අමුඩේ
වැඩ බැරිවුණත් ගම ගාල්ලෙ කියල කතාවක් තියෙනව නොවැ. දැන් ඔය ගාල්ලෙ ටවුමට ඉස්සර වතුර ගෙනාවෙ හියාරෙ ජලාශෙන්. දැන් නම් ඒවා සේරෝම වැහිලා ගොහිල්ලා. කන්දක් උඩ තියෙන මේ ජලාශෙ වටේටම තියෙන්නෙ මහ කැලේ. මාත් ඔය තනි අකුර ඩිංගිත්තක් බොන්න ඕන වුනහම ඒ පැත්තට තමා යන්නෙ. ආගන්තුක සත්කාර හොඳට දන්න කට්ටිය තමයි එහේ ඉන්නෙ. අපිට හොඳට සලකල ගෙනියන්නත් මක්ක හරි දෙනවා. ඔය ඔක්කොම හන්දද කොහෙද ඕං හියාරෙ ලෝක වාර්තාවක් තිවුව නොවැ. ලෝකෙ කොහේවත් නැති කෙතල ජාතියක් හියාරෙ කැලෙන් අහු වෙලා. දැන් ඉතිං ඕක තව වවල රැක ගන්න විදියක් නෙවෙයි අර කාලයක් තිස්සෙ කැලෑවලට පැන පැන වල්ලපට්ට කියල ජාතියක් කැපුවෙ විකුණන්න. ආං ඒ වගේ ඕකත් විකුණන්න විදියක් හොයාපල්ලා. දැන් ඊයෙ පෙරේදා අර වැද්දො ඉන්න මහියංගනේ පැත්තත් සුද්ද කොරලා නොවැ. අවුරුදු සීයකට වඩා පරණ මහ කුඹුක් ගස් කපලා. ඕවා ඉතිං කාලයක් තිස්සේ කෙරෙන වැඩ තමයි. ඒ මදිවට ලෝකෙ හරි වේගෙන් රත් වෙනවලුනේ. ලෝකෙ රත් වුණාට කමක් නෑ පුුළුවන් තරම් කුඹුක් ගස් කපං ඇවිල්ලා ඔය ලොකු ලොක්කන්ගෙ මන්දිරවලට අල්ල ගනිල්ලා. ලෝකෙම රත් වුණත් මන්දිරේ ඇතුලෙ කූල් එකේ ඉන්න පුළුවන් නොවැ. අනික ඉස්සර හිටිය මිනිස්සු ගහක් කොළක් හිටෙව්වට දැන් ඉන්න එවුන්ට හිටවපල්ල කිවුවට තේරෙන්නෙ නෑ. විකුණපල්ල කිවුවනම් මහ එකාගෙ ඉදල පොඩි එකා දක්වා හොඳට තේරෙනවා.
ඉස්සර අපේ අප්පුච්චා පදමට වැදුනහම සරම එක අතකින් උස්සගෙන සිරියමෙ සාරා කියාගෙන තමා එන්නෙ. ආං ඒ කාලෙ ඉදල අපිට ඔය ජෝතිපාල පිස්සුව හොඳටම තිබුණා. එකදාස් නමසිය අසූ හතේ හත්වෙනි මාසෙ හත රත්තරන් හදවතක් නිසා හැමෝගෙම හදවත් නැවතිච්ච දවසක් නොවැ. ඒක හන්දා ඉතිං ජූලි හත හොඳට මතකයි. ඒකට දැන්. දැන් නම් සිරියමෙ සාරා නෙවෙයි අම්මට සිරි වෙන ඒවනේ වෙන්නේ. ඕං ඔය මගේ මූණු පොතේ ගමරාලගෙ පදවලින් දාපු ජූලි හත කියල ලියාපු පද පේළිය එක පෙළට දාන්නම් බලන්නකො. ,කරවල කෑ හැටි හොයන්න බළල්ලූ / පන්සල ඇතුළට පැනලා හිවල්ලූ / උන්දල ළඟ දණ ගහගෙන වහල්ලූ / අමතල ජාතිය මොරදෙයි මහල්ලූ, ඕක තමයි තත්වේ. මේ ඔක්කොම බලා ඉන්න උනා නොවැ අපිට. මොකෝ මේ නූගත් අපි හරි වැරැද්දක් කිවුවයි කියලා මොකාද පිළිගන්නෙ.
දැන් බලපල්ලකො ඉස්සර බස්වල ගැහැවුවේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා. ඕං ඊට පස්සෙ බස් එක තොරණක් වගේ කොරානේ. බස් එක තොරණක් වගේ කොරලා ගැහුවා නොවැ බඹර පැටික්කී, විසේ කුරුට්ටා කියලා. අන්තිමේ දැක්කනේ වෙච්ච දේවල්. කොච්චර ජීවිත නැතිවුණාද? එක පාරක් මට මතකයි හිටපු ප්‍රවාහන ඇමතිතුමාට කට්ටිය කිවුවා නයනා කුමාරි කියලා කොච්චියක් දාන්න කියලා. කොහොම හරි කමක් නෑ ඉස්සරහට ඕං ඕකටත් රේල් කුරුට්ටා කියල නමක් දැම්මොතින් ඉතිං සෙත්තපෝච්චිම තමයි.
වෙනදනම් පන්සලකට යන්නෙ නායක හාමුදුරුවො හම්බවෙලා දහම් ගැට ලිහාගන්න නොවැ. ඒකට දැං වැඩිහරියක් යන්නෙ ගවුම් ගැට ලිහාගන්න. ඕකට මුකුත් කියන්න ගියොත් පවු පිරෙනව කියල කියනවනේ. ඒක හන්දා මුකුත් කියන්නෙ නෑ. අතුරුපසට කෝලිකුට්ටු දෙන එක නවත්තලා අලුකෙහෙල් වෑංජනේ හැමදාම දුන්නනම් හොඳයි කියල තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉස්සර අපේ පැතිවල මිනිස්සු අමුඩෙ ගහගෙන කොච්චර වෙලේ වැඩ කොරත් ඔය අමුඩෙ ගැන මහ ලොකුවට කතා කොරන්න ගත්තෙ ගාල්ලෙ දහනායක මහත්තයා අමුඩෙ ගහගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ නොවැ. දැන්නම් ඉතිං ගෑනුන්ගෙ රෙදි ගලවල ලෝකෙට පෙන්නන්න ගිහිල්ලා මං හිතන්නෙ හැම එකාගෙම අමුඩෙ ගලෝ ගත්තද කොහෙද? ඕක ගැන කියනකොට ඉතිං දැන් මතක් වුනේ මට මෙන්න මේක. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන තියෙන ජීවමාන සාක්‍ෂිය තමා ගාල්ලෙ කොට්ටව සිරිසේන මහත්තයා. මොකද කොට්ටව සිරිසේන රාළහාමි කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ළඟින් ආශ්‍රය කොරපු කෙනෙක්. හොඳ රස කතා තියෙනව එතුම ගාව. ඔය මගේ යූ ටියුබරේ එතුමා එක්ක සාකච්ඡාවල් කීපයක් දැම්ම නොවැ. මේ කියන්නෙ එතුම ගැන නෙවේ. ආං එතුමගෙ ආදරණීය පුත්‍රය තමයි සමන් ලෙනින් මහත්තයා. ආං එතුමා හරි අපූරුවට කිවුව නොවැ අමුඩෙ ගැන. ඒක වස් ගීයක් හන්දා ලෝකෙටම පේන්න ගෑනුන්ගෙ රෙදි ගලවපු එවුන්ට කියන්න තියෙන්නෙ ,කාගෙ හරි හිත තදට රිදියන් අනේ ඕකගෙ සරම කැඩියන් මොකක් හරි හේතුවක් හන්දා අමුඩෙ අමතක වෙලා තිවියන් , කියලා තමා.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය හතලිස් අටවන දිගහැරුම.
2023-07-13 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment