හෙට දවස
“වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුණදෝ - ඔන්න මං අල්ලන්නට එනවා දැං ඔට්ටුයිදෝ”
ඕං ඔය සිංදුව මට මතක් වුණේ මේ ඩුබයි රටේ එහාට මෙහාට ඇවිදින කොට නොවැ. මොකෝ ඔය සමහර සාප්පු වලට ගියහම මං දකිනවා මේ හිච්චෙක් විතර හිච්චි එඋං යාන්තං ඇඟ කෙලින් කොර කොර තනියෙන් යනවනේ. මහ එඋං ඊට පිටිපස්සෙං යනවා. ඒ කියන්නේ පුංචි කාලෙ ඉදලම අත නොදී තනියෙන් ඇවිදින්න පුරුදු කොරනව නොවැ. ඒකට බොල අපේනං කොහොමද? බිම තියන්නෙම නැහැ නොවැ. වඩාගෙනම ඉන්නවා. බිම තිවුවොත් අතිං අල්ලගෙන ඉන්නවා. අතින් අල්ලගෙන ඉස්කෝලෙ එක්කගෙන යනවා. මෙහේ ඔය සෙල්ලං මොකුත් නැහැ නොවැ. පොඩි එකාට තමන්ට ඕන විදියට තනියෙන් යන්න අරිනවා.
අපේ එඋං ඉතිං පුංචි කාලෙ ඉදල අතේ එල්ලිල ලොකු උන ගමන් කවුරුහරි අත දෙනකං බලා ඉන්න කොට අරුන්දලා කාටත් අත නොපා එඋංගෙ ගමන ගොහිං අහවරයි නොවැ. ඕං ඔතන ඉදල තමා මේක හදන්න පටන් ගන්න ඕන. කොහෙද ඉතිං එහෙම බෑ නොවැ. දරුවට ආදරේ දෙන්න ඕන කියලා ලොකු වෙනකං මහ එඋංගේ තුරුල්ලෙ නිදි කොරනවා. හැබැයි මෙහේ මහ එඋං වෙනම කාමරේක නිදි. පොඩි එඋං වෙනම කාමරවල නිදි. උං ඔය යසට ඉන්නෙ. ඒ සැරේ තව කතාවක් තියෙනවා. ඔය පුංචි එඋනුයි ගෑනුයි දූෂණය වෙන්නෙ භාගෙට ඇදුම් ඇදගෙන යන හින්දලු. එහෙම බැලුවොත් යකඩෝ මේ රටවල්වල කොච්චර ඇගවල් එළියෙ දාගෙන යනවද? ඒත් ඉතිං ඔය සංස්කෘතිය සදාචාරේ හරියට තියෙන අපේ රටේ වගේ දූෂණ අපචාර වෙන්නෙ නැහැ නොවැ. මෙහේ දරුවන්ටයි ගෑණුන්ටයි ඕන හැටියෙ ආරක්‍ෂාව තියෙනවා. කවුරු හරි එකෙක් වලතු වැඩක් කොරොත් ආයෙ ලේසි නෑ හම්බුවෙන දඬුවම. ඒ තරමට නීති තදයි නොවැ. ඉස්සරෝම ඕං ඔය තැං නිවැරදි කොරල ඕන රටක් හදන්න පටන් ගන්න. ඉතිං ඔය නීති විශාරදයො හදන හැම නීතියකම වගේ හිල් තියෙනව නොවැ. සල්ලි ටිකක් විසි කොරා නං ඕන කුපාඩි කමක් කොරලා හිල් අස්සෙන් රිංගල බේරෙන්න පුළුවන් නොවැ. දැං දැක්ක නොවැ පහුගිය දොහේ ඔය සිවුරු දාගෙන සරසවියෙ ඉගෙන ගන්න හාදයෙක්ගෙ සිවුර අස්සෙ කුඩු පැකට්. තව සිවුරක් අස්සෙ ගංජා. තව එකෙක්ගෙ කාමරේක අවි ආයුධ. ඉස්සර කිවුවෙ ඔය හොර හරක් අදින ලොරිවල ඉස්සරහ බුදු සරණයි කියල ගහල තියෙනවා. පිටිපස්සෙ හරක් පටවගෙන යනවා කියලා. දැං සමහර පන්සලුත් එහෙම තමා. ඉස්සරහිං බුදු සරණයි. පිටිපස්සෙන් අබ සරණයි. එවුවත් එහෙමයි. ඊ ගාවට ඔය උත්තරීතරයි කියන තැනක් නොවැ පාර්ලිමේන්තුව. ඒකෙ උත්තරීතරකම වැඩිවෙලා ඒක බලන්න ආපු පුංචි එඋං හනික එළියට යනවා. යකඩෝ ඒ මදිවට ඊශ්‍රාලෙයි පලස්තීනෙයි යුද්දෙ ගැන කතා කොරන්ට කියලා අපේ සල්ලි කාබාසිනිය කොරගෙන උං රැස්වෙලා ගාසා තීරෙ වගේ මුං බෙලි මිරිකගෙන එක යුද්ධයයි නොවැ. අනේ ඉතිං මේ සේරොම කොරන්නෙ රට වෙනුවෙන් කියලා නොවැ උං කියන්නෙ.
දරුවෙකුට බස් එකකවත් යන්න බැරි තත්වයක් නොවැ දැං උදා වෙලා තියෙන්නෙ. ඉහළ හිටං පහලටම ඔළු ගෙඩි මඤ්ඤං වෙලා. ඒ මදිවට ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ නොවැ ලයිට් බිල. ඒකත් මරු. ඔය හිච්චි එඋං වැරැද්දක් කොරාම දඩුවම් කොරන්න හදන කොට බේරෙන්න ළඟ ඉන්න එකාට ඇගිල්ල දික් කොරලා කියන්නෙ මම නෙවෙයි අරය තමයි කොරේ කියලා ආං ඒ වගේ තමා දැං ඔය කියනව නොවැ අපි නෙවෙයි ලයිට් බිල වැඩි කොරේ අයි එම් එෆ් එකෙන් කියලා ඕං ඔය පාර්ලිමේන්තුවත් අහෝසි කොරලා උං සේරෝම ගෙවල්වල ගොහිං ඔය අයි එම් එෆ් එකටම රට පාලනය කොරන්න දුන්නනං අහවරයි නොවැ.
හැබැයි ඉතිං මතක ඇති කාලෙක ඉදල පාලකයො කිවුවෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් තමා සේරෝම කොරන්නෙ කියලා. අපිත් ඉතිං ඔවුවා විස්වාස කොරා නොවැ. දැං බැලින්නං අපි තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. උං කියල තියෙන්නෙ උංගෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් වැඩ කොරනවා කියලා. අපේ දරුවන්ට නං ඉතිං හෙට දවසකුත් නෑ අද දවසකුත් නෑ. පෙළක් එඋං බාලගිරි වගේ අද නොව හෙට හිරු පායනකං බලාගෙන ඉන්නව නොවැ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය හැටතුන්වන දිගහැරුම.
2023-10-26 බ්‍රහස්පතින්දා.
