Thursday, May 25, 2023

ගෝත්‍රිකයෝ - ගමරාලගේ අඬහැරය හතලිස් එක්වන දිගහැරුම.

ගෝත්‍රිකයෝ

මේ දවස්වල කලාකාරයන්ට හරිම අපල කාලයක් නේ. අපි කාලයක් තිස්සෙ ආදරය කොරපු ආස කොරපු අය මේ ලෝකෙන් සදහටම යන්න යනව නොවැ. පහුගිය දවස්වල ටෝනි හසන් මහත්තයයි ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයයි දෙන්නම ගියා නොවැ. කොහොම හරි මගේ ජීවිතේ එක අවස්ථාවක් ලැබුණ මේ දෙන්නටම නිවේදන කටයුතු කොරන්න. ඉස්සර හිටන් ගාලු සැණකෙළි කලාවේ නමක් තියපු නයන උපුල් සහෝදරය මීට අවුරුදු ගානකට උඩදි නුවරඑළියෙ රාගල  ටී. බී. හේරත් විද්‍යාලෙ පිට්ටනියෙ කොරපු සැණකෙළියක මම තමා නිවේදන කටයුතු කොරේ. ඒකෙ සනිධප සංගීත කණ්ඩායම සංගීතය සපයපු දවසක සිංදු කියන්න මේ දෙන්නම ආවා. ඒ විතරක් නෙවෙයි සමන් ද සිල්වාත් ආවා. එක වාහනේ ආවෙ. මම එදා එයාල ගැන මගේ යකඩ කටින් කියෙව්වහම සිංදු කියලා නිහතමානීව මා එක්කත් කතා කොරල තමයි ගියේ. ආයේ ජීවිතේට එහෙම දවසක් එන්නෙ නැහැ නොවැ. දැන් ඉතිං ඉන්න තැනක ක්‍රිස්ටෝපර් පෝල් මහත්තය රුවන් තොරණ් තනා රන් තැඹිලි පොකුරු ගහන කොට ටෝනි හසන් මහත්තය දිල්වාලේ හයි නාදා මුතේ කියලා දෙන්නත් එක්ක කියනව ඇති. කොහොම වුණත් දෙන්නටම නිවන් සැපයි මොක්සුවයි පතමු නේද. 

එක කාලයක් මං කොලොම්පුරේ හිටපු කාලෙ මං වැට්ටෙ නෑ කියල කිවුවහම එතන හිටපු එවුන් කින්ඩියට හිනා වුනා මගේ දිහා බලලා. මං ඇහැව්වා ඇයි කියලා හිනා වෙන්නෙ. එතකොට එවුන් ඇහැවුවා උඹ ගාල්ලෙ ද කියලා මං ඉතිං ගැම්මට ඔව් කියලා උත්තර දීලා ඇහැව්වා කොහොමද දැන ගත්තෙ කියලා. ඇයි බං වැට්ටෙ නෑ නෙවෙයි වැටුණෙ නෑ කියල කිවුවා. මට එතකොට තමයි තේරුණේ මේ දකුණෙ භාෂාවෙ පුරස්නෙ. කොහොමත් ඔය දකුණෙ එවුන් කියනවනෙ අපි දකුණෙ ලේසියෙන් වට්ටන්න බෑ කියලා. මාත් ඉතින් හැමදාම පැදුරෙ ඉන්න හන්දා කොහොමටත් වට්ටන්න බෑ. කට්ට කාගෙන  ඉස්සරහට යන එකා කොහොමටත් වට්ටන්න බෑ කියලා ළඟදි පෙන්නපු හොඳම උදාහරණෙ තමයි ඔය දකුණු පළාත ගැට්ටෙම තියෙන අලුත්ගම රැල්ලත් එක්කයි වැල්ලත් එක්කයි හරි හරියට ඔට්ටු වෙලා කට්ට කාගෙන ඉස්සරහට ගියපු රමිය කියන කොලුවා කොහොම හරි වැටෙන්නෙ නැතුව සිරසෙ ද වොයිස් කිරුල දිනා ගත්ත නොවැ. එහෙනම් ඕං ඒ කොලුවටත් සුබ පතනවා. ඕං ඉතිං අනිත් පළාත්වල කට්ටිය කේන්ති ගන්න එපා. නවීන විද්‍යාවෙනුත් ඒක ඇත්තයි කියලා තහවුරු කොරලනේ. ඇයි ඔය නාසා ආයතනෙන් කියල තියෙන්නේ ලෝකෙන්ම ගුරුත්වාකර්ෂණය අඩුම තැන ලංකාවෙ දකුණු පළාත කියලා. ඒ කාලෙ අයිසැක් නිව්ටන් මහත්තය ගාල්ලට ඇවිල්ල පොල් ගෙඩියක් වැටෙන හැටි බලා හිටිය නම් ඕක කලින්ම හොයා ගන්න තිබුණා. ඇයි ඔය අපේ ගේ ඉස්සරහා කෝපි වත්තෙ ගෙදර ඉස්සර හිටියා අබල දුබල වෙලා සෑහෙන්න කාලයක් ඇඳේ හිටපු අත්තම්ම කෙනෙක්. උන්දැ ඇඳේ ඉඳගෙන ඇහෙන සද්දෙ අනුව වත්තෙ වැටෙන පොල් ගාන ගණන් කොරලා හවසට කියනව නොවැ. ගෙඩියක් හරි අහුලල තිබුණොත් සුම්මා තමා. කොහොම හරි ගුරුත්වාකර්ෂණේ වැඩි වෙච්චි වෙලාවකද කොහෙදෝ උන්දැත් පොළොව යටටම යන්න ගියා නොවැ. 

මැයි මාසෙ දාහත මද්දුම බණ්ඩාර හිස දන්දුන්නා කියලා අපේ උන්ට මතක් වේවිද? මන් දැක්කා මාධ්‍ය කට්ටියක් ගොහින් මිනිස්සුන්ගෙන් අහනව මැයි දහ අට වෙනිදා මොකක්ද තියෙන  විශේෂත්වය කියලා. මෙන්න එවුන් කියනවා පහුගිය අවුරුදුවල නම් මැයි දහ අට අපි හොඳට කාලා බීලා හිටිය. මේ මැයි දහ අට නම් අමාරුයි ඒක නිසා බඩු අඩු කරනව නම් හොඳයි කියලා. අනේ අම්මප කන්නම බලන් ඉන්න එවුන්. සිය දාස් ගානකගේ ජීවිත බිලි දීලා දහ අටවෙනිදා යුද්දෙ ඉවර කොරා කියලා එවුන්ට මතක නෑ. බලන කොට වේලුපිල්ලෙ කියපු කතාව හරි. 

ඉතිං එහෙව් එකේ මැයි විසි දෙක ජනරජ දිනේ කියල මතක තියේවිද? හැබැයි ඉතිං ඔය එකදාස් නවසිය හතළිස් අටේ ගත්ත නිදහසයි එකදාස් නවසිය හැත්තැ දෙකේ ගත්ත ජනරජ අයිතියෙනුයි පස්සෙ වෙනස් වුණේ බි්‍රතාන්‍ය ඔටුන්න පාලකයො දාගත්ත එක විතරයි. නැතුව මිනිස්සුන්ට ඔටුනු පළඳින්න හම්බවුනේ නැහැ නොවැ. තිබිච්ච තොප්පියත් බිම වැටුණු එක විතරයි. 

දැන් ඔය ඔක්කෝම යුග එන්න කලින් අපි හිටියෙ ගෝත්‍රික යුගේලුනේ. දැන් පහුගිය දවසක ඩීසල් බවුසරයක් ගෙයක් උඩට පෙරලුනා. වටේ හිටපු එවුන් හනිකට ඇවිල්ලා පොර කකා කෑන්වලට ඩීසල් පුරෝගෙන ගියා. අර ගෙදර හිටපු මිනිස්සු දරුවො ඉන්නවද මැරිලද කියල බැලුවෙ නැහැ නොවැ. ආං ඒකට කොලොම්බියාවෙ අහස් යානාවක් ඇමර්සන් වනයට කඩා වැටිලා. මහ මිනිස්සු සේරෝම මැරිලා. දරුවො හතර දෙනෙක් විතරයි  ඉතුරු වෙලා තිබුණෙ. ඉතින් දවස් දාහතකට පස්සේ හොයා ගන්නකන් ඒ කැලේ හිටපු ගෝත්‍රිකයො අර දරු පැටව් ටික හොඳට බලාගෙන නොවැ. දැන් කල්පනා කොරල බලපල්ලකෝ හැබෑවටම ගෝත්‍රිකයො ඉන්නෙ කොහේද කියලා.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් එක්වන දිගහැරුම.

2023-05-25 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...