නෙළුම
මට හැමදාම හිතෙන දෙයක් තමයි ළමයින්ගෙ හොඳම කාලෙ තිබුණෙ අපි හිච්චි කාලෙ කියලා. ඊටත් වැඩිහිටියො හිතනවා එයාලගෙ කාලෙ තමයි සුන්දරම ළමා කාලය කියලා. කොහොම වුණත් දැන් කාලෙට වඩා නම් ඔය ඉස්සර දරුවන්ගෙ ළමා කාලය සෑහෙන්න හොඳයි කියලා දැන් හැමෝටම හිතිල තියෙන්නෙ මයෙ හිතේ.
ඕං ඉතිං ඔය කියන හිච්චි සන්ධියෙ මං අකුරු කොරන්න ගියේ ගොඩකන්ද කණිෂ්ඨ විද්‍යාලෙට නොවැ. රබර් සෙරෙප්පු කෑලි දෙකයි දාගෙන පොත් ටික අතේ හරි නැත්තන් මල්ලක හරි දාලා එල්ලගෙන එක පිම්මට ඉස්කෝලෙට දුවන එක කොච්චර සුන්දරද? ඒ කාලේ ඉස්කෝලෙ හැම එකාම වගේ විවේක කාලෙට කැමැත්තෙන්ම කොරපු කිරීඩාව තමයි ගස් රිලා පැනිල්ල. එක සමාන පිල් දෙකකට බෙදෙනවා. පිට්ටෙන්නෙ ගස් දෙකක් අයිති කොර ගන්නවා. කිරීඩාව ආරම්භ වෙනවා. ඒ ගහේ එවුන් මේ ගහ අල්ලන්න එනවා. මේ ගහේ එවුන් ඒ ගහ අල්ලන්න යනවා. එන එවුන් අල්ලල රඳව ගන්නවා. බේර ගන්න දුවනවා. එකම යුද්ධයක් තමයි ඉතිං. හැබැයි ඉතිං වැඩේ ඉවර වුණාම කිසිම යුද්ධයක් නැතුව ඔක්කොම එකට සද්දෙ දාලා හුරේ දාලා ඇඳුම්වල පැටලුනු තුත්තිරි ගලව ගලව පන්තියට යනවා.
හැබැයි ඉතිං දැන් ඉන්න දරුවෝ එහෙම කිරීඩා දන්නෙත් නැහැ. ඔක්කොම වගේ දන්නෙ අම්මල අප්පල දරුවට තියෙන වැඩි ආදරේට අරගෙන දෙන අතේ තියෙන දුරකතනෙයි කොම්පීටරෙයි කරන කිරීඩා තමයි. ඒ විතරක් නම් මදැයි දැන් හිච්චි එවුන් බොහෝ වෙලාවට ජීවත්වෙන්න ඉගෙන ගන්නෙ ටෙලිවිසොන් එකෙන් නොවැ. ඒකෙ පෙන්නන අකාර විකාර බලලා පොඩි එවුන්ගෙ ළමා මනස වැඩිහිටි වෙලා තියෙන්නෙ බොල. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට ඉන්නෙ ළමා වැඩිහිටියො. ඒ ඔක්කොම කොරලා ටෙලිවිසොන් නාලිකාවලින්ම කොරනව ළමා දිනේ කියල වැඩ සටහනක්. එදාටත් කියල දෙන්නෙ ළමයා ළමයෙක් කොරන හැටි නෙවෙයි. ළමයා තරුවක් කොරන හැටි. අන්තිමට ළමා කම නැතුව තරු බැබළෙනකොට කවද හරි මහ එවුන්ට තරු පේන්න ගන්නවා. ඉතිං මං අහන්නෙ මෙවුන් ඔක්කොමල එකතු වෙලා දරුවන්ගෙ මොළ ගෙඩි වෙනස් කොරලා ළමා කමක් නැති ලෝකයෝ බවට දරුවො පත් කොරලා උන්ම අන්තිමට ලෝක ළමා දිනේ සමරල වැඩක් තියෙනවයැ.
හරියට අර නෙළුම් පොහොට්ටුව පිපෙන්න ඉස්සර වෙලා අතින් දිගෑරලා මලක් බවට පත් කොරලා පූජ කොරා වගේ තමයි. දැන් දරුවන්ගෙ ජීවිත දිහා හොඳට බැලුවොත් පේනවා බලෙන්ම අතින් දිගහැරපු නිසා පෙති වල තියෙන බිදුම් පාරවල්. ඕක තමයි ඉතිං වෙච්චි හෙනේ. එහෙනං මේ පාරත් ඔක්තෝම්බර් පළවෙනිදට දරුවන්ට හෙන ගැහුණත් ළමා දිනය සමරමුකො.
එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.
ගමරාලගේ අඬහැරය හත්වන දිගහැරුම.
2022-09-29 බ්‍රහස්පතින්දා.
