කුලු ගෙඩිය
ඕං ඉතිං ඒරොප්පෙ ඉන්න හැමෝම වගේ බලාන ඉන්නෙ කොයි වෙලාවෙද සිංහල කටහඬක් ඇහෙන්නෙ කියලා. එහෙම හඬක් ඇහුන ගමන් අහනවා ලංකාවෙ කොහේද කියලා. ඔන්න ඔය වගේ පහුගිය දවසක මට හම්බවෙච්ච කොල්ලෙක්ගෙන් ඇහුවහම කියපි වරකපොළ කියලා. ඉතිං මම ඇහැව්වා එහේ තාම බීඩි ඔතනවද කියලා. මොකෝ ඉස්සර හිටං මතක තිබුණ නමක් තමා වරකපොළ බීඩි. අපේ අප්පොච්චා බීඩි බොන කාලෙ මම කඩේ යනකොට කියනවා බීඩි රුපියල් දෙකක ගෙනෙං කියලා. ඉතිං ගේනවා. ඒ දවස්වල අරුණ බීඩි කියලත් ජාතියක් තිබුණා මට මතකයි. ඒකට දැන්. එක බීඩියකට රුපියල් දෙකක බද්දක් අය කොරනව කියන්නේ. දැන් ඔය අපේ පැත්තෙ තියෙනවා සම සෞඛ්‍ය පීඨෙ දරුවො ඉන්න නවාතැනක් ආං ඒක අහල පහළ තියෙන කඩවල්වල නම් හරි විගහට ඔය බීඩි ඉවර වෙනවලුනේ. ඒ කියන්නෙ සෞඛ්‍ය ඉගෙන ගන්න බීඩි කොච්චර වටිනවද කියල තමයි මට හිතෙන්නේ.
ඉස්සර ඔය නොදියුණුයි කියන කාලේ නොවැ අපි ඉස්කෝලෙ ගියේ. ගොඩකන්දෙ කනිශ්ඨ විද්‍යාලෙට. ඉතිං ඒ ඉස්කෝලෙ අටේ පන්තියෙන් සමුගන්න තිබුණ දුකට අපි ලොකු ඉස්කෝලෙ මහත්තය හම්බුවෙලා ඇහුවා සර් මේ ඉස්කෝලෙම අපිට දහයෙ විභාගෙ කොරන්න බැරිද කියලා. එතකොට ලොකු ඉස්කෝලෙ මහත්තය කිවුවා කලාපෙන් එහෙම අවසර දෙන්නෙ නෑ. පුළුවන්නම් ගම්වැසියන්ගෙ ඉල්ලීමක් මට ගෙනත් දෙන්න මම උත්සාහයක් ගන්නම් කියලා. අනේ ඉතිං අපි ලොකු ඉස්කෝලෙ මහත්තයටම කියල ලියුමක් හදාගෙන හෝලුවගොඩ, ගොඩකන්ද, ලබුදූව, කුරුන්ද කන්ද මේ හැම තැනම ගොහිං අස්සන් එකතු කොරගෙන ආවා. ඒත් හරි ගියේ නැහැ නොවැ. ඊට පස්සෙ කණගාටුවෙන් හරි සමුදීලා වෙන තැනකට යන්න වුණා. ඒකට බොලේ දැන්. විභාගෙ ඉවර වුන ගමන් එක එකා මරාගන්න හදනවා. ඒ මදිවට ඩෙස් පුටු අරගෙන දමල ගහනවා. එච්චර කල් ඉගෙන ගත්තු ඉස්කෝලෙ කුඩු පට්ටම් කොරනවා. ඕං ඕකට උන්ගෙ මහ එවුන් කියන්නෙ ඉස්සර වගේ ගොං නෑ දැන් ළමයි හරි දියුණුයි කියල නොවැ. ළමයි කියන්නෙ උන් හෙන රැඩිකල් කියලා. ඔය ගොඩක් එවුන්ගෙ පපුව ඇතුලෙ හදවතක් නෑ තියෙන්නෙ කොම්පියුටරෙයි ෆෝන් එකයි විතරයි. අන්න ඒකයි.
දැන් දැක්කනේ අර නූතන විහාර මහා දේවිය රට පාලනය කොරපු කාලේ තායිලන්තෙන් දීපු ඇතාට වෙච්ච වැඩේ. දිගම ඇත්දළ දෙකක් එක්ක විරාජමානව හිටපු ඒ සතාගෙන් වැඩ අරගෙන අරගෙන අන්තිමේ ඌට බෙහෙත් කොරන්න රැකවරණය දෙන්න බැරි වුණා නොවැ බලධාරීන්ට. අන්තිමට ඒ රටෙන්ම දොස්තර කෙනෙකුටයි ඇත් ගොව්වෙකුටයි එන්න වුණා එයාව බලාගන්න. දැන් ඒ රටෙන් කෝටි විසිපහක් වියදම් කොරලා අහස් යාත්‍රාවකින් අන්න ඇත් රාජයා ඒ රටටම ගෙනියන්න හදනවා. කොහොමද තියෙන සැලකිලි. ඒකට මෙහේ කෙරුවාව. ඒ සතා බලාගන්න පවරල තියෙන්නෙ අලි පටවගෙන ලොරි එලවපු ඩ්‍රයිවර් කෙනෙක්ට. ඒකට තේරෙනවද අලි බලන්න. ඌ දන්නෙ ලොරි බලන්න. ඌ බැලුව කොහොම හරි ඇතා මෙල්ල කොරගන්න ඕන කියලා. කුලු ගෙඩියක් අරගෙන ගහල නොවැ කකුල් වලට මෙල්ල කොරගන්න. උන්දැ හිතන්න ඇති ලොරියෙ රෝද හතර වගේය කියලා. කොහොම උනත් ඒ සතා පවු. රට කරවන එවුනුත් එහෙම තමා. ලොරි ලයිසන් එකෙන් අලි බලනවා. ඒ මදිවට ඉතිහාසය ගැන තමන් තමයි හොඳටම දන්නෙ කියලා ලොරි ටෝක් දෙනවා. මෙල්ල කරගන්න හිතුන ගමන් කුලු ගෙඩියෙන් ගහනවා. හිතල බලන්නකො. මෙවුන් ඔක්කොම සමානයි.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය හතලිස් හතරවන දිගහැරුම.
2023-06-15 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment