතිං මම අනිත් ලෙඩ්ඩු නෙවෙයි පෙන්නුවෙ. අපේ ලෙඩා. කොහොම වුණත් මං මිසී එක්ක වාදෙට ගියේ නෑ. මොකද ලෙඩාව සනීප කොරගන්න එපැයි. හැබැයි ඉතිං ඊට වඩා මානුසිකව හිතුවනම් තමා හොඳ.
අනෙක දැන් උසාවියේ නඩුත් අහනවා වීඩියෝ තාක්‍ෂණෙන්. ඒ විතරක්යැ රට පුරාම ව්‍යාපෘති විවෘත කරන්නෙත් වීඩියෝ තාක්‍ෂණයෙන් නොවැ. අනේ මන්දා ඕං ඉතිං ඒ වගේම මානුසිකව නොහිතන ගුණධර්ම නැති නෝන කෙනෙක් තමයි අර පොල් ලෙලි වගේ පාරෙ හිටපු බලු පැටවු යට කොරගෙන ගියේ. අම්මප මුන්ගෙ සන්වේදී නහර හිරිවැටිල මයි හිතේ.
ඒ අතරෙ පහුගිය දවස්වල හැමෝම සිහිපත් කොරපු මහා මානව හිතවාදියා තමයි විජය කුමාරතුංග. ඇත්තටම ඔහු හිටියනම් කියලා අපිට කොච්චර හිතෙනවද? මට මතකයි හරියටම මීට අවුරුදු තිස්පහකට උඩදි විජය කුමාරතුංග ඝාතනය කරා කිවුවහම අපිට හුස්ම හිරවුනා වගේ වුණා. කොහොම හරි ඒ කාලෙත් අපේ ගමේ ඔය රූප පෙට්ටි තිබුණෙ ගෙවල් කීපයක විතරයි. එදා අපි විජය කුමාරතුංගයන්ගෙ ආදාහන උත්සවය බැලුවෙ අපේ ගමේ අමරසේන මාමලයි ගෙදර රූප පෙට්ටියෙන්. එදා අපිත් එක්ක ඒක බලපු අමරසේන මාමගෙ පුතා හර්ෂජීව සුරේෂ් කුමාරත් දැන් රූප පෙට්ටියෙ පෙන්නන නාට්‍යවල රංගන ශිල්පියෙක්. එදා මට මතකයි ඔයි චන්ද්‍රිකා නෝනා පෙට්ටියට අත ගහල මොකක්දෝ එකක් දිවුරුව. ඒ දිවුරුම ඒ විදියටම වුණාද කියන එක තමා පුරස්නෙ. දැන් ඔය මැති ඇමතිකම් ගන්නකොටත් දිවුරන්නෙ. හැමෝම දිවුරල කොරපු හරිය මදැයි.
ඉස්සර අපේ ගැටවර කාලෙ කොරපු සෙල්ලමක් තමා හෙඩ් බුරුස් ගහන එක. කාසියක් අරගෙන හෙඩ්ද බුරුස් ද අහල උඩ දානවා. හෙඩ් කිවුවෙ කාසියෙ රාජ්‍ය ලාංඡනේ තියෙන පැත්තට. ඔය කිරිකැට් ගහන්නෙත් කාසිය උඩ දාලනෙ. පස්සෙ ප්‍රාදේශීය සභාවල සභාපති තෝරන එකත් කාසිය උඩ දාලා කරා. දැන් මේ වෙනකොට රටේ නායකය තෝරන එකත් ඒ වගේ. කාසියේ වාසියට තමා හම්බුවෙන්නෙ. ඉතිං නායකය බලන්නෙ හෙඩ් වැටිච්ච වෙලාවෙ ඔක්කොම සෙල්ලං ටික කොරන්න. ඉතිං බෙහෙත් නැතුව ඔපරේෂන් නැවැත්තුවට දරුවන්ට කන්න දෙන්න කොස් කඩන්න ගිහිල්ලා ගහෙන් වැටිලා අම්ම මැරුණට බුරුස් වැටෙන්න ඉස්සරවෙලා කාසියේ වාසිය අලියට ගිය වෙලේ හතර අතේ ණය වෙලා හරි ලෝකෙටම පේන්න රාජ්‍ය ලාංඡනේ අලිය පිටේ තියාගෙන ජනරජ පෙරහැරක් කොරපු එකත් කොච්චර ලොකු දෙයක්ද?
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය විසිඅට වන දිගහැරුම.
2023-02-23 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment