පනහ
ඉස්සර ඉස්කෝලෙ යන සන්දියෙ ඔය හෝළුවාගොඩ වෙල්යායෙ කොරටුවලට පැනල ලා පිපිඤ්ඤා ගැට කඩාගෙන කනව නෙව. පට්ට කිරි රහ යි. ලා බණ්ඩක්කත් එහෙමයි. හැබැයි එක දවසක් කොරටුව කොරන ආරච්චි මාමට අතේ මාට්ටු. ඕං ඉතිං උන්දැ කෑ ගහනකොටම අපි එක්ක හිටපු අනිත් හාදයා කිවුව නෙව අපේ කොරටු කියලා. හුටා ආරච්චි මාමා ඇහුවා දැන් තොපිලගෙ කොරටු වලට තොපේ අප්පට අඳේ බේරන්නයි තොපිට හොරෙන් කන්නයි දෙකම දෙන්න ඕනද කියලා. කටඋත්තර නෑ. කොලුකමට කොරාට ඉතිං වැඩේ වැරදියි නොවැ. ඊටපස්සෙ ඒකත් එහෙංම නැවතුනා ඕං.
හැබැයි ඒ කාලෙ පිපිඤ්ඤ ලා ගෙඩිය සුදු පාටයි. ඒක සම්බෝලෙට. ඩිංගිත්තක් මෝරන කොට කහ පාටයි ඒක වෑංජනේට. තව මෝරන කොට දුඹුරු පාටයි. ඒවා ඇට ගන්න. ඔය පිපිඤ්ඤා කැකිරි ඇට ලොදත් එක්ක අරගෙන මැටි බිත්තියෙ අලවල තියනව නොවැ. ඔය විදියට බණ්ඩක්කා, වැටකොළු, පතෝලා, මෑ කරල් හැම එකක්ම ඇට ගන්නවා බෝ කරන්න. ඊට පස්සෙ එවුව ඔක්කෝම වෙනස් වෙලා කොම්පැනි වලින් ඇට ගන්න පටන් ගත්ත නොවැ. ඕං ඉතිං පිපිඤ්ඤ ගෙඩිය හැමදාම සුදු පාටයි. පට්ට දිය රහයි. වැටකොලු පතෝල මාර දිගයි. හැබැයි දිය රහයි. හැම එකම ඔහොමයි. ඊට පස්සෙ ඔය නෝනලත් පුරුදු වුනා නොවැ මේ අතට අහුවෙන දිග එළෝළු කන්න. මෙලෝ රහකුත් නෑ. ගුණකුත් නෑ. කිවුවට වැඩකුත් නෑ. පෙනුම හොඳනම් එච්චරයි. අර සමහර උන්දැල ගෑණු තෝරන්න වගේ තමයි. විකුණන එවුනුත් එකේක දහං ගැට හොයා ගන්නව නොවැ. මැල වෙච්ච කොළ මිටිය බෙහෙත් කවලම් කොරපු වතුර එකකට බස්සනවා. බලා ඉද්දි කොළ ටික කෙලින් වෙලා එනව නොවැ. ඉතිං බර ගානක් දීලා ගෙනහුං කන්නෙ වස තමයි. කොහොම වුණත් ඕං හොඳ තීරණයක් අරගෙන තියෙනව දෙදාස් තිහ වෙද්දි උවමනා කොරන ඇට රටින් ගේන එක නවත්තලා අපේ රටේම හදන්න. ඉස්සර තිබිච්ච දේශීය ඇට බෝ කරල දුන්නොතින් නම් ලොකු දෙයක්.
ඕං ගාල්ලෙ උඩුගම ඉස්පිරිතාලෙ මොලේ මැරිච්ච එක්කෙනෙක්ගෙ කෑලි බෑලි වෙන අයට බද්ධ කොරලා. ඒවා හරි වටින වැඩ. ආං ඒ දොස්තර මහත්තුරු කියනව මොලේ මැරිච්ච අය ඉන්නවනම් ඒකට දායක වෙන්න කියලා. ආං අර දෙහිවල සත්තුවත්තට සත්තු ගෙනහැල්ල තියෙන්නෙ සියයට තුන්දාහක් වැඩියෙන් ගෙවලා. අන්න එවුන්ගෙ මොළ ෂුවර් එකටම මැරිලා ඇති. තව මත්තල එයාපෝට් එකේ ආදායම වගේ විසි හය ගුණයක් වියදම් කොරල කියන්නෙ. උන්ගෙ මොළත් මැරිලා ඇති. පොස්පේට් එකේ කෝටි ගාණක් ගසා කාල තියෙන්නෙ යකඩ ගොඩක් පෙන්නලා. එවුන්ගෙ මොළත් මැරිලා. රටට හෙණගස්සපු එවුන්ට ආයෙ ලැජ්ජ නැතුව හුරේ දාන්න යන එවුන්ගෙ මොළත් මැරිල මයි හිතේ. අනේ දොස්තර මහත්තයෝ ඕං ඕකුන්ගෙ අනිත් කෑලි ටිකවත් ගන්න බලන්න පොරෝජනයක් ගන්න.
ඉස්සර අපි කිරිකැට් තරග බලන කාලෙ වැඩියෙන් කැමති ඕවර් පනහෙ තරග බලන්න නොවැ. මොකෝ ජයසූරියල, කළුවිතාරනල හම්බානක නෙලනව නොවැ. දැන්නම් ඉතිං පනහ පැනපු කිරිකට් මංඩලේ එවුන් තමා හොඳටම සෙල්ලම් කොරන්නෙ. කොච්චර කෝටිපතියො වුණත් උන්ගෙ සල්ලි නෙවෙයි නෙව. උනුත් සංචාරවලට කට්ටිය එක්ක යන්න තෝරන්නෙ නෝනලා එළවළු තෝරනව වගේ තමයි. අතට අහුවෙන දිග වැටකොළු ලොකු පිපිඤ්ඤ ගෙඩි තෝරලා ගන්නෙ අන්න ඒ වගේ ගුණේකුත් නැති මෙලෝ වැඩකුත් නැති පෙනුම විතරක් තියෙන එවුන් තමයි සංචාර වලට එක්ක ගෙන යන්නෙ. රහක් නම් තීනවද මන්දා. අර බලන්න රිටි පැනීමේ ශූරියක් මේ ඒරොප්පෙට ඇවිල්ලා දුක් විදින කොට කොටු පැනීමේ ශූරියන්ට සුර සැප නොවැ. බලනකොට හැමතැනම මේ සන්තෑසිය නොවැ. ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න සල්ලි නැතුව හූල්ලන එවුන්ගෙ සාපෙ වදියි ඔය කට්ටියට. පරිස්සමින් හිටපල්ලා. එදාට නවලෝකෙ නෙවෙයි මොන ලෝකෙ ගියත් බඩුම තමයි.
ඕං ඉතිං මෙදා සැරේ ගමරාලගෙ අඬහැරෙත් පනස්වෙනි ඕවරේ නොවැ. මේ මොහොත වෙනකොට මේක හැම සතියෙම දෙදාහකට කිට්ටු වෙන්න කියවලා. බොහොම ස්තුතියි හැමෝටම. ඔලුවෙ පුරස්නත් එක්ක කල්පනාවක් තිබුණොත් මේ පිටුවට ඇගිල්ලක් ගහන්න. එළෝගෙනත් එන්න. තමන්ගෙ යාලු මිත්තරයන්ටත් බලන්න බෙදා හරින්න. මේක ගමරාලයගෙ අහිංසක ඉල්ලීමක් හොඳේ. ඕං පනහ සම්පූර්ණ වෙච්චි හන්දා මගේ මුහුණු පොතේ පහුගිය කාලෙ පළ කොරපු ගමරාලගෙ පද ඉස්සරහට මේ පිටුවට එකතු කොරනවා. එවුවත් බලන්නකෝ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් වන දිගහැරුම.
2023-07-27 බ්‍රහස්පතින්දා.
