Thursday, March 30, 2023

උපවාසය - ගමරාලගේ අඬහැරය තිස් තුන්වන දිගහැරුම.

උපවාසය

ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ

ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ ,

මේ සිංදුවට අවස්ථා කීපයකම ගමරාළගෙ රංගනයක් ඉදිරිපත් කොරා නෙව. ඉතිං ඒ සිංදුව විතරක් නෙවෙයි බොහොමයක් අර්ථවත් සිංදු බරසාර හඬින් කියල අපේ මනදොල සපුරපු මහඇදුරු සනත් නන්දසිරි මහත්තයත් දෑත ලයේ බැඳ නොකියාම ගොහිල්ල නොවැ. එතුමාට නිවන්සුව ලැබේවා කියලම පටන් ගනිමුකො. 

මාර්තු 27 ලෝක නාට්‍ය දිනේ නොවැ. ඉතිං නාට්‍ය උණ මටත් තියෙන හන්දා ඒ ගැනත් කියන්නම වෙනවා. අපේ තාත්තගේ ගම වෙච්චි ගිංතොට ඒ කාලෙ පොල් කොටන් වේදිකාවෙ නටා්‍යවල තාත්තා රඟපාල තියෙනව නොවැ. හැබැයි ඉතිං එයාගෙ වේදිකා රංගනය අපට බලන්න නම් වුණේ නැහැ. අපි දැක්කෙ ගෙදර ගෘහමූලිකය හැටියට කොරපු රඟපෑම් තමා. කොහොම හරි අප්ප කළ දේ පුතා නොකලොත් නොට්ටිගෙ පුතා කියන හන්දද කොහෙද ඔය නාට්‍ය උණ මටත් තිබුණ නොවැ. ඒකට කවුරුත් මඟ පෙන්නුවෙ නෑ කොහොම කරනවද කියලා. මට අවබෝධයක් තිබුණෙත් නෑ.  

ඉතිං අපි ඉස්කෝලෙ යන කාලෙ ගොඩකන්දෙ ජයන්ත කළ්‍යාණන්ද මහත්තයා පුබුදු කලා කවය කියල එකක් හදාගෙන ගමේ කට්ටිය එකතු කොරගෙන වේදිකා නාට්‍ය පෙන්නුවා. ආං ඒක තමා ඒ කාලෙ බැලුවෙ. රජ කතාවක් පෙන්නනවා. ඊට පස්සෙ විහිලු කතාවක් පෙන්නනවා. ඒ සමහර ඒවයි දෙබස් සිංදු තාමත් මතකයි නොවැ. ලොකු සෙනඟක් පිරෙනව ඒක බලන්න. ඩිංගක් දැඩි වුණාට පස්සෙ බයිසිකල්වලින් ගිහින් හැමතැනම තිබුණු නාට්‍ය බැලුව නොවැ. 

කොහොමින් කොහොම හරි මගේ රඟ පෑමේ ආශාව ඉෂ්ට කරගන්න පාර පෙන්නුවෙ මැදවල පර්සි කේ. ජයතිස්ස ගුරුතුමා. රඟපෑම විතරක් නෙවේ මොන පුරස්නෙ ආවත් නොසැලී ජීවත්වෙන විදිය එතුමා කියලා දුන්නා. ඒකට ඉතිං සදා ණයගැතියි. ඉතිං ඒරොප්පෙ ඉඳගෙනත් එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොරනවා. ඒ වගේම හෙළයේ ඉතිහාසය ගැන බරසාර පොතක් ලියපු ජයන්ත දහනායක මහත්තයා එයාගෙ කුවේණි ඉපදිලා නාට්‍යයේ ප්‍රධාන චරිතය මට දීලා ලබාදුන්නු අවස්ථාව ගැනත් ගෞරවය පුද කරනවා. ඕං තව ඉතිං නාට්‍ය ගැන කතා තව ගොඩක් තියෙනවා. ඒවා තව ඉස්සරහට කියමුකො. 

අප්‍රේල් 01 වෙනිදත් ළඟ ළඟම එනවනේ.  ඉස්සර ඉදන් අපේ එවුන් ඔය දිනේ මෝඩයගෙ දිනේය කියල එකේක අලඟු දෙනවනේ. උදේ පාන්දරම මොකක් හරි ගජ බින්නයක් ඇඳබානවා. එකපාරක් ගුවන්විදුලියෙන් පළවෙනිදා බොරුවක් කියල හෙන ලෙඩක් දාගත්තනේ. මං හිතන්නෙ මෝඩයගෙ දිනේ කියල එක දිනයක් මදි. මොකෝ ඒ තරමට අපි කොරපු මෝඩකං තියෙනව නොවැ.  ඉතිං තුන්සිය හැටපස් දවසෙන් වැඩි හරියක් මෝඩයගෙ දින තමා. 

ඒරොප්පෙ හිටං මෙදා සැරේ මේ ටික ලියන්නෙ රාමසාන් හඳ බල බල. මොකෝ ඉස්ලාම් භක්තිකයන්ගෙ රාමසාන් උපවාසෙ. ලංකාවෙ හිටියනම් මේ දවස්වල අනිවාර්යයෙන්ම නෝම්බි කැඳ හම්බ වෙනවා. ඒකෙ රස නම් කියල වැඩක් නෑ. මෙහේ නම් නෝම්බි කැඳ නෑ. එක එක ජාති දාලා රෑට කන බත් එකක් නම් හම්බ වුණා. හැබැයි ඉතිං  දවල් උපවාසෙ කාලෙට පාර තොටේ කාල බීලා අහුවුණොත් කෙලින්ම පොලෝසියෙ තමයි නවතින්න වෙන්නෙ. මෙහේ උපවාසෙ එහෙමයි. කරනවනම් හරියටම කොරන්න ඕන. 

ඒකට ලංකාවේ. තෙල් නොබෙදා උපවාසෙ. හැබැයි ඒ ගමන් එයාල කනව, බොනව, බෝල ගහනව ඔක්කොම කොරනවා. තෙල් ගහන්න යන මිනිස්සුන්ට තමා වතුර උගුරක්වත් නැතුව  පෝලිංවල ඉඳගෙන උපවාස කරන්න වෙන්නෙ. ලක්ෂ ගණන් පඩි ගන්න මිනිහ ගන්නවා. තැලෙන එකා හැම එකෙන්ම තැලෙනවා. හනේ මෙහෙමත් උපවාස. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් තුන්වන දිගහැරුම.

2023-03-30 බ්‍රහස්පතින්දා.    


Thursday, March 23, 2023

සතුට - ගමරාලගේ අඬහැරය තිස් දෙවන දිගහැරුම.

සතුට 

මම වැඩිමලා වෙච්චි අපේ පවුලෙ ළමයි ගාන හතරයි. ඉතින් හතරවෙනියා හම්බවුනාට පස්සෙ  මට මතකයි ගෙදර කතා වෙනවා ඇල් ආර් ටී කියල එකක් කොරන්න කියනවා. ඒකට කැමැත්ත ප්‍රකාශ කොරලා අස්සන් කොරාම සල්ලිත් හම්බවෙනවා කියලා. ඕං ඒ සැරේ අපේ තාත්තත් මහමෝදර ඉස්පිරිතාලෙට ගිහින් දෙන්නත් එක්ක කතාවෙලා අස්සන් කොරලා හම්බවෙච්ච සල්ලිවලින් සබන් පවුඩර් විතරක් නෙවෙයි ඇඟ පුරා පවුඩර් ගාන්න ගෙදර තිබුණෙ නිල් පාට පවුඩර් මල් කියලා මෙදා සැරේ රෝස පාට බූල් බූල් තියෙන පවුඩර්  මලකුත් අරගෙන බඩ පුරවගන්න හාල් තුනපහ තව ඉතින් අපිට කන්න විස්කෝතු එහෙම අරගෙන මල්ලක් පුරවල ගෙනාව නොවැ. ඉතිං දැනිච්ච සතුට කියල වැඩක් නෑ. හැබැයි ඒ සතුටට පත්තු කොරන්න රතිඤ්ඤ තිබුණෙ නැහැ. ඒ කාලෙ බඩගින්නට කොස් ඇට තම්බල කෑවාම ඩෝං පටෝං ගාල පත්තුවෙන රතිඤ්ඤා තමා අපි ළඟ තිබුණෙ. පස්සෙ ඉතිං සෑහෙන්න කාලයක් ගියාට පස්සෙ තමා ඇල් ආර් ටී ගිවිසුම මොකක්ද කියලා තේරුනේ. 

තව ඉතිං ඔය දැනුත් කියනවනෙ මාස් පඩි කාරයො හිඟන්නො වගේ කියලා. අපේ තාත්තත් මාස් පඩි කාරයෙක් නේ. ඉතිං ඔය කොහේ  හරි කඩේකින් පොතට තමා බඩු ගත්තෙ. ගොඩක් වෙලාවට බඩු තුන්ඩුව ලියල දුන්නහම අපි කවුරුහරි තමා කඩේට යන්නෙ බඩු ගේන්න. ගිහිල්ලා ඉතිං අනිත් කට්ටිය සේරෝම බඩු අරගෙන යනකම් ඉන්නවා. මොකෝ මුදලාලිගෙ ගෝරනාඩුව අහන්න වෙනවනේ. ඉතිං බුලත් අතක් දෙනව වගේ යටහත් පහත්ව මුදලාලිට දෙනවා ණය පොතයි  බඩු තුන්ඩුවයි. උන්දැ සැරට උගුර පාදලා බලනව අපේ මූණ. දැන් බොලයි තාත්ත කවදද ණය ගෙවනව කිවුවෙ කියල අහනවා. ඉතිං අපි කියනව පඩි ගත්තම ණය ගෙවනව කිවුව කියලා. ඉතිං ඔන්න සත්තම දානවා ගිය සැරෙත් ගෙවුවෙ බාගයයි. ඒක හන්දා මෙච්චර දෙන්න බෑ කියලා. ඒ සැරේ උන්දැට ඕන ගානට බඩු තුන්ඩුව අඩු කොරනවා. ආ...  සීනි පන්සීයක් බෑ දෙසිය පනහයි. භූමිතෙල් බෝතලයක් බෑ. කාලයි. ඉතිං අපිට තියෙන්නෙ  සද්ද නැතුව ඉදල කපල කපලා මුදලාලිට ඕන විදියට ගාන දාල දෙන බඩු ටික සිමෙන්ති කොලෙන් හදපු කඩදහි බෑග් එකේ දාගෙන භූමිතෙල් බෝතලෙත් එල්ලගෙන ගෙදර එන්න. ඕං ඔය මුදලාලිට ඕන විදියට වෙනස් කොරන එකටත් දැන් කියන්නෙ ප්‍රතිව්‍යූහගතකරණය කියලා මොකක්ද දිව උ`ඵක්කු වෙන වචනයක්නේ. 

ඒ සැරේ එක කඩේකින් ණය අරගෙන හිඟ උනාම වෙන කඩේකට ගිහින් අර විදියටම බඩු අරගෙන වෙන පාරකින් එනවා. කොහොම හරි කීප දවසක් ඔය මුදලාලිල අපේ ගේ ගාවට ඇවිල්ලා කෑ ගහලා තියෙනවා. ඒ වෙලාවට ඉතිං අපේ තාත්තා හෙමිහිට මාරු වෙනවා. අපි ගල්ගැහිලා බලන් ඉන්නවා. අපේ අම්මා තමා සටන් පෙරමුණට ගොහින් මුදලාලිට උත්තර දෙන්නෙ. මට මතකයි එකපාරක් මුදලාලි මහත්තයෙක් ඇවිල්ලා එතකොට අපි හිටපු පොල් අතු පැලේ එක කණුවකින් අල්ලලා හොල්ලලා කිවුවා දැනගනිපිය ණය නොගෙව්වොත් තොපි එක්කම ගිනි තියලා දානව කියලා.  හැබැයි ඉතිං අපේ අම්මත් ඇරියෙ නෑ. 

ඔය ඉතිං  ඉතිහාසෙ අපිට වෙච්ච දේවල්නෙ මම කිවුවෙ. මං නම් හිතන්නෙ නෑ දැන් කාලෙ මෙහෙම වෙයි කියලා. මොකෝ දැන් ඕන දේකට උපදෙස් දෙන්න වියත්තු ඉන්නවා.  ඒ මදිවට අපරාධකාරයො කියන හරක් කටාලා බූරු මූණල වෙනුවෙන් කතා කරන උගත් කටාලත් ඉන්නවනේ. ඕං ඒ අස්සෙ ලෝකෙට වැරදිලා ද කොහෙද කියනවා ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු  සතුටින් ඉන්න රට ෆින්ලන්තය කියලා. මයි හිතේ ඒක වැරදියි. මිනිස්සු වැඩියෙන්ම සතුටින් ඉන්නෙ සිරි ලංකාවෙ. දැක්කනෙ පත්තු කොරපු රතිඤ්ඤ තොගේ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. මේ රටට දැන් කියන්නෙ පිං ලන්තය කියලා.  


එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් දෙවන දිගහැරුම.

2023-03-23 බ්‍රහස්පතින්දා.    


Thursday, March 16, 2023

ඔස්කාර් - ගමරාලගේ අඬහැරය තිස් එක්වන දිගහැරුම.

ඔස්කාර්

ඕං ඉතිං අද හිටං අඬහැරය පාන්න වෙන්නෙ ඒරොප්පෙ ඉදගෙන නොවැ. කොහොම හරි වැඩේ කොරන්න තමයි  මගේ කල්පනාව. ලංකාවෙ නම් මේ දවස්වල වැඩ වර්ජන, විරෝධතා කෙරෙනව නොවැ. හැබැයි ඔය පාලකයන්ට විතරක් චෝදනා කරාට රජයේ ආයතනවල වැඩ කොරන අයත් වැඩි හරියක් දූෂණයයි, වංචාවයි, හොරකමයි ඔය සේරෝම කොරනවා. අර දැක්කනේ මොන දුකක් හරි විඳලා දෙපයින් හිටගන්න බලාගෙන ලංකාවෙන් ඒරොප්පෙට එන අයගෙනුත් කටුනායක ගුවන් තොටේ කට්ටිය කප්පම් ගන්නවා. පිටවෙන්න  උවමනා වැඩ  ටික කොරන්න මේ ගාන ඕන කිවුවහම ඉතිං කොහොම හරි හීනෙ හැබෑ කොරගන්න  බලා ඉන්න එවුන් අතේ තීන දෙයක් හූරලා දීලා හරි වැඩේ කොරගෙන එනවා.  ඉතිං එවුන් හූල්ලනකොට අරුන්දලට හරි යයිද? හැබැයි උනුත් පාලකයන්ට විතරක් ඇගිල්ල දික්කොරලා කෑ ගහනවා. ඒ මදිවට ඉන්දියාවෙ මහ කොමසාරිස් කාර්යාලෙන් කියනවා අන්න ලංකාවේ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවයක් නැතිකමින්  අවුරුද්දකට කෝටි සීයක් අපතේ යනවයි කියලා. කාට කියන්නද ඉතිං. 

ලංකාව ටික කලකට අතෑරලා පොල් කරටිවලට උඩින් ගුවන්ගත වෙනකොට සුදු පාට පෙණවලින් වටවෙලා මැද කොළ පාටට දැකපු බිම කොච්චර ලස්සනද. හැබැයි ඒකෙ ඇතුලෙ තියෙන ගින්නෙ රස්නෙ අහස උඩදිත් මට දැනුනා. කොහොම හරි ඩුබායි රටට අහස් යන්තරේ බානකොට කලුවර නිසා දැක්කෙ ඉස්සර ගාල්ලෙ මාලු මාකට් එකේ තොරණ වගේ ලයිට් ගොඩක්. ඊළඟට අයිස්ක්‍රීම් පෙට්ටි වගේ සුදුපාට ගෙවල් ගොඩක්. ඒ මදිවට රෑ බදුල්ලො වගේ ලයිට් දාගෙන එක පෙලට ඇදෙන වාහන. ඒත් හෝන් සද්දෙනම් ඇහුනෙනෑ. ලෝකෙ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාව නොවැ. මෙහේ තියෙන වාහන කන්දරාවෙ හැටියට හෝන් ගැහුවනම් පරසක්වලටත් ඇහෙයි මං හිතන්නෙ. 

ගොඩමඩ දෙකම සරුසාරව පලබරව තිබුණු සිරි ලංකාවේ පාලකයො බහුජාතික සමාගම්වල සල්ලි කුට්ටිවලට යට වෙලා සරුසාර බව නැති කොරලා ලෝකෙට ණය වෙලා සරුවපිත්තල ලෝකයක් මවා පෑවට පස් කදුලක් නැති වතුර උල්පතක් නැති මේ කාන්තාරෙ සිද්ධ වෙච්ච සංවර්ධනයයි දියුණුවයි දැක්කම මට මතක් වුණේ මුවන්පැලැස්ස චිත්තරපටියෙ ජෝ අබේවික්‍රම මහත්තයයි ප්‍රෙඩී සිල්වා මහත්තයයි රඟපාන  දර්ශනයක ජෝතිපාල මහත්තය කියනව සින්දුවක්. මෙන්න මෙහෙම. දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ මක්ක හිතෙයිදෝ හත්දෙයියනේ කියලා. එතකොට ප්‍රෙඩී සිල්වා මහත්තයා කියනවා ඉක්කා වැටේවී හත්දෙයියනේ කියලා. මටත් දැන් සිරි ලංකාව ගැන මතක් වෙනකොට ඉක්කා වැටෙනවා. හැබැයි අර ඉස්සර කතාවම තමා කියන්න වෙන්නේ. ඉක්කයි මායි ගාලු ගියා. ඉක්කා දාලා මං ආවා කියලා. 

ඒක නෙවෙයි ඔන්න මෙදා සැරේ ඔස්කාර් සම්මාන උත්සවේ ලෝකෙ හොඳම චිත්තරපටි සිංදුව හැටියට සම්මානෙ හම්බවුනේ ඉන්දියාවෙ ආර් ආර් ආර් චිත්තරපටියෙ නාටු නාටු කියන සිංදුවට. යටත් විජිත බි්‍රතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කොරපු දෙන්නෙක් ගැන තමා මේ චිත්තරපටියෙ කියවෙන්නෙ. සිංදුව රූපගත කොරල තියෙන්නෙ  රුසියාව එලව එලව ගහන යුක්ක්‍රේනේ ජනාධිපති මන්දිරේ ළඟ නොවැ. ඉතිං ඉන්දියාව අපේ ලොකු අප්පොච්චා වගේ හන්දා අපටත් සතුටු වෙන්න පු`ඵවන්. 

අපේ රටත් ඔය යටත් විජිතයෙන් නිදහස් කොරගත්තදා හිටන් දැන් කොච්චර කට්ටිය පාලනය කොරාද. මේ මෑතක ඉදන් දිගටම පාලනය කොරේ ඔය ආර් ආර් ආර්ලනේ. දැනුත් එහෙමනේ. ඉන්නෙ ආර් කෙනෙක්නේ. ඒ ආර් ආර් ආර්ල හන්දා හෙම්බත් වුණු මිනිස්සු දැන් ඉන්නෙ නාටු නාටු වෙලා තමා. ඒක හන්දා  සිරිලංකාවෙ ආර් ආර් ආර්ලටත් ඔස්කාර් සම්මානෙ දුන්නනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ.  


එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් එක්වන දිගහැරුම.

2023-03-16 බ්‍රහස්පතින්දා.    


Thursday, March 9, 2023

තඩි පිරිමි - ගමරාලගේ අඬහැරය තිස් වන දිගහැරුම.

තඩි පිරිමි

දන්නෙම නැතිව මාර්තු නව වෙනිදත් වුණානේ. ඊයේ මාර්තු අට වෙනිදා. ලෝක කාන්තා දිනේනෙ. හැබැයි අපේ අම්මලනම් ඉස්සර ඔය කාන්තා දිනයක් ගැන හාංකවිසියක් දන්නෙත් නෑ. සම තැන නිසි තැන ඉල්ලන්න දන්නෙත් නෑ මයි හිතේ. මොකෝ මට මතකයි අපේ අම්මත් ඉස්සර මුලින්ම ලොකු බත් පිගානක් බෙදන්නෙ තාත්තට. ඊළඟට ඉතින් ලයිස්තුවේ වැඩිමලා හැටියට මට. ඊට පස්සෙ අනුපිළිවෙළින් අනිත් අයට. ඔක්කොටම බෙදලා ආයෙත් මදි පාඩුත් බෙදලා අන්තිමට ඉතුරුවෙන විදියට පොඩි භාජනයකට බෙදාගෙන තමයි අම්ම කන්නෙ. සමතැන ගැන දන්නවනම් තාත්තගෙ සයිස් එකටම අම්මත් පිගානක් බෙදා ගන්න එපායැ. ඉස්සර අම්මලගෙ තිබුණෙ සම තැන නිසි තැන ඉල්ලල සටන් වදින මානසිකත්වයක් නෙවෙයි. පිරිමියාට ගෞරවයයි ආදරයයි ලබාදෙන එක. හැබැයි පිරිමියා මමයි රජා කියලා ලොකු කම් දාන්නෙ නැතුව ඒ විදියටම ගෞරවයයි ආදරයයි රැකවරණයයි කාන්තාවට දෙනවනම් කිසි කරදරයක් නැහැ නොවැ. 

මේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන කොට මට මතක් වුණා පහුගිය අවුරුද්දෙ ජූලි මාසෙ අග රටේ නීති හදන එක ගැන අදහස් යෝජනා ගන්න කැඳවල තිබුණ රැස්වීම. මේ අඬහැරය ලිපි මාලාව පටන් ගත්තෙත් ආං ඒ රැස්වීම ගැන ලියලා. කොහොම හරි එදා තරුණ ප්‍රජාව වෙනුවෙන් අදහස් දක්වන්න මාධ්‍යවේදිනියක් කියලා කෙනෙකුට අවස්ථාවක් ලැබුණා. හැබැයි එයා කතා කරේ රටේ නීතිය හදන එක ගැන නෙවේ. එයා පුන පුනා කිවුවා අද මෙතනත් ගෑණු තඩි පිරිමින්ට යටවෙලා ඉන්නව කියලා. කාන්තාවො පීඩාවට පත්වෙනවා කියලා. කාන්තා විමුක්තිය හොයන්න ඕන කියලා. තවදුරටත් පිරිමින්ට යටවෙලා ඉන්න බෑ කිවුවා. ඒ වෙනුවෙන් එයා අරගල කරනව කිවුවා. අනේ මන්දා ඉතිං තඩි පිරිමින්ට යටවීම කොහොම වුණත් සීයට පනස්දෙකක් විතර ඉන්න රටේ කාන්තා බලකාය මේ වෙනකොට ප්‍රධාන තැන් නියෝජනය කරල තියෙනව නොවැ. ඇයි මුල්ම අගමැතිතුමිය බිහිවුණා. ජනාධිපතිතුමියකුත් පත්වුණා. කොළඹ නගරාධිපතිනියත් පත්වුණා. නඩුකාරතුමියන්ලා ඉන්නවා. අමාත්‍යංශ ලේකම්තුමියන්ලා ඉන්නවා. ආණ්ඩුකාරතුමියන් ඉන්නවා. දිස්ත්‍රික් ලේකම්තුමියන් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් තුමියන් ඉන්නවා. නියෝජ්‍ය පොලිස්පතිතුමියන් ඉන්නවා. ඒ විතරක්යැ වැඩිපුරම ඉන්නෙ ග්‍රාමනිලධාරීතුමියන්ලා. පහුගිය ගමේ ඡන්දෙන් ඒ සභාවලට වැඩිපුර පත්වුණෙත් තුමියන්ලා. ඉතින් මෙච්චර තියෙද්දි තව මොකක්ද දන්නෑ තඩි පිරිමියට යට වෙලා තියෙන්නෙ. 

මීට අවුරුදු ගානකට කලින් ඒ මාධ්‍යවේදිනියගෙ පෙලෙන්ති නාමයම තියෙන රැවුල වවපු මහත්තයෙක් කරාපිටියෙ තිබුණු දේශපාලන වේදිකාවකට නැග්ගා. මුලින්ම එයා කිවුවෙ මගේ ගැන හැඳින්වීම නිවැරදි කරනවා මම මේ පක්ෂෙ කෙනෙක් නෙවෙයි කියලා. මෙන්න බොලේ ටික කාලෙකින් මිනිහ ඒ පක්ෂෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වුණා. ඒපාර කාලෙකට පස්සෙ හිටපු රටේ නායකය එයාගෙ නෑදෑයො කියලා ඒ පැත්තෙන් මන්ත්‍රී වුණා. ඊට පස්සෙ කට්ටිය රට යවනව කියලා කොලයක් බෙදලා සල්ලි අරගෙන ගෑණු පිරිමි පවුල් පිටින් අමාරුවෙ දැම්මා. ඒකට පොලීසි උසාවි ගියහම බය වෙන්න එපා උඹ ඉදිරිපත් වෙයන් මම බේරගන්නම් කියලා ඒකට වෙන මිනිහෙක් ඉදිරිපත් කොරලා ඒ මිනිහ හිරේටම යවලා ඒ පවුල පිටින් පීඩාවට පත් කොරා. ඒ මනුස්සය මේ ළඟදි තමා නිදහස් වෙලා ආවේ. අන්න ඒ හපන්කම් කොරපු රැවුල වවපු තඩි පිරිමියා එක්ක අර තඩි පිරිමින්ට යටවෙන්න බෑයි කියල බරසාර දේශනයක් කරපු මාධ්‍යවේදිනිය මොටෝ සයිකලේ නැගල යනවා හම්බවුනා පහුගිය සුමානෙ කහදූවවත්ත හන්දියෙදී. මම හිතන්නෙ කාන්තා විමුක්තිය සොයාගෙන යනව ඇති. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ කියල තමා කියන්න වෙන්නේ.   

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තිස් වන දිගහැරුම.

2023-03-09 බ්‍රහස්පතින්දා.

Thursday, March 2, 2023

තැටිය - ගමරාලගේ අඬහැරය විසිනව වන දිගහැරුම.

තැටිය

ඕං ඉතිං ආයෙත් සැරයක් රටම රත් වී ගෙන එන කාලයක් නොවැ. ජනතා බලය උරගා බලන්න අවස්ථාව දෙන්නෙ නැහැ කියලා මහජනයා රත්වෙලා පාරට බැහැලා. කබලෙන් ලිපට වැටිච්ච වෙලාවෙ ජනමතය බලන්න විදියක් නෑයි කියලා ආණ්ඩුව රත් වෙලා. කලින්  වතාවෙ සිදුවීම් හරියට පාලනය කොරේ නැහැ කුමණ්ත්‍රණයක් කොලා කියලා ආරක්‍ෂක අංශෙ ලොක්කන්ට විරුද්ධව වාර්තාවක් එළියට දාපු නිසා ඒ ගොල්ලොත් රත් වෙලා.  ඒක  හන්දා මෙදා සැරේ නම් දෙපාරක් නොහිත රත් වෙච්ච එක හොඳටම නිවන්න කියලා වතුර ලීටර්  හයදාස් පන්සියක් විතර පාරේ හිටපු මිනිස්සුන්ට ගහල නෙවැ. 

මෙච්චර කාලෙකට ගහපු ලොකුම වතුර පාර කියනවනෙ. ඒ අලකලංචිය අස්සෙ  ජීවිතේකුත් නැතිවෙලා. හැබැයි ඉතිං කවුරු වෙනුවෙන් ජීවිතේ නැතිවුණත් ඕකෙ වැඩිම පාඩුව ඒ පවුලේ අයට කියලත් කියන්න ඕන.  මොකද පවුලකට මුදුන් මුලක් නැතිවුණා. රටකට නම් එකෙක්. ඉතිං එතුමාට නිවන් සුව ලැබේවා කියලා පතමු නේද? හැබැයි ඉතිං ඉස්සර මළගමක් වුණාම ගමේ උන් කියන්නේ  මැරුණ එකාගෙ කටේ පස් ඉන්න එකාගෙ කටේ බත් කියල නොවැ. දැන් නම් කන්න බතක් නැති නිසා ඉන්න එවුන්ටත් කන්න වෙන්නේ  පස්ම තමයි මයි හිතේ. 

ඒ අස්සෙ අර එළුවගෙ මොකක්ද එක වැටෙනකන් බලාහිටිය වගේ දැන් බලාන ඉන්නෙ ලෝක බැංකුවෙ කාසි  ටික ලැබෙනකන් නොවැ. දැන් ඔන්න එයාලගෙ නිර්දේශ අනුව මහ බැංකුව පාලනය කොරන්න ආර්ථික විද්‍යාව ගැන දන්න වියත් කමිටුවක් පත් කොරන්නනෙ යන්නෙ. ඒක හොඳයි. මොකෝ දැන් කොච්චර වතාවක්  ඔය ලෝක බැංකුවෙන් උදව් අරන් තියෙනවද?  ඒත් ඉතිං ලංකාවෙ මහබැංකුව පාලනය කොරේ ආර්ථික විද්‍යාව නෙවේ සෙප්පඩ විජ්ජාව දන්න එවුන්නෙ. 

කොහොම වුණත් ඔන්න ලෝකෙම තැටිය රත්වෙලා. හැමතැනම පොළොව හෙල්ලෙනවා. මතක ඇති කාලෙක නොවුණු දෙයක්. ඉන්දියාව හෙල්ලුණොත් අපටත් බලපානව කියල තමා කියන්නෙ.  ඒක හන්දා හැමෝම ඒ ගැන අවධානෙන් පරිස්සමෙන් ඉන්න. මොකෝ අපේ එවුන්ට කිවුවට  වැඩක් නෑ. මොකක් හරි අනතුරක් ගැන කිවුවාම ආ ඒක අපිට නෙවෙයිනෙ උන්ටනෙ වෙන්නෙ කියලා අල්ලපු ගෙදර විනාශ වුණත් අපි බේරුණානෙ කියලා චූන් එකේ ඉන්නවා. තමන්ට වුණාම තමා පිළිගන්නෙ. එතකොට වැඩේ වෙලා හමාරයි. 

සිරි ලංකාව කියන්නෙ නම් මහා කරදර විපත් නොතිබිච්ච රන් තැටියක්. මතක ඇතිනෙ සේරුවාණිජ ජාතකේ. ආන් ඒ වගේ වටින කියන දේවල් එක්ක පරණ  සිටු ගෙයක් වගේ තිබුණු ලංකාවට සේරුවාණිජල ලංසු තියන කොටම අපේ උන්ටත් ඕන වුණා විගහට මේක දීලා තුට්ටු දෙකක් හරි අරගෙන කඳා වළලු දාගෙන චූන්  එකේ ඉන්න. අන්තිමට විච්චූරණ අරුමෝසම් විතරයි ඉතුරු වුණෙ.  රටේ එවුන්ට බඩේ බතුත් නැහැ නොවැ. හැබැයි ඉතිං මීට කල්ප පහකට කලින්නම් නියම වටිනාකම ලැබුණු වෙළෙන්දට තමා රන් තැටිය දුන්නෙ. දැන් ඉතිං තුට්ටු දෙකක් දැක්ක ගමන් හදිස්සියනේ. මේ වෙච්චි දේවල් වල හැටියට සිරි ලංකා භූ තැටිය රත් නොවුණොත් තමා පුදුමෙ. ඒකෙනුත් සුරුට්ටු පත්තු කරයිද දන්නෙ නෑ. මොකේ අර එකපාරක්  කිවුවෙ තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා. කොහොම වුණත් කාටවත් කරදරයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කොරනවා. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය විසිනව වන දිගහැරුම.

2023-03-02 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...