Thursday, July 27, 2023

පනහ - ගමරාලගේ අඬහැරය පනස් වන දිගහැරුම.

 පනහ

ඉස්සර ඉස්කෝලෙ යන සන්දියෙ ඔය හෝළුවාගොඩ වෙල්යායෙ කොරටුවලට පැනල ලා පිපිඤ්ඤා ගැට කඩාගෙන කනව නෙව. පට්ට කිරි රහ යි. ලා බණ්ඩක්කත් එහෙමයි. හැබැයි එක දවසක් කොරටුව කොරන ආරච්චි මාමට අතේ මාට්ටු. ඕං ඉතිං උන්දැ කෑ ගහනකොටම අපි එක්ක හිටපු අනිත් හාදයා කිවුව නෙව අපේ කොරටු කියලා. හුටා ආරච්චි මාමා ඇහුවා දැන් තොපිලගෙ කොරටු වලට තොපේ අප්පට අඳේ බේරන්නයි තොපිට හොරෙන් කන්නයි දෙකම දෙන්න ඕනද කියලා. කටඋත්තර නෑ. කොලුකමට කොරාට ඉතිං වැඩේ වැරදියි නොවැ.  ඊටපස්සෙ ඒකත් එහෙංම නැවතුනා ඕං. 

හැබැයි ඒ කාලෙ පිපිඤ්ඤ ලා ගෙඩිය  සුදු පාටයි. ඒක සම්බෝලෙට. ඩිංගිත්තක් මෝරන කොට කහ පාටයි ඒක වෑංජනේට. තව මෝරන කොට දුඹුරු පාටයි. ඒවා ඇට ගන්න. ඔය පිපිඤ්ඤා කැකිරි ඇට ලොදත් එක්ක අරගෙන මැටි බිත්තියෙ අලවල තියනව නොවැ. ඔය විදියට බණ්ඩක්කා, වැටකොළු, පතෝලා, මෑ කරල් හැම එකක්ම ඇට ගන්නවා බෝ කරන්න. ඊට පස්සෙ එවුව ඔක්කෝම වෙනස් වෙලා කොම්පැනි වලින් ඇට ගන්න පටන් ගත්ත නොවැ. ඕං ඉතිං පිපිඤ්ඤ ගෙඩිය හැමදාම සුදු පාටයි. පට්ට දිය රහයි. වැටකොලු පතෝල මාර දිගයි. හැබැයි දිය රහයි. හැම එකම ඔහොමයි. ඊට පස්සෙ ඔය නෝනලත් පුරුදු වුනා නොවැ මේ අතට අහුවෙන දිග එළෝළු කන්න. මෙලෝ රහකුත් නෑ. ගුණකුත් නෑ. කිවුවට වැඩකුත් නෑ. පෙනුම හොඳනම් එච්චරයි. අර සමහර උන්දැල ගෑණු තෝරන්න වගේ තමයි. විකුණන එවුනුත් එකේක දහං ගැට හොයා ගන්නව නොවැ. මැල වෙච්ච කොළ මිටිය බෙහෙත් කවලම් කොරපු වතුර එකකට බස්සනවා. බලා ඉද්දි කොළ ටික කෙලින් වෙලා  එනව නොවැ. ඉතිං බර ගානක් දීලා ගෙනහුං කන්නෙ වස තමයි. කොහොම වුණත් ඕං හොඳ තීරණයක් අරගෙන තියෙනව දෙදාස් තිහ වෙද්දි උවමනා කොරන ඇට රටින් ගේන එක නවත්තලා අපේ රටේම හදන්න. ඉස්සර තිබිච්ච දේශීය ඇට බෝ කරල දුන්නොතින් නම්  ලොකු දෙයක්. 

ඕං ගාල්ලෙ උඩුගම ඉස්පිරිතාලෙ මොලේ මැරිච්ච එක්කෙනෙක්ගෙ කෑලි බෑලි වෙන අයට බද්ධ කොරලා. ඒවා හරි වටින වැඩ. ආං ඒ දොස්තර මහත්තුරු කියනව මොලේ මැරිච්ච අය ඉන්නවනම් ඒකට දායක වෙන්න කියලා. ආං අර දෙහිවල සත්තුවත්තට සත්තු ගෙනහැල්ල තියෙන්නෙ සියයට තුන්දාහක් වැඩියෙන් ගෙවලා. අන්න එවුන්ගෙ මොළ ෂුවර් එකටම මැරිලා ඇති. තව මත්තල එයාපෝට් එකේ ආදායම වගේ විසි හය ගුණයක් වියදම් කොරල කියන්නෙ. උන්ගෙ මොළත් මැරිලා ඇති. පොස්පේට් එකේ කෝටි ගාණක් ගසා කාල තියෙන්නෙ යකඩ ගොඩක් පෙන්නලා. එවුන්ගෙ මොළත් මැරිලා. රටට හෙණගස්සපු එවුන්ට ආයෙ ලැජ්ජ නැතුව හුරේ දාන්න යන එවුන්ගෙ මොළත් මැරිල මයි හිතේ. අනේ දොස්තර මහත්තයෝ ඕං ඕකුන්ගෙ අනිත් කෑලි ටිකවත් ගන්න බලන්න පොරෝජනයක් ගන්න. 

ඉස්සර අපි කිරිකැට් තරග බලන කාලෙ වැඩියෙන් කැමති ඕවර් පනහෙ තරග බලන්න නොවැ. මොකෝ ජයසූරියල, කළුවිතාරනල හම්බානක නෙලනව නොවැ. දැන්නම් ඉතිං පනහ පැනපු කිරිකට් මංඩලේ එවුන් තමා හොඳටම සෙල්ලම් කොරන්නෙ. කොච්චර කෝටිපතියො වුණත් උන්ගෙ සල්ලි නෙවෙයි නෙව. උනුත් සංචාරවලට කට්ටිය එක්ක යන්න තෝරන්නෙ  නෝනලා  එළවළු තෝරනව වගේ තමයි. අතට අහුවෙන දිග වැටකොළු ලොකු පිපිඤ්ඤ ගෙඩි තෝරලා ගන්නෙ අන්න ඒ වගේ ගුණේකුත් නැති මෙලෝ වැඩකුත් නැති පෙනුම විතරක් තියෙන එවුන් තමයි සංචාර වලට එක්ක ගෙන යන්නෙ. රහක් නම් තීනවද මන්දා. අර බලන්න රිටි පැනීමේ ශූරියක් මේ ඒරොප්පෙට ඇවිල්ලා දුක් විදින කොට කොටු පැනීමේ  ශූරියන්ට සුර සැප නොවැ. බලනකොට හැමතැනම මේ සන්තෑසිය නොවැ. ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න සල්ලි නැතුව හූල්ලන එවුන්ගෙ සාපෙ වදියි ඔය කට්ටියට. පරිස්සමින් හිටපල්ලා. එදාට නවලෝකෙ නෙවෙයි මොන ලෝකෙ ගියත් බඩුම තමයි. 

ඕං ඉතිං මෙදා සැරේ ගමරාලගෙ අඬහැරෙත් පනස්වෙනි ඕවරේ නොවැ. මේ මොහොත වෙනකොට මේක හැම සතියෙම දෙදාහකට කිට්ටු වෙන්න කියවලා. බොහොම ස්තුතියි හැමෝටම. ඔලුවෙ පුරස්නත් එක්ක කල්පනාවක් තිබුණොත් මේ පිටුවට ඇගිල්ලක් ගහන්න. එළෝගෙනත් එන්න. තමන්ගෙ යාලු මිත්තරයන්ටත් බලන්න බෙදා හරින්න. මේක ගමරාලයගෙ අහිංසක ඉල්ලීමක් හොඳේ. ඕං පනහ සම්පූර්ණ වෙච්චි හන්දා මගේ මුහුණු පොතේ පහුගිය කාලෙ පළ කොරපු ගමරාලගෙ පද ඉස්සරහට මේ පිටුවට එකතු කොරනවා. එවුවත් බලන්නකෝ.    

 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් වන දිගහැරුම.

2023-07-27 බ්‍රහස්පතින්දා.    


Thursday, July 20, 2023

නිල් - ගමරාලගේ අඬහැරය හතලිස් නවවන දිගහැරුම.

 නිල් 

 ඕං ඉතිං ඉස්සර හිච්චි එකා සන්දියෙ අසනීපයක් හැදුනම අපි එක්කරන් ගියේ ගමේ ඩිස්පැන්සරියට නොවැ. වැඩියෙන්ම උනන්දුවෙන් එතනට ගියේ විටමින් අඩුයි කිවුවහම මෝර ගුලියි මෝර තෙලුයි දෙන හන්දා. බෙහෙත් කවුන්ටරේ ඉන්න ලොකු මාමා අපේ මූණු දැක්ක ගමන් දන්නව අගහිඟ පාඩු හන්දා විටමින් නෑ කියලා. ඉතිං ටිකක් යහමින් දෙනවා. ටීක් බෝලෙකට වඩා ඩිංගිත්තක් පොඩි මෝර ගුලි. මොනවයි ඉතිං තියෙන පෙරේතකමට ඉක්මනට විටමින් වරෝ කියලා මෝර ගුලි අහුරු පිටින් කාලා ඉවර කොරනව නොවැ. බඩේ අමාරුවක් නම් බෝතලයක් ගෙනිච්චහම ඇන්ටිපා කියල එකක් දෙනවා. පනුවන්ට කියලා. තව ඒ ඇරෙන්න වෙද මහත්තුරු කීප දෙනෙක් හිටියා. වැඩිමල් එවුන් ගෙහුං වෙද මහත්තයගෙන් ගුලි දෙකක් ගෙනහැල්ල ගහනව බඩ සුද්ද වෙන්න කියලා. ඒ කාලෙ ඉතිං සෞඛ්‍ය මෙච්චර දියුණු නෑ. හැබැයි හැම හන්දියකම බෙහෙත් දෙන තැන් තිබුණෙත් නෑ නොවැ. ඒකට දැන් කරාපිටියෙ මහ ඉස්පිරිතාලෙ. එතන ඉදල ගාල්ලෙ ටවුමට වෙනකම් පුද්ගලික රෝහල්, හැම හන්දියකම බෙහෙත් දෙන තැන්. මේ හැම තැනකම කිටි කිටියෙ සෙනග නොවැ. ඒ කියන්නෙ සෞඛ්‍ය කොච්චර දියුණු වෙලාද? 

 ඉස්සරහට නම් ඉතිං වැඩි හරියක් ඉස්පිරිතාල වැහිල යයි. මොකෝ දොස්තර මහත්තුරු සෑහෙන්න රට අතෑරලා ගොහිං නොවැ. හැබැයි ඉතිං බාගෙ වෙලාවට දොස්තර මහත්තුරු ඕන වෙනේකනුත් නෑ මයි හිතේ. මොකෝ පහුගිය දවසක ඔය හර්නියා කියන ඔපරේෂන් එක කොරන්න අපේ මායිය නැවතුනා නොවැ කරාපිටියෙ. ඉතිං ඒක කොරලා බඩෙන් එළියට ලේ පිරෙන්න දාපු බටේට ලේ එන්නෙ නෑ කියලා පහුවදා ආයෙ ඔපරේෂන් කාමරේට අරගෙන. මෙන්න බොලේ ටිකකින් නිකම්ම ලේ පිරිලා. ඒ විදියට පැය තුනක් හිටියට පස්සෙ දොස්තර මහත්තය කියලා මෙයාව වාට්ටුවට යවන්න කියලා. ඉතිං නර්ස් නෝන ඒ බව අදාල කට්ටියට කිවුවහම එඋන් වගේ වගක් නැතුව ඉදල නොවැ තව පැය දෙකක්. ඔක්කොම පැය පහක් බඩගින්නෙ අතන. දොස්තර මහත්තය කීප සැරයක් කියල පවුලෙ උනුත් ගොහිං කතා කොරහම තමා වදෙන් පොරෙන් ගෙනිහිං තියෙන්නෙ. උන් දොස්තරටත් වඩා උසස් නොවැ. දැන් මේක ලිවුවයි කියලා අපේ ගෙදරටත් පොලෝසියෙන් එයිද දන්නෑ බලමුකෝ. 

 එක කාලයක් මං ඔය කැළණියෙ හිටිය නොවැ. ඒ කාලෙ ඔය කැළණි පාලම උඩින් කොච්චර බයිසිකලේ පැදල තියෙනවද. මං දැනගෙන හිටියෙ නැහැ නොවැ ඒකෙ ඔච්චර ඇණ තියෙනව කියලා. එක කෙළවරක කැළණිතිස්ස බලාගාරෙ. තව පැත්තක සේදවත්තෙ නවලෝක ක්‍රීඩා පිටිය. කීර කොටු, පෙට්ටි ගෙවල්, නයා මතු වෙච්චි කැළණි ගඟ, කැළණිය පැත්තට එගොඩ වෙන කොටම විසාල දැන්වීම් පුවරුව මට තාම මතකකයි ඕං ඕකේ සේනානායක වෙරලියද්ද මහත්තයගෙ පළවෙනි ප්‍රසංගෙට ගහපු වචන ටික. ,සදාහරිත වන පියසේ පිපී සැලෙන මියැසි කුසුම, මේ ඊයේ පෙරේදා උන්දැ හොඳ ආදර්ශයක් දුන්න නොවැ. තමන්ගෙ සිංදුවක් තව දෙපලක් එක්ක ගායනා කොරලා. 

 අර ආර්. ආර්. සමරකෝන් මහත්තයගෙ කැළණි පාලම නාට්ටියේ සිරිල් ධර්මවර්ධන කියනවා මේං මෙහෙම දෙබසක්. ,මොකා රජ වුණත් කෙරුවාව ඕක තමයි දේශපාලනය කියන්නෙ උසාවියකින්වත් දඩුවම් කොරන්ඩ බැරි කයිරාටික සූදුවක්. අපි හැමෝටම කොලේ කොලේ බෙදාගෙන යනවා තුරුම්පු ටික උං ඉතුරු කරගෙන, කියලා. හැබැයි ඉතිං උංට විතරක් බෝලෙ පාස් කොරලා අනිත් එවුං පාලමේ ඇණ ගලවලානම් එවුනුත් ඉතිං කාලකන්නිම තමයි. 

 දැන් ඔය කිවුවට ඔද තෙද ඇතිවෙන්න නිල් කටරොළු මලෙන් උපදින්න ඕන නැහැ නොවැ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගොහිං බෙහෙතක් විද්ද නම් නිකන්ම නිල් වෙනවා. ඊට පස්සෙ ගල් වෙනවා. ඕං ඉතිං ඒකට කමිටුවක් පත් කොරනවා. ඒකෙන් ඉන්ජෙස්සන් කට්ට වැරදි කාරයා වෙනවා. දැන් ඔය ඇමතියම උජාරුවෙන් කියන්නෙ හැම ඉස්පිරිතාලයක් ඉස්සරහම මල් ශාලාවක් තියෙනව කියලා. අපේ එවුන් ඊළඟ ඡන්දෙදිත් දැක්කත් ඇති හිත පිරෙනවා හිනාවුණත් හිත පිරෙනවා කියලා උන්දැගෙ පස්සෙන් යනවා. ඕක තමා හැටි.  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් නවවන දිගහැරුම.

2023-07-20 බ්‍රහස්පතින්දා.

Thursday, July 13, 2023

අමුඩේ - ගමරාලගේ අඬහැරය හතලිස් අටවන දිගහැරුම.

 අමුඩේ

 වැඩ බැරිවුණත් ගම ගාල්ලෙ කියල කතාවක් තියෙනව නොවැ. දැන් ඔය ගාල්ලෙ ටවුමට ඉස්සර වතුර ගෙනාවෙ හියාරෙ ජලාශෙන්. දැන් නම් ඒවා සේරෝම වැහිලා ගොහිල්ලා. කන්දක් උඩ තියෙන මේ ජලාශෙ වටේටම තියෙන්නෙ මහ කැලේ. මාත් ඔය තනි අකුර ඩිංගිත්තක් බොන්න ඕන වුනහම ඒ පැත්තට තමා යන්නෙ. ආගන්තුක සත්කාර හොඳට දන්න කට්ටිය තමයි එහේ ඉන්නෙ. අපිට හොඳට සලකල ගෙනියන්නත් මක්ක හරි දෙනවා. ඔය ඔක්කොම හන්දද කොහෙද ඕං හියාරෙ ලෝක වාර්තාවක් තිවුව නොවැ. ලෝකෙ කොහේවත් නැති කෙතල ජාතියක් හියාරෙ කැලෙන් අහු වෙලා. දැන් ඉතිං ඕක තව වවල රැක ගන්න  විදියක් නෙවෙයි අර කාලයක් තිස්සෙ කැලෑවලට පැන පැන වල්ලපට්ට කියල ජාතියක් කැපුවෙ විකුණන්න. ආං ඒ වගේ ඕකත් විකුණන්න විදියක් හොයාපල්ලා. දැන් ඊයෙ පෙරේදා අර වැද්දො ඉන්න මහියංගනේ පැත්තත් සුද්ද කොරලා නොවැ. අවුරුදු සීයකට වඩා පරණ මහ කුඹුක් ගස් කපලා. ඕවා ඉතිං කාලයක් තිස්සේ කෙරෙන වැඩ තමයි. ඒ මදිවට ලෝකෙ හරි වේගෙන් රත් වෙනවලුනේ. ලෝකෙ රත් වුණාට කමක් නෑ පුුළුවන් තරම් කුඹුක් ගස් කපං ඇවිල්ලා ඔය ලොකු ලොක්කන්ගෙ මන්දිරවලට අල්ල ගනිල්ලා. ලෝකෙම රත් වුණත් මන්දිරේ ඇතුලෙ කූල් එකේ ඉන්න පුළුවන් නොවැ. අනික ඉස්සර  හිටිය මිනිස්සු ගහක් කොළක් හිටෙව්වට දැන් ඉන්න එවුන්ට හිටවපල්ල කිවුවට තේරෙන්නෙ නෑ. විකුණපල්ල කිවුවනම් මහ එකාගෙ ඉදල පොඩි එකා දක්වා හොඳට තේරෙනවා. 

ඉස්සර අපේ අප්පුච්චා පදමට වැදුනහම සරම එක අතකින් උස්සගෙන සිරියමෙ සාරා කියාගෙන තමා එන්නෙ. ආං ඒ කාලෙ ඉදල අපිට ඔය ජෝතිපාල පිස්සුව හොඳටම තිබුණා. එකදාස් නමසිය අසූ හතේ හත්වෙනි මාසෙ හත රත්තරන් හදවතක් නිසා හැමෝගෙම හදවත් නැවතිච්ච දවසක් නොවැ. ඒක හන්දා ඉතිං  ජූලි හත හොඳට මතකයි. ඒකට දැන්. දැන් නම් සිරියමෙ සාරා නෙවෙයි අම්මට සිරි වෙන ඒවනේ වෙන්නේ. ඕං ඔය මගේ මූණු පොතේ ගමරාලගෙ පදවලින් දාපු ජූලි හත කියල ලියාපු පද පේළිය එක පෙළට දාන්නම් බලන්නකො. ,කරවල කෑ  හැටි හොයන්න බළල්ලූ / පන්සල ඇතුළට පැනලා හිවල්ලූ / උන්දල ළඟ දණ ගහගෙන වහල්ලූ / අමතල ජාතිය මොරදෙයි මහල්ලූ, ඕක තමයි තත්වේ. මේ ඔක්කොම බලා ඉන්න උනා නොවැ අපිට. මොකෝ මේ නූගත් අපි හරි වැරැද්දක් කිවුවයි කියලා මොකාද පිළිගන්නෙ. 

දැන් බලපල්ලකො ඉස්සර බස්වල ගැහැවුවේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා. ඕං ඊට පස්සෙ බස් එක තොරණක් වගේ කොරානේ.  බස් එක තොරණක් වගේ කොරලා ගැහුවා නොවැ බඹර පැටික්කී, විසේ කුරුට්ටා කියලා.  අන්තිමේ දැක්කනේ වෙච්ච දේවල්. කොච්චර ජීවිත නැතිවුණාද? එක පාරක් මට මතකයි හිටපු ප්‍රවාහන ඇමතිතුමාට කට්ටිය කිවුවා නයනා කුමාරි කියලා කොච්චියක් දාන්න කියලා. කොහොම හරි කමක් නෑ ඉස්සරහට ඕං ඕකටත් රේල් කුරුට්ටා කියල නමක් දැම්මොතින් ඉතිං සෙත්තපෝච්චිම තමයි. 

වෙනදනම් පන්සලකට යන්නෙ නායක හාමුදුරුවො හම්බවෙලා දහම් ගැට ලිහාගන්න නොවැ. ඒකට දැං වැඩිහරියක් යන්නෙ ගවුම් ගැට ලිහාගන්න. ඕකට මුකුත් කියන්න ගියොත් පවු පිරෙනව කියල කියනවනේ. ඒක  හන්දා මුකුත් කියන්නෙ නෑ. අතුරුපසට කෝලිකුට්ටු දෙන එක නවත්තලා අලුකෙහෙල් වෑංජනේ හැමදාම දුන්නනම් හොඳයි කියල තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉස්සර අපේ පැතිවල මිනිස්සු අමුඩෙ ගහගෙන කොච්චර වෙලේ වැඩ කොරත් ඔය අමුඩෙ ගැන මහ ලොකුවට කතා කොරන්න ගත්තෙ ගාල්ලෙ දහනායක මහත්තයා අමුඩෙ ගහගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ නොවැ. දැන්නම් ඉතිං ගෑනුන්ගෙ රෙදි ගලවල ලෝකෙට පෙන්නන්න ගිහිල්ලා මං හිතන්නෙ හැම එකාගෙම අමුඩෙ ගලෝ ගත්තද කොහෙද? ඕක ගැන කියනකොට ඉතිං දැන් මතක් වුනේ මට මෙන්න මේක. හෙළයේ  මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන තියෙන ජීවමාන සාක්‍ෂිය තමා ගාල්ලෙ කොට්ටව සිරිසේන මහත්තයා. මොකද කොට්ටව සිරිසේන රාළහාමි කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ළඟින් ආශ්‍රය කොරපු කෙනෙක්. හොඳ රස කතා තියෙනව එතුම ගාව. ඔය මගේ යූ ටියුබරේ එතුමා එක්ක සාකච්ඡාවල් කීපයක් දැම්ම නොවැ. මේ කියන්නෙ එතුම ගැන නෙවේ. ආං එතුමගෙ ආදරණීය පුත්‍රය තමයි සමන් ලෙනින් මහත්තයා. ආං එතුමා හරි අපූරුවට කිවුව නොවැ අමුඩෙ ගැන. ඒක වස් ගීයක් හන්දා ලෝකෙටම පේන්න ගෑනුන්ගෙ රෙදි ගලවපු එවුන්ට කියන්න තියෙන්නෙ ,කාගෙ හරි හිත තදට රිදියන් අනේ ඕකගෙ සරම කැඩියන් මොකක් හරි හේතුවක් හන්දා අමුඩෙ අමතක වෙලා තිවියන් , කියලා තමා.  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් අටවන දිගහැරුම.

2023-07-13 බ්‍රහස්පතින්දා.

Thursday, July 6, 2023

මාගල් - ගමරාලගේ අඬහැරය හතලිස් හත්වන දිගහැරුම.

මාගල්

අස්වැසුමක් ඉල්ලල හැමෝම මොර දෙන කාලේ මට මේක අකුරු කොර ගන්නවත් අස්වැසුමක් නෑ.  යන්තං මේ ටික ගැට ගහගන්නෙත් මලයාලම් සගය එක්ක වාහනේ යන ගමන්. ඔය අපේ අම්මගෙ නමටත් ඉස්සර තිබුණ සමෘද්ධි කාඩ් එකක්. දවසක් මම ගියා මගේ උවමනාවකට ආදායම් සහතිකයක් ගන්න. ඕං කියාපි අර කාඩ් එක තීන හන්දා දෙන්න බෑ කියලා. මං අපේ අම්මට කිවුවා ඕක භාර දෙමු කියලා. උන්දැත් ඉතිං ලේසියකට කැමති වුණේ නෑ. ඇයි සමෘද්ධිය උදා වෙනකම් බලා ඉන්නවනේ. අන්තිමට ශ්‍රමදාන වලට යන්න අමාරුයි කියලා භාර දෙන්න කැමති වුණා. ආං ඒක භාර දුන්නට පස්සෙ අපේ මලයත් ඒරොප්පෙට ගොහින් පනං හතරක් හම්බ කොරලා අපේ ගේ දොර හදා ගත්තා. මාත් සිරි ලංකාවෙ ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඒරොප්පෙට ආවා. අපේ අම්මත් නිවාඩුවකට මෙහේ ආවා. දැං අපේ පවුලට සමෘද්ධිය උදා වෙලා මයි හිතේ. 

ඇත්තම කතාව දැං ඔය සමහර සමෘද්ධිය තියෙන එවුං වැඩකට පලකට යන්නෙ නෑ. ගෙදර මායිය කොහේ හරි වලං හෝදන්න හරි යවල හයිය හත්තිය තියෙන එවුන් බෝක්කුවක් ඇළක් ගාව මාලු ටිකක් බාලා ඒක කීයකට හරි විකුණලා කරටි කැඩෙන්න ගහල ගෙදර යනවා. එහෙම එවුන් හැමදාම සමෘද්ධිය දීපියව් කියල හර්තාල් කොරනවා. මැරෙනකං දුන්නත් එහෙම තමයි. ඔවුවා මහ එවුන්ම කොරගත්ත දේවල් තමා. ඇත්තටම දෙන්න ඕන පිරිසකුත් ඉන්නවා. මේ වෙලාවට මතක් වෙන්නෙ අර සනත් නන්දසිරි මහත්තය කියපු පද පේළි ටික. ,වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගෙයි - මගෙ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලං,

පහුගිය සතියෙ පේරාදෙණිය සරසවිය ගැන කියාපු හන්දා මේ ටිකත් කියන්නම වෙනවා. බලන්න දුන්නා විතරයි මෙවුං ගොහිං ඒකත් විනාස කොරලනේ. තා ඩිංගිත්තෙන් අක්බාර් පාලමත් සමතලා කොරනවලු. අම්මප පුදුම එවුං. මං මේ ඇසළ පෝයට භූත මන්දිර පෙන්නන එවුන්ට දෙකක් කියන්න  හිටියේ. බැලින්නං උන් කොරන වැඩේ  හරි. ඇයි මේ වගේ එවුන්ට හරියන්නේ ඒ වගේ තැන් තමා. 

පෙර කොරපු පිනක් තිබිලද කොහෙද යාන්තං අර ඇතා පණ බේරගෙන ආපු රටටම ගියා. බලන්න එපායැ හැම වින්නැහියක්ම උනාට පස්සේ ඒ රටේ මිනිස්සුම ඇවිත් වෙදකම් කොරලා අරන් යනකොට අපේ කට්ටිය පිරිත් කියනවා. අම්මප බුදු හාමුදුරුවො වැඩ හිටියනම් ඉස්සරහින් හිටගෙන එවුං දිහා බලාගෙන ආටානාටිය සූත්තරේ දේශනා කොරාවි කියලා මට නං ටක්කෙටම හිතෙනවා. 

ඔය ඕන එකෙක් එක එකා දපනෙ දාගන්න පණ වුණත් දෙනව කිවුවට ලංකාවෙ දැනට වැඩියෙන්ම ලේ දන්දීලා තියෙන්නෙ ඇඹිලිපිටියෙ චන්ද්‍රිකා වැවේ මාලු අල්ලල ජීවිතේ ගැට ගහගන්න කෙනෙක්. හැබැයි ඉතිං ඒකට  වටිනකමක් නෑ. මොකෝ උන්දැ දුප්පත් මනුස්සකමින් පොහොසත් මනුස්සයෙක්නේ. ආං ඒකයි. 

සමහර එවුං ගොඩක් සැප පහසුකම් හොයද්දි අර කවුද කිවුව වගේ මැදවච්චිය නෙවේ කිලිනොච්චිය ගමේ ඉස්කෝලෙන් ආං දොස්තර නෝන කෙනෙක් බිහි වුණා. ඉස්කෝලෙ ඩෙස්  බංකු කුඩු කොරන කොට තමන්ගෙ අම්මගෙ මරණෙ මල් ශාලාවෙ තියෙද්දි තරගෙකට ගොහිං ඉස්කෝලෙ ගෞරවේ බේරපු දරුවෙක් දැක්කා. හැබැයි එවුවට ලොකු ප්‍රචාරයක් නෑ. හැබැයි මෙහෙම දැම්මනං මරා දැමූ සිසුවියගේ නිරුවත් සිරුර හමුවේ ආං හොඳ ප්‍රචාරේ ඒක විකුණගෙන කන්න පුළුවන්. මේං අලුතෙන්ම එකක් දාලා තියෙනවා සුරූපී තරුණිය රහස් පෙදෙසේ සඟවාගෙන ආ රත්තරං ගුවන් තොටේදී අහුවේ කියලා. ඔන්න ඉතිං අරක පීරනවා. මොකෝ රත්තරං බලන්නෙයි නෑ රහස් පෙදෙස තීද කියල බලන්න. ඉතිං අරුං හම්බ කොරනවා කියල වැඩක් නෑ. 

මෙච්චර දිගට ලියන කොට කියයිද දන්නෑ මාගලක් වගේ කියලා. ඉස්සර අපේ පැත්තෙ මාගල් වියන්නෙ පොල් කොල තම්බල වේලලා. ඒ මාගල් සෑහෙන්න දිගයි. ඒවා බිම දාලා තමා වී වේලන්නෙ. දැන් නම් ඔය බිම දිගාරිනවා කියන්නෙ වෙන මාගල් ජාතියක් නොවැ. අනේ කාලේ වනේ වාසේ.


එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් හත්වන දිගහැරුම.

2023-07-06 බ්‍රහස්පතින්දා.    


යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...