Thursday, November 30, 2023

මඤ්ඤං - ගමරාලගේ අඬහැරය හැටඅට වන දිගහැරුම.

මඤ්ඤං

 ඕං ඉතිං මෙදා සැරේ මේක අකුරු කොරන්නෙ ඉහළට ගොහිං. මොකෝ කලිං නවාතැන් පොල තිබ්බෙ හත් වෙනි තට්ටුවෙ නොවැ. මේ ඊයෙ පෙරේදා නවාතැන්පොල මාරු උනා. ඩුබයි රටේ වෙනම පලාතක එකළොස් වෙනි තට්ටුවට මෙතනට වටපිටාවත් හරි අපූරුවට පේනව නොවැ. ආං ඒ වටපිටාවත් බල බල තමා දැං මේ අකුරු කොරන්නෙ. මෙතන ඉදං බලනකොට පහළ මල් ගස් ලස්සනට වවල තියෙනවා. හරියට පේරාදෙනිය මල්වත්ත වගේ. කාන්තාරෙ මෙච්චර ලස්සනට ගස් කොළං වවන එක කොච්චර අමාරුද? ඒත් මෙඋං කොහොම හරි කොරනව නොවැ. ආං ඒකයි වෙනස. 

 ලංකාවෙ නං හැමදාම තියෙන්නෙ හිසේ රදේට කොට්ටෙ මාරු කොරන වැඩ නොවැ. අර කිරිකැට් කියල නම විකුණගෙන කන හොර හැත්තගෙ වගතුග හෙවුව කියලා අන්තිමට හොයපු එකා අයිං කොරා. වෙන එකෙකුට තනතුර දුන්නා. අන්තිමේ හොරු රැළ දිනුවා. ඒක තමයි තත්වෙ. ඒ අස්සෙ රට බංකොළොත් කළේ දෙදාස් පහළොවෙන් පස්සෙ කට්ටියයි කියල කොටහක් කියනවා. අනිත් එඋං කියනව නෑ ඊට කලිං ඉදලම බංකොලොත් වෙලාය තිබුනෙ අන්තිමට පැනල ගිය ලොක්කා ඉතුරු ටිකත් බංකොලොත් කොරගෙනය පැනල ගියේ කියලා. අන්තිමේ පොළවටම හාන්සි වෙලා තියෙන එක දැං ලොක්ක තමා කෙලිං කොරේ කියල කියන්නෙ. කොහොම උනත් දැං ඔය ඔක්කොම ලොක්කො ටික ලුණු කන්නෙ එක මල්ලෙ නොවැ. උං මක්ක කොරල තිබ්බත් ණය ගෙවන්නෙ අපි හන්දා උංට පුරස්නයක් නැහැ නොවැ. 

 අලි මදිවට හරක් වගේ මේ ආංඩුවෙ ආයතන හැමදාම පාඩුයි නොවැ. ආං රූපවාහිනී සංස්ථාවයි ගුවන් විදුලි සංස්ථාවයි දෙකම පාඩු හන්ද දෙකම එකට එක්කහු කොරනවලු. ඒකත් හොදා. පොරොන්දම් ගැලපෙනවද බලල කසාදෙ තීන්දු කොරා වගේ. දෙකම පාඩු හන්දා එකට ගැට ගහනව. කොහොමත් ඒවයින් වැඩි හරියක් කොරේ එක එකාගෙ රෙදි හෝදපු එක තමා. නැත්තං යකඩො පුද්ගලික නාලිකා කොච්චර තියෙනවද ඕව පාඩුයි කියලා වහනවය. ඔය හාමුදුරුවො විතරක් තනියම කොරන නාලිකා පවා යස අගේට තියෙන්නෙ. ආණ්ඩුවෙ එවුවට විතරයි හෙනහුරා ලබන්නෙ. 

 හැම එකාගෙම ඔලුගෙඩි කුරුවල් වෙලා නොවැ දැං තියෙන්නෙ. පාලකයොන්ටයි රටේ එඋංටයි හරි මග පෙන්වන එඋනුත් කෙලින්නෙ පිස්සුනෙ. අර ගොහිං අවුකන පිළිමෙටත් සිවුරු පොරවල තියෙන්නෙ. තව ඉස්සරහට අනේ පවු බුදු හාමුදුරුවො තනියම කියල යශෝදරා වගේ කාට හරි අන්දල පිළිමෙ ළඟින් ඉන්දවයිද දන්නෑ. එහෙවු බඩු ටිකක් දැං ඉන්නෙ. මට මතක් වෙන්නෙ මගේ රංගන ගුරුතුමා වෙච්චි මැදවල පර්සි කේ. ජයතිස්ස මහත්තය නිතරම කියන කතාව. මල්ලි දැං ධර්මය වන වැදිල තියෙන්නෙ. මං උත්සාහ ගන්නෙ නාට්ටියකින් හරි ඒක මතු කොරන්න කියලා. ඒ කතාව හරියට හරි නොවැ. 

 මෙවුව දැකලද දන්නෑ හැමදාම බෙංගාල බොක්කත් කැළඹෙනව නේද? හැමදාම හෙණ ගෙඩි පහත්වෙන හන්දා අහසෙන් මොරගෙඩි වගේ සැරට වතුර වැටෙනවා. නාය යනවා. දැං මාස කීයක් තිස්සෙද ඒකෙන් තැලෙන්නෙ නැති බැරි එඋං තමා. වගා කොරන එඋං අනාතයි. කුලියක් මලියක් කොරල ජීවත් වෙන එඋං අනාථයි. මහ එඋංට නං මේ කිසිම පුරස්නයක් නැහැ නොවැ. අපේ සල්ලිවලින් කාල බීලා උං සැපට ඉන්නවා. නැව ගිලුනත් බෑං චූං. 

 ආං තිස්සමහාරාමෙ කොච්චිපතාන වැවේ කොටහක් ගොඩ කොරල අක්කර ගානක හෝටලයක් ගහනවලු. වැව අයිනෙ තිබිච්ච මහ විසාල ගස් සේරෝම කපා දාලා ගොවි සංවිධානවලින් කොච්චර කිවුවත් වැඩක් නැතිලුනේ. දේශපාලන හයියක් තියෙනව කියන්නෙ. කෘෂි කරුම ඇමති ඉන්නෙත් ඔය පලාතෙම නොවැ. කාට කියන්නද මෙවුවා. 

 ඒ අල්ල පනල්ලෙ ඕං පහුගිය දොහක අපේ මායියගෙ අක්කගෙ දුවගෙ මංගල්ලෙත් තිබුනා. එඋං මගෙන් තමා ඇහුවෙ ලස්සන පොටෝ ටිකක් ගහන්න හොඳ තැන් කොහෙද කියලා. මම ඉතිං මෙහේ ඉදං උපදෙස් දුන්නා. එඋං ලස්සන පොටෝ ටිකක් ගහල එවල තිබුනා. එඋං දෙන්නටත් යහපත් පවුල් ජීවිතයක් ගත කොරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කොරනවා. හැමෝම වගේ ඔය පොටෝ ගහන්න යන තැනක් තමයි ගාලු කොටුව මගුල් දවස්වලට සේරෝම ඔතන තමා. ඒකත් අලුත් කලාවක් කියල වෙනස් උනානෙ ඇයි මනමාලය මනමාලිගෙ පස්ස පැත්ත අල්ලගෙන පොටෝ ගහනවා. මනමාලි මනමාලයගෙ රෙද්ද උස්සගෙන පොටෝ ගහනවා. මෙ පහුගිය දවසක සුදු රෙදි කෑල්ලකින් විතරක් ජෝඩුවම හෙලුවැලි වහගෙන පොටෝ ගහල මුහුණු පොතේ දාල තිබුන ඕං. ළඟදිම නූල් පොටක්වත් නැතුව පොටෝ ගහයි මයි හිතේ. අනේ මන්දා සේරෝම මඤ්ඤං.  

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටඅට වන දිගහැරුම.

2023-11-30 බ්‍රහස්පතින්දා. 

Thursday, November 23, 2023

නිල් - ගමරාලගේ අඬහැරය හැටහත් වන දිගහැරුම.

 නිල්

ඕං ඉතිං අවුරුදු ගානක් රබන් සද්දෙත් එක්ක විරිදු ගායනා කොරපු ඇම්. වී. ගුණදාස මහත්තයත් අපෙන් සමු අරගෙන යන්න ගොහිං නොවැ. රත්නපුරේ සිරිලක් පැන්සි හවුස් එකෙන් මුලින්ම විරිදු කැසට් පටිය ගැහුවෙ උන්දැ නොවැ. ඒ කාලෙ අපි කොරපු තොරං දන්සැල් ගාව ඉතිං සද්දෙට දැම්මෙත් මේ විරිදු කැසට් පටි තමා. ඉස්සර අපේ මාමා පෝය දාට ගෙදර සද්දෙට දානවා මේ කැසට් පටි. කොහොම උනත් මට උංදැ මුණ ගැහෙන්න නං බැරි උනා. හැබැයි පුත්තරය වෙච්චි සහන් ජයශාන්ත අර නෑන කැමති නෑ මට කිවුවෙ ආං ඒ හාදයා නං මගේ සංදර්ශන දෙකකට සම්බන්ධ කොරගත්තා. කොහොම හරි මං මෙහෙම කියන්නංකො විරිදුවෙන්. 

මුළු දිවියම විරිදු කියා - අප  හද බැතියෙන් සනසා

අනියත බව මෙයයි කියා - ඔහු නිවනට යන්න ගියා //


කැසට් පටි කොහොම වෙතත් අපේ කට්ටිය පඩි රෝල්  කරල තියෙන විදියට පටි රෝල් කියල තමා කියන්න වෙන්නෙ. ඇයි ඕං ආයතන ගාණක් පාඩුයි කිය කිය මහ භාණ්ඩාගාරෙන් සල්ලි ඉල්ල ඉල්ල කෝටි ගානක් වැඩිපුර උන්ටම පඩි ගෙවා ගෙන නොවැ.  ඒ මදිවට අර බදු හොරු අල්ලන රේගුවේ ඉන්නෙත් ඊට වඩා පට්ට හොරු ටිකක් නොවැ.  දඩයක් ගැහැවුවම උන්ට තෑගි මුදලක් හම්බ වෙන හන්දා උං යකෝ ලැබිච්ච ආදායම් දඩ කියල ලකුණු කොරලා ඒකෙන් කෝටි ගානක් තෑගි සල්ලි අරගෙන. අම්මප මෙඋංටත් හද පායනව නොවැ. 

ඕං ඒ අස්සෙ කෝටි ගනං කොමිස් තියාගෙන බාල බෙහෙත් ගෙන්නපු ටයි පොල්ල දාගත්තු ලොක්කො ටිකක් අහු වෙලා නොවැ. අහිංසක මිනිස්සු වලපල්ලට යවන විදියට වැඩ කොරපු උංදැල නං  දඬු කඳේම ගහන්න ඕන. ඒත් ඉතිං ඕකුන් කොහොම හරි සල්ලි ටිකක් විසික් කොරලා බේරෙයි. මොකෝ නීති පොත තිබුනට ඉතිං අර පිටුව පෙරලුවට සීතා පොත දන්න රාමල නොවැ ඉන්නෙ. ආං ඒකයි. 

ඒ අස්සෙ ඕං සමීක්ෂණයකින් කියනව පවුල් දහයක් ගත්තොත් හයක්ම සාගින්දරේ කියලා. එහෙව් එකේ කිරි පිටි ටිකක් ගන්න නං කොච්චර අමාරුද? ඒ මදිවට සල්ලි දීලවත් සීනියි සම්බ හාලුයි ගන්න විදියක් නැතුව පෙළක් එඋං බලං ඉන්නවා. ආං මිල්කො එකේ කිරි පිටි කෝටි ගානක් සත්තුන්ට කන්න දීලා නොවැ. ඉතිං පවුල් හයක් නෙවෙයි ඔක්කොම පවුල් හරි මහ එඋං කියන විදියට නං දෙදාස් හතලිස් අට වෙනකං සාගින්නෙ ඉන්න වෙයි මයි හිතේ. කොහොම හරි ඉවසන්න එපාය ඉතිං රට වෙනුවෙන් නොවැ මේ හැමදේම එඋං කැප වෙලා පාර්ලිමේන්තුවෙ කෑ කෝ ගහගෙන මරාගෙන කොරන්නෙ.

අනේ ඉතිං මේ මුහුදෙන් එතෙර වැලි කාන්තාරෙ ඉන්න අපි වගේ එඋං කොච්චර ආසාවෙන්ද ඉන්නෙ සිරි ලංකාවෙ වැවෙන එළවලුවක් පලතුරක් කන්න. ඕං ඒකට කිරි අල, මෑ කරල්, තක්කාලි ඒ සේරෝම රටින් ගෙන්නලාලුනේ සිරි ලංකාවට. අපේ එඋනුත් ගොඩක් වෙලාවට ඔය රට බඩුමනෙ හොයන්නෙ. මයි හිතේ ඒ හන්ද වෙන්නැති. ගොවියට හෙන ගැහුනත් මොකෝ. 

ආං ළමයි ගෑනුයි භාර ඇමතිතුමිය කියනවා ළමා මවුවරු දෙදාස් ගානක් ඉන්නව කියලා. යකඩෝ වෙච්චි දෙයක්. ජාතිය වද වෙයි කියලා බයවෙලා මුං ඉක්මන් වෙලාවත්දෝයි කියලා වෙලාවකට මට  හිතෙනවා. මොකෝ දැං හැදෙන එඋං හෙන හදිසි කාරයොනේ. ඒ අස්සෙ එපිටවෙල හෝටලේකින් නිල් මැණික් පෙට්ටි පනස් එකක් උස්සලාලු ඕං.  නිල් මැණික් නම් ඉස්සර අපි දන්නෙ නෑ. හැබැයි සුදු ඇදුම් හේදුවහම නිල් දානවා කියල නං දන්නවා. ඊට පස්සෙ ඉතිං  ඩිංගිත්තක් කර දණ්ඩ උස් මහත් වෙනකොට නිල් කිවුවෙ වෙන දේකට නොවැ. ඉතිං නිල් කටරොලු මලින් උපන් මුනිවරුත්  ඉන්න රටේ ඔක්කොම නිල් කියලා හිතෙන්නෙ නැද්ද. මේ වෙච්චි සෙල්ලං  ටික බැලුවහම ඔක්කොම නිල් වැඩ තමා. 

හැබැයි ඉතිං කිරිකැට් ලෝක කුසලානෙන් නිල් පල් උනා කියල තමා දැනෙන්නෙ. මොකෝ මුළු ඉංදියාවම නිල් පාට කොරලා ඔය කොරගත්තෙ හොඳම එකෙන්. අන්තිමේ ලැජ්ජ නැතුව මෝදි උන්නැහේ නිල් පාටට ඇදගෙන ඇවිත් කුසලානෙ දුන්න නොවැ. උනන්දුවයි කැපවීමයි තියෙනවනං මොන පාට උනත් මොකෝ කියල තමා කැන්ගරු දේශෙන් දීපු පනිවිඩේ. 

අපේ නං ඉතිං පාලක මංඩලේ නිල් උනා නොවැ ගැටිස්සියො අරගෙන සවාරි ගොහිං. අන්තිමේ බලුකං සේරෝම කොරලත් තහනම් කොරන්න කියලා එඋංම ලියුං ගහලා නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ. දැං කිරිකැට් ගහන්නෙ පාර්ලිමේන්තුවෙයි උසාවියෙයි විතරයි නොවැ. අන්තිමේ ඔක්කොම නිල් කියල තමා කියන්න වෙන්නෙ.  


එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටහත් වන දිගහැරුම.

2023-11-23 බ්‍රහස්පතින්දා.    


Thursday, November 16, 2023

අන්දරේ - ගමරාලගේ අඬහැරය හැටහය වන දිගහැරුම.

 අන්දරේ

ඕං ඉතිං දැං ඩුබයි රටෙත් කාලගුණය සිරි ලංකාව වගේ වෙලානෙ තියෙන්නෙ. හැන්දැ කොරේ හය වෙද්දි පට්ට කරුවලයි. උදේ පාන්දරට හද්ද හීතලයි නොවැ. ගිනි කාස්ටකේ තැපල තැපල එක පාරට හීතල ආවම අකුරු ගැටගහ ගන්නත් ඩිංගිත්තක් අමාරු උනා නොවැ. තව එකක් සමන් සී ලියනගේ කියන මගේ මිත්තර පත්තර කාරයට ස්තුති කොරන්න ඕන මොකෝ සමසමාජය පත්තරේ මුල් පිටුවෙම මට ඉඩක් වෙන් කොරල නොවැ ,සැර කවිය, කියලා. ඒක දැක්කම හීතලත් නැතුව ගියා ඕං. 

ඒ අස්සෙ ඊශ්‍රායලෙයි පලස්තීනෙයි පත්තුවෙන ගිනි පුපුරු මෙහෙටත් වැටේවිදෝයි කියලා සමහරු දෙගිඩියාවෙන් ඉන්නවා. දැනට නං මෙහේ කිසි අවුලක් නැහැ නොවැ. හැබැයි ලෝකෙ කොහේ ගිනි පත්තු උනත් අළු ඩිංගිත්තක් හරි පෙරදිග ලෝකයේ  බබළන මුතු ඇටයට වැටෙන විත්තිය අපි ටක්කෙටම දන්නවා. මොකෝ දැං අවුරුදු ගාණත් තිස්සේ ඒක අමුතු ඇටයක් වෙලා නොවැ. අනුන්ගෙන් යැපෙන පරදේසක්කාරයන්ගෙ තිප්පොලක් වෙලා තියෙන්නෙ. ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අඹ ගෙඩියක් වගේ නොවැ ඒක පෙනුනෙ. දැං අඹේ කාලා ඇටෙත් සූප්පු කොරලා නොවැ. 

අපේ එඋං ඔය අමාරුව දන්න හන්දා තමා මොන කෙළියක් උනත් ආපහු ලංකාවට යනවට වඩා ඊශ්‍රායලෙ ඉදල මැරුණත් කමක් නෑ කියලා එහේම ඉන්නෙ. යන්න ඕන කියලා එකෙක්වත් දැනුම්දීලා නැතිලු නොවැ. වෙන රටවල නං රොත්ත පිටින් පිටමං වෙලා. ආං ඒ අඩු පාඩුවට විගහට සිරි ලංකාවෙන් කට්ටිය එවන්න කියලා ගිවිසුමක් ගැහැවුවලු. දැං ඕවයි ලයිස්තු කාට ඕන තාලෙට හදයිද කියන එක තමා පුරස්නෙ. ඔය ඉස්සර කොරියන් යවන්න පටන්ගත්තු කාලෙ අපේ පැත්තෙ රැවුල වවාගෙන හැම  එකාටම රැඩිකල් වදන් දොඩවන ගමේ මන්තිරි කෙනෙකුට හම්බ වෙච්චි කොරියන් අයදුම්පත්තර දෙකක් කොපි ගහල කට්ටියට බෙදලා බරටම සල්ලි අරගෙන තිබුණ නොවැ. අන්තිමට සල්ලි භාර ගන්න වෙන මිනිහෙක් පත් කොරලා ඒ මිනිහා වැරදිකාරය කොරලා  මහ උළුගෙදරත් යවලා හීන් නූලෙන් මන්තිරිය බේරුනා. හැබැයි ඉතිං කවදහරි උන්දැට දඬුවම් පොලියත් එක්කම හම්බවෙයි කියලා මට විස්වාසයි. 

ඕං අපි හීන් එකාල සන්දියෙ සෙල්ලං කොරන්න ෆෝන් තිබුනෙ නැහැ නොවැ. එළියට පහළියට බැහැල ඇගට දාඩිය වැටෙනකං එක එක සෙල්ලං කොරා නොවැ. ඕං ඔය කාලෙ තරගෙට සෙල්ලං ගෙවලුත් හදනව නොවැ. පස්සෙන් පහු කාලෙක එක ගොල්ලෙක් අමු පොල් අතු වලින් සෙල්ලං ගෙවල් හදන කොට තව කට්ටියක් ඒකට ඔච්චං කොර කොර පොල් අතු හොඳයි අලියට කන්න කිය කිය සුවඳ ගහන්න කියලා නෙළුම් පොහොට්ටුවලින් සෙල්ලං ගෙයක් හැදුව නොවැ. අන්තිමේ මඩපෝරයි වතුරයි නැතුව පොහොට්ටු පරවෙන්න යනකොට මේකත් අලියම ගිලපිය කියලා අලියටම දීලා දැම්මා නොවැ. දැං ඒක හරියට අලිය ගිල්ල දිවුල් ගෙඩිය වගේ. දැං එඋංගෙ කැමැත්තෙන්ම අලියට පුදලා දැං හොටු පෙර පෙර අපිට ඕන විදියට නෙවෙයි දැං මෙතන වැඩ කෙරෙන්නෙ කියලා කිවුවට මක් කොරන්නද. 

ඉස්සර අපේ අත්ත මුත්ත කාලෙනං ඔය අය වැයක් අහන්න සැදී පැහැදී හිටිය නොවැ වෑර්ලස් එක ළඟට වෙලා. ඒක ඒ තරං විශේෂයි. ඒකට දැං කොළ මිටියක් බලාගෙන මක්ක හරි ගනං ඉලක්කං ටිකක් කියනවා. මෙලෝ දෙයක් නොතේරුනත් අනික් එඋං පක්ෂයි පක්ෂයි කියලා කෑ ගහනවා. පක්ෂ වෙන එඋංගෙ අතට යහමින් බඩු හම්බ වෙනවා. අපිට යහමින් බදු හම්බ වෙනවා. මෙදා සැරේනං ඕං බුද්ධ දේශනාවෙ ව්‍යග්ගපජ්ජ සූත්තරේ තියෙන සමජීවිකතා විදියටයි කිවුවෙ අය වැය හැදුවෙ. ඒක හන්දා ඉතිං බුදුන්ගෙම සරණයි කියල තමා කියන්න වෙන්නෙ. 

ඒ විතරක්යැ. මෙදා අය වැයෙන් අන්දරෙත් මතක් කොරා නොවැ. කර උඩ ගල තියන්න ලැහැස්ති වෙනව වගේ අනිත් එඋනුත් කර ඇරිය කියලා. ඕක කියන කොට අර අන්දරේ මැරුනෙ නැහැ කියන සිංදුවත් මතක් උනා. කොහොම උනත් රජාටත් වඩා කපටියෙක් නොවැ අන්දරේ කියන්නෙ. සමහරු කියන විදියටනං ඔය ලෝකෙ ඔක්කොම එඋංට වඩා හොඳට කට්ට කපටිකං දන්න ඔක්කොම දේවල් දන්න මනුස්සයෙක් නොවැ අපේ රටේ ඉන්නෙ. කොහොම උනත් කමක් නෑ රජ කාලෙ නං රජාට පාඩමක් උගන්නන්න අන්දරේ බිම පෙරලි පෙරලි සීනි කෑවා. දැංනං  රජාල එක්ක එක්කහු වෙලා මුදලාලිලා සීනි බද්දෙන් හොඳට කනවා. අපි ලෙව කනවා. දැං අන්දරේ උන්න නං රජාට මෙහෙම කවියක් කියයි කියලා තමයි මට හිතෙන්නෙ. 

හොට බිම ඇනන් කෝට් බෑය  දමාගෙන 

ලොට ලොට හොරකමුත් කඩ්ඩෙන්  වසාගෙන 

යටට ඇදපු අමුඩෙත් බිම         හලාගෙන 

රෝයල් බෝයි කොයි යනවද    උදෑසන 


එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටහය වන දිගහැරුම.

2023-11-16 බ්‍රහස්පතින්දා.    


Thursday, November 9, 2023

බල්ලෝ - ගමරාලගේ අඬහැරය හැටපස් වන දිගහැරුම.

 බල්ලෝ

  ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම් කියාගෙන ඕං අතුල ශ්‍රී ගමගේ මහත්මයත් යන්නම ගොහිං නොවැ. මාත් ඔය සංගීත වේදිකාවල යකඩ කටින් මොර තියපු කාලෙ අපි එකට මුණ ගැහුණ නොවැ. එක පාරක් මගේ ගජයෙක් වෙච්චි ප්‍රසංග සංවිධායක අනිල් උන්නැහේගෙ වාහනේ අපි කොළඹ ඉදන් කතරගමට ගොහිං ආපහු වැඩ වගේකට හම්බන්තොටටත් ආව නොවැ. එදා අපි කෑවා. බීවා. අතුල ශ්‍රී කියන්නෙ ආං ඒ වගේ නිහතමානීව ඕන කෙනෙක් එක්ක කාල බීලා ආශ්‍රය කරන මනුස්සයෙක් නොවැ. දැං ඉතිං නිල් නුවන් පියවිලා එයත් යන්න ගොහිං. එහෙනං සුබ ගමන්. 

 රටේ දහසක් පුරස්න තිබුණත් ගෙදර හාල් ඇටයක් නොතිබුණත් ලයිට් බිල කොච්චර වැඩි වුණත් කොහොම හරි කිරිකැට් බලන්න ඕන කියලා මේනියාවක් අපේ උංට තියෙනව නොවැ. ඒ ඉතිං හොඳටම පෑරිච්චි  පපු කැනැත්ත ඩිංගිත්තක් හරි සමනය කොර ගන්න නොවැ. අන්තිමේ ඒකටත් ඔට්ටු කාරයො රිංගගෙන වෙච්චි සංගෙදිය දැක්කනේ. කොහොම හරි අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුවා වගේ අන්තිමට හරි අනූ හයේ අපේ වීරයෝ වෙච්චි අර්ජුන රණතුංග මහත්තයට වැඩේ පවරපු එක බොහොම හොඳයි. උන්නැහේ ඔය මජර දේශපාලනයට පැටලෙන්නෙ නැතුව හිටියනං තවත් හොඳයි. කොහොමටත් ඕං ඒ කමිටුවටත් ආයෙ තහනමක් දාලලුනේ. අනේ මන්දා හොරා කන ඒව නවත්තන්න තමයි තහනම් දාන්න බැරි. වැඩක් කොරන්න ගත්තොත් ඒවට නං තහනම් වැටෙනව ඕක තමයි ලංකාවෙ කරමෙ. 

 අම්මප පුදුම වැඩේය කියන්නෙ ඔය ආදායම් ලබන රාජ්‍ය ආයතන හැමදාම වගේ කෝටි ගණන් පාඩුයි නොවැ. ආං තානායම් පොලවල් වගේකිනුත් කෝටි ගානක් පාඩුයිලු. ලයිට් බිල කොච්චර වැඩි කොරත් මංඩලේ පාඩුයි. තෙල් මිල වැඩි කොරාට සංස්ථාව පාඩුයි. මං අහන්නෙ ඔය ඉහල පුටුවල ඉන්න එවුනුයි රට පාලනය කොරන එවුනුයි අපිට වඩා හෙන උගත්තු නොවැ. ඉතිං එඋංට දෙයියන්ගෙ හාල් කැවිලද මේ හැම එකක්ම පාඩු වෙන විදියට සැලසුම් හදල තියෙන්නෙ. යකඩෝ දෙකේ කැලෑසියටවත් නොගිය එකෙක් ආප්ප කඩයක් කොරත් ඒක අතමිට යහමින් ලාභ ගන්න විදියට කොරන්න දන්නවනේ. කොහොම උනත් හැම එකාම උන්මත්තකයො වගේ වැඩ කොරලා අන්තිමේ කරපු පාඩුව අපි හැමෝම එක්කහු වෙලා ගෙවනවා. මේ වගේ දේවල් වලටනං ඔය මූල්‍ය අරමුදලින් උපදෙස් ගන්න ඕන නෑ. ගමේ කඩයක් කොරන සයිමගෙන් ඇහැවුවනං උපදෙස් දෙයි නොවැ ලාභ ලබාගෙන ව්‍යාපාරයක් කොරන විදිය. 

 පිටරටකට එන්න කලියෙන් මං හිතන් හිටියෙ යක් මූණු දාගෙන ජල්ලි අල්ලන්නෙ අඩව් අල්ලන්නෙ සිරි ලංකාවෙ විතරයි කියල නේ. බලනකොට මෙහෙත් එහෙම ඒව තියෙනවා මේ දවස්වල හැලොයින් කියල එකක්. හිච්චි එඋං යක් මූණු දාගෙන ගෙයින් ගෙට යනවා. ගෙවල්වල මහ එවුනුත් යක් මූණක් දාගෙන හිච්චි එඋනුත් පුදුම කොරවනවා. ඊට පස්සෙ වට්ටක්ක බෑයක් වගේ එකකට ටොෆි චොකලට් පුරවල දෙනවා. බලනකොට යක් මූණු සෙල්ලම් හැම තැනම තියෙනව නොවැ. අන්තිමේ අරුං එකට හැපි හැපි “හැපී හැලෝයිං” “හැපී හැලෝයිං” කියාගෙන යනවා. ඒකත් මරු නොවැ. 

 යක් මූණු ගැන කියනකොට වන්නිල ඇත්තො මතක් වුනා නොවැ. ආං උන්ද මහ හූරන්ට ලීයමනක් ඇරලා ඔය පැල් කොටවලටම හූරලා මංගච්චලා ඉංගිරිසි කොලවල අත්සන් කොර ගෙන ණය දීලා ගිනි පොලී එක්ක දවස ගානෙ එක්කහු කොරනවාය. එහෙම බැරි තැන්වල ඒකට හිලවු වෙන්න කැකුලියන්ට හදි කොරනවාය කියලා. ඔය සෙල්ලමට හැම ගමකම වගේ ගෑනු අම්මණ්ඩිලා අහුවෙල නොවැ ඉන්නෙ. මක්කට අත්සන් කොරාද කියල දන්නෙත් නෑ. අන්තිමේ සේසතම ඉවර වෙනකල් ගෙවනවා. නැත්තන් ඇප අත්සන් කොරපු ගෑනු එක්ක මරා ගන්නවා. අම්මප මෙවුවට නීති නැද්ද හැබෑටම. 

 ඒ අල්ලපනල්ලෙ මේ ඩුබයි රටේ පදිංචි අපේ මලයා ගෙදරට බල්ලෙක් ගෙනාව නොවැ හුරතලේට හදන්න. මෙහේ ඔය ලේසියට බල්ලො හදන්න බෑ නොවැ. ඒකට අවසර පත්‍රයක් ඕන. බල්ල හදන මනුස්සයගෙ පෙලෙන්ති නාමෙත් බල්ලට දෙන්න ඕන නොවැ. මං ඉතිං කිවුව එහෙනං පෙලෙන්තියත් බල්ලට ගියා කියලා. බලාගෙන යනකොට එක හොඳා. මොකෝ දැං හැමදේම බල්ලට ගොහිං කියනව නොවැ. හැබැයි ඒක බල්ලටත් කොරන අපහාසයක්. මොකෝ බල්ලො එහෙම නෑ නොවැ. උන්ගෙ තියෙන ගුණ කකුල් දෙකේ බල්ලො ගාව ඩිංගිත්තක් වත් නැහැ නොවැ. අන්ඩ උස්සන්න පුළුවන් වෙච්චි ගමන් බඩගින්නට කන්න දීපු එකාගෙ අත හපා කාලා මෙලෝ සිහියක් නැතුව බලු කමේ යනව නොවැ. සිරි ලංකාවෙ විතරක් නෙවෙයි මේ රටෙත් මට එහෙම එඋං හම්බවුනා. හැබැයි උංගෙ ජාතියත්  සිංහල.  කොහේ ගියත් එහෙම එඋං ඉන්නවා. එහෙම එකේ පැලැන්තිය නෙමෙයි මොක දැම්මත් කකුල් හතරෙ බල්ලො හොඳා කියල තමා මට  හිතෙන්නෙ. ඒ මොකේ දැං ඔය අපේ මලය ගෙනාපු බලු කොලුවා  හැමදාම උදේට අපේ මලයා වැඩට යන්න හදන කොට හිටගෙන උන්දැට ආචාර කොරනවනේ. ආං නියම බල්ලෝ. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටපස් වන දිගහැරුම.

2023-11-09 බ්‍රහස්පතින්දා.

Thursday, November 2, 2023

ෆෝමලින් - ගමරාලගේ අඬහැරය හැටහතර වන දිගහැරුම.

 ෆෝමලින් 

  ඕං ඉතිං අපට මතක ඇති කාලෙ ඉදලා කිරිකැට් තරග ළඟ සිංහ කොඩිය උස්සගෙන සිරි ලංකාවට  ජය වේවා කිය කිය කෑ ගහපු පර්සි මහත්තයත් යන්න ගොහිං නොවැ. උන්දැටත් ආචාර කොර ගෙන කතාව පටන් ගන්නංකො. යකඩො දැං බලාගෙන යනකොට සමහර පන්සල්වලට අධිකරණ බලයටත් එහා ගිය එකක් හම්බුවෙලා නොවැ. දැං අර දැක්කනෙ කැබිතිගොල්ලෑවෙ ගොවිතැන් කොරල ජීවත් වෙච්චි මිනිහෙක් මැරුණ වෙලේ අන්තිමට පන්සලට දානෙ වේල මග ඇරලා කියලා හතලිස්පන්දාහක දඩයක් නියම කොරල තියෙන්නෙ නායක හාමුදුරුවොයි දායක සභාවයි එක්කහු වෙලා. කොහේද එහෙම දඩ ගෙවන්න සල්ලි තියෙන්නෙ. මතක බණ පිංකමට ආරණ්‍යවාසී හාමුදුරු නමක් වැඩම කොරගෙන කොරා කියලා හාමුදුරුවොයි දායක සභාවයි ඇවිල්ලා බණට වැඩපු හාමුදුරුවන්ට තඩි බාලා නොවැ. ඒ මදිවට පොලෝසියටත් තඩි බාලා. දැං ඔය ගොඩක් පන්සල්වල උන්නාන්සෙලට ඕන මෛත්‍රිය පතුරුවන්න නොවෙයි. එයාලගෙ බලය පතුරුවන්න. හැබැයි ඉතිං ඔය කැබිතිගොල්ලෑවෙම තමයි හාමුදුරුවරු ගමන් කොරපු බස් එහෙකට කොටි ගහලා අමු අමුවෙ මරල දැම්මෙ. ආං ඒ කාලෙ ඔය චන්ඩි හාමුදුරුවොයි චන්ඩි දායක සභාවයි හිටියනං කොටි එක්කත් ගේම ඉල්ලන්න මක්ක කොරන්න තිබුනද? කොහොමින් කොහොම  හරි අනේ මන්දා මෙඋං බුදු හාමුදුරුවොන්ගෙ ධර්මය තේරුම් ගත්තු එඋං නෙවෙයි මයි හිතේ. මොකද උන්වහන්සේ දේශනා කොරේ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියල නොවැ. 

 දැං බලාපල්ලකො ඔය හැමදාම පුංචි එඋංගෙ නැණ නුවණ පාදන කකුල් දෙක අල්ලල වදින්න පුළුවන් කියන ඔය ගුරුවරුන්ගෙ පුරස්නෙ දැං ආණ්ඩු කීයකට නං කිවුවද? ඒවට කිසිම ඇහුන්කං දීමක් නෑ කිසිම වටිනාකමක් නෑ. ගුරුවරුන්ගෙන් මහ ලොකුවට ඉගෙන ගත්තයි කියන පාලකයො තමයි මේ රටේ ඉහළ පුටුවල ඉන්නෙ. බලන්න එපාය ඒ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ඉල්ලල පාරට බැස්ස විතරයි උංගෙ පොලෝසියයි හමුදාවයි ඔක්කෝම දාලා ගැහුව නොවැ කඳුළ ගෑස් වතුර ඔක්කොම දේවල් ටික. විලිලැජ්ජයි නොවැ. ගුරුවරු කියන්නෙ  එහෙම තත්වෙට පත්වෙන්න ඕන මිනිස්සුද? ගුරුවරුන්ට වටිනාකමක් දෙන්න බැරි පාලකයොන්ගෙන් රටකට ඇති සෙතේ මොකක්ද කියහල්ලකෝ. ඒ මදිවට මිනිස්සුන්ට ලයිට් බිල වතුර බිල ගෙවාගන්න විදියක් නෑ නොවැ. බිල ගෙවුවොත් කන්න විදියක් නෑ. ගමනක් බිමනක් යා ගන්න විදියක් නෑ. ලෙඩක් උනොත් බෙහෙත් ගන්න කොහොමත් විදියක් නැහැ නොවැ. පාලනේ කරන උංට ඒවයි ගානකුත් නෑ. අරමුදලින් ලැබුණු උපදෙස් කියලා බදු පිට බදු ගහනව නොවැ. හැබැයි වැඩේය කියන්නෙ අපි බැංකුවකට ලොකු ගාණක් දැම්මොත් ඒ සල්ලි ලැබිච්ච විදිය හොයනවා. ණයක් ඉල්ලුවොත් ඒකෙන් කොරන දේ අහනවා. ඒකට දැං ඔය පාලකයො සේරෝමනේ ඔය ලෝකෙන් ණය අරගෙන තියෙන්නෙ.  හැබැයි ඒවයින් කොරේ මොනවද? ඇයි ඒව වියදම් කොරල රට දියුණු කොරන්න බැරිවුණේ කියල හාන්කවිසියක්වත් අපි  දන්නෙ නෑ. ඒ උනාට ණය ගෙවන්නෙ අපි. ඒක තමා නියම කරුමෙ. 

 ඕං බලන්න පරිසරය කොච්චර විනාස වෙලාද කියන්නෙ දැං මවු කිරිවලටත් ප්ලාස්ටික් කවලම් වෙලාලු නොවැ. බලන්න පුංචි එඋංට විශ්වාසෙන් දෙන්න තිබ්බෙ එච්චරයි. ඒකත් දැං හමාරයි නොවැ. කොහොමටත් සමහරු නං ඒකත් දෙන්න අකමැතියි නොවැ. පොඩි එකා ඕක ඉරුවහම එල්ල වැටෙනව කියලා. ඒක උස්සල හිර කොරලා තියාගෙන පුංචි එකාට පිටි පොවනව මොලේ වැඩෙන්න කියලා. දැං ඉතිං ඉබ්බ දියේ දැම්ම වගේ තමා. ප්ලාස්ටික් තියෙනව කියලා කොහොමත් නොදී ඉදීවි. ඊළඟට මූල්‍ය අරමුදලින් කිවුව කියලා  කිරිවල ප්ලාස්ටික්වලටත් බද්දක් ගහයිද දන්නෑ. සුද්දගෙ කාලෙ තණ බද්ද කියල එකකුත් තිබිල නොවැ. ඉතිං සුද්දට වඩා හපන් සුද්ද කොරන්න  දන්න පුතයො ටිකක් නොවැ දැං ඉන්නෙ. අනික සුද්දන්ටත් ඉංගිරිසි උගන්නන්න පුළුවන් කෙනෙක්ලු නොවැ දැං ලොක්ක. ඒක හන්දා හොඳටම කොරයි මයි හිතේ. 

 ඕං හිටපු සෞඛ්‍ය ඇමති කිය කිය හිටිය නොවැ ලෙඩ්ඩු මැරෙන හන්දා තමයි ඉස්පිරිතාල ගාව පෙට්ටි සාප්පු තියෙන්නෙ කියලා. කොහොම හරි දැං ඇමතිකම මාරු උනා. ඒ ගැන කියන්න තාම කල් වැඩියි බලමුකො ටිකක් කොහොමද කෙරුවාව කියලා. කොහොම උනත් අවසානෙට හැමෝම යන තැනක් නොවැ පෙට්ටි කඩේ. අවසානෙට කොන්ඩ රැවුල කපල මූණ අතපය හදලා රෙදි අන්දලා හැඩ වැඩ කොරන්නෙ එතනින් නොවැ. තොල් දෙක ඇතුලට සපත්තු අලවන ගම් එක දාලා ඇලෙවුවහම ඉතිං අපේ උං කියනවා පන පිටින් හිටිය වගේ ඒ හිනාවත් එහෙම්මමයි කියලා. මැරුණු එකාට ඉතිං කියාගන්න විදියක් නැහැ නොවැ කටේ ගම් කියලා. ඕං දැං කතාව මේකයි. හැමදේම වගේ ඒ සැරේ ෆෝමලිනුත් බාල කොරල නොවැ. දැං වෙනද වගේ දෙගුණයක් ෆෝමලින් ගහන්න වෙනවා. දැං ඉතිං ඒ ගානත් පෙට්ටියෙන් වැඩි කොරයි. කරවල මාලුත් ගණන් යයි මයි හිතේ ඇයි දෙගුණයක් ගහන්න වෙනවනේ. මොකෝ ජීවත් වෙනකං මොනව ගැහුවත් අන්තිමේ ගහන්න වෙන්නෙ ෆෝමලින් තමා. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හැටහතර වන දිගහැරුම.

2023-11-02 බ්‍රහස්පතින්දා.    

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...