අභිමානය
රුහුණු මාගම් දනව්වේ - කදිර කුමරුගෙ කොදෙව්වේ
ඌව වෙල්ලස් ඉසව්වේ - ඉසුරු විසිරෙන ඇසිල්ලේ
සොඳුරු රන්සර සිසාරා යන - රුහුණු ගුවන් විදුලියයි ඔබේ
මේ රුහුණු සේවයයි. දෙණියායෙන් 107.3 එෆ් එම්. හපුතලෙන් 107.5 එෆ් එම්
ඕං ඔහොම තමා ගෙදර වෑර්ලස් එකේ රුහුණු සේවය ඇහෙන්නේ. ඉස්සර කිවුවෙ ඕකට සන්නිවේදනයේ රුහුණු රට අභිමානය කියල නොවැ. ඕං ඒකටත් කණකොකා අඩලලු. ඒ කාලෙ ඔය රුහුණු සේවේ ගැන බොක්කටම දැනුනේ ඒකේ සංගීත අංශෙ වැඩ කොරපු අරුණසිරි මාපලගම උන්නැහේ අපේ තාත්තාගේ හොඳ යාළුවෙක් හන්දා. ඉතිං ඉදල හිටලා අපේ පොල් අතු පැලට ඇවිල්ලා මක්ක හරි සප්පායම් වෙලා ගිටාර් එකකුත් ගහ ගහ මධුර මනෝහර තාලෙන් ගායනා කොරනව නොවැ. උන්දැ එක සැරයක් අපේ තාත්තගෙන් ඇහුවා මම මේ ලොකු කොලුව එක්ක ගිහින් සංගීතෙ උගන්නන්නද කියලා. ඉතිං අපේ ගෙදර දෙන්න දෙමහල්ලො කතා කොරලා මට කැමති දෙයක් කොරන්න අනුමැතිය දුන්න නොවැ. මාත් එක පයින් කැමති වෙලා ගියා උන්දැගෙ ගෙදර. ගොහිල්ලා සංගීතෙ නම් ඉගෙන ගන්න හම්බවුණේ නෑ. දවස් දෙක තුනකින් මම ගෙදර යන්න ඕන කියලා ආවා. හැබැයි ඒ දවස් දෙක තුනේ හොඳට බඩ කට පිරෙන්න කෑවා. මොකෝ ඒ දවස්වල තිවිච්ච ලොකුම පුරස්නෙ තමා කන්න නැති එක. කොහොමහරි දැන් ඔය රුහුණු සේවේ හබක් කොරන්න යන එකේ ඒ භූමිය රොකට් යවන්න හරි දුන්න නම් හොඳා. මොකද ගුරුත්වාකර්ෂණය අඩුම පළාත හින්දා හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් වෙයි. අඩු ගානෙ මහ එවුන්ට සාක්කුවෙ දාගන්නවත් බැරියැ. රජවරු බිහි කොරපු රුහුණට ගිය කලක්.
ආ ඒ වීතරක්යැ. රජ රට සේවෙටත් හෙණේ වැදිල නොවැ. ඔය ගුණදාස කපුගේ මහත්තයා, කරුණාරත්න දිවුල්ගනේ වගේ හැබෑ කලාකරුවො කරලියට ආපු තැනක් නොවැ එතන. ඔය වැව් බැඳි රටේ අභිමානය කියාගෙන කීදෙනෙක් රට පාලනය කොරන තැනට ගියාද? අන්තිමේ උන් රැකුණා. තිබුණු දේවල් වැනසුනා.
දැන් ඉතින් පොසොන් උදාවයි දහම් අමාවයි කියාගෙන හැමෝම රජරටට යන කාලෙ නොවැ. හැබැයි බැරි වෙලාවත් මෙදා සැරේ පොසොන් පෝයට මිහිඳු හාමුදුරුවො වැඩියොත් මෙන්න මෙහෙම වෙයි කියලා තමයි මට හිතෙන්නේ. රනිල් රනිල් ජනරජ පෙරහැර ඇරෙන්න තවත් පෙරහර තිබේද? අහන කොට රජා කියයි තිබේ ස්වාමීනි කියලා. එතකොට මිහිදු හාමුදුරුවො කියයි ඒකට කමක් නෑ ධර්මය රැකෙන්න නම් අනිවාර්යෙන්ම මන් වෙනුවෙන් පෙරහැරක් කරපිය කියලා. ඒක දන්න හන්දා තමා ඔය මිහින්තලේ හාමුදුරුවො ඔච්චර වලි කන්නේ. ලක්ෂ තිස් එකක් මදි ධර්මය රැකගන්න නම් රාජ්‍ය අනුග්‍රහය ඕනමයි තව සල්ලි ඕනමයි කියලා පාත්තරේකට එකතු කරන්නේ මොකෝ අභිමානය රැකෙන්න එපායැ.
ඕං මේ ළඟකදි රජරට එක ඉස්කෝලෙක පිරිත් පිංකමක් තිබිලා. ඒ ඉස්කෝලෙම ළමයි එතන ගහගෙන පිරිත් මණ්ඩප්පෙටත් ගහලා විනාස කොරලා. තව පැත්තක විනය භාර ආචාරියට ගහලා. පොත් පත් ඉරා දාලා. සිවුරක් දාගත්ත එක්කෙනෙක් ජනාධිපති උපදේශක කම් අරගෙන අම්ම එක්ක නිදාගන්න ගමන් දූත් එක්කත් නිදාගෙන. තව රාජාංගනේ සිවුර දාගත්තු එකෙක් තිත්ත පතුරු කුණුහරුප කියනවා. මෙච්චර කල් පෙරහැර කොරලා රැකිච්ච අභිමානයක් තියෙනවද කියන එක තමා මට තියෙන පුරස්නේ. හැම තැනම ධර්මය වන වැදිලා සම්ප්‍රදාය විතරක් රැකගන්න උත්සාහ කරනව කියල තමයි මට නම් හිතෙන්නේ. රටටම කෙළවුනත් ඕකට කියන්නෙ බුද්ධාලම්භන ප්‍රීතිය කියල නොවැ.
ඉතින් එහෙව් එකේ එක නෑම්බියෙක් උම්බෑ ගෑවා තව එවුන් ටිකක් ඒකට අත්පුඩි ගැහුවා කියලා උන් විතරක් අභිමානය කෙලසනවා කියලා වලි කෑවට අවබෝධ කරගන්න ඕන දේ තමා උන්ට ඇගිල්ල දික් කොරන එකාලගෙත් අභිමානය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. එක එකාගේ යූ ටියුබර් උස්ස ගන්න රෙදි උස්සන කට්ටියයි අත්පුඩි ගහන කට්ටියයි ඒවට ගතු කියන කට්ටියයි ඔක්කෝම එකතු වෙලා රටවල් එකසිය අනූ පහක අග නගර ලකුණු කොරලා ලෝක වාර්තාවක් තියපු වයස අවුරුදු පහක් වෙච්චි නුවරඑලියෙ කලානේශන් හර්ෂිත් දරුවටයි රට වෙනුවෙන් හති දාගෙන දුවන යුපුන් අබේකෝන්ටයි අත්පුඩියක් ගැහැවුවනම් හොඳා. මොකෝ දැන් ලෝකෙ දුක්ඛිතම රටවල් අතරටත් අපි ගොහිල්ල නොවැ. කොහොමද අභිමානය ?
එහෙනම් කට්ටිය එක්ක පොසොන් දන්සල් එහෙම වැඳගෙන යන ගමන් ගුණදාස කපුගේ මහත්තය ගායනා කොරපු
මං මුලාවී පාර සොයාගෙන කතරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුණේ
සිංදුව අහගෙනම යන්නකෝ.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය හතලිස් දෙවන දිගහැරුම.
2023-06-01 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment