මායා
ඕනම වැලකට ඉහළට යන්න නම් හයිය හත්තිය තියෙන ගහක් ඕන වෙනව නොවැ. ඉතිං ගහ පුරාම වැල එතිලා උඩට ගොහින් වැලේ මල් පොකුරක් පිපුණ ගමන් අපේ උන්ට පේන්නෙ වැලයි මල් පොකුරයි. මීමැස්සො බඹරු පිරෙන්නෙත් මල් පොකුරට. කාලයක් යද්දි වැලට යටින් තියෙන රූස්ස ගහ ගැන එකෙකුටවත් වගේ වගක් නෑ. වැලට විතරක් සාත්තු කොරනවා. හැබැයි කාලයක් යනකොට වැල මැරෙනවා. අපේ ගමේ ගොඩේ එවුන් නම් කියන්නෙ වැල මැරෙනවා අල බහිනව කියලා. ඒ කතාවත් ඇත්ත. ඔය දන්ඩිල කුකුලල වැල මැරුණහම මහ විසාලෙට අල බැහැල තියෙනව නොවැ. හැබැයි ඕං අර වැල මැරෙන කොට තමා ආයෙත් අර රූස්ස ගහ මතු වෙන්නෙ ආයෙත් ඒකට වැලක් ගිය ගමන් ආයෙ ගහ ගැන කතාව ඉවරයි.
ඒ වගේම තමා ඕනම මිනිහෙකුට තමන්ට ප්‍රසිද්ධ වෙන්න ඕන වුණහම ඕනම වැඩක් කොරල ප්‍රසිද්ධ වෙන්න පු`ඵවන් නොවැ. ඒ කොරන වැඩේ හොඳද නරකද ඇත්තද බොරුද ඒවා අදාල ම නෑ. කොහොම හරි ප්‍රසිද්ධ වුණාම හොඳට විකිණෙන්න පුළුවන්. දැන් ඔය ගොඩක් එවුන් කොරන්නෙ ඒකමනේ. මම ඔය ආගම ධර්මෙ ගැන කතා කොරන්න කැමති නෑ. ඒත් මට තේරෙන දේ නම් බුදු හාමුදුරුවො වේවා ජේසුස් වහන්සේ වේවා නබි තුමා වේවා ඔය ශාස්තෘවරු කවුරු වුණත් මිනිස්සුන්ට මාර්ගයක් පෙන්නුව මිසක් ඒක විකුණගෙන කෑවෙ නෑ. ඒකට දැන්. ඒ ඒ උත්තමයන්ගෙ දේශනාවල් කියලා තමන්ට හිතෙන කටට එන ලස්සන වචන ටිකක් දාලා හොඳට දෙනව නොවැ ගරාන පාර. ඔය ලස්සන වචනවලට වශී වුනාම ඉතින් සල්ලි විතරක් නෙවෙයි කනේ කරේ තියෙන ඒව පවා පුදනව නොවැ. ඉතින් සමහරක් දේශකයො රැස් කොර ගන්නවා. අහන එවුන් හිස් කොර ගන්නවා.
අපේ රටේ මාධ්‍යත් එවුන්ට තව ප්‍රසිද්ධිය දෙනව නොවැ. දරුවෙක් දූෂණය කොරලා නම් ප්‍රසිද්ධිය දෙනවා. මරාදාල නම් ඇත්ත කතාව අපේ චැනල් එකෙන් බලන්න කිය කිය තරගෙට ප්‍රචාරය දෙනවා. දෙනිපිටියේ නුගරුකේ කතාවටත් වඩා දෙනිපිටියේ මරාගත්තු එකට ප්‍රචාරය දෙනවා. ඒත් බලපල්ලකො පහුගිය දවස්වල ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ අවුරුදු හැත්ත දෙකකට පස්සෙ රිදී පදක්කමක් ගන්නවා රිටි පැනීමෙන් ශ්‍රී ලංකාවෙ දරුවෙක්. තමන්ගෙ රිට ගෙනියන්න සල්ලි නැති නිසා අනුන්ගෙ රිටකින් පැනලා ජයග්‍රහණය ගත්තෙ. කෝ ප්‍රචාරයක් දුන්නද? ජපානෙ ගොහිල්ල තව දැරිවියක් හරි හරියට දක්ෂතා පෙන්නුවා. ප්‍රචාරයක් දුන්නද? 1964 ටෝකියෝ නුවර තිබුණු ඔලිම්පික් ධාවන තරගෙ හොඳම පරාජිතයා වුණ රණතුංග කරුණානන්ද ගැන ජපාන පෙළ පොතට ඇතුළත් කළා. සිරි ලංකාවෙ ගණන් වත් ගත්තද? ආන්න ඒකට අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ දැඩි අසනීප මැද මොර සූරන වැස්සේ හොඳම පරාජිතයා විදියට ධාවන තරගය නිමා කොරපු කාම්බෝජ දැරිවියට ඒ රජයෙන් විශේෂ ඇගයීමක් කොරලා හොඳ ප්‍රචාරෙකුත් දීලා නොවැ.
ගස්වැල් වලින් පටන් අරගත්ත හින්දා ඒකෙන්ම ඉවර කොරමුකෝ. අර ළමා කතාවක් අහල තියෙනව නේද මායා බෝංචි ඇටයක් හම්බවෙලා ඒක හිටවලා බෝංචි වැල උඩට ගියාම ඒක දිගේ දිව්‍ය ලෝකෙ ගියා. දැනටත් සමහර එවුන් මේ කතාව විශ්වාස කොරගෙන කවුරු හරි දෙන මායා බෝංචි ඇටයක් ගන්න බලාගෙන ඉන්නවා දිව්‍ය ලෝකෙ යන්න. ඔය හැම ආගමකම ඉන්න සමහර මායාකාරයොන්ගෙ මායාවල් බල බල ඉන්නකොට ඕං දන්නෙම නැතුව ආයෙත් රට පුරා ඩෙංගුයි කොරෝනයි ඔලුව උස්සලාලු. ඕව හැදුනට පස්සෙ ඔය මායා කාරයොන්ට බෑ හොඳ කරන්න. ඒක නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න එක නම් හොඳයි. ඔය හැම ධර්මෙකටම වඩා ලෝක ධර්මයයි මනුස්ස ධර්මයයි නම් වටිනවයි කියල තමයි මට හිතෙන්නේ. මොකෝ මට කවුරු හරි කනට ගැහුවොත් රිදෙනවනම් මාත් කාගෙ හරි කනට ගැහුවොත් රිදෙනවයි කියන එක මන් තේරුම් ගත්තොත් හරි.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය හතලිස් වන දිගහැරුම.
2023-05-18 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment