තැටිය
ඕං ඉතිං ආයෙත් සැරයක් රටම රත් වී ගෙන එන කාලයක් නොවැ. ජනතා බලය උරගා බලන්න අවස්ථාව දෙන්නෙ නැහැ කියලා මහජනයා රත්වෙලා පාරට බැහැලා. කබලෙන් ලිපට වැටිච්ච වෙලාවෙ ජනමතය බලන්න විදියක් නෑයි කියලා ආණ්ඩුව රත් වෙලා. කලින් වතාවෙ සිදුවීම් හරියට පාලනය කොරේ නැහැ කුමණ්ත්‍රණයක් කොලා කියලා ආරක්‍ෂක අංශෙ ලොක්කන්ට විරුද්ධව වාර්තාවක් එළියට දාපු නිසා ඒ ගොල්ලොත් රත් වෙලා. ඒක හන්දා මෙදා සැරේ නම් දෙපාරක් නොහිත රත් වෙච්ච එක හොඳටම නිවන්න කියලා වතුර ලීටර් හයදාස් පන්සියක් විතර පාරේ හිටපු මිනිස්සුන්ට ගහල නෙවැ.
මෙච්චර කාලෙකට ගහපු ලොකුම වතුර පාර කියනවනෙ. ඒ අලකලංචිය අස්සෙ ජීවිතේකුත් නැතිවෙලා. හැබැයි ඉතිං කවුරු වෙනුවෙන් ජීවිතේ නැතිවුණත් ඕකෙ වැඩිම පාඩුව ඒ පවුලේ අයට කියලත් කියන්න ඕන. මොකද පවුලකට මුදුන් මුලක් නැතිවුණා. රටකට නම් එකෙක්. ඉතිං එතුමාට නිවන් සුව ලැබේවා කියලා පතමු නේද? හැබැයි ඉතිං ඉස්සර මළගමක් වුණාම ගමේ උන් කියන්නේ මැරුණ එකාගෙ කටේ පස් ඉන්න එකාගෙ කටේ බත් කියල නොවැ. දැන් නම් කන්න බතක් නැති නිසා ඉන්න එවුන්ටත් කන්න වෙන්නේ පස්ම තමයි මයි හිතේ.
ඒ අස්සෙ අර එළුවගෙ මොකක්ද එක වැටෙනකන් බලාහිටිය වගේ දැන් බලාන ඉන්නෙ ලෝක බැංකුවෙ කාසි ටික ලැබෙනකන් නොවැ. දැන් ඔන්න එයාලගෙ නිර්දේශ අනුව මහ බැංකුව පාලනය කොරන්න ආර්ථික විද්‍යාව ගැන දන්න වියත් කමිටුවක් පත් කොරන්නනෙ යන්නෙ. ඒක හොඳයි. මොකෝ දැන් කොච්චර වතාවක් ඔය ලෝක බැංකුවෙන් උදව් අරන් තියෙනවද? ඒත් ඉතිං ලංකාවෙ මහබැංකුව පාලනය කොරේ ආර්ථික විද්‍යාව නෙවේ සෙප්පඩ විජ්ජාව දන්න එවුන්නෙ.
කොහොම වුණත් ඔන්න ලෝකෙම තැටිය රත්වෙලා. හැමතැනම පොළොව හෙල්ලෙනවා. මතක ඇති කාලෙක නොවුණු දෙයක්. ඉන්දියාව හෙල්ලුණොත් අපටත් බලපානව කියල තමා කියන්නෙ. ඒක හන්දා හැමෝම ඒ ගැන අවධානෙන් පරිස්සමෙන් ඉන්න. මොකෝ අපේ එවුන්ට කිවුවට වැඩක් නෑ. මොකක් හරි අනතුරක් ගැන කිවුවාම ආ ඒක අපිට නෙවෙයිනෙ උන්ටනෙ වෙන්නෙ කියලා අල්ලපු ගෙදර විනාශ වුණත් අපි බේරුණානෙ කියලා චූන් එකේ ඉන්නවා. තමන්ට වුණාම තමා පිළිගන්නෙ. එතකොට වැඩේ වෙලා හමාරයි.
සිරි ලංකාව කියන්නෙ නම් මහා කරදර විපත් නොතිබිච්ච රන් තැටියක්. මතක ඇතිනෙ සේරුවාණිජ ජාතකේ. ආන් ඒ වගේ වටින කියන දේවල් එක්ක පරණ සිටු ගෙයක් වගේ තිබුණු ලංකාවට සේරුවාණිජල ලංසු තියන කොටම අපේ උන්ටත් ඕන වුණා විගහට මේක දීලා තුට්ටු දෙකක් හරි අරගෙන කඳා වළලු දාගෙන චූන් එකේ ඉන්න. අන්තිමට විච්චූරණ අරුමෝසම් විතරයි ඉතුරු වුණෙ. රටේ එවුන්ට බඩේ බතුත් නැහැ නොවැ. හැබැයි ඉතිං මීට කල්ප පහකට කලින්නම් නියම වටිනාකම ලැබුණු වෙළෙන්දට තමා රන් තැටිය දුන්නෙ. දැන් ඉතිං තුට්ටු දෙකක් දැක්ක ගමන් හදිස්සියනේ. මේ වෙච්චි දේවල් වල හැටියට සිරි ලංකා භූ තැටිය රත් නොවුණොත් තමා පුදුමෙ. ඒකෙනුත් සුරුට්ටු පත්තු කරයිද දන්නෙ නෑ. මොකේ අර එකපාරක් කිවුවෙ තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා. කොහොම වුණත් කාටවත් කරදරයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කොරනවා.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය විසිනව වන දිගහැරුම.
2023-03-02 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment