Thursday, October 26, 2023

හෙට දවස - ගමරාලගේ අඬහැරය හැටතුන්වන දිගහැරුම.

 හෙට දවස

  “වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුණදෝ - ඔන්න මං අල්ලන්නට එනවා දැං ඔට්ටුයිදෝ” 

ඕං ඔය සිංදුව මට මතක් වුණේ මේ ඩුබයි රටේ එහාට මෙහාට ඇවිදින කොට නොවැ. මොකෝ ඔය සමහර සාප්පු වලට ගියහම මං දකිනවා මේ හිච්චෙක් විතර හිච්චි එඋං යාන්තං ඇඟ කෙලින් කොර කොර තනියෙන් යනවනේ. මහ  එඋං ඊට පිටිපස්සෙං යනවා. ඒ කියන්නේ පුංචි කාලෙ ඉදලම අත නොදී තනියෙන් ඇවිදින්න පුරුදු කොරනව නොවැ. ඒකට බොල අපේනං කොහොමද? බිම තියන්නෙම නැහැ නොවැ. වඩාගෙනම ඉන්නවා. බිම තිවුවොත් අතිං අල්ලගෙන ඉන්නවා. අතින් අල්ලගෙන ඉස්කෝලෙ එක්කගෙන යනවා. මෙහේ ඔය සෙල්ලං මොකුත් නැහැ නොවැ. පොඩි එකාට තමන්ට ඕන විදියට තනියෙන් යන්න අරිනවා. 

 අපේ එඋං ඉතිං පුංචි කාලෙ ඉදල අතේ එල්ලිල ලොකු උන ගමන් කවුරුහරි අත දෙනකං බලා ඉන්න කොට අරුන්දලා කාටත් අත නොපා එඋංගෙ ගමන ගොහිං අහවරයි නොවැ. ඕං ඔතන ඉදල තමා මේක හදන්න පටන් ගන්න ඕන. කොහෙද ඉතිං එහෙම බෑ නොවැ. දරුවට ආදරේ දෙන්න ඕන කියලා ලොකු වෙනකං මහ එඋංගේ තුරුල්ලෙ නිදි කොරනවා. හැබැයි මෙහේ මහ එඋං වෙනම කාමරේක නිදි. පොඩි එඋං වෙනම කාමරවල නිදි. උං ඔය යසට ඉන්නෙ. ඒ සැරේ තව කතාවක් තියෙනවා. ඔය පුංචි එඋනුයි ගෑනුයි දූෂණය වෙන්නෙ භාගෙට ඇදුම් ඇදගෙන යන හින්දලු. එහෙම බැලුවොත් යකඩෝ මේ රටවල්වල කොච්චර ඇගවල් එළියෙ දාගෙන යනවද? ඒත් ඉතිං ඔය සංස්කෘතිය සදාචාරේ හරියට තියෙන අපේ රටේ වගේ දූෂණ අපචාර වෙන්නෙ නැහැ නොවැ. මෙහේ දරුවන්ටයි ගෑණුන්ටයි ඕන හැටියෙ ආරක්‍ෂාව තියෙනවා. කවුරු හරි එකෙක් වලතු වැඩක් කොරොත් ආයෙ ලේසි නෑ හම්බුවෙන දඬුවම. ඒ තරමට නීති තදයි නොවැ. ඉස්සරෝම ඕං ඔය තැං නිවැරදි කොරල ඕන රටක් හදන්න පටන් ගන්න. ඉතිං ඔය නීති විශාරදයො හදන හැම නීතියකම වගේ හිල් තියෙනව නොවැ. සල්ලි ටිකක් විසි කොරා නං ඕන කුපාඩි කමක් කොරලා හිල් අස්සෙන් රිංගල බේරෙන්න පුළුවන් නොවැ. දැං දැක්ක නොවැ පහුගිය දොහේ ඔය සිවුරු දාගෙන සරසවියෙ ඉගෙන ගන්න හාදයෙක්ගෙ සිවුර අස්සෙ කුඩු පැකට්. තව සිවුරක් අස්සෙ ගංජා. තව එකෙක්ගෙ කාමරේක අවි ආයුධ. ඉස්සර කිවුවෙ ඔය හොර හරක් අදින ලොරිවල ඉස්සරහ බුදු සරණයි කියල ගහල තියෙනවා. පිටිපස්සෙ  හරක් පටවගෙන යනවා කියලා. දැං සමහර පන්සලුත් එහෙම තමා. ඉස්සරහිං බුදු සරණයි. පිටිපස්සෙන් අබ සරණයි. එවුවත් එහෙමයි. ඊ ගාවට  ඔය උත්තරීතරයි කියන තැනක් නොවැ පාර්ලිමේන්තුව. ඒකෙ උත්තරීතරකම වැඩිවෙලා ඒක බලන්න ආපු පුංචි එඋං හනික එළියට යනවා. යකඩෝ ඒ මදිවට ඊශ්‍රාලෙයි පලස්තීනෙයි යුද්දෙ ගැන කතා කොරන්ට කියලා අපේ සල්ලි කාබාසිනිය කොරගෙන උං රැස්වෙලා ගාසා තීරෙ වගේ මුං බෙලි මිරිකගෙන එක යුද්ධයයි නොවැ. අනේ ඉතිං මේ සේරොම කොරන්නෙ රට වෙනුවෙන් කියලා නොවැ උං කියන්නෙ. 

 දරුවෙකුට බස් එකකවත් යන්න බැරි තත්වයක් නොවැ දැං උදා වෙලා තියෙන්නෙ. ඉහළ හිටං පහලටම ඔළු ගෙඩි මඤ්ඤං වෙලා. ඒ මදිවට ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ නොවැ ලයිට් බිල. ඒකත් මරු. ඔය හිච්චි එඋං වැරැද්දක් කොරාම දඩුවම් කොරන්න හදන කොට බේරෙන්න ළඟ ඉන්න එකාට ඇගිල්ල දික් කොරලා කියන්නෙ මම නෙවෙයි අරය තමයි කොරේ කියලා ආං ඒ වගේ තමා දැං ඔය කියනව නොවැ අපි නෙවෙයි ලයිට් බිල වැඩි කොරේ අයි එම්  එෆ් එකෙන් කියලා ඕං ඔය පාර්ලිමේන්තුවත් අහෝසි කොරලා උං  සේරෝම ගෙවල්වල ගොහිං ඔය අයි එම් එෆ් එකටම රට පාලනය කොරන්න දුන්නනං අහවරයි නොවැ. 

 හැබැයි  ඉතිං මතක ඇති කාලෙක ඉදල පාලකයො කිවුවෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් තමා සේරෝම කොරන්නෙ කියලා. අපිත් ඉතිං ඔවුවා විස්වාස කොරා නොවැ. දැං බැලින්නං අපි තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. උං කියල තියෙන්නෙ උංගෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් වැඩ කොරනවා කියලා. අපේ දරුවන්ට නං ඉතිං හෙට දවසකුත් නෑ අද දවසකුත් නෑ. පෙළක් එඋං බාලගිරි වගේ අද නොව හෙට හිරු පායනකං  බලාගෙන ඉන්නව නොවැ.  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටතුන්වන දිගහැරුම.

2023-10-26 බ්‍රහස්පතින්දා.

Thursday, October 19, 2023

දෙහි ලෙල්ල - ගමරාලගේ අඬහැරය හැටදෙවන දිගහැරුම.

දෙහි ලෙල්ල 

ඕං ඉතිං අර කට්ටිය කියනව වගේ අම්මල අප්පලගෙ විභාගෙ නොවැ ඔය ශිෂ්‍යත්වෙ කියන්නෙ. ඕක ගොඩ දාගත්තොත් ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් කියලා හිච්චි එවුං පන්ති ගානෙ ඇදගෙන යනවා. ඒ විතරක් නං මදෑ. ගෙදර ගොහිල්ලත් උංට ඉන්න දෙන්නෙ නැහැ නොවැ. පොත් බලපිය කියනවා. පුරස්න පත්තර බලපිය කියනවා.  එක කෙලියයි නොවැ. කොහොම හරි මහ වරුසාවෙ තෙමීගෙන ගංවතුරෙ බැහැගෙන ගොහිං මෙදා සැරේ හිච්චි එඋං ඔය මහ එඋංගෙ  විභාගෙ ලිවුව නොවැ. අවසානෙ එඋං කියනවා දැං නං මාර නිදහසක් තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ අර බරපතල වැඩ ඇතුව මහ උළුගෙදර හිටපු එඋං වගේ තමා මේ දරුවො මෙච්චරකල් ඉදල තියෙන්නෙ.  ඒ අස්සෙ තව තැනක විභාග ශාලාව බලාගන්න එකෙක්  ළමයෙක්ගෙ පුරස්න වලට උත්තර ලියලා දීලා. තව තැන්වල පුරස්න පත්තර උස්සලා. යකඩෝ මේක නිකං දරුවන්ගෙ මුළු ජීවිතේම තීන්දු කොරන එකක් කියල හිතාගෙන නොවැ ගොඩක් එඋං වැඩ කොරන්නෙ. 

ඕං  ඉතිං මේ ගැන කතා කොරපු වෙලාවෙ පහුගිය දොහේ දරුවො වෙනුවෙන් අපූරු වික්‍රමයක් කොරපු ලොකු ඉස්කෝලෙ මහත්තයෙක් හදිසියේම අන්තරා උනා නොවැ. ඒක නං විසාල පාඩුවක්. ඒ තමයි හිනිදුම්පත්තුවෙ මාපලගම ඉපදිලා ගාල්ලෙ රූමස්සල බොනවිස්ටා ඉස්කෝලෙ මුල් පුටුව හොබවපු ගනේවත්ත ඉස්කෝලෙ මහත්තයා. උන්දැ කොරපු සේවය අනුව නරක තැනකට නං යන එකක් නැහැ නොවැ. මොකෝ මීට අවුරුදු කීපෙකට කලින් ඔය ඉස්කෝලෙ ළමයි දාහතක් විතරයි හිටියෙ. වැහෙන්න තිබුණ තැනක් නොවැ. එහෙව් තැනක් තමා මේ ඉස්කෝලෙ මහත්තයා බාර ගත්තෙ කොහොම හරි ගොඩදාන්න කියලා. ඇත්තටම එතන සෙනරත් පරණවිතාන මහත්තයා, මාර්ටිං  වික්‍රමසිංහ මහත්තය වගේ මහා ප්‍රාඥයන්ට අධ්‍යාපනය දීපු තැනක් නොවැ. කොහොම හරි ඒ හැමෝටම ගෞරවයක් වෙන්න ගනේවත්ත මහත්තයා ඉස්කෝලෙ ගොඩදැම්මා නොවැ. දැං ළමයි තුන් දාහක් විතර ඉන්න ජාතික තලයේ ඉස්කෝලයක්. දැං පුදුම තරගයක් තියෙන්නෙ ඒ  ඉස්කෝලෙට ළමයි දාන්න. ආන්න ඒකයි කියන්නෙ හිතුවොත් කොරන්න බැරි දෙයක් නෑ  ඒකට හොඳම සාක්ෂිය තමා ගනේවත්ත මහත්තයා. 

තව එකක් මේක කියවන නොකියවන හැම කෙනෙක්ගෙම ජීවිත වටින හන්දා මේකත් කියන්නංකෝ. දැං අර ඉස්කෝලෙ මහත්තයා සතියක් තිස්සෙ බඩ පපුව දැවිල්ල හැදිලා ගෑස්ටික් කිය කියා හිටියලු. දන්නෙම නෑ නිදි පැදුරෙම තමා නැතිවෙලා තියෙන්නෙ. ඒ හන්දා කට්ටියම කල්පනාවට ගත්තොත් නං හොඳා එහෙම අමාරුවක් ආවොත් ගෑස්ටික් කිය කිය නොඉඳ වහාම දොස්තර මහත්තයා ගාවට යන එක තමා නුවණට හුරු කියලා. දැං ඔය ඉස්සර ඉස්කෝලෙ දහම් පාසලේ තියෙනව නොවැ විවාද තරග.  ඒවයින් කතා කොරන්න තර්ක කොරන්න කොච්චර ඉගෙන ගන්නවද? හැබැයි දැං එහෙම තරගයක් තිබ්බොත් එක කණ්ඩායමක් අපේ කණ්ඩායමට ජය වේවා කිය කිය කෑ ගහයි. අනිත් කණ්ඩායම නිවන් සැප ලැබේවා කිය කිය කෑ ගහයි. මොකෝ එහෙම තමා දැං ගොඩක් එඋං මේ මූණු පොතේ හැසිරෙන්නෙ. දාන ඕනම කාරණයක් ගැන තර්ක කොරන්න දන්නෙ නෑ. විකල්පයක් පෙන්නන්න දන්නෙත් නෑ. ඕන එකටයි එපා එකටයි හැම එකටම ජය වේවා කියලා දානවා නිවන් සැප ලැබේවා කියලා දානවා. මෙඋංගෙ මොල ගෙඩි හෙල්ලිලාද කොහෙද මයෙ හිතේ. 

අපි හිච්චි එකාල සන්දියේ ඔය කවුරු හරි පක්ෂෙක නායකයො එනව කිවුවම රැස්වීමකට පැනගෙන යනවා බලන්න. උන්දැල හැබෑවට දකින්න තියෙන ආසාවටයි කතාව අහගෙන ඉන්නයි. ඉතිං මට මතකයි ඒ සන්දියෙ දැං කරාපිටියෙ සමසෞඛ්‍ය පීඨෙ නේවාසිකාගාරෙ තියෙන තැන ගොඩකන්දෙ පාර අයිනෙ රැස්වීමකට ආවා නොවැ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි, අනුර බණ්ඩාරනායක මහත්තයයි. ඒ දෙන්නම කතා කොරා. පස්සෙ ඔය මැතිණියගෙ අතේ තිබුණ වටා පතක් වගේ පවන් ගහන එකක් ආං ඒක වැටිල තිබිල ඒ පැත්තෙ කෙනෙක් අහුලගෙන බොහොම ආසාවෙන් තියන් හිටිය නොවැ. ඉතිං මට හොඳට මතක හිටිය එක තමා ඔය අනුර බණ්ඩාරනායක මහත්තයා කට කැඩිච්ච කතාත් කියනව නොවැ. උන්දැගෙ කතාවෙදි කිවුවා ජේ ආර්ගෙ පස්ස පැත්ත හරියට මිරිකපු දෙහි ලෙල්ලක් වගේය කියලා. ඉතිං මිනිස්සු හිනාවෙලා කෑ ගැහුවා ජය වේවා කියලා කොහොමහරි පස්ස පැත්ත කොහොම උනත් උංදැලගෙ ආර්ථික ප්‍රතිපත්ති හංදා හැම එකාම මිරිකලා මිරිකලා දැං මුළු රටම දෙහි ලෙල්ලක් වගේ කියලා තමා මට නං හිතෙන්නෙ.    


එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටදෙවන දිගහැරුම.

2023-10-19 බ්‍රහස්පතින්දා.    


Thursday, October 12, 2023

ජැටිය - ගමරාලගේ අඬහැරය හැටඑක්වන දිගහැරුම.

ජැටිය

ඕං මෙදා සැරෙත් බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කොරගෙන තමයි මේ අකුරු ටික ගැට ගහගත්තෙ. මොකෝ සමහර එඋං  හිතනව ගමරාලය වැලි කතරට වෙලා රස්සා වක් නං කොරන්නෙ නෑ. කවියි ලිපියි ලිය ලිය ඉන්නව කියලා.  ඒත් මම තමා දන්නෙ මොන යුද්ධයක් අස්සෙද කියල මේ දේ  කොරන්නෙ. සමහර වෙලාවට රෑට ඇස් පියවෙනකං ලියනවා.  උදේ පාන්දර නැගිටලත් ලියනවා. වාහනේ යන ගමනුත් ලියනවා.  නිවාඩුවක් තියෙන්නෙ ඉරිදට එදාටත් වැඩක් වැටුණොත් ඉතිං සුම්ම තමා. කොහොම හරි කට්ට කාගෙන ලියන එකේ සතුටක් දැනෙන්නෙ වැඩිපුර කට්ටිය මෙවුව  බලන කොට නොවැ. කියන්නත් සතුටුයි මේ සතිය වෙද්දි අර මේ පිටුව පස්සෙන් එලවන් එන අය සිංහලෙන් කියනවනං ෆලෝව්වර්ස්ලා දෙදාස් හාරසීය පැන්න ඕං. ස්තුතියි හැමෝටම. 

දැං මේ පහුගිය ඉරිදා නිවාඩුව ගත කොරන්න උනේ නෑ. මොකෝ මේ එහාට මෙහාට යන වාහනේ හදන්න කොලුවෙක් ආව නොවැ. ඉතිං උන්දැත් එක්ක කෑලි බෑලි ගන්න ගියා. වාහනේ කොටහක් හැදුවා. අපේ දවස හමාරයි නොවැ. ඔය ගොඩක් මෙහේ ඉන්න එඋං නිවාඩු දවසටත් පිට තැන්වල වැඩට යන්න තමා නිතරම බලන්නෙ. ඇයි වැඩිපුර කීයක් හරි හොයාගන්න එපැයි. හැබැයි ඉතිං සමහර පුරස්න තියෙනවා සල්ලිවලින්ම විසඳන්න බැරි. දැං හොඳම උදාහරනෙ මයෙත් එක්ක ඉන්න මේ මලයාලම් රියදුරු මිත්තරයා. මිනිහගෙ මායිය ඉන්නෙ මෝල්ටාවෙ. මිනිහ මෙහේ  ඩුබායිවල. අවුරුදු හතරක් පහක් වෙන පොඩි එකා මායියලයි මහ ගෙදර. ඉතිං හැමදාම අපි වැඩට යන වෙලාවටයි රෑට එන වෙලාවටයි දෙකටම ඒ පොඩි එකා නිදි. ඉරිද දවල්ට තමා අප්ප මෙහේ ඉදගෙන පොඩි එකාගෙ දඟකාරකම් ටිකක් දුරකතන තාක්ෂනෙන් බලාගෙන අච්චි කොටෝ කිය කිය හුරතල් වෙන්නෙ.  ඒත් වාහනේ හදන වැඩේ තිබුන නිසා මේ ඉරිදා පොඩි එකාට කතා කොරන්න උනේ නැහැ නොවැ. ආං ඒකයි. කොච්චර සල්ලි හම්බ කොරත් ඔයි වගේ පුරස්න විසඳන්න බෑ. ඒක තමා කියන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ කියලා. ඒත් ජීවත් වෙන්න සල්ලි ඕන. එච්චරයි. ඕක හරියට කියෝ ගන්නවනං හරි කවුරුත්. 

ඔය සෙනෙහසේ බැදීම් කියන එවුව හරි පුදුමාකාරයි. දැක්ක නොවැ පහුගිය දවසක ජැක්සන් ඇන්තනී මහත්තයගෙ පුත්‍රයා රූප පෙට්ටියට ඇවිත් කිවුවා අපි කොහොමහරි අප්පච්චිව සනීප කොරනවා කියලා.  ඒක කොරන්න බැරි උනත්  හරියට සෙනෙහස තියෙන දරුවො එහෙම තමා. අන්තිම මොහොත වෙනකං තමන්ගෙ අම්ම අප්ප බේරගන්න  සටන් කොරනවා. ඒත් අනේ අපි හැමෝගෙම අවාසනාවටද මන්දා පලිඟු මැණිකෙ නාට්ටියෙ ඉඳන් මහා දක්ෂතාවලින් අපිව අවදි කොරපු ජැක්සන් මහත්තය ඕං අද යන්නම යනවා. ඉතිං ඔය හදිසි අනතුරට එතුමා මූණ දීලා ඉන්න වෙලාවෙ  මටත් පුළුවන් විදියට කට්ටිය එක්කහු කොරගෙන ගාල්ලෙ කච්චිවත්ත පුරාණ විහාරස්ථානෙ පිංකමක් කොරා නොවැ එතුමට සෙත් ප්‍රාර්ථනා  කොරලා. ඔය වෙලාවෙ ජැක්සන් මහත්තයගෙ ගෝලයෙක් වෙච්චි අපෙ සුරේශ් කොලුවගෙ දුරකතනෙන් ඔය පුත්‍රය සම්බන්ධ වෙලා කිවුවා අනේ අයියෙ ඔය කොරන වැඩේට බොහොම පිං. අප්පච්චි කියල තියෙන්නෙ හැමෝම කොරන දේවල් පොතක ලියල තියන්න කියලා. අපි මේ සේරෝම ලියනවා. අප්පච්චි සනීප උනාට පස්සෙ අපි ඔයාලව මුණ ගැහෙනවා කියලා. ඒත් කවදාවත් ඉතිං ඒ හමුව නං වෙන්නෙ නෑ. කොහොම උනත් කමක් නෑ මහා දක්ෂතාවලින් අපිව අවදි කොරවපු ජැක්සන් මහත්තයට මොක්සුව නිවන්සුව මේ ඔක්කොම ලැබේවා කියල තමා කියන්න තියෙන්නෙ.    

හැබැයි ඉතිං පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී කිවුවට අර දැක්කනේ තට්ටු දෙකේ ගෙදරක ගේ ඇතුලෙ තියාගෙන බලු පැටවුන්ට කිරි පොවනවා. තමන් ජාතක කොරපු අප්පච්චි බලු කූඩුවක් වගේ එකකට දාල තියෙනවා. කැත කොර ගන්නව කියලා. අනෙ අප්පේ මෙහෙමත් එඋං. බල්ලට දක්වන සෙනෙහස තමන්ගෙ අප්පට නැහැ නොවැ. පුදුම එවුවො. 

අම්මප අහස පොළව නුහුලන අපරාධ නොවැ ලෝකෙ පුරාම සිද්ධ වෙන්නෙ. මයි හිතේ ලෝක විනාසෙ පටන් අරගෙනද කොහෙද. සමහර රටවල බලය අල්ලන්න හිච්චි එඋං පොකුරු පිටින් මරා දානවා. මොන සුවයක් ලබාගන්න මෙහෙම කොරනවාද අනේ මන්දා. 


සිරි ලංකාවෙ හතර අතේ ගං වතුර. මාත් ගමේ හිටියනං මේ දවස්වල හොඳට බැට කනව නොවැ. දැං ඔය ගොඩක් පාලකයො හිතන්නෙ වතුර ගලපු වෙලාවට මල්ලක් බෙදපුවහම සේරෝම හරි කියලා. මේ අපේ සමහර එඋනුත් ඔය මල්ල ගන්න පොර කන්නෙ ජීවිත කාලෙටම ඇති වෙන්න හම්බ වෙනව වගේ නොවැ. දැං අර අපේ සල්ලි කෝටි ගානක් කාබාසිනියා කොරලා ඔය වාරි මාර්ගෙයි තව කට්ටියයි එක්කහු වෙලා මාතර හැදුව නොවැ ලවන  බාධකයක් කියලා ජැටියක්. අන්තිමට ඒකෙන් අදාල වැඩේනං උනේ නැහැ නොවැ.  මුහුදට වතුර බහින එකනං අවහිර උනා. මාතර බාසාවෙන්ම කියනවනං අනේ මන්දා ඔහේල මක්ක කොරනවද කියලා. ආං  දැං ඒකෙ කොටහක් කැඩුවා.  ඒ අස්සෙ වාරි මාර්ගෙ වාහන අටසිය ගානක් අතුරුදහන් නොවැ. ඕං ඔය ජැටියට යටවෙලාවත් තියෙනවද කියල බැලුවනං.   


එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටඑක්වන දිගහැරුම.

2023-10-12 බ්‍රහස්පතින්දා.    


Thursday, October 5, 2023

කට්ටි - ගමරාලගේ අඬහැරය හැටවන දිගහැරුම.

 කට්ටි

ඕං පහුගිය දොහක ගියා නොවැ ඩුබායි රටේ දේරා වල තියෙන මාළු කඩේට. අපි ඉතිං ඕන තැනකට ගියහම විගහට හොයන්නෙ දොට්ට පිලට යන්න තැනක් නොවැ. ඕං ඉතිං එතන වැසිකිළිය හොයාගෙන ගියා නොවැ. අපේ රටේ සමහර උත්සව ශාලාවල තියෙන වැසිකිළි වලට වඩා පිරිසිදුයි නොවැ  මාලු කඩේ වැසිකිළිය. ඕං ඒ වැඩේ හමාර කොරගෙන දුවන පඩිපෙල දිගේ ගියා මාලු කඩේට. හැබැයි මාලු ගන්න නෙවෙයි ගියේ කරවල ගන්න. හාල්මැස්සො, කූනිස්සො, බොම්බෙලි ඒ විතරක්යැ තඩි කට්ට කරවලයෙකුත් ගත්තා. පංකාදුයි. බැලින්නං බඩු අරගන තියෙන්නෙ ලංකාවෙ දෙන්නෙක් ඉන්න කඩේකින්. හැබැයි ඉතිං ලංකාවෙ හිටපු කාලෙ ගාල්ලෙ මාලු කඩෙන් පටන් අරගෙන රට පුරා මාලු කඩවලට ගොහිං පෑලියගොඩ මහ මාලු කඩෙන් අවසන් කොරා. එක තැනකවත් නැහැ නොවැ දේරා මාලු කඩේ වගේ වැසිකිලියක්. අපේ රටේ මාලුු විකුණන සමහර තැන් වැසිකිළියටත් අන්තයි නොවැ. බලන්න එපාය මෙහේ මාලු විකුණන්න තියෙන විදිය. අයිස් කැට දාලා මාලු එක රටාවකට අඩුක් කොරලා වටේට ප්ලාස්ටික් මල් වැල් එහෙමත් දාලා හරියට අර ලංකාවෙ කපුවන්ට පූජ කොරන්න හදන පූජා  වට්ටිය වගේ ලස්සනයි නොවැ. 

ආං ඒකයි මේ පිටරටවල් දියුණු වෙන්නෙ. මොන දේ කොරත් පිළිවෙළට ලස්සනට කොරනවනේ. දැං බලාපල්ලකො අර ජපානෙ ඉස්කෝලවලට ගියහම  ඉස්සරවෙලාම පොඩි උංට කියලා පංතියයි වැසිකිළියයි පිරිසිදු කොරවන එක නොවැ කොරන්නෙ.  ඉතිං ඒ හන්දා ඒ වැසිකිළිවල කවදාවත් පාවිච්චි කොරාට පස්සෙ වතුර ගහන්න කියල ලියන්න දෙයක් නැහැ නොවැ. අපේ නං කොච්චර බෝඩ් ගැහුවත් වතුරත් නොගහ වටේට කෙළත් ගහලා බිත්තියෙ කුනුහරුපත් ලියල නොවැ යන්නෙ ඔය පොදු වැසිකිළිවල එහෙම තියෙන්නෙ. මුල හරියට හැදුවෙ නැති වුනහම එහෙම තමා. මක්ක කිවුවත් ඉතිං අපි වගේ මෝඩයො නෙවෙයි නොවැ හොඳට ඉගෙන ගත්තු මහ උගත්තු නොවැ පාලකයො වෙලා ඔය අපේ රටට අධ්‍යාපන කරම හදල තියෙන්නේ. ඉතිං එවුං හිතනව ඇත්තෙ දරුවොයි මහ එවුනුයි සේරෝම රේස් එකක දිවුවහම අස්ප රේස් එකක වගේ අනිත් රටවල් පහු කොරගෙන තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකෙට යන්න පුළුවන් කියල වෙන්නැති. ඒත් මට තේරෙන හැටියට නං අනිත් එවුං හරි විදියට දුවලා දියුණු වෙනකොට අපි වැරදි පාරක දුවල හොඳටම හති වැටිලා කියලා තමා.  

ඕං ඔහොම රටක ඉතිං එක දවසකට ළමා දිනෙයි වැඩිහිටි දිනෙයි සමරනවනේ. දැං ගොඩක් එවුං ජීවිත හදාගන්නෙ කෑම බීම ගන්නෙ ඔය ගෙදර තියෙන රූප පෙට්ටිය කියන විදියට නොවැ. ඕන වසක් විසක් කෑවහම ලස්සන වෙනවා තරුණ වෙනවා කියල කවුරුහරි ඕකෙ කිවුවනං කීය දීල හරි එවුවම තමා කන්නෙ. ඒ සැරේ අපිත් කන්නෙ ඔවුවම තමා කියලා පොටෝ ගහලත් දානව නොවැ. ඒ තරමට ඇබ්බැහි වෙලා තියෙන්නෙ. තව ඒ මදිවට ඒ රූප පෙට්ටියෙම පොඩි එඋංගෙ වැඩ සටහන් කොරනවා. එඋංගෙ හපන්කං කතා කොරන්න. ඕකෙ දවසක් එක පොඩි එකෙක් කියනව මම ගැහැවුවා සීයට වැටෙන්න පොලු පාරක් කියලා. ඉතිං මහ ජෝඩුවයි වටේ ඉන්න එඋනුයි හිනා වෙනවා. ඉතිං මෙවුව බලන අනිත් එවුනුත් හිතනව ඇති උනුත් ඒ තාලෙටම කොරා නං රූප පෙට්ටියෙන් පෙන්නයි කියලා. ඒපාර ඒකෙම පෙන්නව ළමා දිනේ සමරන්න ඕන විදියයි වැඩිහිටියන්ට ගරු කොරන්න ඕන විදියයි. පස්සෙ උං නිසාම ඔලුව තොරොම්බල් වෙච්ච පොඩි එකෙක් දඩබ්බර වැඩක් කොරොත් අංක එකේ පොරොත්ති උංගෙ කියලා තලු මරලා ඒකත් කියනවා. කාට කියන්නද මේවා. 

දැං අර පහුගිය දවසක පොරොත්ති වලට කිවුවෙ ක්‍රිඩකයෙක් සුද්දියෙක්ගෙ පස්ස පැත්තට හයියෙන් ගහල කියලා. බැරි වෙලාවත් එදා කියල තිබුනනං ඉස්කෝලෙ එනකොට පොරොත්ති සිරස්තල ලියන් එන්න කියලා පුංචි එවුං ඒකත් ලියං  යාවි. ඒකෙන් වැඩක් නෑ ආං අර දිනේශ් චන්දිමාල් කියන කොලුවා තමන් ඉගෙනගත්තු අම්බලංගොඩ ධර්මාශෝකෙට තමන්ගෙ සල්ලිවලින් කිරිකැට් පුරුදුවෙන්න තැනක් හදලා දීලා නොවැ. ආං දරුවො වෙනුවෙන් කොරන වැඩ. තව බුලත්සිංහල පිළිඹ ගාමිණී ඉස්කෝලෙ මුර කාරයා හැන්දයි ලඹෙයි අරගෙන විදුහල්පතිතුමියත් එක්ක හැමෝගෙම උදවු අරගෙන ශාලාවක් හදලා ලෝක ළමා දිනේ දවසෙ විවෘත කොරා නොවැ. බලන්න කොච්චර වටින වැඩද කියලා. 

ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙනං සෙල්ලං කොරන්න නිදහසක් තිබුන නොවැ. ඒ කාලෙ ඔය පොලොවෙ කොටු ටිකක් ඇදලා පැතලි උළුකැට කෑල්ලක් අරගෙන කට්ටි පනිනවා. අඹ ඇටයක් අරගෙන අඹ කට්ටි කියලා එකක් පනිනවා. සමහර පැතිවල කොටු පනිනවා කියලත් කියනවා. ඒකට දැං ඉන්න එඋං මහ එඋං හොරකං කොරල කට්ටි පනිනවා. පොඩි එඋං කොටු පනිනවා කියලා තැන් තැන්වල යනවා. අඹ කට්ටිනං ඇත්තෙම නෑ. ඉල්ලල අඹ ගන්න විතරයි එඋං දන්නෙ.      

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටවන දිගහැරුම.

2023-10-05 බ්‍රහස්පතින්දා.    


යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...