Thursday, September 28, 2023

පූසා - ගමරාලගේ අඬහැරය පනස් නවවන දිගහැරුම.

පූසා

 ඕං ඉස්සර එක දවසක මට ඇමතුමක් ආවා පුතේ මං සමිත හාමුදුරුවො කතා කොරන්නෙ. මට පුතාව හම්බවෙන්න ඕන. දැං කොහෙද ඉන්නෙ කියල ඇහැව්වා. ඉතිං මං කිවුවා මේ අහල පහල පහුවදාට කොටහළුවක් තියෙන තැනක ඉන්නෙ කියලා. මෙන්න ටිකකින් උන්වහන්සෙ එතනට වැඩිය නොවැ. එතන කට්ටිය විගහට ඇතිරිල්ලක් දාලා ආසනයක් පැනෙව්වා. ගිලන්පස එකක් පිළිගන්වන්නද කියල ඇහුවම එපා කියලා උණු වතුර එකක් ඉල්ල ගත්තා. ඕං ඒකත් පානය කොරන ගමන් කිවුවා පුතේ මේ පාර මහ ඡන්දෙට මට නාමයෝජනා හම්බ වෙනවා. පුළුවන් සහයෝගයක් දෙන්න කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි බද්දේගම සමිත හාමුදුරුවෝ. ඉතිං හාමුදුරු කෙනෙක් විදියට  මුලින්ම ඔය පාර්ලිමේන්තුවට ගියෙත් උන්වහන්සේ නොවැ. ඒක හරිද වැරදිද කියන එක කොහොම උනත් දරුවන් හරි මගට ගන්න ඕන කියන තැන උන්වහන්සේ හිටියා. මොකෝ ඒ වෙනුවෙන් වැඩ ගොඩක් කොරා. මට මතක් උනේ ඔය අනික් එඋං සාහිත්‍ය උත්සව සංවිධානය කොරන කොට උන්වහන්සේ කොරේ නැති බැරි ඉස්කෝලවල ළමයි බස්වල නග්ගගෙන කොළඹ තියෙන පොත් ප්‍රදර්ශනේ බලන්න එක්කං ගිය එක නොවැ. ඒක හරි වටින වැඩක් නොවැ. පහුගිය කොරෝනා කාලෙ උන්වහන්සේත් අපවත් උනා. ඉතිං සාහිත්‍ය මාසෙ මං උන්වහන්සේට නිවන් සැප ලැබේවා කියලා තමා ප්‍රාර්ථනා කොරන්නේ. 

 ඒ අස්සෙ මේ ඊයෙ පෙරේදා මං දැක්කා මළගමක පාංසකුලෙට හාමුදුරුවො වඩින්න බෑයි කියපු හන්දා පෙට්ටිය තියාගෙන ගිහියෙක් ආගමික වතාවත් කොරනවා. මට හිතෙන්නෙ නං ඒ කොරපු වැඩේ හරි. මොකෝ උන්වහන්සේල වඩින්නෑ කියල මරණෙ ගෙයි තියාගෙන  ඉන්නයැ. මටත් ඔයවගේ වැඩ සිද්ද වෙලා තියෙනවා. ඔය සිංහල අවුරුද්දට ගොඩකඳු අසිරිය කියලා මායි අපේ කට්ටියයි එක්කහු වෙලා කොරා නොවැ ලොකු අවුරුදු උත්සවයක්. එක ගමනක් ඒක පටන් ගන්න වෙලාවට පන්සිල් දෙන්න ගමේ පන්සල් දෙකේම හාමුදුරුවරු බැහැයි කිවුවා. මං ඉතිං හා කමක් නෑ කියලා අපේ ගිහි පිරිත් කණ්ඩායමට නායකත්වය දෙන මාම්පිටිය උපාසක මහත්තයට එන්න කියලා පන්සිල් දීලා උත්සවේ පටන් ගත්තා. කොහොම හරි වැඩේ කොරා නොවැ. තව දවසක් ඔය ගොඩකන්දෙ ප්‍රේමරත්න උන්නැහේ මුල් වෙලා බෝගහවේල්ලෙ බෝධිය ගාව පිරිත් පිංකමයි දානෙයි ලැහැස්ති කොරා. ගමේ හැමෝම පුළුවන් විදියට දායක උනා. අන්තිමේ පිරිතට වැඩපු හාමුදුරුවො කියපි මහ පිරිත විතරයි කියන්නෙ කියලා. දැන් මක් කොරන්නද. මං කිවුවා හරි එහෙනම් ඒක කියන්න කියලා. දැන් උභතෝකෝටික පුරස්නයක්. මොකෝ එළිවෙනකල් පිරිත් නැතිවුණොත් ගමේ මිනිස්සුන්ගෙන් බැනුම් වරුසාවක් අහන්න වෙනෝ නොවැ.  හැබැයි ඉතිං මහ පිරිතෙන් පස්සෙ කට්ටියම ගෙවල්වල යනවා. ආයෙ ආටානාටියත් හමාර වුනාට පස්සෙ තමා එන්නෙ. පැන් ගන්නයි නූල් බදින්නයි බලාගෙන. ඉතිං මහ පිරිත යන අතර මං ඔය අමරසේන මාමගෙන් ඇහැවුවා කියමුද පිරිත් කියලා. උංදැ එක පයින් කැමති උනා. නන්දනපාල මාමාත් කැමති උනා. දැං දෙකයි. මායි තුනයි. ප්‍රසන්න මල්ලිට ඇමතුමක් දුන්නා හරි බයිසිකලයක් ආවොත් මාත් එන්නං අයියෙ කිවුවා. ගොහිං එයත් එක්කං ආවා. හතර දෙනා එළිවෙනකං පිරිත් කිවුවා. ආය උදේ දානෙත් දුන්න. අඩුවක් නැතුව වැඩේ හමාර කොරා. ආං ඒ අමරසේන මාමත් කොරෝන හන්දා අපි දාලා ගියා. උංදැටත් නිවන් සැප ප්‍රාර්ථනා කොරනවා. නන්දනපාල මාමා දැං රෝගාතුර වෙලා ඉන්නව නිරෝගිසුව ප්‍රාර්ථනා කොරනවා. එදා බයිසිකලෙන් ඇවිත් අපිත් එක්ක පිරිත් කියපු ප්‍රසන්න දැං අක්මීමන ආනන්ද නමින් මහණවෙලා කිරින්ද පැත්තෙ පන්සලක් පාලනය කොරගෙන ආගමික සේවාවක් කොරගෙන ඉන්නවා. මං ඩුබයි රටට වෙලා මෙවුව ඔක්කොම ලියනවා. ඕං ඔහොමයි ජීවිතේ. 

 ඉස්සර ඔය ඉස්කෝලෙ යන කාලෙ කට්ටිය ගාවට ගොහිං කියනවා යාතර මන දීර පගේ පයි කෝරද පට්ටු කීර කියලා. ඒක ඇහුවම සමහරු එඋං හොල්මන් වෙලා ඉන්නවා මුං දෙමළ දොඩවනව කියල. කොහොමහරි ආං එහේ නම ගහල නොවැ ලංකාවෙ වැඩිම බත් කඩ තියෙන්නෙ. ඒ පැත්තෙම තමා අකුරැස්ස තියෙන්නෙ. එහේ සමෘද්ධි බැංකුවෙ නං බත් කන එඋං නැද්ද කොහෙද. ඒකනෙ තමන්ගෙ සල්ලි දාලා ආපහු ගන්න එන එඋංට අම්මගෙ මොකක්ද කාපං කියලා කඩං පනින්නෙ. යකෝ මේක පුදුම වැඩක්නේ. සමෘද්ධි බැංකුවල කෝටි ගාණක් සල්ලි අතුරුදහන් වෙලා තියෙන්නෙ. ඒක ගැන කතාවක් නෑ. අහිංසක මිනිස්සුන්ට නං සද්දෙ දානවා. හනේ මංදා තොපිලනං මොක්කුද කියලා. ඒ අස්සෙ සුපිරි සාප්පුවල ගෑණුම එකතු වෙලා ගෑනුන්ගෙ රෙදි ගලවනවා. තව මිනිස්සුන්ට අල්ලගෙන තඩි බානවා. ඔය හැම එකාම ඒ දේ තමන්ට උනානං කොහොමද කියලා හිතුවනං හොඳා. එවුංගෙ මනුස්ස ධර්මෙ නෑ. ඒ වුනාට බලපල්ලකෝ අර නුවර ඉස්පිරිතාලෙ ෆාහිමා දොස්තර නෝනා තමන්ගෙ ජීවිත අවධානම පැත්තකින් තියල ගිහිල්ලා පුංචි දරුවෙක් බේරුවා. අන්තිමට ඒ නෝනට මේ ලෝකෙන් සමුගන්න වුනා. අර බදුල්ල පැත්තෙ හද්ද පිටිසර ගම්මානෙක ගොයි මහත්තයෙක් ඇවිල්ලා බදුල්ල ඉස්පිරිතාලෙට යන්තරයක් ගන්න උංදැට පුළුවන් විදියට මුදල් පරිත්‍යාග කොරා. බලන්න අද ගොඩක් සමාජෙ මෙන්න මේ මනුස්ස ධර්මෙ නැතිවෙච්ච එක තමයි කාරනේ. කොච්චර වටිනවද මේ වැඩ. 

 කොහොම හරි රටේ නායකතුමාගෙ පෞද්ගලික ලේකම්තුමත් අකුරැස්සෙ හන්දා උන්දැටවත් මෙවුව පෙනුනොත් හොඳා. හැබැයි ඔය පහුගිය කාලෙ පත්තරේක තිබුනා කතාවක්. ඒකත් ඒ පැත්තෙම තමා. මගෙත් එක්ක එහේ එඋං අමනාප වෙන්න කාරි නෑ. තිබුන හන්දා තමා කියන්නෙ. ඒ පැත්තෙම තමා ගෙදරක ළිදකට මීයෙක් වැටිලා. පස්සෙ මීයා අල්ලන්න කියලා ගෙදර මිනිහා පූසා ළිඳට දාලා නොවැ. හිතාගන්න පුළුවන්නෙ අන්තිමට වෙච්චි දේ. ළිඳම ඉහල සුද්ද කොරලා තමා වැඩේ හමාර කොරේ. බලාගෙන යනකොට රටටත් වෙලා තියෙන්නෙ ඒකමද කොහෙද. හැමදාම කොරේ මීයො අල්ලන්න කියලා පූසෙක් දාපු එකයි බළල්ලු ලවා කොස් ඇට බාවපු එකයි තමා.    

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් නවවන දිගහැරුම.

2023-09-28 බ්‍රහස්පතින්දා.

Thursday, September 21, 2023

බම්බුව - ගමරාලගේ අඬහැරය පනස් අටවන දිගහැරුම.

බම්බුව

 ඕං ඉතිං පහුගිය දොහේනං පුරස්න සේරෝම අමතක වෙලා කිරිකැට් සිහියෙන් නොවැ කට්ටිය හිටියෙ. මක්ක කොරන්නද ඒකත් හබක් වෙලා ගියා නොවැ. හැබැයි ඉතිං එක පැත්තකින් බැලුවහම ඕක ගැන ඕනවට වඩා විස්සෝප වෙන්න කාරි නැහැ නොවැ. මොකෝ අර පාලක මණ්ඩලේ සභාපති කිවුවෙ ඒක වෙනම ආයතනයක්ය කියලා. ඉතිං උංගෙ ආයතනවල පුරස්න අපේ ඔලුවට දාගන්නෙ මේ තියෙන පුරස්න මදිවටෙයි. කරුමෙ කියන්නේ උංගෙ කොම්පැනියට නම දාගෙන තියෙන්නෙ සිරි ලංකා ක්‍රිකට් කියල නොවැ. ආං ඒක නොවැ අපට ඇගේ අමාරුව හැදෙන්නෙ. 

මේ ළඟකදි රූප පෙට්ටියේ සාජ්ජෙකට ඇවිත් හිටියා හෂාන් තිලකරත්න මහත්තයයි උංදැගෙ නෝන මහත්මියයි. ඕං ඉතිං  ඉස්සර මයිලක් මයිලක් ගානෙ ඇගට කිරිකැට් දැනුනු කාලෙ විස්තර කතා කොරා නොවැ. ඒ කාලෙ තරගයක් පැරදුනහම උංදැ දවස් ගානක් කාමරේට වෙලා දොර වහගෙන ඉන්නව කියල කිවුවෙ. ඉතිං  ඒකට හේතුව ඇහැව්වම උංදැ කිවුවෙ අපි ක්‍රීඩා කොරන්නෙ මුළු රටේම මිනිස්සුන්ගෙ බලාපොරොත්තුත් එක්ක. ඉතිං ඒක කොරගන්න බැරිඋනහම ලොකු වරදක් කොරා වගේ හිතට දැනෙනවා කියලා. ආං ඒ හැඟීම කොච්චර ඉගෙන ගත්තත් විටමින් ප්‍රෝටීන් ගත්තත් ලැබෙන්නෙ නැහැ නොවැ. එවුව පපුවෙන්ම එන්න ඕන. ඒත් දැං ගොඩක් එවුන්ට පපුවක් නැහැ නොවැ. තියෙන්නෙ අර මැෂින් හයි කොරපු වීදුරු කාමරයකට ගොහිං එකතැන දුවල හදාගත්ත බොඩිය කියල එකක් නොවැ. 

ඒ අස්සෙ මරුම කතාව තමා උංදැගෙ නෝන මහත්තය කිවුවෙ. ලෝක කුසලානෙ දින්නට පස්සෙ සෑහෙන්න උත්සවවලට යන්න උනාය කිවුවෙ. ඒ යන හැම තැනකදිම සමහර අම්මල තමන්ගෙ දෝනියැන්දල තල්ලු කොරනවලු ළඟට ගොහිං හෂාන් එක්ක කතා කොරපිය කියලා. කවුද අකමැති ඒ වගේ කෙනෙක් බෑන කොරගන්න නේද? ඒ නෝන ඉතිං හැමදේම තේරුං ගත්තු බාරියාවක් හන්දා නොදැක්ක වගේ ඉදල තියෙනවා. දැනුත් ඔය සමහර අම්මල කිටි කිටියෙ ඇගට හිරවෙච්චි එවුවයි යන්තං ඩිංගිත්තක් ඇග වැහෙන එවුවයි අන්දල දෝණි ඇන්දල පාරෙ යවන්නෙ යමක් කමක් තියෙන බෑණ කෙනෙක් බිලී බාගන්නද කියලත් මට හිතෙනවා. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට ඔය ඇම ගිලින්නෙ මනුස්ස ධර්මෙ පයිසෙකට මායිම් නොකර ජීවත් වෙන උං තමා. අන්තිමට උං උංගෙ ලෝකෙ. මහ එවුං මහපාරෙ. 

හැබැයි ඉතිං දැක්ක නොවැ අර ඉංදියාවෙ ත්‍රීවිල් එලවපු මනුස්සයෙක්ගෙ පුතෙක් බොහොම දුප්පත් පවුලක කොළුවෙක් විදියට කිරිකැට් ගහන්න ආපු සිරාජ් කියන කොලුවා. මනුස්සකංවලින් කොච්චර පොහොසත්ද කියනවනං තමුන්ට හම්බවුනු තෑගි මුදල පිට්ටනියෙ වැඩ කොරපු මිනිස්සුන්ට දුන්න නොවැ. එවුව හරි වටින වැඩ. නැත්තං  හැමදාම වැඩ කරන එවුං මඩ නාගෙන පැත්තක ඉන්නවා. අනිත් එවුං විතරක් ලකුණුත් දාගෙන අතමිටත් මොලෝ ගන්නවා නොවැ. ඔය කිරිකැට් හුටපට අස්සෙ පහුගිය දොහේ ලබුදූවෙ රජයේ ගොවිපලේ කෘෂිකර්ම ප්‍රදර්ශනයක් තිබුන නොවැ. ඉතිං අපේ මණ්ඩියෙ ගොඩක් එවුං ඕක බලන්න ගෙහුං මට කතා කොරලා විස්තර කිවුවා. පෙලක් එවුං කිවුව ගමරාලගෙ ලබු වගේ ලබුත් තියෙනව කියලා. කොහොමහරි මම දැක්කා ඔතන අර ඩ්‍රෝන යානාවක් පාවිච්චි කොරලා උඩිං ගොහිං වගාවට උවමනා එවුව ඉහිනවා. හැබැයි අර සේනා දලඹුවා නැති කොරන්න කියලා දෙදාස් දහනමයෙ අවුරුද්දෙ ගෙනාපු ඩ්‍රෝන යානාවට එක කෑල්ලක් අඩුයි කියලා ඒක ගන්න සල්ලි නැහැයි කියලා ආං පෙට්ටගමේ දාල තියෙනවාලු. ඔක්කොම කෑලි ටික ගන්න සල්ලි නැත්තං මක්කටෙයි බාගයක් ගෙනාවෙ. ඒකෙන් කාටහරි ගානක් හම්බවෙන්න ඇති. අන්තිමේ අපේ සල්ලිත්  අහවරයි. සේන දළඹුවගෙ කතාවත් අහවරයි.

ඕං ඔය අල්ල පනල්ලෙ රටේ ලොක්ක ගියා නොවැ සවාරියක් කියුබාවට ගෙහුං එහේ ලොක්ක මුණ ගැහිලා එහෙංම ඇමරිකාවෙ මොකක්දෝ සමුළුවක් අමතන්න. කොහොමහරි කමක් නෑ කියුබාවට ගියපු එකේ ඒ රටේ ජාතික වාක්‍යනං අපිටත් ගැළපෙනවා. එහේ තියෙන්නෙ වාසභූමිය නැත්තං මරණය කියල නොවැ. අපිටනං වාසභූමියක් ඉතුරු වෙන එකක් නෑ. ඔය පිටරටවල්වලට මේ පොලොවෙනුයි මේ මුහුදෙනුයි කුට්ටි කුට්ටි දෙන විදියට. ඒ විතරක්ය රට දියුණු කොරන්න කියලා පිටරට කොම්පැණිවලටත් වනාන්තරවලින් අක්කර ගණන් දෙනව නොවැ. ඒක හන්දා වාසභූමිය කෙසේ වෙතත් මරණයවත් වළලන්න තැනක් ඉතුරු වේද කියලා තමා හිතේ සැක. 

ඕං ඔය ඔක්කොම කතන්දර එක්ක කිරිකැට් කුසලානෙ ඉංදියාව ගත්තු වෙලේ මං කොරේ එවුව මෙවුව ඔක්කෝම සංකේතවත් වෙන්න කියලා ඩුබායි රටේ මගෙත් එක්ක ඉන්න ඉංදියන් මිත්‍රයට අපි පිට්ටු තම්බන බම්බුව ප්‍රදානය කොරා. මොකෝ අර හිටපු ලොක්කෙකුත් බම්බුව කියපු එකේ ඔක්කොම රටවල එවුං පිට්ටුව කෑවහම අන්තිමේ ඉතුරු වෙන්නෙ බම්බුව විතරක් නොවැ. ඉතිං ඒකත් දීල දැම්මම හමාරයි.  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් අටවන දිගහැරුම.

Thursday, September 14, 2023

පිරමීඩෙ - ගමරාලගේ අඬහැරය පනස් හත්වන දිගහැරුම

 පිරමීඩෙ

ඕං ඉතිං එක එකාලගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අහිංසක තරුණ ජීවිත බිලිගන්න කාලයක් නොවැ මේක. හැමදාම ඔය දුම්රිය දෙපාර්තමේන්තුව කියන එක පාඩුයි. හැබැයි ඉතිං එවුංගෙ අයිතිවාසිකමුත් ඉල්ලනවා. මං දන්න විදියටනං ඕකෙ ඉහළම පුටුවල  ඉන්න උං ලක්ෂ ගණන් හම්බ කොරන කට්ටියක්. කොහොම උනත් අනිත් එවුංට අසාධාරණයක් වෙනව ඇති. හැමෝම දඟලන්නෙ ඉතිං මස් රාත්තලම කන්න තමා. ඕං ඒ අස්සෙ ඉංදියාව කොච්චර හයිරං කොරත් සිරි ලංකාව වටේ මුහුදෙ පට්ටන්දරේ හොයන්න තව චීන නැවක් එනවලු නොවැ. 

අනේ මංදා මටනං ඔය චීන වචනෙ මුලින්ම මතක අපි ගියපු ගොඩකන්ද කණිෂ්ට විද්‍යාලෙ හිටපු දයානන්ද හේවාවසම් ඉස්කෝලෙ මහත්තයට කොල්ලො කුරුට්ටො දාපු නම හන්දා. මොකෝ උන්දැට තිබුණෙ චීන්නුන්ට වගේ ලස්සන රවුම් මූණක් නොවැ. හැබැයි ඉතිං පට්ට  සැරයි. කොච්චි කරල වගේ. උංදැ අපට සෑහෙන්න දේවල් ඉගැන්නුව විතරක් නෙවෙයි ඉස්කෝලෙ පිටිපස්සෙ කණ්ඩිය ගාවට වෙනකං තිබිච්ච බිම් කඩේ අපිට කියලා මයියොකු අරව මේවා වගා කෙරෙව්වා. මට හොඳට මතකයි අපි එක්ක හිටපු සුමනසිරිට නම ලියන්න පුරුදු කොරපු විදිය. මෙහෙට වර කියලා දුන්නා රට හුණු කූර. ලියපිය කිවුවා කළුලෑල්ලෙ තොගේ නම. මෙන්න බොලේ මුන්දැ ලියපි සුමනනරිසි කියලා දුන්නා බෝවිටිය කෝට්ටෙන් උන්දැගෙ පස්ස පැත්තට නම හරියට ලියනකං. දැංනං ඉතිං සමහර ගුරුවරු කෝට්ටෙන් තලන්නෙ උංදැ සල්ලිවලට උගන්නන පංතියට එන්නෙ නැති  ළමයින්ට නොවැ. ආං එහෙමයි ඉස්සර ගුරුවරු අරගල කොරේ. අපි එක්ක ඔට්ටු වෙලා. ඕං මෙදා සැරේ ගුරු දිනේටත් මොකක්දෝ අරගලයක් කොරනව කියන්නෙ. ඒකාලෙ උන්දැගෙ චීන පැටව් දෙන්නෙක් වගේ ලස්සන සුදු බෝල වගේ  දූල දෙන්නෙක් හිටපු ගමං එනවා. ඒ එක දුවෙක් නං අකාලයේ පරලොව ගියා. අපේ ඉස්කෝලෙ මහත්තයත් දැං පරලොව ගොහිං. අනිත් දූ දැං ගාල්ලෙ ඉඩම් කන්තෝරුවෙ වැඩ කොරන්නෙ. ඔය පහුගිය කොරෝනා කාලෙ උන්දැට ඒ ලෙඩේ හැදිල මට පණිවිඩයක් එවල තිබුනා වස විස නැති එළවළු ටිකක් ඕන කියලා. මම මල්ලක් ලෑස්ති කොරා. උන්දැගෙ මනුස්සය ඇවිල්ලා සල්ලි දෙන්න හැදුවා. මං කිවුවා මට සල්ලි එපා මේක ගෙනහුං දෙන්න කියලා. මොකෝ ඉස්කෝලෙ යන කාලෙ උංදැගෙ අප්පොච්චා අපට වගාව පුරුදු කොරපු එක මට මතකයි නොවැ. 

ඊට පස්සෙ ඉතිං චීනෙ ගැන කතා උනේ අපේ පැත්තෙ ගංවතුර ගලන එක පාලනය කොරන්න පටන් ගත්ත නොවැ ගිං ගඟ යෝජනා කරමය කියල එකක්. ඕක චීන ආණ්ඩුවෙන් කොර වැඩක්. ඒක හන්දා ඒකට කිවුවෙ චීනගෙ වැඩ පොල කියලා. අපේ ගමේ සෑහෙන්න කට්ටිය ඕකෙ වැඩට ගියා නොවැ. ඔය පස්සෙ කාලෙක  රිචර්ඩ් පතිරණ මහත්තය හදපු  වක්වැල්ලෙ දිගම පාලම තියෙන බන්ට් වේලි හැදුවෙ ආං ඒ කාලෙ. කොහොම හරි මේ වෙනකං ඕකෙ දෙවෙනි අදියර කෙරුනෙ නෑ. පළවෙනි එකෙන්ම වැඩේ අහවරයි. 

ඒ සැරේ පහුගිය කාලෙ කිවුව නොවැ ඕපාර හම්බන්තොට පැත්තෙ චීන්නු වගේ ළමයි ඉදීවි කියලා. ඒක එහෙම වෙලාද කියලනං මං දන්නෙ නෑ. කොහොම හරි දැං තෙල් පිරවුම්හල්වල අයිතියත් චීන්නු ඇල්ලුව නොවැ. දැං ආණ්ඩුවට වඩා අඩුවෙන් උං තෙල් ගහනව. ඒකියන්නෙ චීන්නු නාහෙට අහන්නෙම නැහැ නොවැ. මරුනෙ. ඉස්සර ඔය සිගරට් එකත් නිකං බෙදල තමා පටං අරන් තියෙන්නෙ. අපේ එවුංටත් ඉතිං නිකං හරි අඩුවට හරි දෙනවනං රටට හෙණ ගැහුවත් කමක් නෑ නොවැ. කවදහරි එවුංගෙ රගේ තෙරෙනකොට වෙන්න ඕන හරිය වෙලා හමාරයි.  

මීට අවුරුදු ගානකට උඩිං එකෙක් ඇවිදින් මට කියනවා මාත් එක්ක පැය දෙකක් කතා කොරන්න ඕන කියලා. ඉතිං කතා කොරපිය කිවුවම කියනවා එහෙම බෑ තැනකට එක්ක යන්න තියෙනවා කියලා. එතන සෑර් එක්ක තමා කතා කොරන්න ඕන කියලා. ඒ කරදරෙන් ගැලවෙන්න බැරිම තැන මං කැමති වුනා යන්න. උන්දැගෙම මොටෝ සයිකලෙන් ගියා කලේගාන හංදියෙන් බෝපෙ පාර පටං ගන්න තැන විශාල ගෙදරකට. අම්මට එළියෙ තඩි කාර් බාර් නවත්තලා. ඇතුළෙ තේජසින් බැබළෙන කට්ටිය හිටියා. ඉතිං පොඩි ගානක් දාලා තව කට්ටිය හොයලා දීල අඩියෙන් අඩිය ඉස්සරහට යන විදිය මට කියලා දුන්නා. එතකොට අර වගේ වාහන ගන්න පුළුවන් කියලත් කිවුවා. පොතකුත් දුන්නා කියවන්න කියලා. ඔක්කොම අහගෙන මං කරබාගෙන ගෙදර ආවා. ඒත් මෙවුං ඇතෑරියෙම නෑ. මාව සල්ලිකාරයෙක් කොරන්න මට වඩා පුදුම උවමනාවක් උන්ට තිබුනෙ. පස්සෙන්ම පැන්නුවා. යාංතං ඒ මර උගුලෙන් ගැලවුනා. පස්සෙ කාලෙකදිනෙ බොල තේරුම් ගත්තෙ ඕං ඕකට කියන්නෙ පිරමීඩ ජාවාරම කියලා. දැං ඔය ඊයෙ පෙරේදා අහුවුණේ සිරිලංකාවෙන් චීන්නු තිහක් විතර ඔය වියාපාරෙ මහා පරිමාණෙන් කොරලා කෝටි ගාණකට පොලු තියලා. වෙලාවට මං බේරුණා. හැබැයි ඉතිං අපිට වැඩිය හොඳට ඉගෙන ගත්තු ටයි කෝට් දාගත්තු  ඔය ආණ්ඩුවෙ කන්තෝරුවල වැඩ කොරන ගොඩක් නෝනල මහත්තුරු ඔය පිරමීඩ සෙල්ලමට අහුවෙලා තියෙන්නෙ. සබ්බ සකලමනාවම ඉවරයි. අන්තිමේ හම්බ කොරපු දේට කොරපු දේකුත් නෑ. වෙච්ච දේකුත් නෑ. පෙළක් එවුං ජීවිතෙත් නැති කොර ගන්නවා. දැං මට හිතෙන්නෙ ඔය සිරි ලංකාවෙත් එක කෑල්ලක් චීනෙටයි තව කෑල්ලක් ඉංදියාවටයි අනිත් කෑලි ටික අරහෙටයි මෙහෙටයි බෙදුවට පස්සේ කවද හරි දවසක ඔය වෙච්ච සෙතේම සිරි ලංකාවටත් වේවිද කියලා. අර පිරමීඩෙක වැලලුවා වගේ අපි ඔක්කොටම වැලලෙන්න වේද කියලා තමයි මට හිතාගන්න බැරි. මොකෝ ඉතිං අන්තිමට කොරපු දේකුත් නෑ වෙච්චි දේකුත් නෑ රටේ අයිතියත් නැති බංගස්තාන උනනෝතිං මොන දෙයියංට කියන්නද? අන්තිමට පිරමීඩ සරණං ගච්චාමි  කියල තමයි  මට නං දැනෙන්නෙ. බලමුකෝ නේද?  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් හත්වන දිගහැරුම.

2023-09-14 බ්‍රහස්පතින්දා.    


Thursday, September 7, 2023

සිංගප්පූරුව - ගමරාලගේ අඬහැරය පනස් හයවන දිගහැරුම.

සිංගප්පූරුව

ඕං ඉතිං නුවර පෙරහැරත් ඉවරයි නොවැ. මෙදා සැරේ පෙරහැර අහවරයි කියලා සංදේශෙ බාර ගන්න අලියෙක් ආපු හන්දද දන්නෙ නෑ අලි කුලප්පු වුනේ නේද? ඒ මදිවට උංදැ ඔය දවල් වේල ගිලදාන්න ගම්පොළ  වාරියගල පැත්තෙ  ගොහිං හරි හුට්ටප්පරයක් නොවැ වෙලා තියෙන්නෙ. උංදැලට වගේ හැම්බේකං උඩිං පුඩිං නැතුවට බඩගින්නට පොඩි එවුං එක්ක මක්ක හරි ගිල දාන්න ඕන හංදා කොස් ගෙඩියක් කඩාගෙන ආපු මිනිහෙක් පොඩි එකෙක් එක්කම පාරෙ නවත්තල නොවැ අරුංද යනකං. තාමත් ඒ මනුස්සගෙන් පුරස්න කොරනවා. ඉන්න හිටින්න හරි හමන් පැළක් වත් නැති මිනිහෙක් හයියෝ සිරි ලංකාවෙ පොලෝසියටත් තියෙන වැඩ. ඇයි පහුගිය දොහක පොලෝසියෙ මහත්තයෙක්ම පෝලෝසියෙ කුස්සියෙන්ම කුකුළු මස් උස්සලා තිවුනෙ. තව පොලෝසියෙ මහත්තයෙක් කඩේකට ගොහිං කාල සල්ලි නොදී මාරු වෙන්න   හදලා. ඊට පස්සෙ බඩකට පිරෙන්න කාල තිබුණෙ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලොකු එකාල තේරුම් ගන්න ඕන පොඩි එවුංටත් බඩ ගින්න දැනෙනව කියලා. මං හිච්චි කාලෙත් බඩගින්නට වැඩිපුර කොස් කාපු හන්දා ඕක ටක්කෙටම දන්නව ආයිබොවන්ඩ. 

ඒ අස්සෙ තව එකෙක් ආං එප්පාවලට අප්ප එනකොට දුර හිටං ගිනි පිඹින බටයක් ඕන කියලා මුහුණු පොතේ දාලා. දැං උංදැ මහඋළු ගෙදර. ඕං දැං මහ එවුං ලතෝනි දිදී කියනවා ඒක උංදැ කොලුකමට කොරපු වැඩක්ය කියලා. එයා සෙල්ලම් කොරන්නෙ කොම්පියුටරෙන් හංදා එයාට බරක් පතලක් තේරෙන්නෙ නෑයි කියන්නෙ. හැබැයි ඉතිං කලින්ම ඔය කොම්පියුටර් සෙල්ලම මොකක්ද කියලා මහඑවුං හෙවුව බැලුවනං අද බෙරිහන් දෙන්න ඕන නැහැ නොවැ. දැං ඕවට ඇබ්බැහි වෙලා ඉන්න ගොඩක් එවුන්ගෙ ඔලුව ඔල්මොරොන්දන් වෙලා නොවැ තියෙන්නෙ. ඕන මගුලකට නිවන් සැප ලැබේවා කියලා දානවා. එකෙක් දැන්මම ඔක්කොම එවුං ඒකම දානවා. කිසිම විචාර බුද්ධියක් නැති තර්කානුකූල බවක් නැති නිර්මාණශීලී නැති කොම්පියුටර් ජිල්මාට් විතරක් දන්න තරුණ පරම්පරාවක් එක්ක තමා ආසියාවේ ආශ්චර්යෙට යන්න හදනව කියන්නෙ. ඕක හිතනකොට අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නෙ නෑ ආයිබොවන්ඩ. කොහොම හරි මේ වගේ පරපුරක් නිර්මාණය කොරේ ඔය අනාගතේ දැකපු නායකයොම තමා. 

අපි හිතාගෙන හිටියෙ ඇමරිකාව ලෝකෙ ලොකුම බලවතා කියල නොවැ. බැලින්නං යකඩෝ මුළු සෞරග්‍රහ මණ්ඩලේටම බලවතා ඇමරිකාව නොවැ. මොකෝ හඳේ ඉඩම් විකුණන්නෙත් ඇමරිකාව. දැනට හයසිය හැත්තැ පස්දෙනෙකුට හදෙන් ඉඩම් විකුණල නොවැ. මොන රටේද දන්නෙත් නෑ. හිටපු  ජනාධිපතිවරු තුන් දෙනෙකුත් හදෙන් ඉඩම් අරගෙන. උන් තමන්ගෙ රටවල් හරියට පාලනේ කොරපු හංද වෙන්නැති හඳට යන්න හදන්නෙ. ඕපාර එහෙත් ජනාධිපතිවරණයක් තියයිද කියලනං දන්නෙ නෑ. ආතර් සී ක්ලාක් මහත්තයවත් හිටියනං විස්තරේ හරියටම අහගන්න තිබ්බ නොවැ. 

දැං ඔය ගාල්ල පැත්තෙ උං කියන එකක් තමා ගාල්ලෙ පිට්ටනියෙ කිරිකැට් ගැහුවොත් අනිවාර්යෙන් වහිනව කියලා. පල්ලෙකැලෙත් එහෙමයි මයි හිතේ. කොහෙම වුණත් ඉස්සර ඉදල කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියන එවුවනං මිනිස්සු පයිසෙකට මායිං කොරේ නෑ. මොකෝ උං වහිනව කිවුවොත්  පායනවා. පායනවා කිවුවොත් වහිනවා. බැලින්නං ඒක ටක්කෙටම කියන්න පුළුවන් රේඩාරෙ තාම හයි කොරලා නෑයි කියන්නෙ සල්ලි මදියි කියලා. වෙන වැඩකට නැති ඒවට කොච්චර වියදම් කොරනවද ? දැන් බලනකොට ඉර හඳ බලලා මෙවුව තීරණය කොරපු උංද දියුණු එහෙම නැත්තං ටයි කෝට් දාගෙන මෙච්චර කල් බොරු කියපු එවුන්ද දියුණු. හැබැයි අනාවැකි දෙකක් හරියටම කියනවා. වැස්සොත් වතුර ගලනවා කියනවා. පෑව්වොත් වතුර හිදෙනවා කියනවා. ගන්න පඩියට ඒකත් ඇති නොවැ නේද? දැං අර තොප්පිගල කියන්නෙ කැලයක් කියල කියපු මනුස්සය නොවැ රටේ රජා වෙලා තියෙන්නෙ. ඒක හන්දද කොහෙද ආං අක්කර එකදාස් පන්සීයක් සුද්ද කොරලා වී වගා කොරන්න කියලා කට්ටිය. ඇයි හත්තිලව්වෙ කොච්චර කුඹුරු යායවල් පිටිං නිකං පුරන් වෙලා තියෙනවද? ඒවයි වගා කොරන්න බැරිය කැලේ අමුතුවෙන් අක්කර එකදාස් පන්සීයක් එළි කොරන්නෙ. කමක් නෑ ඉතිං තොප්පිගල කියන්නෙ කැලයක් කියල කියපු මිනිහ නොවැ මහ පුටුවෙ ඉන්නෙ. ඒක හන්දා වෙන්නැති. 

ඕං කොහොම හරි ලංකාවට ලේ නෑකමක් තියෙන මනුස්සයෙක් සිංගප්පූරුවෙ ජනාධිපති වෙලා නොවැ. ඒකත් ලොකු දෙයක්. යාංතං අපේ අභිමානෙ රැකගන්න පුළුවන් වෙයි. මොකෝ මෙච්චරකල් දැගලුව නොවැ ලංකාව සිංගප්පූරුව වගේ කොරන්න. හැබැයි රට ගැන නොහිතන පාලක පැලැන්තියයි, සිහිවිකල් වෙච්ච තරුණ පරපුරයි එක්ක මේ කපේට ඒ වැඩේනං කොරන්න වෙන්නෑ. ඒක හන්දා අපේ ගෞරවේ යංතං හරි රැක ගන්න නං දැන් තියෙන්නෙ සිංගප්පූරුවෙ ජනාධිපතිතුමාට කතා කොරල කියන්න අපිට කොරන සැලකිල්ලක් හැටියට ඒ රටේ හැංගිල ඉන්න අපේ මහ බැංකුවෙ හිටපු අධිපතිතුමත් එක්කාසු කොරගෙන සිංගප්පූරුව සිරිලංකාව වගේ කොරන්න කියලා. ඒක ලේසියි නොවැ. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය පනස් හයවන දිගහැරුම.

2023-09-07 බ්‍රහස්පතින්දා.    


යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...