Thursday, September 29, 2022

ගමරාලගේ අඬහැරය හත්වන දිගහැරුම - නෙළුම

නෙළුම

මට හැමදාම හිතෙන දෙයක් තමයි ළමයින්ගෙ හොඳම කාලෙ තිබුණෙ අපි හිච්චි කාලෙ කියලා. ඊටත් වැඩිහිටියො හිතනවා එයාලගෙ කාලෙ තමයි සුන්දරම ළමා කාලය කියලා. කොහොම වුණත් දැන් කාලෙට වඩා නම් ඔය ඉස්සර දරුවන්ගෙ ළමා කාලය සෑහෙන්න හොඳයි කියලා දැන් හැමෝටම හිතිල තියෙන්නෙ මයෙ හිතේ. 

ඕං ඉතිං ඔය කියන හිච්චි සන්ධියෙ මං අකුරු කොරන්න ගියේ ගොඩකන්ද කණිෂ්ඨ විද්‍යාලෙට නොවැ. රබර් සෙරෙප්පු කෑලි දෙකයි දාගෙන පොත් ටික අතේ හරි නැත්තන් මල්ලක හරි දාලා එල්ලගෙන එක පිම්මට ඉස්කෝලෙට දුවන එක කොච්චර සුන්දරද? ඒ කාලේ ඉස්කෝලෙ හැම එකාම වගේ විවේක කාලෙට කැමැත්තෙන්ම කොරපු කිරීඩාව තමයි ගස් රිලා පැනිල්ල. එක සමාන පිල් දෙකකට බෙදෙනවා. පිට්ටෙන්නෙ ගස් දෙකක් අයිති කොර ගන්නවා. කිරීඩාව ආරම්භ වෙනවා. ඒ ගහේ එවුන් මේ ගහ අල්ලන්න එනවා. මේ ගහේ එවුන් ඒ ගහ අල්ලන්න යනවා. එන එවුන් අල්ලල රඳව ගන්නවා. බේර ගන්න දුවනවා. එකම යුද්ධයක් තමයි ඉතිං. හැබැයි ඉතිං වැඩේ ඉවර වුණාම කිසිම යුද්ධයක් නැතුව ඔක්කොම එකට සද්දෙ දාලා හුරේ දාලා ඇඳුම්වල පැටලුනු තුත්තිරි ගලව ගලව පන්තියට යනවා.   

හැබැයි ඉතිං දැන් ඉන්න දරුවෝ එහෙම කිරීඩා දන්නෙත් නැහැ. ඔක්කොම වගේ දන්නෙ අම්මල අප්පල දරුවට තියෙන වැඩි ආදරේට අරගෙන දෙන අතේ තියෙන දුරකතනෙයි කොම්පීටරෙයි කරන කිරීඩා තමයි. ඒ විතරක් නම් මදැයි දැන් හිච්චි එවුන් බොහෝ වෙලාවට ජීවත්වෙන්න ඉගෙන ගන්නෙ ටෙලිවිසොන් එකෙන් නොවැ. ඒකෙ පෙන්නන අකාර විකාර බලලා පොඩි එවුන්ගෙ ළමා මනස වැඩිහිටි වෙලා තියෙන්නෙ බොල. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට ඉන්නෙ ළමා වැඩිහිටියො. ඒ ඔක්කොම කොරලා ටෙලිවිසොන් නාලිකාවලින්ම කොරනව ළමා දිනේ කියල වැඩ සටහනක්. එදාටත් කියල දෙන්නෙ ළමයා ළමයෙක් කොරන හැටි නෙවෙයි. ළමයා තරුවක් කොරන හැටි. අන්තිමට ළමා කම නැතුව තරු බැබළෙනකොට කවද හරි මහ එවුන්ට තරු පේන්න ගන්නවා. ඉතිං මං අහන්නෙ මෙවුන් ඔක්කොමල එකතු වෙලා දරුවන්ගෙ මොළ ගෙඩි වෙනස් කොරලා ළමා කමක් නැති ලෝකයෝ බවට දරුවො පත් කොරලා උන්ම අන්තිමට ලෝක ළමා දිනේ සමරල වැඩක් තියෙනවයැ. 

හරියට අර නෙළුම් පොහොට්ටුව පිපෙන්න ඉස්සර වෙලා අතින් දිගෑරලා මලක් බවට පත් කොරලා පූජ කොරා වගේ තමයි. දැන් දරුවන්ගෙ ජීවිත දිහා හොඳට බැලුවොත් පේනවා බලෙන්ම අතින් දිගහැරපු නිසා පෙති වල තියෙන බිදුම් පාරවල්. ඕක තමයි ඉතිං වෙච්චි හෙනේ. එහෙනං මේ පාරත් ඔක්තෝම්බර් පළවෙනිදට දරුවන්ට හෙන ගැහුණත් ළමා දිනය සමරමුකො. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හත්වන දිගහැරුම.

2022-09-29 බ්‍රහස්පතින්දා.

Thursday, September 22, 2022

ගමරාලගේ අඬහැරය හයවන දිගහැරුම - කලු මාමාගේ කුළුන

 කලු මාමාගේ කුළුන

හිච්චි එකා සංදියෙ බොහෝ වෙලාවට අපේ අතු පැලේ කෑම අඟ හිඟ පාඩු තිබුණ එක අමුතු දෙයක් නොවේ. බොහෝ වෙලාවට බඩ පුරෝගත්තෙ කොස් කාලා. හරි නම් බෝගස්වලට වඩා අපි වඳින්න ඕන කොස් ගස්වලට ද කියලත් හිතෙනවා. ඒ තරමට කොස් ගහ උපකාර වුණා බඩගින්දර නිවා ගන්න. ඒ විතරක් නම් මදැයි කොස් නැති කාලෙට ගස් ලබුත් තම්බල කෑවා. ඒ කාලෙ ඉතින් මන්දපෝෂණෙත් තිබුණද මන්දා. කොහොම වුණත් කැත්ත උදැල්ල අරං පොළොව එක්ක ඔට්ටු වෙන්නනම් හයිය හත්තිය තිබුණා.

මේ අඟ හිඟකම් හින්දා මොනව හරි ඩිංගිත්තක් බඩට දාගන්න බලාගෙන අහල පහල ගෙදරකට යන එක පුරුද්දක් වුණා නොවැ. මං ඉතිං හැන්දෑවට යන තැනක් තමයි පැටි සීයලැයි ගෙදර. මොකෝ බේබි ආත්තම්මා බොහෝ දවසට රෑට හදනව තැටියක් වගේ ලොකුම ලොකු පොල් රොටි. උණු උණුවෙ කට පිච්චි පිච්චි මක්ක හරි තවරගෙන හාස් හූස් ගගා පෙරේතකමින් ඕක ගිලදාන්නෙ හරියට රාජ භෝජන ලැබුන වගේ.    

ඕං ඔය හැමදාක වගේ ඇඳිරියට එහේට එනවා කිරි ගෙදර කලු මාමා. හරියට මහා කලු සිංහලයා වගේ. හයේ හතරෙ මනුස්සයා.  ඉතිං ටිකක් සූර් වෙලා චූන් එකේ එන කලු මාමා ලී දණ්ඩක් වගේ හරහට මාව කරේ රඳවගෙන එයාගෙ උරහිස් බාහුවෙන් හිර කොරගෙන වේගයෙන් කැරකෙන ගමන්

♫ අත මිට කාසි පනම් හොඳ හැටි තියෙනව නම් - හිටගෙන දිව්‍ය ලෝකෙ මවන්නම්

ඔබ මට ආදරෙ නම් මල වගෙ කරේ තියන් - හෙලිකොප්ටරේ වගේ දුවන්නම් ♫

කියලා සිංදුවක් කියනවා. රොටි කාල බඩ පිරිලා අඩි හයක් උස කලු මාමගේ කරේ කැරකෙන කොට හරියට දිවිය ලෝකෙ ගියා වගේ තමයි මට දැනුණේ.

දැන් තමයි හිතෙන්නෙ කලු මාමට වඩා නෙළුම් කුළුන කොච්චර උසද කියලා. ඒක හදන්න රට වැසියො හැටියට අපි ඔක්කොම දායක වෙලා කිව්වම හරිම සතුටුයි. පොඩි පහේ කෙලියක්ද? ආසියාවේ උසම කුළුන කියනවනේ. අනික අර ඩොලර් පුරස්නෙ විසඳන්න පරදේසක්කාරයො වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන් කියනවනේ මේක තියෙන හන්දා. ඉස්සර නම් එවුන් ආවේ අපේ තිබුණ රන්, රිදී, මුතු, මැණික් , මිනිරන්, ඇත් දළ  අරගන්න. ඊට පස්සෙ ආවේ අපේ සරු පසේ වවලා අස්වැන්න නෙළා ගන්න. ඒ විතරක් නම් මදැයි බලි තොවිල් බලන්න, වෙහෙර විහාර, පෙරහර බලන්න. පුස්කොළ පොත් කියවන්න. දේශීය බෙහෙත් වට්ටෝරු, ඇට වර්ග, පැල වර්ග ගෙනියන්න. ඒකට  දැන්, දැන් උං එන්නෙ උසම උස කොන්ක්‍රීට් කණුවකට නැගලා උංගෙන්ම යැපෙන්න බලාගෙන ඉදලා ලොකේටම කෙලවෙච්චි මිනිස්සු ඉන්න සුන්දර භූමියක අසිරිය උඩ ඉදන් බලල සතුටු වෙන්න.

ඒ අස්සෙ කවුද කියනව ඇහුණා කන්න බොන්න නැති රටවල් අතරින් අපි ඉන්නෙ හතරවෙනි තැනලු ඕං. ඉස්කෝලෙ ළමයි බඩගින්නට බුද්ධ පූජාවත් කාලලු. අනේ ඉතිං ඒකට මොකෝ ඔය කුළුනට නැග්ගහම දිවිය ලෝකෙ ගියා වගේ කියනවනේ. ඒක හන්දා දැන් අපිත් කල්පනා කොරන්නෙ කන්න බොන්න නැතත් සල්ලි කීයක් හරි හොයාගෙන ඔය කුළුනට ගොහින් මේ යම ලොව අතෑරලා දෙව්ලොව යන විදියක්ය.

අන්තිමට බලනකොට හිච්චි එකා සංදියෙ කලු මාමගේ කරේ ඉදන් ඒක තමයි දිවිය ලෝකෙ කියල හිතපු එකයි දැන් මේක තමයි දිවිය ලෝකෙ කියල හිතන එකයි අතර ලොකු වෙනසක් මට නම් පේන්නෙ නැත.    

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හයවන දිගහැරුම.

2022-09-22 බ්‍රහස්පතින්දා.

Wednesday, September 14, 2022

ගමරාලගේ අඬහැරය පස්වන දිගහැරුම - ඔටුන්න

ඔටුන්න 

ඉස්සර ඉදල ගමේ ගොඩේ කාත් එකක් හරි නෝක්කාඩුවක් තිබුණනම් කඩපිලේ හරි මළ ගෙදරදි බණ ගෙදරදි හරි සැර පරුෂ වචනවලින් නමක් ගමක් නැතුව ඇද බාන එක ගමේ අපේ විදියක් නොවැ. ඒ කියන එකට විරෝධය පාන එකාට කියනව තොප්පිය හරිනම් උඹ දාගනිං කියලා. ඕං ඉතිං කවුරු හරි කැමැත්තෙන්ම තොප්පිය දාගෙන වැරදිකාරය වෙනවා. 

තොප්පිය එහෙම දැම්මට ඔටුන්න එහෙම දාගන්න බැහැ නොවැ. දෙකම දාන්නෙනම් ඔ`ඵවට තමයි. හැබැයි ඔටුන්න දාගන්න පොරකන කට්ටිය ඡන්දෙ කාලෙට මිනිස්සුන්ට පාට පාට තොප්පි බෙදනවා. ඒවයි රූපෙකුත් තියෙනවා. ලකුණකුත් තියෙනවා. ඉලක්කමකුත් තියෙනවා. අපිත් ඉතිං අර තොප්පි වෙළෙන්ඳට නින්ද ගියහම පොරකකා තොප්පි ගත්තු වඳුරො වගේ පොරකාල අරගෙන තොප්පිය දාගත්ත කියහංකෝ. එදා තොප්පි වෙළෙන්ඳා උසී කිවුවම වඳුරොත් උසී කිවුවා. දැන් තොප්පි වෙළෙන්ඳා ජය වේවා කියනවා. අපිත් ජය වේවා කියනවා. තොප්පි වෙළෙන්ඳා ගැහුව හොඳ පැලෑනක්. විසික් කොරා එයාගෙ තොප්පිය. වඳුරොත් විසික් කොරා. වෙළෙන්ඳා ඒවත් අරන් වෙළඳාමෙ ගියා. 

ඒකට අපි, වෙළෙන්ඳා විසි කොරාට අපි විසි කොරේ නෑ. උජාරුවෙන් තොප්පිය දාගෙන කල්ලි බෙදිල මරා ගත්ත. වෙළෙන්ඳො ඒක බලලා තලු මර මර රෑට රෑට සෙට් වෙලා බෙදා ගත්තා. අන්තිමට උන් ඔටුනු පළන් රජුන් වුණා. අපි ඔලුව පලන් ගිලන් වුණා. හැබැයි මේ ඔක්කොම සංසිද්ධි වෙන්න කලින් අපි හිටියෙ එංගලන්තෙ ඔටුන්න යට. භාග වෙලාවට එහෙම හිටියනම් හොඳයි කියලා බොහෝ අය කියනව මට ඇහුණා. ඒත් ඒක කොච්චර හරි ද වැරදි ද කියල කියන්න මට තේරුමක් නෑ. මටත් දැනගන්න ලැබුණා එක දහස් නවසිය පනහ වෙනකොටත් ආසියාවෙන් අපි දෙවෙනි වෙලා හිටියෙ ජපනට විතරලු. එතකොට අපි ලෝකෙ එකෙකුටවත් ණය නෑ. ඉතිං ඊටත් වඩා හොඳටම කොරන්න නේ එංගලන්තෙ ඔටුන්නෙන් නිදහස් වෙලා අපේ උදවියට ඔටුන්න දාල මේක පාලනය කොරලා මේ තරමට සුඛිත මුදිත කොරේ. දැන් හැම එකාම ලක්ෂ දහයක් ණයයි කියනවනේ. 

දැං ඔයි ඊයෙ පෙරේදා සඳහටම ඔටුන්න හැරදා ගිය දෙවන එළිසබෙත් මහ රැජින තමයි එයාගෙ කිරීටෙන් අපි නිදහස් කොරේ. ඒ උත්තමාවියට ඔටුන්න ලැබුණෙ අහම්බෙන්ලු නේ. පෙළපතේ සමහරු ආදරෙන් මත්වෙලා රජකම අතහැරලා. සමහරු අකාලෙ මියගිහිල්ලා. ඉතිං කවුරු කොහොම කිවුවත් තාමත් සම්ප්‍රදායට ගරු කොරන රටක් නිසා එකදහස් නවසිය පනස් දෙකේ පෙබරවාරි හය ඇයගේ පිය රජතුමා වුණු හය වෙනි ජෝර්ජ් රජුගේ මරණෙත් එක්ක එවකට අවුරුදු විසිහයක් වුණු දෙවැනි එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය රැජින හැටියට අභිෂේක ලැබුව නොවැ. ඕං ඊට පස්සෙ දෙවතාවක්ද කොහේදෝ ලංකාවටත් ඇවිල්ලා. කෝච්චියෙන් අනුරාධපුරෙත් ගිහිල්ලා. එවකට හිටපු රටේ නායකයත් එක්ක මහ වේල්ලක් බලන්නත් ගිහිල්ලා. ඒ වේල්ලට වික්ටෝරියා කියලා ඇයගේ මිත්තණියගේ නම දානව කිවුව හින්දා ඒක හදන්න සල්ලිත් දීලා. හැබැයි ඉතිං මහරැජින කෝච්චියෙ ගියාට අපේ රජවරුන්ට නම් වෙලාවක් නෑ කෝච්චිවල කරක් ගහන්න. කොහොමින් කොහොම හරි එදා ඉදල දෙදහස් විසි දෙකේ සැප්තැම්බර් අට වෙනකන් ඇය කිරීටය පාලනය කොරා. අන්තිමට හිරු නොබසින අධිරාජ්‍යයේ සඳ බැස ගියා. ඇයට නිවන්පුර හරි මොක්පුර හරි සුරපුර හරි ඕනෑ පුරයක යන්න ලැබේවා කියලා පතන ගමන් මට හිතුණේ මේ වෙනකොට සිරි ලංකාවෙත් අහම්බෙන් ඔටුනු පළඳලා ද එහෙම නැත්තන් කාගෙ හරි තොප්පියක් දාගෙන ඔක්කොටම වැරදි කාරය වෙලාද කියලා. හිතල බලන්ටකෝ.    

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය පස්වන දිගහැරුම.

2022-09-14 බ්‍රහස්පතින්දා.

Thursday, September 8, 2022

ගමරාලගේ අඬහැරය සිව්වන දිගහැරුම - චූන් පාන්

 චූන් පාන්

“ලෝකෙන් උතුම් රට ලංකාවයි - ලංකාවයි සිරි ලංකාවයි ”

මේ සිංදුව කිය කියා අවුරුදු ගානක් තිස්සේ ණයට කකා සැප විඳගෙන අපි හිටියෙ පුදුම චූන් එහෙකය. කොච්චර චූන් වුණාද කියනවනම් ලෝකයේ දියුණුයි කියන රටවල් වල කරන හැම මඟුලක්ම අපේ රටෙත් කොරානෙ ඉතිං. 

J.R මහත්තය විවෘත ආර්ථිකය ගෙනාවම හරියට කොරන්න පුළුවන් කියල හිතපු අපි ඊට පස්සෙ M.R. - G.R. – B.R වෙනකම්ම හිටියේ කුරහන් චූන් එකේය. අන්තිමට ඉතුරු වුණේ QR විතරය. වසර 30ක් තිබුණු කොටි ත්‍රස්තවාදය ජීවිත පරිත්‍යාගයෙන් ඉවර කරහමත් අපි හොඳටම චූන් වී ජාතික කොඩිය කරේ බැඳගෙන පාරට බැහැලා සූර් වී නැටුවේ සියලු පුරස්න දැන් අහවරයි කියල හිතලාය. අන්තිමට දන්නෙම නැතිව අහිංසක අපේ හීන මාලිගාව හොරු බිඳලාය. 

ඒ සැරේ යහපාලන චූන් එකක් කඩන්පාත් වුණාය. කොහොම වුණත් රෙද්ද බැනියම අදින කෙහෙල් කොළේ බත් එක කන පුලතිසිපුර පුරන් කොටන ගිරාමසේවක මහත්තයා හරිම හොඳයි කියලා චූන් එකේ ඉන්න කොට රෙද්ද ගැළවුනා වගේ මහ දවාලෙ සේප්පුවත් කඩාගෙන රට පුරා ගින්දරත් පත්තු විය. ඒකෙන්ම ඒ චූන් එකත් හමාර විය. 

ඊළඟ චූන් එක රට රකින විරුවාය. ඇගේ මයිල් කෙලින් වී චූන් එක වැඩි වී අපි උස්සලාම දුන්නාය. පිරිත් නූල් බැන්දාය. රුවන්වැලිය වැන්දාය. හරිත විප්ලවය ලෝකෙටම පෙන්වන්නෙ අපි තමයි කියා පුරසාරම් බෑවාය. ඩොලර් හිඟයක් ඇත්තෙම නෑ ණයත් ගෙවනවා සල්ලිත් අච්චු ගහනවා කියා මොල හත අවදි කර කට මැත දොඩවමින් පුදුම චූන් එකකින් කාක්කන්ට ආප්ප දැම්මේ හෙනහුරු අපලෙත් දුරු වෙන්න කියාය. 

සියලු දෝෂ සමනය වී චූන් එක වැඩිකමට මට ඉතිහාසය මතක් විය. සත ගණන්වලටත් පාන් කාපු උදවිය තාම ඉද්දි මම පාන් කෑවේ රුපියල් තුනට ය. පස්සෙ තුනයි සත දහයක් වුනා හොඳට මතකය. ඒ කාලෙ ඉස්කෝලෙ කොල්ලො නැහැදිච්ච කමට කියපු පද පේලියක් තාම මතකය. 

“පාන් පෙත්ත උඩ යනවා 

රූං පෙත්ත කැරකෙනවා

ප්‍රේමදාස සුරංගනා කතා කියනවා ”  

ඒ තරම් පාන් ප්‍රධාන ආහාරයක් නොව මාතෘකාවක් විය. ඒ නිසාම 94 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ මාතෘකාවක් වුණෙත් පාන් ගෙඩිය තුනයි පනහට දෙන බවකි. ඒ මදිවට අනිත් රටවල් අපි පහු කොරගෙන යනකොට 

ඉතිං අපිට පාන් ද? 

කියා සමච්චල් කොරමින් ඉතිහාස සිරිවිභූතියෙන් මත්ව අපි හිටියේ ගරු ගාම්භීරවය. 

ඔන්න ඉතිං ලියල හමාරය. චූන්පාන් වාහනේ ආවාය. පෑන තියල විඟහට දිවුවේ පාන් ගෙඩියක් ගන්නය. අදට එකසිය අසූවයි. ළඟදීම තුන්සිය වේවි. පාන් මල්ලි කීවාය. හනේ ඇත්තට ආචාරියෙක් කිවුව වගේ රුපියල චප්ප චපිරි වෙලා හක්ක බොක්කට ගිහිල්ලා බොක්ක දොට්ට පැනලා රටම මස්තබාල්දු වෙලාද නැත්නම් අපි බාල්දු වෙලාද කියලා මට හිතුණේ චූන් කරන්න ගිහින් පාන් කියා ගන්න බැරි ගානට වැටුණු විටය. එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය සිව්වන දිගහැරුම.

2022-09-08 බ්‍රහස්පතින්දා.

Thursday, September 1, 2022

ගමරාලගේ අඬහැරය තෙවන දිගහැරුම - ලයිටුයි + වතුරයි

ලයිටුයි + වතුරයි

ගොඩකන්ද හෝළුවාගොඩ ගමේ ඉස්සර ඉතිං ලයිට් තිබුනේ නැහැ නොවැ. ලාම්පු කුප්පිය තමයි පත්තු කලේ ගෙදරක මොකක් හරි සංඟිදියක් තිබුනොත් ලයිට් පත්තු කොරනවා කියලා පත්තු ‌‌කරේ පැට්‍රල් මැක්ස් එක. ඒකට මැන්ටලේ ගැට ගහල ටැංකියට භුමිතෙල් දාලා මැන්ටලේ ලොකු වෙනකන් හුලං ගහලා පත්තු කොරනවා මාර එළියයි. 

ඔහොම කාලයක් යනකොට ර‌ට සංවර්ධනය කරනවයි කියලා පාරවල් වල කනු හිටවල කම්බි ඇදලා ලයිට් දුන්නා කියහංකෝ. ඔිං අපේ ගමේ කට්ටියත් අපිටත් ලයිට් දීපියෝ කියාගෙන බලං හිටියා ගමට ලයිට් දෙනකන් ඔන්න එතකොට හිටපු කීර්තිමත් දේශපාලකයෙක් වුන රිචඩ් පතිරණ මහත්තයා ඒක දැකලා අපේ ගමටත් ලයිට් දෙන්න කටුයුතු සුදානම් කලා. එතකොට අපට ලයිට් ගන්න ගේකුත් නෑ තිබුනේ පොල් අතු පැලක්. හැබැයි කම්බි අදින්න අපේ වත්තේ පොල් ගස් පහක් කැපුනා ඒත් පුදුම සතුටක් දැනුනේ ගමට ලයිට් එන නිසා.

ඔන්න ඉතිං ගුණසේකර ඉස්කෝලේ මහත්තයලැයි ගෙදර උත්සවයක් තියලා රිචඩ් පතිරණ මහත්තයා ඇවිල්ලා ලයිට් විවෘත කලා කියහංකෝ. එදා ගමටම මාර සතුටු දවසක්. අමතක නොවන සිද්දියකුත් උනා. ඒකාලේ ගමේ හැමෝගෙම වැඩවලට උදව්වට හිටපු පොඩි අප්පුහාමි මාමා එයාගේ පුතත් එක්ක ඇවිල්ලා සතුට වැඩිකමට ලොකුවෙන් කේක් කවලා පොඩි එකාට කේක් හිරවෙලා හැමෝගෙම ලගට ගිහින් එයා කෑගහනවා අනේ උගුරට අතදාලා ගන්නකෝ කියලා ඒත් කාටවත් තේරුමක් තිබුනේ නෑ මොකක්ද කරන්නේ කියලා අන්තිමට පාරේගෙදරවත්තේ සීයා කිව්වා, වාහේ නැගපිය බයිසිකලේට කොල්ල කරාපිටියට ගෙනියන්න කියලා දාගෙන ගියා.  එතනින් ලයිට් උත්සවේ ඉවරයි.

ඉස්සර හැම ගෙදරකම ළිං දෙකක් තිබුනා එකක් රවුමට හාරලා ගඩොලෙන් බැදලා වතුර ගන්න කප්පියක් දාලා තිබුනා ඒක බොන ළිද අනෙත් ළිද කොටු හැඩයට කපලා එක පැත්තකට කොටයක් දාලා ලොකු බක්කියක් එක්ක තිබුනා ඒක නාන ළිද ඒකෙන් ඇදගෙන තමා නෑවේ තව පාර අයිනේ පිං ළිදකුත් තිබුනා නොමිලේම නාන්න පුලුවන්. 

දැන් අපි කල්පනා කරා යකෝ නොමිලේ නෑවා වගේද අපේ ගමත් සංවර්ධනය කරගන්න එපැයි අපිත් කෑගැහුවා ටමුමට විතරද අපටත් වතුර දියව් කියලා. ඔන්න ඉතිං හොදට තිබ්බ පාරවල් ආයේ කඩලා බට දාලා ගමටම වතුර දුන්නා. දැන් හැමෝම වගේ නොමිලේ වතුර ගත්ත ළිං වහලා ඒවා උඩත් ගෙවල් හදලා පයිය්ප වතුර ගත්තා කියහංකෝ හරී සනීපයි ඇදගෙන නානවා වගේද සුරුස් ගාලා කරාමේ කරකවලා සූස් ගාලා වතුර මල යට ඉදන් නානවා දැන්නම් හොදටම සනීපයි ලයිට්වලටත් බිලක් එනවා වතුර වලටත් බිලක් එනව.

දැන් බිලත් නගිනවා - ප්‍රෙෂරුත් නගිනවා, දැං අපි කෑගහනවා බිල අඩු කරපිය කියලා ලොක්කෝ කියනවා අඩු කරන්න බෑ මෙච්චර කල් දුන්නෙත් පාඩුවට කියලා. එතකොට කවුද හරි කවුද වැරදි. අනේ මන්දා මේ සංවර්ධනේ දැකලා ඔලුවත් තෝන්තු වෙනවා. කට්ටියම හොදට නාගෙන ඉන්නකෝ 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තෙවන දිගහැරුම.

2022-09-01 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...