බල්ලෝ
ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම් කියාගෙන ඕං අතුල ශ්‍රී ගමගේ මහත්මයත් යන්නම ගොහිං නොවැ. මාත් ඔය සංගීත වේදිකාවල යකඩ කටින් මොර තියපු කාලෙ අපි එකට මුණ ගැහුණ නොවැ. එක පාරක් මගේ ගජයෙක් වෙච්චි ප්‍රසංග සංවිධායක අනිල් උන්නැහේගෙ වාහනේ අපි කොළඹ ඉදන් කතරගමට ගොහිං ආපහු වැඩ වගේකට හම්බන්තොටටත් ආව නොවැ. එදා අපි කෑවා. බීවා. අතුල ශ්‍රී කියන්නෙ ආං ඒ වගේ නිහතමානීව ඕන කෙනෙක් එක්ක කාල බීලා ආශ්‍රය කරන මනුස්සයෙක් නොවැ. දැං ඉතිං නිල් නුවන් පියවිලා එයත් යන්න ගොහිං. එහෙනං සුබ ගමන්.
රටේ දහසක් පුරස්න තිබුණත් ගෙදර හාල් ඇටයක් නොතිබුණත් ලයිට් බිල කොච්චර වැඩි වුණත් කොහොම හරි කිරිකැට් බලන්න ඕන කියලා මේනියාවක් අපේ උංට තියෙනව නොවැ. ඒ ඉතිං හොඳටම පෑරිච්චි පපු කැනැත්ත ඩිංගිත්තක් හරි සමනය කොර ගන්න නොවැ. අන්තිමේ ඒකටත් ඔට්ටු කාරයො රිංගගෙන වෙච්චි සංගෙදිය දැක්කනේ. කොහොම හරි අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුවා වගේ අන්තිමට හරි අනූ හයේ අපේ වීරයෝ වෙච්චි අර්ජුන රණතුංග මහත්තයට වැඩේ පවරපු එක බොහොම හොඳයි. උන්නැහේ ඔය මජර දේශපාලනයට පැටලෙන්නෙ නැතුව හිටියනං තවත් හොඳයි. කොහොමටත් ඕං ඒ කමිටුවටත් ආයෙ තහනමක් දාලලුනේ. අනේ මන්දා හොරා කන ඒව නවත්තන්න තමයි තහනම් දාන්න බැරි. වැඩක් කොරන්න ගත්තොත් ඒවට නං තහනම් වැටෙනව ඕක තමයි ලංකාවෙ කරමෙ.
අම්මප පුදුම වැඩේය කියන්නෙ ඔය ආදායම් ලබන රාජ්‍ය ආයතන හැමදාම වගේ කෝටි ගණන් පාඩුයි නොවැ. ආං තානායම් පොලවල් වගේකිනුත් කෝටි ගානක් පාඩුයිලු. ලයිට් බිල කොච්චර වැඩි කොරත් මංඩලේ පාඩුයි. තෙල් මිල වැඩි කොරාට සංස්ථාව පාඩුයි. මං අහන්නෙ ඔය ඉහල පුටුවල ඉන්න එවුනුයි රට පාලනය කොරන එවුනුයි අපිට වඩා හෙන උගත්තු නොවැ. ඉතිං එඋංට දෙයියන්ගෙ හාල් කැවිලද මේ හැම එකක්ම පාඩු වෙන විදියට සැලසුම් හදල තියෙන්නෙ. යකඩෝ දෙකේ කැලෑසියටවත් නොගිය එකෙක් ආප්ප කඩයක් කොරත් ඒක අතමිට යහමින් ලාභ ගන්න විදියට කොරන්න දන්නවනේ. කොහොම උනත් හැම එකාම උන්මත්තකයො වගේ වැඩ කොරලා අන්තිමේ කරපු පාඩුව අපි හැමෝම එක්කහු වෙලා ගෙවනවා. මේ වගේ දේවල් වලටනං ඔය මූල්‍ය අරමුදලින් උපදෙස් ගන්න ඕන නෑ. ගමේ කඩයක් කොරන සයිමගෙන් ඇහැවුවනං උපදෙස් දෙයි නොවැ ලාභ ලබාගෙන ව්‍යාපාරයක් කොරන විදිය.
පිටරටකට එන්න කලියෙන් මං හිතන් හිටියෙ යක් මූණු දාගෙන ජල්ලි අල්ලන්නෙ අඩව් අල්ලන්නෙ සිරි ලංකාවෙ විතරයි කියල නේ. බලනකොට මෙහෙත් එහෙම ඒව තියෙනවා මේ දවස්වල හැලොයින් කියල එකක්. හිච්චි එඋං යක් මූණු දාගෙන ගෙයින් ගෙට යනවා. ගෙවල්වල මහ එවුනුත් යක් මූණක් දාගෙන හිච්චි එඋනුත් පුදුම කොරවනවා. ඊට පස්සෙ වට්ටක්ක බෑයක් වගේ එකකට ටොෆි චොකලට් පුරවල දෙනවා. බලනකොට යක් මූණු සෙල්ලම් හැම තැනම තියෙනව නොවැ. අන්තිමේ අරුං එකට හැපි හැපි “හැපී හැලෝයිං” “හැපී හැලෝයිං” කියාගෙන යනවා. ඒකත් මරු නොවැ.
යක් මූණු ගැන කියනකොට වන්නිල ඇත්තො මතක් වුනා නොවැ. ආං උන්ද මහ හූරන්ට ලීයමනක් ඇරලා ඔය පැල් කොටවලටම හූරලා මංගච්චලා ඉංගිරිසි කොලවල අත්සන් කොර ගෙන ණය දීලා ගිනි පොලී එක්ක දවස ගානෙ එක්කහු කොරනවාය. එහෙම බැරි තැන්වල ඒකට හිලවු වෙන්න කැකුලියන්ට හදි කොරනවාය කියලා. ඔය සෙල්ලමට හැම ගමකම වගේ ගෑනු අම්මණ්ඩිලා අහුවෙල නොවැ ඉන්නෙ. මක්කට අත්සන් කොරාද කියල දන්නෙත් නෑ. අන්තිමේ සේසතම ඉවර වෙනකල් ගෙවනවා. නැත්තන් ඇප අත්සන් කොරපු ගෑනු එක්ක මරා ගන්නවා. අම්මප මෙවුවට නීති නැද්ද හැබෑටම.
ඒ අල්ලපනල්ලෙ මේ ඩුබයි රටේ පදිංචි අපේ මලයා ගෙදරට බල්ලෙක් ගෙනාව නොවැ හුරතලේට හදන්න. මෙහේ ඔය ලේසියට බල්ලො හදන්න බෑ නොවැ. ඒකට අවසර පත්‍රයක් ඕන. බල්ල හදන මනුස්සයගෙ පෙලෙන්ති නාමෙත් බල්ලට දෙන්න ඕන නොවැ. මං ඉතිං කිවුව එහෙනං පෙලෙන්තියත් බල්ලට ගියා කියලා. බලාගෙන යනකොට එක හොඳා. මොකෝ දැං හැමදේම බල්ලට ගොහිං කියනව නොවැ. හැබැයි ඒක බල්ලටත් කොරන අපහාසයක්. මොකෝ බල්ලො එහෙම නෑ නොවැ. උන්ගෙ තියෙන ගුණ කකුල් දෙකේ බල්ලො ගාව ඩිංගිත්තක් වත් නැහැ නොවැ. අන්ඩ උස්සන්න පුළුවන් වෙච්චි ගමන් බඩගින්නට කන්න දීපු එකාගෙ අත හපා කාලා මෙලෝ සිහියක් නැතුව බලු කමේ යනව නොවැ. සිරි ලංකාවෙ විතරක් නෙවෙයි මේ රටෙත් මට එහෙම එඋං හම්බවුනා. හැබැයි උංගෙ ජාතියත් සිංහල. කොහේ ගියත් එහෙම එඋං ඉන්නවා. එහෙම එකේ පැලැන්තිය නෙමෙයි මොක දැම්මත් කකුල් හතරෙ බල්ලො හොඳා කියල තමා මට හිතෙන්නෙ. ඒ මොකේ දැං ඔය අපේ මලය ගෙනාපු බලු කොලුවා හැමදාම උදේට අපේ මලයා වැඩට යන්න හදන කොට හිටගෙන උන්දැට ආචාර කොරනවනේ. ආං නියම බල්ලෝ.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය හැටපස් වන දිගහැරුම.
2023-11-09 බ්‍රහස්පතින්දා.

No comments:
Post a Comment