පූසා
ඕං ඉස්සර එක දවසක මට ඇමතුමක් ආවා පුතේ මං සමිත හාමුදුරුවො කතා කොරන්නෙ. මට පුතාව හම්බවෙන්න ඕන. දැං කොහෙද ඉන්නෙ කියල ඇහැව්වා. ඉතිං මං කිවුවා මේ අහල පහල පහුවදාට කොටහළුවක් තියෙන තැනක ඉන්නෙ කියලා. මෙන්න ටිකකින් උන්වහන්සෙ එතනට වැඩිය නොවැ. එතන කට්ටිය විගහට ඇතිරිල්ලක් දාලා ආසනයක් පැනෙව්වා. ගිලන්පස එකක් පිළිගන්වන්නද කියල ඇහුවම එපා කියලා උණු වතුර එකක් ඉල්ල ගත්තා. ඕං ඒකත් පානය කොරන ගමන් කිවුවා පුතේ මේ පාර මහ ඡන්දෙට මට නාමයෝජනා හම්බ වෙනවා. පුළුවන් සහයෝගයක් දෙන්න කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි බද්දේගම සමිත හාමුදුරුවෝ. ඉතිං හාමුදුරු කෙනෙක් විදියට මුලින්ම ඔය පාර්ලිමේන්තුවට ගියෙත් උන්වහන්සේ නොවැ. ඒක හරිද වැරදිද කියන එක කොහොම උනත් දරුවන් හරි මගට ගන්න ඕන කියන තැන උන්වහන්සේ හිටියා. මොකෝ ඒ වෙනුවෙන් වැඩ ගොඩක් කොරා. මට මතක් උනේ ඔය අනික් එඋං සාහිත්‍ය උත්සව සංවිධානය කොරන කොට උන්වහන්සේ කොරේ නැති බැරි ඉස්කෝලවල ළමයි බස්වල නග්ගගෙන කොළඹ තියෙන පොත් ප්‍රදර්ශනේ බලන්න එක්කං ගිය එක නොවැ. ඒක හරි වටින වැඩක් නොවැ. පහුගිය කොරෝනා කාලෙ උන්වහන්සේත් අපවත් උනා. ඉතිං සාහිත්‍ය මාසෙ මං උන්වහන්සේට නිවන් සැප ලැබේවා කියලා තමා ප්‍රාර්ථනා කොරන්නේ.
ඒ අස්සෙ මේ ඊයෙ පෙරේදා මං දැක්කා මළගමක පාංසකුලෙට හාමුදුරුවො වඩින්න බෑයි කියපු හන්දා පෙට්ටිය තියාගෙන ගිහියෙක් ආගමික වතාවත් කොරනවා. මට හිතෙන්නෙ නං ඒ කොරපු වැඩේ හරි. මොකෝ උන්වහන්සේල වඩින්නෑ කියල මරණෙ ගෙයි තියාගෙන ඉන්නයැ. මටත් ඔයවගේ වැඩ සිද්ද වෙලා තියෙනවා. ඔය සිංහල අවුරුද්දට ගොඩකඳු අසිරිය කියලා මායි අපේ කට්ටියයි එක්කහු වෙලා කොරා නොවැ ලොකු අවුරුදු උත්සවයක්. එක ගමනක් ඒක පටන් ගන්න වෙලාවට පන්සිල් දෙන්න ගමේ පන්සල් දෙකේම හාමුදුරුවරු බැහැයි කිවුවා. මං ඉතිං හා කමක් නෑ කියලා අපේ ගිහි පිරිත් කණ්ඩායමට නායකත්වය දෙන මාම්පිටිය උපාසක මහත්තයට එන්න කියලා පන්සිල් දීලා උත්සවේ පටන් ගත්තා. කොහොම හරි වැඩේ කොරා නොවැ. තව දවසක් ඔය ගොඩකන්දෙ ප්‍රේමරත්න උන්නැහේ මුල් වෙලා බෝගහවේල්ලෙ බෝධිය ගාව පිරිත් පිංකමයි දානෙයි ලැහැස්ති කොරා. ගමේ හැමෝම පුළුවන් විදියට දායක උනා. අන්තිමේ පිරිතට වැඩපු හාමුදුරුවො කියපි මහ පිරිත විතරයි කියන්නෙ කියලා. දැන් මක් කොරන්නද. මං කිවුවා හරි එහෙනම් ඒක කියන්න කියලා. දැන් උභතෝකෝටික පුරස්නයක්. මොකෝ එළිවෙනකල් පිරිත් නැතිවුණොත් ගමේ මිනිස්සුන්ගෙන් බැනුම් වරුසාවක් අහන්න වෙනෝ නොවැ. හැබැයි ඉතිං මහ පිරිතෙන් පස්සෙ කට්ටියම ගෙවල්වල යනවා. ආයෙ ආටානාටියත් හමාර වුනාට පස්සෙ තමා එන්නෙ. පැන් ගන්නයි නූල් බදින්නයි බලාගෙන. ඉතිං මහ පිරිත යන අතර මං ඔය අමරසේන මාමගෙන් ඇහැවුවා කියමුද පිරිත් කියලා. උංදැ එක පයින් කැමති උනා. නන්දනපාල මාමාත් කැමති උනා. දැං දෙකයි. මායි තුනයි. ප්‍රසන්න මල්ලිට ඇමතුමක් දුන්නා හරි බයිසිකලයක් ආවොත් මාත් එන්නං අයියෙ කිවුවා. ගොහිං එයත් එක්කං ආවා. හතර දෙනා එළිවෙනකං පිරිත් කිවුවා. ආය උදේ දානෙත් දුන්න. අඩුවක් නැතුව වැඩේ හමාර කොරා. ආං ඒ අමරසේන මාමත් කොරෝන හන්දා අපි දාලා ගියා. උංදැටත් නිවන් සැප ප්‍රාර්ථනා කොරනවා. නන්දනපාල මාමා දැං රෝගාතුර වෙලා ඉන්නව නිරෝගිසුව ප්‍රාර්ථනා කොරනවා. එදා බයිසිකලෙන් ඇවිත් අපිත් එක්ක පිරිත් කියපු ප්‍රසන්න දැං අක්මීමන ආනන්ද නමින් මහණවෙලා කිරින්ද පැත්තෙ පන්සලක් පාලනය කොරගෙන ආගමික සේවාවක් කොරගෙන ඉන්නවා. මං ඩුබයි රටට වෙලා මෙවුව ඔක්කොම ලියනවා. ඕං ඔහොමයි ජීවිතේ.
ඉස්සර ඔය ඉස්කෝලෙ යන කාලෙ කට්ටිය ගාවට ගොහිං කියනවා යාතර මන දීර පගේ පයි කෝරද පට්ටු කීර කියලා. ඒක ඇහුවම සමහරු එඋං හොල්මන් වෙලා ඉන්නවා මුං දෙමළ දොඩවනව කියල. කොහොමහරි ආං එහේ නම ගහල නොවැ ලංකාවෙ වැඩිම බත් කඩ තියෙන්නෙ. ඒ පැත්තෙම තමා අකුරැස්ස තියෙන්නෙ. එහේ සමෘද්ධි බැංකුවෙ නං බත් කන එඋං නැද්ද කොහෙද. ඒකනෙ තමන්ගෙ සල්ලි දාලා ආපහු ගන්න එන එඋංට අම්මගෙ මොකක්ද කාපං කියලා කඩං පනින්නෙ. යකෝ මේක පුදුම වැඩක්නේ. සමෘද්ධි බැංකුවල කෝටි ගාණක් සල්ලි අතුරුදහන් වෙලා තියෙන්නෙ. ඒක ගැන කතාවක් නෑ. අහිංසක මිනිස්සුන්ට නං සද්දෙ දානවා. හනේ මංදා තොපිලනං මොක්කුද කියලා. ඒ අස්සෙ සුපිරි සාප්පුවල ගෑණුම එකතු වෙලා ගෑනුන්ගෙ රෙදි ගලවනවා. තව මිනිස්සුන්ට අල්ලගෙන තඩි බානවා. ඔය හැම එකාම ඒ දේ තමන්ට උනානං කොහොමද කියලා හිතුවනං හොඳා. එවුංගෙ මනුස්ස ධර්මෙ නෑ. ඒ වුනාට බලපල්ලකෝ අර නුවර ඉස්පිරිතාලෙ ෆාහිමා දොස්තර නෝනා තමන්ගෙ ජීවිත අවධානම පැත්තකින් තියල ගිහිල්ලා පුංචි දරුවෙක් බේරුවා. අන්තිමට ඒ නෝනට මේ ලෝකෙන් සමුගන්න වුනා. අර බදුල්ල පැත්තෙ හද්ද පිටිසර ගම්මානෙක ගොයි මහත්තයෙක් ඇවිල්ලා බදුල්ල ඉස්පිරිතාලෙට යන්තරයක් ගන්න උංදැට පුළුවන් විදියට මුදල් පරිත්‍යාග කොරා. බලන්න අද ගොඩක් සමාජෙ මෙන්න මේ මනුස්ස ධර්මෙ නැතිවෙච්ච එක තමයි කාරනේ. කොච්චර වටිනවද මේ වැඩ.
කොහොම හරි රටේ නායකතුමාගෙ පෞද්ගලික ලේකම්තුමත් අකුරැස්සෙ හන්දා උන්දැටවත් මෙවුව පෙනුනොත් හොඳා. හැබැයි ඔය පහුගිය කාලෙ පත්තරේක තිබුනා කතාවක්. ඒකත් ඒ පැත්තෙම තමා. මගෙත් එක්ක එහේ එඋං අමනාප වෙන්න කාරි නෑ. තිබුන හන්දා තමා කියන්නෙ. ඒ පැත්තෙම තමා ගෙදරක ළිදකට මීයෙක් වැටිලා. පස්සෙ මීයා අල්ලන්න කියලා ගෙදර මිනිහා පූසා ළිඳට දාලා නොවැ. හිතාගන්න පුළුවන්නෙ අන්තිමට වෙච්චි දේ. ළිඳම ඉහල සුද්ද කොරලා තමා වැඩේ හමාර කොරේ. බලාගෙන යනකොට රටටත් වෙලා තියෙන්නෙ ඒකමද කොහෙද. හැමදාම කොරේ මීයො අල්ලන්න කියලා පූසෙක් දාපු එකයි බළල්ලු ලවා කොස් ඇට බාවපු එකයි තමා.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය පනස් නවවන දිගහැරුම.
2023-09-28 බ්‍රහස්පතින්දා.
